සිංහලේ එන යකාගේ ගණන්-පළමු කොටස

මම සිංහල භෂාව තුළ හමු වන, සංඛ්‍යාත්මක අගයන්  පෙන්වන වචන මාලාවක් පිළිබඳ ලිපි පෙළක් කරන්න හිතුවා. මේකෙදි මම වැඩි අවධානයක් යොමු කරන්නේ පැරණි සාහිත්‍ය පොත් පත් වල තියන වචන වලට ඒ අතරින් මම පළමු කොට ම තෝරා ගත්තේ අක්ෂෞහිණී කියන වචනය

මේ වචනය බොහෝ විට යොදාගෙන තියෙන්නේ යුධ සේනාවන්හි පිරිස්බල ප්‍රමාණ දැක්වීමටයි. උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය වැනි පොත් වල මේ වචනය හමු වෙනවා. පැරණි කාලයේ රජවරුන්ගේ යුධ සේනාවක් අංග සතරකින් සමන්විත වුණා නම් ඒ හමුදාව ප්‍රබල හමුදාවක් සේ සැලකුණා. ඒ අංග හතර සම්පූර්ණ කළ සේනාව හැඳින්වූයේ චතුරාංගනී සේනාව නමින්. මේ අංග සතර වුණේ

ඇත් හමුදාව

අස් හමුදාව

රථ හමුදාව

පාබල හමුදාව

කියන අංග වලින්. මේ සියල්ල සහිත කණ්ඩායමකට සේනාංකයක් කියන නම යෙදුණා. එබඳු සේනාංක ගණනාවක් සහිත හමුදාවක් ඇති රජු වඩාත් ප්‍රබල සේ සැලකුණා. සේනාංකයක් භාරව සිටියේ සේනාපතිවරයෙක්. සේනාපතිවරුන් සේවය කළේ ඍජුවම. ඇැම් තැන් වල සේනානායක වරු ගැනත් සඳහන් වෙනවා. එයින් අදහස් වන්නේ සේනාපතිවරු සියලු දෙනාට ප්‍රධාන වල නිළධාරියා වියයුතුයි. බොහෝ විට සේනාවේ විධායකයා, එනම් සේනාවිධායක වන්නේ රජු වුවත්, රජු වයෝවෘද්ධ හෝ ළබාල නම්, එහෙමත් නැත්නම් රෝගාබාධයකින් පෙලෙන්නේ නම් ඔහු වෙනුවෙන් සේනාවිධායක ලෙස රජුගේ සමීපතම විශ්වාසවන්තයෙක් පත් කරන්න ඇති ඇතැම් විට සේනානායක වන්නට ඇත්තේ ඔහු විය හැකියි. රජු යටතේ. ලංකාවේ සුප්‍රසිද්ධ දුටුගැමුණු රජු යටතේ බළඇණි දහයක් වූ බව සඳහන් වෙනවා. රජු ඒ ඒ කාර්යයන් වලට යෙදව්වේ ඊට ගැළපෙන ම සේනාංක. උදාහරණයක් වශයෙන් එලාර සේනාවේ ප්‍රධානියා වූ දීඝජන්තු ඝාතනය කිරීමට රජු පැවරුවේ නන්දිමිත්‍ර බලකායට. ඒ වගේ. කොහොම නමුත් මේ බලසේනාවක් අක්ෂෞහිණියක් වශයෙන් හැඳින්වුණා. ථූපවංසයේත් අටලොස් අක්ෂෞහිණියක මාර සෙනගක් ගැන සඳහන් වෙනවා. මේ වැනි අක්ෂෞහිණියක ඇතුන් 21870ක්, අශ්වයින් 65610ක් රථ 21870ක් හා යෝධයින් හෙවත් පාබල සෙබළුන් 109350ක් ඇතුළත් වූ බව පැරණි මූලාශ්‍රය උපුටා දක්වමින් මහැදුරු සුනන්ද මහේන්ද්‍රයන් සිය පුරාණෝක්ති සංග්‍රහය නම් අගනා කෘතියේ සඳහන් කර තිබෙනවා.

මීළඟ කලාපයේත් අලුත් සිංහල ඉල්ක්කමක් ඉගෙනගනිමු.

හර්ෂණ ලියනආරච්චි.

සාමාන්‍ය පෙළ සඳහා කළුතර ප්‍රමුඛ සිංහල ගුරුවරයා.

 

නිවැරදි අනුමාන වලට මෙන්න සාක්ෂි

 

හර්ෂණ ලියනආරච්චි පන්ති කාලසටහන මෙතැනින් පිවිස ලබා ගන්න