ජීවිතයට මිහිර පොවන සොඳුරු නිශාන්තය…

ඔයා මම ඒ කියන්නෙ අපි (වර්තමාන සමාජය) තාක්ෂණයත් එක්ක එකතු වෙලා වැඩි කාලයක් ගෙවන්නෙ. ඇතැම් වෙලාවට තාක්ෂණය එක්ක බද්ධ වෙලා. ජංගම දුරකථනය, පරිගණකය එක්ක වැඩ කරන්න වෙලා. ඒත් එක්කම අපට ලස්සනම ලස්සන ගොඩක් දේවල් මගහැරිලා…
මොනවද අපට මගහැරුනෙ? එළියට බැහැලා වටපිට බලන්න වෙලාවක් අපට තියෙනවද? අපි ඒකට වෙලාවක් වෙන් කරගෙන ද? නෑ…. අපට ඒකට වෙලාව නෑ…

මහ දවාලට ගිනි මද්දහනෙ නම් අපට සැලකියයුතු සුන්දරත්වයක් නරඹන්න අමාරුයි. හැබැයි හොඳට හෙවණ තියෙන සුන්දර තැන් ඕන තරම් තියෙනවා අපට බලන්න.
ඒත් රාත්‍රිය කියන්නෙ දහවලට වඩා අපූරු සිතුවම් මවන තෝතැන්නක් . දහවල සරතැස නිවාලන රාත්‍රිය හරි අපූරු විදියට මනසට එබිකම් කරනවා….
ඔයා නිදි නැත්නම්…. ඔය ගේ ඇතුළට වෙලා device එකකට කොටු වෙලා ඉන්නැතිව පොඩ්ඩක් එන්න එළියට. රාත්‍රියට විතරක් සුවඳ දෙන සේපාලිකා මල් ඇවිදන වෙලාවක් මේ. ඉක්මනින් පිපිලා ලෝකෙම සුවඳ කරලා ඉක්මනටම යනවා, ඇවිදින්න වෙන්නැති. අහස පුරාවටම නිල්පාට තාරකා මල් පිපිලා…. වැවට පෙම් බඳිනවා වැව දිහා බලාගෙන. මේ පොළොව මොන තරම් සුන්දරයි ද…

මේ ලෝකෙට එළිය දෙන්නයි ඉරහඳතරු පායන්නෙ…. අපි ඒවාට ආදරය කරන්න ඕන. මොකද අඳුරට පෙම් බඳිනවට වඩා අපට ආලෝකය දෙන අයට අපි ණයගැතියි. සොබා දහම, මේ විශ්වය, මේ ලෝකය අපට දීල තියෙන දේවල් මොන තරම් ද කියලා කල්පනා කරලා බලන්න. ඔයා මේ දැනුත් හුස්ම ගන්නවා….මේ ගහකොළ දෙන්නෙ අපට ඒක… ඔයා බඩ පිරෙන්න හිත පිරෙන්න විවිධ කෑමබීම ගන්නවා…..කවුද ඒවා අපට දෙන්නෙ ? මේ සොබාදහම. අපි පිපාසය නැති කරගන්නෙ මේ දාහය නිවාලන්නෙ හෙවණ දෙන්නෙ මේ සොබාදහමේ දේවල් නේද? වෙන මොනවත්ම ඕනි නෑ….බලන්න ඔයා දිහා…. ඔයා මොන තරම් අසිරිමත් ද? මේ පරිසරය මොන තරම් ආශ්චර්යවත් ද? එක රුපියලක්වත් අය නොකර අපට දෙන සැනසීම මිල කරන්න බෑ නේද?
ඉතිං මේ තරම් දේවල් අපට දෙන මේ ලෝකයට ඔබ ආදරේ කරන්න. ආදරේ කරලා බලන්න, මේ මුළු ලෝකයම ඔයාට කොයි තරම් ආදරය කරනවද කියලා. ඔයාව මේ සොබාදහම කොයිතරම් රකිනවද කියලා.

ඉතිං මගෙ දුවේ….ඔයා නිදි නැත්නම් දොර ඇරගෙන එළියට එන්න…..මේ රාත්‍රිය හරිම සුන්දරයි

සටහන
ලක්මිණි ගොඩගේ
උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශිකා
කළුතර ඥානෝදය මහා විද්‍යාලය