එක රැයින් විසිපන්දාහකට මරු කැඳවූ යුනයිටඩ් කාබයිට් සමාගම

එය 1984 දෙසැම්බර් මාසයේ රාත්‍රියකි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බෝපාල් ග්‍රමයේ ජනතාවට එදින සුවිශේෂ දිනයක් නොවූ අතර සියලු දෙනා සිය දෛනික කටයුතු නිමා කර වෙනදා මෙන් ම පුරුදු පරිදි නින්දට ගියහ. එදින තමන්ට විශේෂ දිනයක් වශයෙන් බෝපාල් ජනයා නොසිතූ නමුත් දෛවය විසින් ගෙන තිබූ තීරණය ඊට වෙනස් විය. බෝපාල්හි මේ රාත්‍රියේ නිදාසිටියවුන් අතරින්  පන්දහසක් දෙනා පසුදා උදෑසන වෙනදා සුපුරුදු වේලාවට යළි අවදි වූයේ නැත. සුපුරුදු වේලාව පසුවීමෙන් පසු හෝ යළි කිසිදා හෝ ඔවුන් අවදි වූයේ නැත. එපමණක් නොව. එම ගැමියන් විසින් ඇති කළ ගවයින්, කුකුළන් වැනි සතුන් දහස් ගණනක් ද ඒ වන විටත් ගම්මානය පුරා බිම වැදිර සිටියේ ය. එම සතුන් ද යළි කිසිදා අවදි වූයේ නැත. දින කිහිපයක් තුළ මේ නින්දට පත්වූවන් ගණන විසිපන්දහස ද ඉක්මවා ගිය අතර පසුකාලීනව පිළිකා, අක්ෂි ආබාධ වැනි විවිධ රෝගාබාධ වලට ගොදුරුවූවන් ගණන ලක්ෂ හය ද ඉක්මවා ගොස් තිබුණි.

රසායන විද්‍යාව සම්බන්ධව ලෝක ඉතිහාසයේ එක් කැපී පෙනෙන ඓතිහාසික අනතුරක් වන්නේ ඉහතින් විස්තර කළ බෝපාල්හි සිදු වූ බෝපාල් ගෑස් ඛේදවාචකයයි.

Image from internet

මෙම ඛේදවාදකයේ පසුබිම ඉන් කලකට පෙර කාලයක් දක්වා ඇදී යයි. ලොව දරුණුතම කාර්මික විපත්වලින් එකක් ලෙස සැලකෙන මෙය සිදු වූයේ ඇමරිකානු බහුජාතික සමාගමක් වූ යුනියන් කාබයිඩ් කෝපරේෂන් (යූසීසී) සතු වූ බෝපාල් හි යූනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් (යූසීඅයිඑල්) පළිබෝධනාශක කම්හලේදී ය. මෙහි එක්තරා පළිබෝධනාශක වර්ගයක් නිෂ්පාදනය කළේය. ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කර නිපද වූ මේ පලිබෝධනාශක ඉන්දීය කෘෂි ආර්ථිකයට ශක්තියක් වනු ඇතැයි ඉන්දීය රජය ද විශ්වාසය පල කර තිබුණි. තව ද ඉන්දියානුවන්ට මේ කර්මාන්තශාලාවේ රැකියා අවස්ථා ද හිමිවන නිසා ඉන්දීය රජය මේ පිළිබඳ ධනාත්මක මතයක පසුවිය. නමුත් එහි අවසානය සිදු වූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයට ය.

මෙම පලිබෝධය නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ අධික විෂ සහිත රසායනිකයකි. එය මෙතිල් අයිසොසයනේට් (MIC) නමින් හැඳින්වේ.  මෙම රසායනිකයේ විශේෂ ගුණයක් වන්නේ ජලය සමග පහසුවෙන් මිශ්‍ර වී ප්‍රතික්‍රියා කරන ස්වභාවය යි. 1984 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 3 වනදා රාත්‍රියේ මෙම රසායනය අඩංගු ගබඩා ටැංකියකට ජලය ඇතුළු විය. ජලය MIC සමඟ බාහිර තාප ප්‍රතික්‍රියාවක් ඇති කළ අතර එමඟින්  හයිඩ්‍රජන් සයනයිඩ් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය ඇතුළු විෂ වායූන් විශාල ප්‍රමාණයක් අවට ප්‍රදේශයට මුදා හරින ලදී.

අධි විෂ රසායනිකයන් හා ගෑස් කාන්දුව හේතුවෙන් බලාගාරය අවට සිටි දහස් ගණනකගේ ක්ෂණික මරණ සිදු විය. ඇස්තමේන්තු කර ඇත්තේ එය 25,000කට වැඩි සංඛ්‍යාවක් වශයෙන් වුවත් මරණ සංඛ්‍යාව තවමත් විවාදයට තුඩු දෙන කරුණකි. තවත් දස දහස් ගණනක් ස්වසන ආබාධ, ඇස්වල දැවිල්ල සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලින් පීඩාවට පත්වූහ. උපත් ආබාධ සහ නිදන්ගත රෝග ඇතුළු දිගුකාලීන සෞඛ්‍ය බලපෑම්, දිවි ගලවා ගත් අයට සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ද දිගටම බලපෑම් ඇති කර තිබේ.

Image from internet

අනතුරට නිශ්චිත හේතු තවමත් මතභේදයට තුඩු දී ඇති නමුත් දුර්වල නඩත්තු කිරීම, ප්‍රමාණවත් ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම සහ සැලසුම් දෝෂ වැනි සාධක සඳහන් කර ඇත. ආරක්‍ෂක උපකරණ සහ හදිසි ප්‍රතිචාර පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම ඇතුළු ආරක්‍ෂක ක්‍රියා පටිපාටිවල අඩුපාඩු රැසක් පිළිබඳ තොරතුරු මේ පිළිබඳ කළ විමර්ශනවල දී අනාවරණය විය. බෝපාල් ගෑස් ඛේදවාචකය ජනතාවගේ කෝපයට/කැළඹීමකට හේතු වූ අතර නීතිමය ක්‍රියාමාර්ග, යුක්තිය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ අතර කාර්මික ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳ දැඩි රෙගුලාසි පැනවීමේ අවශ්‍යතාව මතුකර සිටියේය. එහෙත් බලාගාරය හිමි UCC ආයතනය මේ ඛේදවාචකයේ දී වින්දිත පාර්ශ්වයට සාධාරණයක් ඉටු කළ බවක් නොපෙනෙයි. ඔවුන් දිගින් දිගට ම කියා සිටියේ මෙය ඔවුන්ගේ වරදක් නොව යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. එපමණක් නොව ආයතන හිමිකරුවන් ඉන්දීය අධිකරණය හමුවේ පෙනී සිටීම ද දිගින් දිගට ම පැහැර හැරි අතර ඇමරිකානු රජය ද මේ සඳහා සාධාරණ මැදහත්වීමක කළේ නැත.