වෑ කම් පෙළහර-අභිමානය අස්වද්දන්නට-තෙවන කොටස

වැවක තාක්ෂණය

වැවක් යනු හුදෙක් බැමි කිහිපයකින් හා කඳු කිහිපයකින් වටවුණු ජලාශයක් නො වේ. වැව පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යෑම සමග සෘජුව හා වක්‍රව සම්බන්ධ තාක්ෂණිකාංග ගණනාවක් ම ඒ සතු විය. මේවා ද කලින්කලට පැනනැගුණු අවශ්‍යතා හා ගැටළු නිසා නිර්මාණය වූ අංගයන් විනා ආරම්භයේ සිට ම වැවක තිබූ අංගයන් නො වේ. මුල් කාලයේ බැම්ම හරහා යෙදූ කැපුමකින් ජලය ලබාගන්නට ඇතත් පසුව එය පියවර ගණනාවකින් පසු සොරොව්වක් දක්වා විකාශය විය. බිසෝකොටුව ද එසේ ය. කලිඟු බැමි, ඉස්වැටි, වාන් ආදිය පිළිබඳව ද පැවසිය හැක්කේ මේ කරුණම ය. කෙසේ වුව ද පොළොන්නරු යුගයෙන් පසුව මේ කර්මාන්තයේ දියුණුවක් ඇති නොවූ නිසාත් එසේ දියුණු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් වර්ෂ හාරසිය පනහක පමණ කාලයක් මෙරට පාලනය කළ විදේශිකයන් තුළ ද නො පැවති නිසාත් වාරි දැනුම අප වෙතින් ගිලහී ගොස් තිබේ. යටත් විජිත සමය නිම වන විට අපට වාරි තාක්ෂණ දැනුම සහිත පරපුර අහිමිව ගොසිනි. එසේ නොවිණි නම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙන් දස ගුණයක් දැවැන්ත ව්‍යාපෘති මෙරටත්, පිට රටවලත් ක්‍රියාත්මක කරන්නේ ලාංකිකන් විසිනි. එහෙත් අවාසනාවකට මෙන් මෙරට පාලනය කළ විදේශිකයන් අතින් වැව මෙන් ම ඊට බැඳි සංස්කෘතියක් ගම්සභාව, රාජකාරී ක්‍රමය වැනි චිරාගත සංවිධාන හා ක්‍රමවේදයනුත් විනාශමුඛයට පත් විය. මේ කෘතිය රචනා කරන මා පවා මේ ලියන්නේ මළගිය වැව්සංස්කෘතිය පිළිබඳ මා සතු අල්පමාත්‍ර දැනුමෙන් මිස අත්දැකීම් තුළින් සන්නද්ධ දැනුමක් මත පිහිටා නො වේ.

සේ වුව ද මේ පිළිබඳ දීර්ඝ පුළුල් විද්වත් කතිකාවක් ඇති විය යුතුය. මක් නිසා ද යත් මේ සමබර බව රැක ගැනීමේ දී පැරණි තාක්ෂණ ක්‍රමවේද ආදිය, නූතන තාක්ෂණ ක්‍රමවේද එල්ලා ඇති දණ්ඩේ අනෙක් පස රැඳවිය යුතු හෙයිනි. හෙළයා විසින් සියවස් ගණනාවක් තිස්සේ ලත් අත්දැකීම් මත ගොඩනැංවූ වාරි තාක්ෂණය මේ අයුරින් නිහඬ අවසානයකට පත් වීම ඛේදයකි. එය මානව පරිනාමයේ ස්වභාවය යැයි සලකන්නට තවත් බොහෝ කල් තිබේ.

වැවක ඒ ඒ අංග ස්ථාපනයේ දී, වැව පරිහරණයේ දී හා නඩත්තුවේ දී ඔහු විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග තව දුරටත් ගවේෂණය කළ යුතු වේ. වැවක ආරක්ෂාවටත් පරිහරණයටත්, පැවැත්මටත් අදාළ වන තාක්ෂණිකාංග රැසක් වැව ආශ්‍රිතව ම පවතී. මේවා තනි වශයෙන් හෝ එකිනෙකට බද්ධව ඉහතින් කී අරමුණු ඉටුකර දෙයි. දැන් සලකා බැලෙන්නේ එකී තාක්ෂණිකාංග හා ඒවායේ ප්‍රයෝජන පිළිබඳව ය.

 

වැව් බැම්මේ තාක්ෂණය

මෙය ඉදිකිරීමේ දී කරුණු කිහිපයක් සලකා බැලේ. කෘෂිබිම්වලට පහසුවෙන් ජලය ලබාගතහැකි වීම, වැව පෝෂණය කිරීමට අවශ්‍ය ජලය සපයා ගැනීමේ පහසුව, වෙනත් වැවත් පෝෂණය කිරීමට  ජලය සැපයිය යුතු වේ නම් ඊට පහසු වීම, කල්පැවැත්මට හානි නො වන ස්ථානයක වීම ආදී නොයෙක් හේතු සාධක වේ. වැවක සොරොව්ව ස්ථානගත කළයුතු වන්නේ කෘෂිබිම්වලට ජලය සැපයීමට පහසුවන තරම් ඉහළිනි. නැතහොත් කෘෂිබිම්වලට ජලය සැපයීම අපහසු වේ. සොරොව්ව, වැව්බැම්ම ආශ්‍රිත ඉදිකිරීමක් නිසා වැව්බැම්මේ ස්ථානගත කිරීම අතිශය වැදගත් කාර්යයකි. සාමාන්‍යයෙන් වැව්බැම්ම තැනීමේ දී උස්බිම් යා කරමින් බැම්ම තැනීම සරල ක්‍රමය වුවත් යෝධවැවේ බැම්ම ඉදිකර ඇති අයුරු ඊට වෙනස් ය. එය සැතපුම් හතක් දිගට අශ්ව ලාඩමක හැඩයෙන් ඉදිකර ඇත. කඳුරැලිවලින් ඊට ලැබි ඇති සහය අවම ය. එහෙත් වැව් බැම්ම ඉදිකිරීමට මේ සාධක පමණක් ප්‍රමාණවත් නැත. බැම්ම ස්ථානගත කරන බිමේ ස්වභාවය ද වැදගත් ය. සාමාන්‍යෙයන් වැව්බැම්ම ඉදිකරන්නේ භූමියේ පාෂාණ ස්තරය වැව තුළට ආනතව තිබෙන ස්ථානය ද අධ්‍යයනය කිරීමෙනි. (01රූපය බලන්න) එවිට ජලයේ තෙරපුම නිසා වැව්බැම්ම තල්ලු වී යාම වළකී. පාෂාණ ස්තරය අතරින් ජලය කාන්දු වීම ද වළකී. මිට හොඳ ම උදාහරණය ඇත්තේ මින්නේරිය වැව් බැම්මේ ය. ක්වාට්සයිට් (Quartzite) පාෂාණ විහිදුම නිරීක්ෂණයකර එය නිර්මාණය කර තිබේ.සොරබොර වැව හා ගල්ගමුව වැව ද මේ අයුරින් නිර්මාණය කර තිබේ.(බස්නායක, එච්. ටී.2005.)

පුරාණ ලංකාවේ වැව තැනූයේ හුදෙකලා නිර්මාණයක් සේ නො වේ. ජන ජීවිතය සමග මෙන් ම එය සෙසු වැව් පද්ධතිය සමග ද සම්බන්ධකර තිබුණි. ඇළ මං ආදියෙන් වැව් කිහිපයක් එකිනෙකට සම්බන්ධකර තිබූ අතර ඒ නිසා එය වාරි පද්ධතියක, දාමයක පුරුකක් බවට ද පත්විය. මේ පද්ධතිය බිහිකිරීමට සෙසු වැව් සමග සම්බන්ධ වියහැකි අයුරින් ජල මට්ටම පවත්වාගෙන යෑමට හැකිවේ ද යන්න ද වැව්බැම්ම ඉදිකිරීමේ දී සලකා බලන තවත් සාධකයකි. මේ නිසා නිම්නයේ ඉහළ කොටසේ බැම්ම ඉදිකරන ලදී. එවිට ජල මට්ටම උස් තත්ත්වයක පවත්වාගත හැක.

වැව්බැම්ම ඉදිකිරීමේ කාර්යය ද සුවිශේෂ ය. පුරාණ කාලයේ මිනිස්ශ්‍රමය පූර්ණ වශයෙන් ම යොදා ගනිමින් කළ මේ නිර්මාණ සඳහා වසර ගණනාවක් ගතවිය. සුපතළ පරාක්‍රම සමුද්‍රයේ බැම්ම ඉදිකිරීමට දෛනිකව මිනිසුන් 5000ක් (පන්දහසක්) බැගින් නොකඩවා වසර දහයක් වෙහෙසෙන්නට ඇතැයි අනුමාන කෙරේ. මන්ද යත් වැවක බැම්මක් ඉදිකිරීම වනාහි හුදෙක් පස්බැම්මක් ඉදිකිරීමක් නො වන නිසාවෙනි. වැවක බැම්ම ප්‍රධාන කොටස් තුනකින් යුක්ත ය.

  • නාරටිය
  • ආධාරක බෑවුම්
  • රළපනාව

නාරටිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බැම්මේ ශක්තිමත් ම කොටස යි. (03 රූපය බලන්න) මැටි හා බොරලු යොදා සකස් කළ මිශ්‍රණයක් මේ සඳහා යොදාගැනුණි. පළමුව කෙරෙන්නේ බැම්ම ඉදිකිරිම සඳහා යෝජිත භූමියේ මතුපිට සාමාන්‍ය පස් ආවරණය ඉවත්කර තද පොළොව හෝ පාෂාණ ස්තරය මතුකර ගැනීම යි. පසුව ඒ මත විශාල ගල් දමා ශක්තිමත් අත්තිවාරමක් සකස්කර ගැනේ. ඉන් පසු ක්‍රමයෙන් කුඩා ගල් වර්ග හා මැටි යොදා ස්තරයෙන් ස්තරය බැම්මේ නාරටිය ඉදිකෙරේ. මේ ස්තර එකින් එක ඉදි කිරීමේ දී පළමුව එළුවන් ද දෙවැනිව ගවයන් ද තෙවැනිව හස්තීන් ද ආදී වශයෙන් ලොකු කුඩා කුර සහිත සතුන් ඒ මතින් දක්කමින් පොළොව හොඳින් තලාගන්නට ඇතැයි සිතිය හැක. ඒ තරමට ම මේ නාරටි කොටසේ ගල් හොඳින් තෙරපී ඇත. මෙසේ ඉදිකෙරෙන බැම්ම වත්මන් කොන්ක්‍රීට් බැම්ම තරම් ශක්තිමත් නැතත් ඊට වඩා කල් පවතී. ඊට හේතුව වන්නේ වත්මන් කොන්ක්‍රීට් බැමිවල නැති සියුම් නම්‍යශීලීත්වයක් මේ මැටි බොරලු මිශ්‍රණයේ පැවතීම යි. එම නම්‍යශීලීත්වය නිසා සුලු භූ චලනවල දී පිපිරී නොයා ඒවාට ඔරොත්තු දීමේ හැකියාව ඇත.

ආධාරක බෑවුම යනු වැවට පිට පැත්තෙන් හා ඇතුළු පැත්තෙන් , එනම් බැම්මේ නාරටිය දෙපැත්තෙන් නාරටියේ ආරක්ෂාවට යොදන පස්බැම්ම යි. මේ නිසා බැම්ම පිටතට තල්ලු වී යාම නතරවන අතර වැසි දියට සෘජුව ම නිරාවරණය වීම වළකී. ඇතුළු පැත්තෙන් ද වැව් දිය වැව් නාරටියේ ගැටීම නතර වේ. එහෙත් පස් යොදා ඇතුළු පැත්තෙන් කළ ආධාරක බෑවුම වැව්දිය හා ගැටී සේදී යාමෙන් බැම්මේ නාරටිය යළි පෑදෙන්නට පුළුවන. මේ නිසා එම පස්බැම්ම මත යළි, ගල් ආස්තරණයක්  එළනු ලැබේ. එය රළපනාව නම් වේ. (රළපනාව පිළිබඳ විස්තර මේ කෘතියේ ම ‘රළපනාව’ යන හිස යටතේ බලන්න.)

පුරාණයේ රාජ්‍ය මට්ටමේ අධීක්ෂණය යටතේ රටවැසියන් අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අනුව මෙම බැම්ම ඉදිකරන්නට ඇත. පස්කූඩ එකින් එක අතින් අත යවමින් විශාල ශ්‍රමයක් වැයකර කළ මේ නිර්මාණ අදත් දක්නට ලැබෙන්නේ ඔවුන් මේ සඳහා යොදාගත් නිවැරදි තාක්ෂණික ක්‍රමවේද පමණක් නොව නිසි කලට කළ පසුවිපරම් කිරීම් ද නිසා ය. වාර්ෂිකව වැව්බැම්ම ශක්තිමත් කිරීම සඳහා වැව ඇතුළුපැත්තෙන් හා පිටපැත්තෙන් වැව්බැම්මට පස් යොදනු ලැබූ අතර එය පංගු කට්ටි කැපීම ලෙස හඳුන්වනු ලැබේ. වැවේ ජලය පරිහරණය කරන්නන් විසින් මෙය සිදුකළේ  තමන් වැවෙන් ලබා ගන්නා ජල ප්‍රමාණය අනුව ය. [1]

වැව්බැම්මේ ආරක්ෂාවට ඉදිකළ නිර්මාණ කිහිපයක් ද වැව ආශ්‍රිතව පිහිටා ඇත. ඉන් පළමුවැන්න බිසෝකොටුව යි. රළපනාව හා පිටවාන ද වැව්බැම්මේ ආරක්ෂාවට දායක වී ඇත. එහෙත් ඒවායේ කාර්යයන් මෙහි දී විස්තර නො කෙරෙන්නේ මේ සියල්ල පිළිබඳව ඒ ඒ මාතෘකා යටතේ ද විස්තර කෙරෙන බැවිනි.

වැව්බැමි පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ දී ලංකාවේ විශේෂ වැව් බැමි පිළිබඳව ද කතා කළ යුතු ය. විවිධ කාලවල විවිධ උස හා දිගු ප්‍රමාණ සහිතව බැමි ඉදිකර තිබේ. ඒ අතරින් ද විශේෂ වැව් බැමි දක්නට ලැබේ.

මානාමත්ත, මානාවතු, මානාමතු, මානාවත්ත ආදී නම්වලින් ද හැඳින්වෙන යෝධ වැවේ බැම්ම තැනිතලා බිමේ චාපාකාරව කිලෝ මීටර 7ක් දිගට විහිදී තිබේ. ස්වාභාවික කඳුවැටිවල සහය අඩුවෙන් ම ලද වැව එය යි. පරාක්‍රම සමුද්‍රයේ බැම්ම කිලෝ මීටර 13.6ක් දිගු වන අතර  එමගින් ජලය ඝන මීටර මිලියන 4.6ක් රඳවා තබාගෙන ඇත.මින්නේරිය වැවේ බැම්ම අඩි 44ක් උස් ය. කලාවැවේ බැම්ම අඩි40ක් උස් වන අතර නුවර වැවට අඩි 33ක් උස බැම්මක් තිබේ. එහෙත් බැම්මේ උස හා රඳවා තබා නීමට නියමිත ජලස්කන්ධය අතර යම් ගණිතමය සබඳතාවක් තිබේ. එය බිඳී ගිය විට වැව් බැම්ම ද බිඳී යයි. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශාන්ත ෆ්‍රැන්සිස් වේල්ල නූතන තාක්ෂණය යොදා ඉදිකර වසර දෙකකට පසු මිනිස් ජීවිත 430ක් ද බිළිගනිමින් බිඳී ගියේ මේ සබඳතාව නොසලකාහැරි නිසා ය. මෙම ෆ්‍රැන්සිස් වේල්ලේ කතාව ඔබ තුළ පැරණි ලාංකික වාරි ඉංජිනේරුවන් පිළිබඳ ගෞරවයක් ඇති කිරීමට සමත් වනු ඇත. මන්ද යත් ලොකු කුඩා වැව් තිස්දහසක් පමණ වූ ලංකාවේ එවන් ඛේදවාචක සිදු වීමට අපගේ පැරණි වාරි ඉංජිනේරුවන් ඉඩ තබා නොමැති හෙයිනි.

ශාන්ත ෆ්‍රැන්සිස් වේල්ලේ ඉදිකිරීම් ඇරඹුණේ 1924 වර්ෂයේ ය.එය ඉදිකිරීමේ අරමුණ වූයේ ලොස් ඇන්ජලීස් නගරයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම යි.ඉදිකිරීම් භාර ඉංජිනේරුවා වූයේ විලියම් මල්හොලන්ඩ් ය. ඔහු බැම්ම සැලසුම් කළේ වක්‍ර කොන්ක්‍රීටි ක්‍රමයට ගුරුත්ව බැම්මක් ලෙසිනි. මුල දී යෝජිත උස අඩි 185ක් විය.දිග අඩි 700ක් ලෙස ද තීරණය විය. බැම්මේ පාදම අඩි 170ක් පුළුල් විය. බැම්මේ ඉහළ පළල අඩි 16ක් පමණි. එසේ වුව ද ඉදිකිරීම් ආරම්භයේ සිට ම මේ බැම්මේ පැවැත්ම පිළිබඳ ගැටළු මතු වන්නට විය. බැම්ම සඳහා සම්පූර්ණයෙන් ම ඝන කොන්ක්‍රීටි යෙදීම ද වරදක් බව පසු කාලීනව සොයා ගන්නා ලදී. විශේෂ මැටි වර්ගයක් හෝ එවන් නම්‍යශීලී අමුද්‍රව්‍යයක් ද මිශ්‍රව යෙදීමට ඉංජිනේරුවන් නොපෙළඹුණේ ඇයි ද යන්න ගැටළුවකි. කෙසේ වුව ද බැම්ම ඉදි කෙරුණු අතර එසේ ඉදිකෙරෙමින් පැවති කාලයේ ලොස් ඇන්ජලීස් නගරයේ ජනගහණය ද ශීඝ්‍ර ලෙසින් ඉහ ගියේය. මේ ජනගහණය අධික වීම කෙරේ අවධානය යොමු කළ නගර බලධරයන් වැවේ ජලධාරිතාව වැඩි කළ යුතු යැයි තීරණය කළ හ. ඊට අනුව ප්‍රධාන ඉංජිනේරු මල්හොලන්ඩ් විසින් අවස්ථා දෙකක දී බැම්මේ උස අඩි 10 බැගින් ඉහළ දැමීය.එසේ උස වැඩි කළ පසු බැම්මේ උදස අඩි 205ක් විය. එහෙත් ඊට සාපේක්ෂව බැම්මේ පතුළේ පළල වැඩි කිරීමට ඉංජිනේරුවන් පියවර ගත්තේ නැත. උසෙහි සිදු කළ නව සංශෝධන ද අනුව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 38 160කින් ඉහළ ගොස් තිබුණි.

තත්ත්වය එසේ තිබිය දී 1926 වර්ෂයේ දී මෙය ජලයෙන් පුරවන ලදී. එහෙත් වැඩි දිනක් යන්නට පෙර බැම්මේ පහළ කොටසෙන් ජල කාන්දුවක් ඇරඹුණු අතර එය ක්‍රමයෙනැ වැඩි විය. එ අතර ම වැව් දියට යට වුණු අභ්‍යන්තර බෑවුමේ දැවැන්ත නායයෑමක් ද සිදු විය. මේ නායයෑම සිදු වූයේ ආසන්න වශායන් 1928 වසරේ මාර්තු 12 හෝ 13 දිනමධ්‍යම රාත්‍රියේ දී ය. නාය යෑමෙන් ටොන් මිලියන 1.52 ක් වූ දැවැන්ත ගල් පතුරු වැව් බැම්ම දෙසට පෙරලී ගිය අතර ඒ සමග ම ඇති වූ ජල තෙරපුම දරා සිටින්නට තරම් ශක්තියක් බැම්මට තිබූයේ නැත. මහ හඬක් නංවමින් බිඳී ගිය වේල්ලේ දැවැන්ත කොන්ක්‍රීට් කුට්ටි ද රැගෙන අඩි 140ක් පමණ  උස් දියකඳක් පහළ ගම්මාන තුළඩ කඩාපැන්නේ ඒ ගම් වැසියන් තද නින්දේ පසුවන විට ය. මහා ජලකඳ ගම්මානය පසු කර පිටව ගියේ මිනිස් ජීවිත 430ක් ද රැගෙන ය. එයින් 179 දෙනෙකුගේ මළ සිරුරු පවා රැගෙන ගොස් තිබුණේ කිසිදිනෙක යළි සොයාගැනීමට හෝ නොහැකි තරම් දුරකට ය. මේ දැවැන්ත ඛේදවාචකයෙන් සෙසු වැසියෝ පමණක් නොව මුළුමහත් ලෝකය ම කැළඹීමට පත් විය. බලධරයෝ එකිනෙකර වෙනස් පරීක්ෂණ කණ්ඩායන් 13ක් පත් කර මේ පිළිබඳ සොයැ බැලූ අතර අවසානයේ ඉංජිනේරුවාගේ නොසැලකිල්ල මත සිදු වූ ව්‍යසනයක් බව හඳුනාගන්නා ලදී.බැම්මේ උස වැඩි කිරීමේ දී පතුළේ පළල වැඩි නොකිරීම, ඝණ කොන්ක්‍රීට් පමණක් යොදා ගැනීම මේ ඛෙදවාචකයට හේතු වී තිබුණි. සාමාන්‍යෙයන් ජලය රඳවා ගැනීම පිණිස ඉදිකරන මෙවන් බැම්මක පැවැත්ම රඳා පවතින්නේ ජලාශයේ උපරි ධාරිතාවයේ ලම්බාකාර බලපෑම හා තිරස් ද්‍රවස්ථිති බලය අතර ඇති අනුපාතය විසිනි. එහෙත් ඉංජිනේරුවා නිසි ක්‍රමවේද වලට පටහැනිව සිදු කළ වෙනස්කම් නිසා මේ මහා ව්‍යසනය සිදු වූ වග නිගමනය කරන ලදී. විපතට පත් ජනයාට අවසානයේ දී ඩොලර් මිලියන 14ක වන්දි ගෙවීමට ලොස් ඇජලීස් බලධරයන්ට සිදු විය. (DAMS AND DISASTERS: a brief overview of dam building triumphs and tragedies in California’s past J. David Rogers,2002) මේ ව්‍යසනය හා බැඳි තවත් සිදුවීමක් තිබේ. ඒ හොලිවුඩ් පුරය ආසන්නයේ ඉදිකළ මල්හොලන්ඩ් ජලාශයට මහජන විරෝධතාවක් ඇති වීම යි. මල්හොලන්ඩ් ජලාශය ද අවදානම් සහගත යැයි විරෝධතාකරුවන් කියා සිටි අතර ජලාශය ඉවත්කරන්නැයි බලධරයන්ගෙන් ඉලිලා සිටියහ. හොලිවුඩ් නගර පාලකයෝ මේ පිළිබඳ සොයා බැලීමට 1928-31 කාලයේ දී ස්වාධීන මණ්ඩල 3ක් පත් කළ අතර ඔවුන්ගේ වාර්තා අනුව මල්හොලන්ඩ් ජලාශ බැම්මේ පහළ ගංගා නිම්නයේ පස් පුරවා බැම්ම ශක්තිමත් කිරීමට බලධරයෝ ක්‍රියා කළ හ. මේ පස් පිරවීමේ ක්‍රමය ලාංකිකයන් ක්‍රියාත්මක කළේ ක්‍රි.පූ. 3වන ශතකයටත් පෙර සිට ය. එ පමණක් නොව මල්හොලන්ඩ් ජලාශයේ අධාරක පස් පිරවුම මත වන වගාවක් කිරීමට ද යෝජනා විය. මෙය ද ලාංකිකයන් විසින් ක්‍රි.පූ යුගයේ සිට ක්‍රියාත්මක කළ ක්‍රමයකි. (DAMS AND DISASTERS: a brief overview of dam building triumphs and tragedies in California’s past J. David Rogers,2002)

ලාංකිකයන් වැව් බැමි ඉදිකළ අයුරින් ම ඉදි කළ ජලාශ බැමි භූමි කම්පා ආදියට පවා සාර්ථකව මුහුණ දුන් අයුරු පිළිබඳ ජාත්‍යන්තරයේ උදාහරණයන් ද තිබේ.මාසාන්‍යෙයන් ලංකාවේ වැව් බැමි ඉදි කළේ පස් පිරවුම්(Earth fill) ක්‍රමයට ය.ඒ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ය.

 

මේ අයුරින් 19-20 සියවස් වල ඉදි කළ බැමි කිහිපයක් යුරෝපා හා ඇමරිකානු රටවල තිබේ.ටෙම්ස්කල් බැම්ම ඉන් එකකි.ආකර ඉංජිනේරුවෙකු වූ ඇන්තනි චාබොට් විසින් මේ බැම්ම සැලසුම් කර ඉදිකළේ 1866 කාලයේය. එහි දෙපස 3:1 අනුපාතයේ පැති බෑවුම් ද සහිතව ය. පසු කාලයේ මේ බැම්ම අඩි 115ක් දක්වා උස් කළේ 5:1 අනුපාතයේ පැති බැමි ද සහිතව ය. එය එවක ලොව උස් ම බැම්ම බවට ද පත් විය. 1868 ඔක්තෝබර් 21 දා සිදු වූ භූමිකම්පාවෙන් ද මේ බැම්ම බිඳී ගියේ නැත.(නමුත් පසු කාලයේ මේ බැම්ම අඩි 30ක් දක්වා උසින් අඩු කරන ලදී.) සැන් ෆ්‍රැන්සිස්කෝ හි ශාන්ත ඇන්ඩ්‍රියාස් බැම්ම ද එවැන්නකි. කැලිෆෝනියා හි ගංගානිම්න ජල සමාගම විසින් උසින් අඩි 81ක් වන සේ මේ බැම්ම ඉදි කළේ 1868-70 වසරවල ය. 1875 දී එහි උස අඩි 97ක් දක්වා වර්ධනය කළ අතර රිච්ටර් මාපාංක 7.9 සටහන් කරමින් 1906 වර්ෂයේ දී සිදු වූ මහා භූමිකම්පාවට ද මේ බැම්ම බිඳී ගියේ නැත. මේ බැම්ම 1928 දී තවත් අඩි 6කින් උස් කරන ලදී.

මේ සමගම සිහිපත් වන තවත් කරුණක් තිබේ. ඇතැම් විට මේ සිටහන තැබූ විට ලේඛකයා හුදෙක් සිය ජාතිය කෙරේ අනවශ්‍ය තරම් ලැදියාවක් හෝ අයෙකු ලෙස හෝ අන්තගාමී සිතුවිලි ඇති අයෙකු ලෙස ද සිතන්නට පුළුවන.කෙසේ වුව ද සිතන්නට යමක් මේ තුළ ඇති නිසා මේ සටහන් තබමු.

 

 

 

බ්‍රිතාන්‍යයන් මෙරට වාරිශිෂ්ටාචාරය දෙස සැලකියයුතු අවධානයක් යොමු කළේ 1848 වර්ෂයේ නිදහස් අරගලයට පසුව ය. මෙරට වාරි තාක්ෂණ මහිමය පිළිබඳ ඔවුන් සැලකියයුතු තරමේ අවබෝධයක් ලබා ගත්තේ මේ අවධානයේ දීය. ඔවුන් ඒ පිළිබඳ වාර්ථා සැපයූ අතර ඒ වාර්ථා මව් රටට පවා යැවූ බව සිතීමට බාධාවක් නැත. ජලාශ ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමරිකානුවන්ට දීර්ඝ ඉතිහාසයක් නැත ද 19වන සියවසේ අග, එනම් යුරෝපීයන් මෙරට වාරි තාක්ෂණය හැදෑරූ යුගයේ ම ඇමරිකානුවෝ ද ඊට බොහෝ සමාන ජලාශ බැමි ඉදිකිරීමට පෙළඹීම පුදුමසහගතය. කෙසේ වුව ද අප මේ උත්සාහ කරන්නේ ඇමරිකානුවන් මෙරටින් වාරිතාක්ෂණ දැනුම සොරා ගත් බවක් කියන්නට හෝ ඔවුන් ජලාශ තැනූයේ අපගේ ආභාසයෙන් යැයි කීමට නොවේ. නමුත් මේ සබැඳියාව අප තුළ ඇති කළේ තරමක් වෙනස් ආකාරයක හැඟීමකි.

තවත් දෙයක් නම් ලාංකිකයන්ගේ වැව් බැම්මේ හැඩය යි. ඔවුන් වැව ඉදි කළේ භූමියේ වාසිය ද උපයෝගී කරගෙන ය. එසේ නොවන අවස්ථා වල ද ඔවුන් වැව් බැමි ඉදිකර නැතුවා නෝවේ.යෝධ වැව හා ආකට්ටිමුරුප්පු වැව ඊට නිදසුන් සේ දැක්විය හැක.භූම්යේ වාසිය සේ අදහස් කළේ,

කඳුවැටි වල පිහිටීම.

භූ ගත ශිලාතලාවේ පිහිටීම.

මතුපිට ගල් පර්වත පිහිටීම ආදිය යි.

කලා වැවේ බැම්ම දඟරාකාර ස්වභාවයක් ගනී. යෝධ වැවේ බැම්ම චාපාකාරය. කන්තලේ වැව් බැම්ම ඍජු ය. බළලු වැවේ බැම්ම පිටතට නෙරූ ස්වභාවක් ගන්නා අතර මින්නේරි වැව් බැම්ම ඇතුළතට නෙරා ගිය ස්වභාවයක් දක්වයි. රාජාංගන වැව් බැම්ම බැඳ ඇත්තේ මධ්‍ය පර්වතයක් ඉලක්ක කරමිනි. මෙයින් පෙනෙන්නේ ලාංකිකයන් වැව් ඉදි කළේ තාක්ෂණය පමණක් සලකාබලා නොවන බවයි. ඔවුන් ඒ තාක්ෂණික ඥානය ප්‍රදේශ අනුව සකස් කරගත් බවයි.ඒ ඥානය ප්‍රායෝගික වූ බවයි. පොතේ උගතුන් නොවූ බව යි.

 

ලංකාවේ තත්ත්වය මේ සමග ම විමසා බලමු. ෆ්‍රැන්සිස් වේල්ල වසර දෙකක් තුළ බිඳී ගිය ද මෙරට වැව් පද්ධතිය වර්ෂ දෙදහසක් පමණ තිස්සේ තවමත් නොනැසී, නොවැටී සිටින්නේ අපගේ පුරාණ වාර් ඉංජිනේරුවන්ට පින්සිදුවන්නට නොවේ යැයි කෙසේ නම් කියමු ද?

ජලය රැස්කර ගැනීමේ අරමුණ ඇතිව බැමි සකස් කළ එක ම ජාතිය සිංහලයන් නොවන වග ද මෙහි ලා විශේෂයෙන් සඳහන් කළයුතු යි. ක්‍රි.ව. 1350දී පමණ මොංගෝලියානුවන් ඉරානයේ ඉදිකළ  ‘කසුරිට්’ (Kasurit) බැම්ම උසින් මීටර 60ක් වේ. එය ආරුක්කු බැම්මකි. ඊට අමතරව ක්‍රි.ව.1570දී චීනයේ කළ හොංෂු ජලාශයේ බැම්මත් , ක්‍රි.ව. 1586දී ස්පාඤ්ඤයේ ටිබ් හි ඉදිකළ ආරුක්කු බැම්මත් සුවිශේෂ ඉදිකිරීම් වේ. මෙවන් තවත් විශේෂ බැමි දක්නට ලැබුණ ද මෙහිදී තේමාවෙන් පිටතට වැඩිදුර ගමන් නොකරනු පිණිස එම තොරතුරු මෙතකින් නිමා කරමි.

වැවක බැම්මක් සකස් කර එම බැම්ම මගින් රඳවා ගත් ජලය පරිහරණය පිණිස ලබාගැනීමට ද විශේෂ උපක්‍රමයක් යොදාගන්නා ලදී. ඒ සොරොව්ව යි.

[1] පරිහරණය කරන ජල පරිමාණය තීරණය කළ අයුරු දැනගැනීම සඳහා මෙම කෘතියේ ම ‘කරහන’ යන හිස යටතේ බලන්න.