කිත්ති කිත්වත-2 කොටස

මේ වන විට මහා විජයබාහු රජුගේ හමුදා ස්ථානගතව සිටියේ සතුරු චෝළ හමුදාවෝ අත්කරගෙන සිටි රජරට සීමාවේ ඔවුන්ගේ පිටත ආරක්ෂක පෙරමුණට මුහුණළා ය. වියළි කලාපීය ගුරුපැහැයට හුරු කොළපැහැති මිටි පඳුරු සහිත භූමි ඔස්සේ බොහෝ දුරක් සිය ප්‍රධාන ප්‍රහාරක අවි හා අතිරේක අවි රැගෙන සීරුවෙන් පෙරට ඇදී අවුත් ඔවුන් මෙසේ ස්ථානගතව සිටියේ දේශයේ ස්වාධීනත්වය බිඳහෙලා ත්‍රිකුණාමල වරායේ ආදායම් සියල්ල දකුණු ඉන්දියාවට හරවා යැවූ චෝළ හමුදාවන්ගේ අවසන් ඉරණම ලිවීමේ අරමුණ ඇතිව ය. මේ හමුදාවෝ කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණ ස්ථානගතවී සිටියේ එකිනෙකා හා සන්නිවේදනය කිරීමේ හැකියාව බිඳ නොවැටෙන තරම් දුරින් නමුදු ඔවුන් අතර තිබූ දුර පරතරයට අනුව සන්නිවේදනය පහසු ම කාර්යයක් ද නොවී ය.‍ සේනාවට අනියුක්තව සිටි දමිළ සොල්දාදුවන් හා දමිළ බස උගත් සිංහල සොල්දාදුවන් චෝළයින්ගේ තොරතුරු එක්රැස්කිරීමටත්, ඒවා නිසි ලෙස පරිවර්තනය කර සිංහල සේනාංක වෙත සැපයීමටත් මහත් වෙහෙසක් හා අවදානමක් ගෙන ක්‍රියා කළහ. මේ සියලු තොරතුරු ඉතා සීරුවෙන් අධ්‍යයනය කළ සේනාංක ප්‍රධානීහූ සිය ඒකාබද්ධ සේනාංක ප්‍රධානියාගේ අණ මත මේ අවසන් ප්‍රහාරය සඳහා දින කාල වකවානු තීරණය කළහ. ඒ අනුව මේ ආකාරයට සේනාංක ගණනාවක් ම ලංකාවේ බටහිර හා නැගෙනහිර වන තීර ඔස්සේ රජරට බලා ගමන් ගත්තේ චෝළයින් අපේක්ෂා නොකළ අවස්ථාවක ය.

චෝළයෝ ලංකාවේ උතුරු කොටසේ සිය බලය ව්‍යාප්ත කළේ අනුරාපුර අගනගරයේ සිට පස්වැනි මිහිඳු රජු පාලන කටයුතු සිදුකරමින් සිටි කාලයේ ය. එතැන් පටන් රජරට චෝළයෝ රජරට මුඛ්‍ය මධ්‍යස්ථාන, මර්මස්ථාන පාලනය කළ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සිය ත්‍රස්තකටයුතු ව්‍යාප්ත කරමින් භීතිකාව වපුරා තිබුණි. පළමුවන රාජ රාජ රජු හා ඔහුගේ අභාවය සමග බලයට පත් ඔහු පුත්‍ර රාජේන්ද්‍ර විසින් මේ පාලනය ගෙන ගිය අතර ලංකාවේ බොහෝ ස්ථාන ඒ වන විටත් අන්තරාදායක තත්ත්වයට පත්ව තිබුණි. ලාංකිකයින්ගේ බලය රැඳී තිබුණේ රුහුණේ කුඩු බිම් කොටසක පමණි.

මේ නිසා ලංකාවේ බලය යළි ලාංකිකයින් අතට ගැනීමේ අවශ්‍යතාව තදින් ම පැවතුණි. ව්‍යවහාර වර්ෂ 1055 දී පමණ රුහුණේ රජු සේ පත් වූ කිත්ති කුමරා ඉන් අනතරුව ක්‍රමයෙන් සිය බලප්‍රදේශ ව්‍යාප්ත කිරීමෙහි නිරත වී සිටියේ ය. නමුත් ඒ දක්වා ආ ගමනේ දි හරි හැටි කුසට අහරක් හෝ නෙතට නින්දක් නැතිව අපමණ දුක් විඳි කිත්ති කුමරා ඇතුළු ඔහුගේ රජ පවුල සිත්නරුබිම් බුදල්නාවන්ගේ සහය ඇති ව අවසන් වශයෙන් රුහුණේ බලය තහවුරු කරගැනීමට සමත්ව සිටියේ ය. ලෝකේශ්වර, කේශධාතු කාශ්‍යප වැනි ප්‍රාදේශීය පාලකයින්ගේ අභියෝග මැඩ රුහුණ එක්සත් කිරීමත් සමග චෝළයින් රුහුණ දෙසට එතුවක් යොමු කළ අවධානය ද කිහිප ගුණයකින් වැඩි විය. කිත්ති කුමරා පමණක් නොව ඔහුට උපකාර කළ ප්‍රාදේශීය නායකයින් පවා සොයමින් රුහුණේ චෝළ චරපුරුෂ සේවා ක්‍රියාත්මක විය. මේ නිසා හැකි ඉක්මනින් චෝළ පාලනයෙන් රට මුදාගතයුතු ය යන ස්ථිර අධිෂ්ඨානය කිත්ති කුමරා තුළ පැවතිණි.

පළමුවන රාජ රාජ රජුගේ විරුදයක් වූ මුම්මුඩි චෝල(ශෝල) යන්න මුල්කරගනිමින් ලංකාව මුම්මුඩි චෝළ මණ්ඩල නමින් හැඳින්වීමට චෝළයේ කටයුතු කළහ. එහි ප්‍රධාන නගරය ජනනාථපුරම් නමින් හඳුන්වන ලද අතර එය අප කවුරුත් දන්නා පොළොන්නරු නගරය යි. ඇතැම් තැනෙක මෙය ජනනාතමංගලම් නමින් ද හඳුන්වා ඇත්තේ ය. මංගලම් යන්න රජු සම්බන්ධ බොහෝ දේ සමග යෙදෙන උප පදයකි. සිංහල බසින් එය මගුල් නමින් දැක්වේ. එහි අරුත පළමුවැනි යන්නයි. රජු රටේ පළමු පුරවැසියා වශයෙන් සැලකෙන නිසා ඔහු සම්බන්ධ බොහෝ දේට මංගලම්, මගුල් වැනි උප පද යෙදෙයි.

චෝළයෝ ලංකාවේ බලය අත්පත්කරගත් පසුව අනුරාධපුර නගර කොල්ලකා ඉතා වටිනා කලා කෘති ආදියත් පූජනීය වස්තු ආදියත් චෝළ දේශයට රැගෙන ගිය අතර තවත් කොටසක් විනාශ කරන ලදී. පොලොන්නරුවේ ද ශිව කෝවිල් කිහිපයක් ම ඉදිකරන ලද අතර, මාන්තෝට්ටම් හෙවත් මාතොට ද කෝවිලක් ඉදිකරන ලදී. එය රජුගේ නමින් රාජරාජේශ්වර නමින් හඳුන්වනු ලැබී ය.

විජයබාහු රජු හෙවත් කිත්ති කුමරාගේ ඉලක්කය වී තිබුණේ මේ සමස්ත භූමිය යළි අල්ලාගෙන දේශීය බලයක් ස්ථාපනය කිරීමයි. නමුත් චෝළයින්ගේ හින්දු ඇදහිලි කෙරේ ඔහු තුළ කිසිදු වෛරී සිතුවිල්ලක් නොවී ය. කෙසේ හෝ අවසානයේ ඒ තීරණාත්මක දිනය උදාවිය.

 

මෙහි පෙර කොටස් පහතින් පිවිස කියවන්න.

පළමු කොටස-2024 ජනවාරි කලාපය