මගේ කඳුලින් නිමා වූ – මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ – මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු – ඔබට හිරු සඳු වේවා …
වාසනා වන් අහිමි පෙම්වතියේ – නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වූ වේදනාවෙන් – අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා …
මගේ කඳුලින් නිමා වූ – මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ – මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබට – හිරු සඳු වේ වා ..
පාළු කුටියේ මා පරාජිත වී – නිදා නොනිඳා හිදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා – ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා –
මගේ කඳුලින් නිමා වූ – මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ – මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු ඔබ ට – හිරු සඳු වේ වා ..
ප්‍රථම ගායනය-ගායන ශිල්පී එඩ්වඩ් ඡයකොඩි
ගීපද -ප්‍රවීණ ගීත රචක අඡන්තා රණසිංහ
සංගීතය – අසහාය සංගීතවේදී ප්‍රෙමසිරි කේමදාස
ප්‍රේමය බිඳවැටීම, අහිමි වීම හෝ ප්‍රතික්ෂේප වීම යනු ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ ජීවිතයක් උදුරා ගැනීමට හේතුවක් වූ යුගයක මේ ගීතය සිසිල් දිය දහරක් සේ අප සිත් නිවා සනසාලයි. ප්‍රේමය යනු හුදෙක් අත්කරගැනීමේ සටනක් නොවේ. කායික පහස විඳීමේ මාවතක් නොවේ. ඒ වනාහි උත්තරීතර වූ පරිත්‍යාගයකි. ලෝකයේ ඕනෑම අයෙකුට ආදරය කිරීමට අපට හැකියාව තිබේ. එහෙත් ඒ සියල්ලෝ අපට ආදරය කළ යුතු නොවේ. අප විසින් ඒ සියල්ලන් කෙරේ වන ආදරය හැම විට ම ප්‍රකාශ කළයුතු ද නොවේ. ආදරණීය, ප්‍රේමණීය, සංවේදී සිත් තුළ එවැනි ආදරය ඇතිවීම සඳ වට සඳමඬලක් නිමැවෙන්නා සේම සොඳුරු ක්‍රියාවලියකි. සඳ එළිය මේ පොළෝ තලය මත තැවරෙන්නා සේම ළෙංගතු ක්‍රියාවලියකි. උණුසුම් හිරු එළියේ සෞම්‍ය ගුණය පමණක් ග්‍රහණය කරගත් සඳවත එය ප්‍රේමයේ උල්පත් සදනු පිණිස, සිත් නිවා සනසනු පිණිස ලෝකයට පුදන්නේ කිසිදු භේදයකින් තොරව ය. සඳ වට සඳ මඩල සැදෙන්නේ සඳෙහි ආයාසයකින් නොවේ. ප්‍රේමණිය සන්තානයක ප්‍රේමය උපදින්නා සේ ම අනායාසයෙනි.
සිත තුළ ප්‍රේමයේ ළදළු පූදින, සුසුවඳ මුවරද මුහු මද නළ හමන සොඳුරු යෞවනයේ පටන්….මුළු මහත් ජීවිතය පුරා ම එකිනෙකා කෙරේ ආදරයෙන් සිත පුරවා ගන්න. සොමි ගුණ තැවරුණු සඳවත සේ ම බබළන ආදරණීය චරිතයක් වන්න. කාමයෙන් හෝ මරණයේ වේදනාබර කෙදිරිලි වලින් ඒ සොඳුරු සන්තානය අඳුරු කර නොගන්න. ඔහු හෝ ඇය ඔබට අහිමි වුව ද කොතැනක හෝ සතුටින් සිටිනු දකිනා විට ඔබ තුළ ද සතුටක් ඇති වේ නම් ඔබ සැබෑ ප්‍රේමවන්තයෙකි. සැබෑ ප්‍රේමවන්තියකි. ඉදින්…යම් හෙයකින් ඒ සිත ඔබ අසල ම නතර වී නම්….පුර පස ද, අව පස ද, පුන් පෝය ද, අමාවක ද සතුටින්, ප්‍රේමයෙන් පුරවා තබන්න ඔබට හැකි නම් එවිට ද ඔබ සැබෑ ප්‍රේමවන්තයෙකි….
ආදරයෙන් කියමි.