අධ්‍යාපන හඳහන-ඔබේ අනාගතය තීරණය කරන, ‘හැකියා ළැදියා පරීක්ෂණය’

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එහෙමත් නැත්නම් O/L කියන්නෙ අධ්‍යාපනික ජිවිතයේ වැදගත් කඩඉමක්, සන්ධිස්ථානයක්, හැරවුම් ලක්ෂයක්. ඒ නිසා එම විභාගය සමත්වීම කියන්නෙම ජයග්‍රහණයක්.

මේ සටහන සාපෙළ විභාගය ගැනම නොවුණත්, සමත්වීමට සෘජුවම අදාළ වන ඉතා වැදගත් දෙයක් ගැනයි.  මේක වැදගත්වෙන්නෙ පාසල් අධ්‍යාපනය හදාරන අපේ දූලා පුතාලට විතරක්ම නෙමේ. ඒ දූලා පුතාලගෙ දෙමව්පියන්ට වගේම ගුරුභවතුන්ටත්.

පසුබිම

හැම දෙමව්පියෙක්ගෙම බලාපොරොත්තුවක් තමයි තමන්ගෙ දුව හෝ පුතා විභාග සමත්වීම. ශිෂ්‍යත්ව කඩයිම සිහිනයක්ම පමණක් වූ අයට විශේෂයයි. සමත් වූ අයගෙත් දෙවන සිහිනය තමයි මේ.

කතාවට කියනවනෙ…”ශිෂ්‍යත්වෙ කියන්නෙ අම්මලගෙ විභාගෙ, සා.පෙළ කියන්නෙ ගුරුවරුන්ගෙ විභාගෙ”  කියලා. විභාගෙ කාගෙ වුණත් ඒකට මුහුණ දෙන්නෙ පාසල් පද්ධතියෙ ඉන්න දරුවො.  සූදානම් වෙන්නෙ ඒ අය. පාසල් යන්නෙ, ඉගෙනගන්නෙ, සටහන් ලියන්නෙ, පාඩම් කරන්නෙ ඒ අය.

අ.පො.ස (සා.පෙළ) විභාගය

අ.පො.ස (සා.පෙළ) විභාගය කියන්නෙ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාගයක්. මේ විභාගයෙන් ලැබෙන්නෙ පොදු සහතික පත්‍රයක්. මෙම විභාගය සමත් වූ අයට පමණයි අ.පො.ස උසස් පෙළ සඳහා අවසර ලැබෙන්නෙ.

සා.පෙළ විෂයයන්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විෂයයන් 13ක් හදාරණ දරුවා 10, 11 ශ්‍රේණිවල ඉගෙනගන්නෙ විෂයයන් 9යි.

ඒ විෂයයන් 9ට අන්තර්ගත වෙනවා ප්‍රධාන විෂයයන් 6ක් සහ කාණ්ඩ විෂයයන් 03ක්.(කාණ්ඩ විෂයයන් මෙතැනින් බලන්න)

ප්‍රධාන විෂයයන් 6  (අනිවාර්ය විෂයයන්)

  • ආගම (බුද්ධධර්මය/කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය / හින්දු ධර්මය / ශිවෙනෙරි ධර්මය / ඉස්ලාම් ධර්මය )
  • මව් භාෂාව ( සිංහල භාෂාව හෝ දෙමළ  භාෂාව)
  • ඉතිහාසය
  • විද්‍යාව
  • ගණිතය
  • ඉංග්‍රීසි

ඉතිරි විෂයයන් තුන තෝරා ගැනීමක්. ඒ සඳහා කාණ්ඩ 03ක් තියෙනවා. එක් කාණ්ඩයකින් එක් විෂය බැගින් කාණ්ඩ 03න් විෂයයන් 03 තෝරා ගත යුතු වෙනවා.

මේ තෝරා ගැනීම ගැන තමයි අපි කතා කරන්නෙ.

 

මේ කාණ්ඩ විෂය 3 ඇයි මේ තරම් වැදගත්?

සා.පෙළ සමත් වෙන්න නම් ගණිතය හා සිංහල ඇතුළුව විෂයයන් 6ක් සමත් වී සම්මාන 03ක් ලබා ගන්න ඕන.  ඕනෑම දරුවෙක් ගත් විට ඇතැම් දරුවෙක් විද්‍යාවට දක්ෂ වෙන්න පුළුවන්, තවත් කෙනෙක් අකමැතිම අදක්ෂම විෂය ඒක වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි විෂයකට සම්මානයක් ලබා ගැනීමේ සම්භාවිතාවය ඉහළ පහළ යන්නෙ දරුවාගේ ඒ විෂයට ඇති කැමැත්ත සහ දක්ෂතාවය මත. ලේසි වුණත් අමාරු වුණත් ඒ හර විෂයයන් කළ යුතුමයි.

නමුත් කාණ්ඩ විෂයයන් එහෙම නෑ. පළමු කාණ්ඩය යටතේ සමාජවිද්‍යා විෂයන් සහ භාෂා විෂයයනුත්, දෙවන කාණ්ඩය යටතේ සෞන්දර්යය විෂයනුත්, තෙවන කාණ්ඩය යටතේ තාක්ෂණ විෂයනුත් ඇතුළත් වෙනවා.

ඕනෑම දරුවෙකුට භාෂා හැකියාවක්, සෞන්දර්යය හැකියාවක්, තාක්ෂණික හැකියාවක් තියෙනවා. ඉතිං මේ අතරින් දරුවාට වැඩි හැකියාවක් සහ වැඩි කැමැත්තක් ඇති විෂයයන් තුනක් තෝරා දුන්නොත් අනිවාර්යයෙන්ම සම්මානයක් ගැනීම ඉතා පහසු කාර්යයක්. මොකද මොළය මතක තියාගන්නෙ අපි කැමැත්තෙන් කරන දේවල්. අපි කැමැත්තෙන් හා සතුටින් කරන්නෙ අපට පුළුවන් දේවල්. දරුවාට වෙහෙසක් දැනෙන්නෙ නෑ. එයාට පුළුවන් දේ එයා සතුටින් කරනවා. ලකුණු ලැබෙනවා. ඇගයීම් ලැබෙනවා. ඉතිං එයා සම්මාන තුනක් ගන්නවා. ප්‍රධාන විෂයයන් 6ට ලකුණු 40ට වඩා ගන්න හොඳ මග පෙන්වීමක් කරන්න පුළුවන් නම්, (ලිවීමේ, කියවීමේ හැකියාව ඇති සාමාන්‍ය දරුවන්ට) කාණ්ඩ විෂයයන් 03ට ලකුණු 55 සීමාවට ගේන්න පුළුවන් නම් (ඒ සඳහා උපදේශනය සහ අධ්‍යාපන මාර්ගෝපදේශ සහය ලබාදිය හැක.) දරුවාගේ පැත්තෙන් එයා විභාගය සමත් වීමේ ජයග්‍රහණය ලබා ගන්නවා වගේම පාසලක් විදියට සමත් ප්‍රතිශතය ඉහළ නංවාගැනීමටත් හැකි වෙනවා.

එපමණක් නොවේ. A9, A8, A7 වැනි ඉහළ ප්‍රතිඵල ගන්නා සිසු ප්‍රතිශතය ද ඉහළ යනවා නොඅනුමානය.

ඒ නිසයි මේ කාණ්ඩ 3 වැදගත් වන්නෙ.

මේ පිළිබඳ දැනුවත් විය යුත්තේ කවුද?

බොහෝ අය හිතාගෙන ඉන්නවා දරුවන්ට වැඩසටහනක් තියලා මේ ගැන දැනුවත් කරන්න ඕන කියලා. ඒක හරි. ඒත් මේ ගැන දැනගත යුතු තවත් පාර්ශ්වයන් 2ක් ඉන්නවා.

ඒ තමයි දෙමව්පියන් සහ ගුරුවරු.

ඒකට හේතුව ඉදිරියේදි ඔබට හමුවේවි මේ ලිපිය අවසානය තෙක් කියවුවහොත්.

 

මේ පිළිබඳව දැනුවත් කිරීම හා විධිමත් පරීක්ෂණය සිදු කළ යුත්තේ…කාට ද? මොන කාලයේ ද?

9ශ්‍රේණියේ දරුවන්ට.  දෙවන වාරය අවසානයේදී හෝ තුන්වන වාරයේ ආරම්භයේදී මෙය සිදුකළ හැකියි.

මේ විෂයයන් බොහෝ දරුවන් තෝරාගන්නෙ කොහොමද?

මේ තමයි ඉතාම වැදගත් කොටස. දරුවන් මෙය තෝරාගන්න විවිධ නිර්ණායක තියෙනවා.

  • තමන් ආසම විෂය
  • හොඳම යාළුවා තෝරගත්ත විෂය
  • වැඩිම ළමුන් පිරිසක් තෝරාගෙන ඇති විෂය
  • පාසලේ ගුරුවරුන්ගේ උපදෙස් අනුව ලැබෙන විෂය
  • උපකාරක පන්ති ගුරුවරුන්ගේ කැමැත්ත මත යෝජිත විෂය
  • දෙමාපියන්ගේ කැමැත්ත මත යෝජිත විෂය
  • සමීපතම ඥාතීන් හෝ වැඩිහිටියන්ගේ කැමැත්ත මත යෝජිත විෂය
  • සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අවිධිමිත් තොරතුරු අනුව තෝරා ගැනෙන විෂය

 

අවිධිමත් ලෙස විෂය තේරීමේ ප්‍රතිඵල මොනවාද?

ඉහතින් සඳහන් කළ තෝරාගැනීම් සම්බන්ධයෙන් අප බුද්ධිමත්ව සිතා බැලුවහොත් ඒ ඒ පුද්ගලයින් මෙම තෝරාගැනීම් හෝ තීරණ ගැනීම් සිදු කරනු ලබන්නේ තම තම නැණ පමණින් ය.

කාගේ හෝ වුවමනාවකට තෝරාගත් විෂයයක් හැදෑරීම නිසා කලක් ගතවීමේදී දරුවා අත්දැකීමෙන්ම එම විෂය තමන්ට නොගැළපෙන බවත්, එය දුෂ්කර බවත් තේරුම් ගනී, ඒ වන විට අධ්‍යයන කාලයෙන් කොටසක් ගෙවී ගොස් අවසන්. විෂය වෙනස් කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැගෙනවා. පමා වී හෝ විෂය මාරු කිරීම තුළ සමත් වන්නට හැකි වුවත් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව යන්නට පුළුවන්.

නොගැළපෙන විෂයම දිගින් දිගටම කරගෙන යාම තුළ දරුවා විභාගය අසමත් වන්නට ඉඩකඩ තියෙනවා. මට මතක් වෙනවා එක් සිදුවීමක්. නම්ගම් රහිතව එය කියන්නම්.

3වන කාණ්ඩ විෂය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) තෝරාගත් දරුවෙක්. ගණිතය විෂයට 9 ශ්‍රේණියේදී ලබා ඇති ලකුණු මට්ටමත් ඉතා අඩුයි. මේ විෂය තෝරා ගැනීමේ පරීක්ෂණය අනුවත් එය එම දරුවාට ගැළපෙන්නෙ නෑ. එහෙත් දෙමව්පියන් ඒවා පිළිගත්තෙ නෑ. තර්ක කරලා විරෝධතා මැද දරුවාව එම විෂයම කරන්න පෙළඹවීම් කළා. එහි අවසන් ප්‍රතිඵලය ඔහුට සම්මාන අහිම වීම පමණක් නොවේ, විෂය අසමත්වීම ද සිදු වුණා. මෙවන් උදාහරණ පාසල් පද්ධතිය තුළ සොයා බැලුවහොත් ඕනෑතරම් සොයාගත හැකි වේවි.

 

විධිමත් තෝරා ගැනීම යනු කුමක් ද?

9ශ්‍රේණිය තෙක් දරුවා තමන් සම්බන්ධයෙන් අනාගත ඉලක්ක තෝරාගැනිමේ හැකියාවකින් යුක්ත වන්නේ නෑ.

නමුත් 9ශ්‍රේණියේ ඉගෙනගනු ලබන දරුවාට මේ වනවිට අනාගත වෘත්තියට අදාළව තීරණ ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙනවා.

ඒ නිසා විධිමත් පරීක්ෂණයකට අනුකූලව මෙම මාර්ගෝපදේශ ලබාදීම සිදුකරනවා.

මේ සඳහා විෂයයන් තෝරා ගැනීමේ පරීක්ෂණයක් තිබෙනවා. අපි එය හඳුන්වනවා ‘’වෘත්තිය ලැදියා පරීක්ෂණය’’ නමින්. එහි අයිතිය නිපුණතා අමාත්‍යංශය සතුයි. මාර්ගගතව සිදුකිරීමට හැකියාව ඇතත් මාර්ගෝපදේශ සහයක් නොමැතිව කිසිවකුට මෙය තනිවම සිදුකළ නොහැකියි.  (මෙතැනින් පිවිස බලන්න) 

ජාතික අධ්‍යාපන ආයතනයේ ද (NIE) මෙම පරීක්ෂණය මාර්ගගතව සිදුකිරීමේ පහසුකම දැන් ඔබට තිබෙනවා.

එය සිදු කරන්නේ කෙසේද?

ලැදියා පරීක්ෂණ පත්‍රිකාව සිසුන් වෙත ලබා දීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් අනුව නිශ්චිත කාල සීමාවකදි පරීක්ෂණය නිම කරන්න ඕන. එහි ප්‍රතිඵල විශ්ලේෂණය කර තනි තනි වශයෙන් සිසුන් සමග සාකච්ඡා කර විෂය තෝරා දීම සහ තෝරාගත් විෂයයන් සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමේ සහය ද ලබා දේ.

 

විධිමත් තෝරාගැනීම සඳහා සුදුසුකම් ලත් අය කවුරුන්ද? ස්ථාන මොනවාද?

පාසලක් තුළ මේ සඳහා පුහුණුව ලත් උපදේශන හා වෘත්තිය මාර්ගෝපදේශ ගුරුභවතෙක් සිටී නම් ඔහු හෝ ඇය මේ සඳහා සුදුසුකම් ලබනවා.

යම් පාසලක එවන් ගුරුභවතෙකු නොමැති අවස්ථාවලදී එම කලාපයේ වෙනත් පාසල්වල උපදේශන හා වෘත්තිය මාර්ගෝපදේශ ගුරුභවතුන්ගේ සහය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා.

ඒ සඳහා පුහුණුව ලත් නිපුණතා සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටිනවා. ඔවුන් සමග සම්බන්ධ වී මෙම කටයුත්ත ඉතා මැනවින් කරගැනීමේ හැකියාව පවතිනවා. එම නිළධාරීන් වෙත යොමු කිරීම වුවද සිදුකළහැකි වනවා.

 

විධිමත් ලෙස විෂය තේරීමේ ප්‍රතිඵල මොනවාද?

 

  • වඩාත් සතුටින් අධ්‍යයන කටයුතු කරගෙන යාම.
  • විෂය සම්බන්ධයෙන් මානසික පීඩන ඇති නොවීම.
  • ලකුණු මට්ටම ඉහළ යාම.
  • අසමත් වීමේ අවදානම් මට්ටමක යම් දරුවෙක් සිටියේ නම් එම අවදානම අඩු වී විභාගය සමත්වීම.
  • ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීම.
  • උසස්පෙළ ඇතැම් විෂයයන් සඳහා දිගුවක ආරම්භය ඇති වීම.

උදා- දේශපාලන විද්‍යාව හැදෑරීමට පුරවැසි අධ්‍යයන විෂයේ වැදගත්කම

භූගෝලවිද්‍යාව, නාට්‍ය හා රංග කලාව, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ගෘහ ආර්ථික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිවිද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය, භාෂා විෂයයන්, සෞන්දර්යය විෂයයන් උසස් පෙළ විෂයයන් සඳහා තෝරාගැනීමේදී ප්‍රතිලාභ වැඩිවීම.

(උසස් පෙළ විෂය තෝරා ගැනීමේදී මෙම කාණ්ඩ විෂය සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කරන්නෙමු)

  • අ.පො.ස සා.පෙළ විභාගය සමත්වීම.
  • NVQ 3 මට්ටමට ළගා වීම.
  • උසස් පෙළ සඳහා මූලික සුදුසුකම මේ හරහා සම්පූර්ණ වීම.
  • පාසලේ, කොට්ඨාසයේ, කලාපයේ, පළාතේ ප්‍රතිඵලයට සැලකියයුතු බලපෑමක් ධනාත්මකව ඇති කළ හැකිවීම.

 

පසු සටහන-

හොඳම දේ දරුවන්ට නම්…..

මෙවන් තීරණ ගැනීමේදී දරුවගේ කැමැත්තට මූලිකත්වය ලබා දිය යුතුයි. ඒ කැමැත්ත සහ ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂා කරමින් සුදුසුකම් ලත් උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශ සහය මෙම කාර්යයේදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු වනවා. අධ්‍යාපනයේ වඩාත් වැදගත්ම දේ දරුවාගේ මානසික සුවය වගේම නිරවුල් මනසක් තිබීමයි.

එබැවින් පෞද්ගලික අරමුණු පටු අරමුණු පසෙකලා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ දරුවන් වෙනුවෙන් නිවැරදි වෙලාවට නිවැරදි තීරණ ගනිමු. ඒ තුළින් ඔවුන්ගේ අනාගතය ආලෝකවත් වනු ඇත.

 

ලක්මිණි ගොඩගේ

උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශිකා

(කළුතර ඥානෝදය මහා විද්‍යාලය)

වෘත්තීය මාර්ගෝපදේශ උපදේශිකා (ලංකා වෘත්තීය මාර්ගෝපදේශ සංගමය)