රුක්ෂිලා වෙත්තමුණි
මුලතිව් දිස්ත්රික්කයේ මුහුදුබඩපත්තුවේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ චෙම්මලෙයි නැගෙනහිර ග්රාම නිලධාරී වසමේ චෙම්මලෙයි ග්රාමයේ පිහිටි ගුරුකන්ද විහාරයට පිවිසීමට ඒ 9 මාර්ගයේ මාන්කුලම් හන්දියෙන් දකුණට හැරී ඔඩ්ඩුසුඩාන් නගරය පසුකළ යුතුය. මුලතිව් මාර්ගයේ සිලාවත්ත හන්දියෙන් මුලතිව් කෝකිලායි මාර්ගයට අවතීර්ණව කිලෝමීටර් 16 ක් ගමන් කිරීමෙන් නයාරු පාලම පසුකර මීටර් 500 ක පමණ දුරකින් පිහිටි නටබුන් සහිත භූමිය හමුවේ.
ගුරුකන්ද විහාරය මනස්කාන්ත මුහුදු තීරයකට මායිම් වූ උස් බිමක පිහිටා ඇති අතර මුලතිව්, වැලිඔය ප්‍රධාන මාර්ගය ඉදිකිරීමෙන් නටබුන් සහිත භූමිය දෙකඩ වී ඇත. නයාරු කලපුවට ආසන්නව පිහිටි මෙහි මාර්ගයේ හා එහි දෙපසට නටබුන් විසිර ඇත. හේමමාලා හා දන්ත කුමරු විසින් දළදා වහන්සේ මෙරටට වැඩම කරගෙන පැමිණ ප්රථම වරට තැන්පත් කොට තැබූ ස්ථානය ලෙස ද මෙම පුදබිම හැඳින්වේ.
මාර්ගයේ දකුණු දෙසින් වර්තමානයේ විහාරස්ථානයක් දක්නට ඇති අතර එහි ආවාසය පැරණි ස්තූප ගොඩැල්ලක් හෝ ගඩොල් ඉදිකිරීමක් මත ගොඩනංවා ඇත. භූමිය පුරාම ගඩොල් අවශේෂ හා වළං කැබලිති විසිර ඇති අයුරු දැකිය හැකිය. එම වළං රක්ත වර්ණ, වර්ණාලේපිත හා සාමාන්ය වළං කැබලි ලෙසින් හඳුනාගත හැකි බව පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත්කළ පෞරාණික ස්ථාන හා ස්මාරක මුලතිව් දිස්ත්රික්කය (එම්.වී.ජී.කල්ප අසංග හා අයි.පී.එස්. නිශාන්ත) ග්රන්ථයේ වැඩිදුරටත් විස්තර කොට ඇත. එහි දැක්වෙන පරිදි මාර්ගයේ වම්පස ගඩොල් ඉදිකිරීම් සහිත ගොඩැලි දෙකකි. ශේෂව ඇති සාධක අනුව ඒවා දාගැබ් ගොඩැලි යන්න අදහසයි.
ගුරුකන්ද විහාරය (චෙම්මලෛයි පුරාවිද්යාත්මක නටබුන්) පිහිටි භූමියෙ ඇති ස්මාරක බහුල ලෙස සිදු වූ මානව ක්රියාකාරකම් හේතුවෙන් හානියට පත්ව ඇත. 2015 දි වැලිඔය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ දී මතු වූ පුරාවිද්යාත්මක වටිනාකමින් යුත් සාධක රැසක් මාර්ගයේ වම්පස කුටියක තබා ඇත. අනුරාධපුර අවදිය හා මෙම සාධක සම්බන්ධ බව සඳහන්ය.
මෙම නටබුන් සහිත භූමියේ සිට මීටර් 100 ක් පමණ දුරින් සම්පූර්ණ ලෙසින් ඩෝසර් කර විනාශ කරන ලද දාගැබ් ගොඩැල්ලකි. එහි ගඩොල් විසිර ඇති භූමි ප්රමාණය අනුව ආසන්න වශයෙන් අනුමාන කළ හැක්කේ දාගැබ මීටර් 10 ක විශ්කම්භයකින් යුත්ක විය හැකි බවය. දාගැබ නිර්මාණය සඳහා විවිධ ප්රමාණයේ ගඩොළු භාවිතා කොට ඇති බව ඉතිරිව ඇති ගඩොල් මගින් සනාථ වන අතර එය තරමක් විශාල ප්රමාණයේ දාගැබක් විය යුතුය. එසේම අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන උළු කැබලි හා රක්ත වර්ණ බඳුන් කොටස් බහුල වශයෙන් මෙම ස්ථානයේ දී සොයා ගෙන ඇත. විහාරය හා දාගැබ් ගොඩැල්ල අතර පිහිටි භූමි භාගය තුළ ගල් කණු හා කණු පාදම් කොටස් තැනින් තැන විසිර ඇතිබව හඳුනාගත හැකිය.
යුද්ධය අවසාන වීමත් සමඟ වරින් වර මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ වැඩ වාසය පිණිස භික්ෂුන් වහන්සේලා තිස්හතර නමක් වැඩිය ද වැඩි කලක් එම භික්ෂුන් වහන්සේලා එහි රැඳී නොසිට ඇත. අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ පසුව නොයෙකුත් බාධක මැද එහි වැඩ සිටිමින් පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති මෙම පුදබිම ආරක්ෂා කිරීමට මහත් පරිශ්රමයක් දැරීය.
මෙම විහාරස්ථානය සම්බන්ධ තොරතුරු විමසීමේ දී ක්රි.පූ. 4 වැනි සියවස දක්වා මෙහි ඉතිහාසය දිව යන අතර ඒ බැව් මහාවංශයේ සඳහන්ව ඇති බවත් කියැවේ. 1832 දි මුද්රිත සිලෝන් සර්වේයර් සිතියම අනුව එහි Red Hill නමින් මෙම ස්ථානය පිළිබඳව සඳහන්ව ඇත. මෙහි රතු පස් ඇති බැවින් එසේ හඳුන්වන්නට ඇතැයි යන්න අදහසයි. එමෙන්ම 1899 දී ලංකා සිතියමේ මෙම භූමිය විහාරයක් ලෙස නම්කොට ඇති බව ද සඳහන්ය.
අපවත් වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ දී කරන ලද ප්රකාශයක් අනුව අදහස් වන්නේ මෙම ස්ථානය සම්බන්ධව සාමාන්ය ජනයා අතර කිසිදු ජාති භේදයක් නැති බවයි. ඒ බැව් ස්වාමීන් වහන්සේගේ පහත ප්රකාශයෙන් දැක්වේ.
“මම මේ පන්සලට වැඩම කරපු අලූත නයාරු ගමේ දෙමළ මිනිස්සුත් දන් ගේනවා. මේ ගොඩනැඟිලි හදන්න සිංහල මිනිස්සු සමඟ හරි, හරියට දෙමළ මිනිස්සුත් වැඩ කළා. මේ අවට ගම්වල දෙමළ මිනිස්සු මේ පන්සල තියෙනවට කැමතියි. ඒ මිනිස්සු පන්සලට ඇවිත් බුදුන් වැඳලා, දේවාලය වන්දනා කරගෙන යනවා. මම මේ පන්සලේ දේවාලය ආරම්භ කළෙත් දෙමළ ජනතාවට ආගමික වත්පිළිවෙත්වල යෙදෙන්න පරිසරයක් නිර්මාණය කරදීම අරමුණු කරගෙනයි. ඒත් දෙමළ දේශපාලනඥයන් මේ ආගමික සංහිඳියාවට කැමති නෑ. ඔවුන්ට ඕනෑ මේ භූමිය කොල්ලකා ගන්න….”
2013 ඔක්තෝබර් 18 වැනි දින අක්කර අනූතුනක වපසරියකින් යුත් මේ පුදබිම පුරාවිද්යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බවට ගැසට් පත්රයේ සඳහන් කර ඇත.
කුරුන්දම්මලේ ( කුරුන්දවාශෝක විහාරය)
තන්නිමුරුප්පු රක්ෂිතය තුළ පිහිටි කුරුන්දම්මලේ පෞරාණික නටබුන් පිහිටි භූමියට අවතීර්ණ වීම පිණිස මුහුදුබඩපත්තුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොමළමුනේ මධ්යම ග්රාම නිලධාරී වසමට ගමන් කළ යුතු අතර ඒ සඳහා මුලතිව් නගරයේ සිට බී 297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කි.මී. 12 ක් ගොස් දකුණු දෙසට (කොමළමුනේ දෙසට) වැටී ඇති මාර්ගයේ නැවත කි.මී. 13 ක් යායුතුය. 2013 දී මෙම පුදබිම පුරාවිද්යා රක්ෂිතයක් ලෙස ගැසට් කර ප්රකාශයට පත්කොට ඇත.
කුරුදුමලේ (කුරුන්දන්කුලම් වැව) හා තන්නිමුරුප්පුකුලම් වැව් වලට මැදිව උස් භූමියක් වූ තන්නිමුරුප්පු රක්ෂිතයේ කුරුන්දම්මලේ නටබුන් විසිර ඇති අයුරු දක්නට ඇත. එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරනුයේ උන්වහන්සේ මෙම ප්රදේශයේ ගවේෂණය කළ කිසිදු තැනක මෙහි තරම් නටබුන් ඇති ස්ථානයක් හමු නොවුණු බවය. මෙය සම්පූර්ණයෙන් වනයෙන් වැසී ඇති ප්රදේශයකි. නෙල්ලාරු හරස් කොට තන්නිමුරුප්පු වැව ඉදිකර ඇති අතර කුරුන්දම්මලේට දකුණු දිශානුගතව පිහිටා ඇත. එසේම කුරුන්දන්කුලම් වැව පිහිටියේ කන්දට උතුරිනි. මේ වැව් ආශ්රිත නටබුන් අනුව ඒවා පුරාතන නිර්මාණ බව පැහැදිලිය. වැව් දෙක එකට සම්බන්ධ කොට ඇළක් පැවතුණු බව විශ්වාසයි. මෙම කන්දට පියන්කල්ලු යනුවෙන් ද ව්යවහාර කර ඇති අතර එය පියන්ගල යන්නේ දෙමළ ඌරුවකි යන්න මේධානන්ද හිමිගේ අදහසයි.
වර්තමානයේ දී කුරුදුමලය හා කොමළමුනේ නමින් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව බොහෝ ඓතිහාසික සාධක අන්තර්ගතය. කුරුන්දවාශෝක විහාරයේ පිහිටි ශිලා ලේඛනයක් සම්බන්ධව 1905 පාලන වාර්තාවේ සඳහන් වූව ද වර්තමානයේ දී එය දක්නට නැත. කුරුන්දන්කුලම නම් වූ එම සෙල්ලිපිය තුන්වන මිහිඳු රජුට අයත් යැයි හඳුනා ගැනේ. ජලය පිළිබඳ ආරාවුලක් විසඳීමට රජු එහි ගිය බවත් ඒ ප්රදේශය ‘කුරන්ගම’ ලෙසින් ලිපියේ සඳහන් වන බවත් වාර්තාවක දක්වා ඇත. සී.ඩබ්. නිකලස් දක්වන්නේ මේ ජල ප්රශ්නයට හේතු වූයේ තන්නිමුරිප්පු වැවේ ජලය බවයි.
1905 පාලන වාර්තාවට අනුව දාගැබක්, විහාරයක්, වටදා ගෙයක් හා ගල් කණු මෙහි නටබුන් අතර පැවත ඇත. කන්දේ සෑම තැනම විවිධ අයුරින් නටබුන් රැසක් දක්නට ඇති අතර මෙහි දර්ශනය වන ගඩොල් ගොඩැල්ලෙ විශ්කම්භය අඩි 140 කි. උසින් අඩි 21 කි. ස්තූපයක් ලෙසින් හඳුනාගත හැකි එහි මධ්ය හාරා විනාශ කර තිබේ. ඒ හේතුවෙන් එහි ගඩොළු අවට පුරාම විසිර ඇත. එහි ගඩොළු ඉතා පැරණිය. මේධානන්ද හිමි සඳහන් කරන්නේ මෙම ස්ථානයේ තිබූ දර්ශනීයම ස්තූපය මෙය විය හැකිය යන්නය.
එසේම මෙම සංඝාරාම සංකීර්ණයෙ ශිලා ස්තම්භ, කබොක් ගලින් නිර්මාණය කරන ලද ස්තූප ගොඩැල්ලක් හා වෙනත් ගොඩනැගිලි අවශේෂ ද මුල් අනුරාධපුර අවදියට අයත් කැටයම් සහිත සඳකඩ පහණ, කොරවක් ගල් හා ගල් කණුවලින් සමන්විත නටබුන් වූ ගොඩනැගිල්ලක් ද දැකගත හැකිය.
ස්ථානයට ජලය ලබා ගැනීම පිණිස භාවිතා කරන්නට ඇතැයි සැලකිය හැකි ළිං හෝ පොකුණු දෙකක ශේෂයන් දක්නට ලැබුණු බවත් ඒවා පසින් වැසී තිබුණු බවත් මේධානන්ද හිමි සඳහන් කර ඇත. මෙහි කන්දෙ තැනින් තැන බැම්මක හා පියගැට පෙළක ශේෂයන් දක්නට ලැබීම හේතුවෙන් අනාදිමත් කාලයක පටන් රාජ්ය අනුග්රහය යටතේ මෙම පූජනීය ස්ථානය සංවර්ධනය කර ඇති ඉතා දියුණුව පැවති ආරාමයක් වූ බව පැහැදිලිය.
මහාවංශයෙ සඳහන් පරිදි මෙම විහාරය ඛල්ලාටනාග රජු (ක්රි.පු.110-103) විසින් ඉදිකරවන ලද්දකි. එය කුරුන්දපාසක හා කුරුන්දවාශෝක යන නම් වලින් හඳුන්වා ඇත. එසේම කුරුන්දවුල්ලක නම් පිරිවෙනක් ද මෙහි වූ බවට වාර්තා වේ. විටින් විට රාජ්ය අනුග්රහය ලද මෙම පූජා භූමියෙ පළමුවන අග්බෝ රජු (ක්රි.ව. 571-604) විසින් කුරුන්ද නම් විහාරක් කරවූ බව ද හතරවන අග්ගබෝධි රජුගේ (ක්රි.ව. 667-693) අමාත්යවරයෙකු විසින් කුරුන්දිය පිල්ලක විහාරයෙහි පාසාදයක් කරවූ බව ද පළමුවන විජයබාහූ රජුගේ (ක්රි.ව. 1055-1110) රාජ්ය අනුග්රහය යටතේ කුරුදු විහාරය ප්රතිසංස්කරණය කළ බව ද පළමුවන අග්රබෝධි රජු කුරුන්ද විහාරය කරවා කුරුන්ද වාපී නමින් වැවක් හා පොල් උයනක් කරවූ බව ද මහාවංශයේ සඳහන්ය.
අට්ඨ කථාවල වතාවන් කිහිපයකදීම කුරුන්දක නමින් ගමක් පිළිබඳව දැක්වෙන අතර කඩඉම් පොත්වල කුරුදුගමුරට ලෙසින් පෙදෙසක් තිබූ බව දැක්වේ. ජූජාවලිය හා නිකාය සංග්රහය අනුව කියැවෙන්නේ පදී රට, කුරුදු රටට සමීපව පිහිටි බවය. පදී රට යනු පදවිය නමින් වර්තමානයේ හැඳින්වෙන ප්රදේශයයි. ඒ අනුව කුරුදුගමුරට, කුරුදුරට, කුරුන්දක ආදී වශයෙන් හැඳින්වෙන්නේ එකම පෙදෙසක් විය යුතුය බව විද්වතුන්ගේ අදහසයි.
මූලාශ්රයන්හි දැක්වෙන පරිදි දෙවන පරාක්රමබාහු රජු (ක්රි.ව. 1236-1270) විසින් විනාශ කරන ලද කාලිංග මාඝගේ බල කඳවුරක් කුරුන්දියෙහි තිබී ඇත. එමෙන්ම ඊට ආසන්න කාලයේ ලංකාව ආක්රමණය කළ චන්ද්රභානුගේ කඳවුරක් මෙහි පිහිටුවා ගත් බව ද දැක්වේ. අයිවර්ස් සඳහන් කරන්නේ කුරුදුරට වර්තමාන කැදෑකෝරළය හා කඩවත් කෝරළය බවය. ඇතැමුන්ගේ මතය වන්නේ වව්නියාව දිසාවට අයත් කරිකට්ටුමලෙයි දකුණු කොටස විය හැකිය යන්නය.
පී.වීරසිංහගේ, නාගයන්ගේ පා සටහන් යන ග්රන්ථයේ (1985) මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ දැක්වෙන පරිදි “ මිහිඳු හිමියෝ දීප වාසීන්ගේ යහපත සඳහා අට්ඨකථා, හෙළ බසින් ලියා තැබූහ. මූල හෙවත් මහ අට්ඨකතාව, මහා පච්චරිය හා කුරුන්දිය සිංහල අට්ඨ කථාවෝය. මින් කුරුන්දි අට්ඨ කතාව හිමිව තිබූ බෞද්ධ මධ්යස්ථානය මුලතිව් දිස්ත්රික්කයේ පිහිටි බෞද්ධ නටබුන් බහුල කරුන්දන්මලය නැමැති ස්ථානය ලෙස අදහස් කරනු ලැබේ. ” යන්න සඳහන්ය.
එසේම J.P. Lewis ගේ Manual of the Vanni Districts හි “ අට්ඨකතා හා වංසකතාවලට අනුව කුරුන්දක, කුරුන්ද විහාරය හා කුරුන්වාශෝක විහාරය ලෙසින් මෙම ස්ථානය හඳුන්වා ඇත. ථේරවාදි බුදුදහමේ පැවැත්මට ප්රබල දායකත්වයක් දැක් වූ අට්ඨකතා ග්රන්ථ ලිවීමේ කාර්යය සඳහා කුරුන්දාශෝක විහාරය වැදගත් වී ඇති බව ප්රකටය. බුද්ධඝෝෂ හිමියන් එහි වැඩ වාසය කරමින් කුරුන්දි අට්ඨකතාව රචනා කරන ලදැයි කියැවේ. තව ද බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයෙහි දී මෙම ස්ථානයට වැඩම කළ බව ද වාර්තා කරයි.”
එල්ලාවල මේධානන්ද හිමිගේ නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය යන ග්රන්ථයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ කුරුන්දවාශෝක, කුරුන්දවාපි අශෝක අක්රමවත් කෙටිවීමක් බවය. එසේම කුරුදුවැව අසල වූ අශෝක විහාරය එනමින් හැඳින්වූවා විය හැකිය යන්නය. ඒ අනුව අට්ඨකතා රචිත යුගයේ මිහිඳු හිමිගේ කාලයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවති බවත් හා මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය ගණන් වැඩ සිටි බවත් සඳහන්ය. මනෝරථපූරණියේ එක් තෙර නමක් කුරුන්දකවාසී යනුවෙන් විශේෂණ කර දක්වා ඇති අතර අටුවාවේ සඳහන් වන්නේ උන් වහන්සේ ඵුස්සමිත්ත තෙර නමිනි.
මුලතිව් දිස්ත්රික්කයේ සැඟව ඇති මෙවැනි පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති පුදබිම් ආරක්ෂා කර ගැනීමට ක්රියා කිරීම අප සැමගේම යුතුකමකි. එසේ නොකොළහොත් අනාගත පරපුර වෙත දායාද කර දීමට අපට උරුමයක් ඉතිරි නොවුණු ඇත.
සටහන-රුක්ෂිලා වෙත්තමුණි (දිනමිණ කටාරම අතිරේකයට සැපයූ ලිපියකි-2020 දෙසැම්බර් 03)