ප්‍රේමය වෙනුවෙන් දිවි පිදූ යොවුන් ගණිතඥයා

එදා මෙදාතුර ඉතිහාසයේ පහළ වූ දක්ෂ ප්‍රංශ ගණිතඥයෙකු වන එවරිස්ටේ ගැලොයි  (Évariste Galois) ගේ කතාව අපූර්ව හා ඛේදනීය එකකි. එවරිස්ටේ ගැලොයි 1811 දී ප්‍රංශයේ දී උපත ලැබූ අතර, හෙතෙම තරුණ වියේදී ම සුවිශේෂී ගණිත කුසලතා පෙන්නුම් කළේය. ඔහුගේ මුල් ගුරුවරිය වූයේ ඔහුගේ ම මව යි. ඇය ලතින් බස හා ආගම ඔහුට ඉගැන්වූ අතර පවුලේ පැවති දේශපාලන වාතාවරණය අනුව දේශපාලන කටයුතු පිළිබඳ උනන්දුවක් ද මේ වන විට ගැලෝයි තුළ වැඩෙමින් පැවතුණි. නමුත් මේ වන විට ප්‍රංශයේ දේශපාලන තත්ත්වය යහපත් නොවී ය. 1815 වැන්නේ දී, එනම් නැපෝලියන් බොනපාට් පරාජිතව පිටුවහල් වීමට ආසන්න කාලයේ ගැලෝයිගේ පියා Bourg-la-Reineහි නගරාධිපති ධුරයට පත් විය. ගැලොයි ඒ වන විට පසුවූයේ සිව්වැනි වියේ ය. සිය මව වෙතින් මූලික අධ්‍යාපන කටයුතු සිදුකරන අතර ගැලොයි ගණිතය විෂයය කෙරේ වැඩි ඇල්මක් දක්වන බව ඔහුගේ මව හඳුනා ගත්තා ය. මේ නිසා ඇය ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් කටයුතු කළා ය. නමුත්මේ වන විට ගැලොයි ගේ පියා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූයෙන්, ගැලොයි ද ඔහු අනුව යමින් රැඩිකල් දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. නමුත් ඔහු ඒ වන විටත් මේ මිහිමත ගෙවාදමා තිබුණේ දශක දෙකකට අඩු කාලයක් පමණි. ඒ අතර කාලයේ විවිධ හේතු මත ගැලොයි අවස්ථා කිහිපයක් ම අතඅඩංගුවට පත්ව සිරගතවී පවා සිටියේ ය. එපමණක් නොව ඔහු යුධහමුදා කාලතුවක්කු බලකායට ද බැඳී සිටියේ ය. මේ සියල්ල අතර ගැලොයි ගණිතය විෂයයට සම්බන්ධ නව පර්යේෂණ රැසක් සිදුකරමින් සිටියේ ය. විවිධ සංකල්ප අත්හදාබලමින් සහ නව සංකල්ප ගොඩ නගමින් කටයුතු කළ නමුත් ඔහු ඒවා කිසිදු මාධ්‍යයක් ඔස්සේ ප්‍රකට කළේ නැත. ඒ අතර වයස අවුරුදු 20 දී, ගැලොයි ජීවිතයේ තවත් කඩඉමකට පිවිසියේ ය. ගණිතය, දේශපාලනය අතර දෝලනය වෙමින් පැවති ඔහුගේ ජීවිතයට පෙම්වතියක් ද එක්විය. ඇය නමින් ස්ටෙෆනී මොටෙල් නම් වූ අතර ගැලොයිගේ වෛද්‍යවරයාගේ දියණිය යි. නමුත් මේ ආදරය ගැලොයිගේ ජීවිතයට හානිකර එකක් වනු ඇත යන්න ඔහු පවා විශ්වාස නොකරන්නට ඇත.මේ ආදරය සමග ඔහු ආරවුලකට පැටලුණේ ය. නමුත් ඊට හේතු හෝ පසුබිම් කතා පැහැදිලි නොවේ. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ Perscheux d’Herbinville නමැත්තා ය. මේ ආරවුල උච්ඡාවස්ථාවට පත්වූයේ 1832 මැයි මාසයේ ය. ගැලොයි සිය ප්‍රතිවාදියාට ද්වන්ද සටනක් සඳහා අභියෝග කළේ ය. සටන සඳහා මැයි 31 වැනිදා යොදා ගන්නා ලදී. නමුත්

පවතින වාතාවරණය තුළ තමන්ට මේ සටනින් ජයගත නොහැකි වග ගැලොයි හොඳින් ම දැන සිටියේ ය. මේ නිසා ද්වන්ධ සටනට පෙර දින ගැලොයි මුළු රාත්‍රියම ගත කළේ ඔහුගේ ගණිතමය අදහස් සහ සොයාගැනීම් සම්බන්ධයෙන් මිතුරෙකුට ලිපියක් මෙන්ම අත්පිටපත් මාලාවක ලියමිනි. ඔහුට අවශ්‍ය වූයේ සිය ගණිත සංකල්ප හා ගණිතයට සම්බන්ධ සොයාගැනීම් මරණයට පෙර ලේඛන ගතකර ලෝකයට ඉදිරිපත්කිරීම යි.  මැයි 31වැනිදාට එළිවන රාත්‍රිය පුරා ම ඔහු ලියූ මෙම ලේඛන වියුක්ත වීජ ගණිත ක්ෂේත්‍රයට, විශේෂයෙන් කණ්ඩායම් න්‍යාය ලෙස හැඳින්වෙන ගණිත ශාඛාවට පදනම දැමීය. ඔහුගේ ලිපියේ සහ අත්පිටපත්වල, ගැලොයි බහුපද සමීකරණවල විසඳුම්, විශේෂයෙන්ම සමීකරණවල මූලයන් ඒවායේ සංගුණකවල ප්‍රතිවර්තන ආදිය පිළිබඳ විප්ලවීය සංකල්ප ඉදිරිපත් කරතිබුණි. මෙම සංකල්ප මුල්කරගත් න්‍යාය දැනට ගැලොයි න්‍යාය ලෙස හඳුන්වනු ලබයි.

රැයක් පුරා නිදිවරමින් සිය ගණිතමය සංකල්ප සටහන් කළ ගැලොයි 1832 මැයි 31 වන දින ද්වන්ධ සටනට ද සහභාගී විය. නමුත් ඔහු අපේක්ෂා කළ ආකාරයට ම ගැලොයි මේ සටනේ දී දරුණු ලෙස තුවාල ලැබී ය. එලෙස සටනේදී ඇති වූ තුවාල සහිතව ඊට පසුදා ගොවියෙකු විසින් ගැලොයි සොයා ගනු ලැබ රෝහල් ගතකරනු ලැබූව ද ගැලොයි ජීවිතය තව දුරටත් දීර්ඝ කරගඇනීමට තරම් වාසනාවන්ත වූයේ නැත. තුවාල හේතුවෙන් එවරිස්ටේ ගැලොයි වයස අවුරුදු 20 දී මිය ගියේය.

ගැලොයි මියගිය නමුත් ඔහු මරණයට පෙර සිය මිතුරෙකුට ලියූ ලිපි හා ගණිතමය නිබන්ධන නිසාවෙන් ගණිත විෂයය තුළ සදාලකාලිකත්වයට පත්විය. ප්‍රේමය නිසාවෙන් අකාලයේ මියනොගියේ නම් ගැලොයි ගණිතය විෂයයට තවත් විශාල සේවාවක් සිදුකරනු ඇත.


මෙම ලිපි මාලාවේ පළමු කොටස් කියවීමට පහත මාතෘකා වලින් පිවිසෙන්න

සියවස් තුනහමාරක් පුරා නොවිසඳුණු ගැටළුව විසඳූ වයිල්ස්-2024 ජනවාරි කලාපය(මංගල කලාපය)