කිත්ති කිත් වත

ලංකාවේ බටහිර වෙරළාශ්‍රිතව තුරු සෙවණැළි වලින් අඳුරු වුණු සිහිලැල් දොළපාර අසබඩින් ඇඳුනු ඒක පථික මාර්ග ඔස්සේ ලංකාවේ උතුරු දෙසට ඇඳුණු මහා විජයබාහු රජුගේ හමුදාවෝ අදින් වර්ෂ නවසිය පනහකට පෙර දිනයක සඳ මද්දහනේ ම  අනුරාධපුරයට නුදුරුව  කලා වැවේ උතුරු ඉව්රේ කඳවුරු බැඳ ගත්හ. ඔවුහූ අද ඔබ මේ දන්නා කාලතිත්ථය ද(කළුතර) පහන්බුණු දනව්ව ද(පානදුර) පසුකර යන්නට ඇත. වසරකට පමණ පෙරාතුව අනුරාධපුරයට සමීප ප්‍රදේශ වෙත ගිය වෙළෙන්දන්, සිඟන්නන්, ගොවියන්, අප්‍රසන්න කුෂ්ඨ රෝගීන් සේ වෙස්වලාගත් විජයබා රජුගේ චරපුරුෂයන් නිසි කලට, නිසි තොරතුරු ලබා දුන්හ. ඔවුන් මෙහෙයවන ලද්දේ සිත්නරුබිම් බුදල්නාවන් විසිනි. කළුපැහැ අසුන් පිට නැගුණු අඳුරු දුඹුරුවන් යුධ සළුවෙන් සැරසුණු පණිවිඩකාර චරපුරුෂයෝ මුල් චරපුරුෂයින්ගේ ආධාරක කණ්ඩායම් ලෙස අනුරාධපුරයට නුදුරුව ස්ථානගතවී සිටියහ. මේ පිරිස දකුණේ මහානුගහුලෙන් නික්ම ගොස් පොහොයක් නික්ම ගිය පසු  ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව සෙසු හමුදාවෝ ද සිය ඉලක්ක සොයා ගමන් ඇරඹූහ. ඉඳහිට තුරු පත් අතරින් පතිත වන හිරු එළියට දිලිසුණු තියුණු අසිපත් ද, යුධ පලිස්, දුනු ඊතල ආදිය ඇතුළත්ව සන්නාහ සන්නද්ධ වූ  පාබල හමුදාවෝ මෙලෙස පළමුව ගමන් ඇරඹූහ. ඒ අදින් වසර නවසිය පනහකට පමණ පෙර ය. ඔවුන් පසුපසින් එන්නේ සින්ධු දේශයෙන් ආනයනය කළ දුඹුරු පැහැති  දිදුලන කෙස් කළඹ සහිතව තාලයට සීරුවෙන් අඩි තබමින් ගමන්ගන්නා යුධ අශ්වාරෝහක හමුදාවයි.  යුධ පිටියේ දී ප්‍රයෝජනයට ගනු පිණිස තම ජවය අරපිරිමැස්මෙන් භාවිත කරමින් සෙමින් අඩිතබමින් ගමන්ගන්නා අශ්වාරෝහක හමුදාවයි. ළය හා හිස පෙදෙස ආවරණය කළ ලෝහමහ සන්නාහ සහිත අශ්වයින්ගේ සෑදලයේ ම එල්ලාගත් හියොයුරු  ඊතල වලින් පිරී ඇත. අසරුවා පිටෙහි දුන්නකි. එහි දුණුදිය  ඔහුගේ ලෝහමය ළය ආවරණය හරහා වැටී තිබේ. සෙමින් ගමන් කළ ද උන්ගේ කුර හ~ හමුදාවේ සෙසු අය තුළ පවා ඇතිකළේ නිර්භය හැඟීමකි. පුරා අඩ සියවසක් රජරට පාලනය කරමින් ලංකාව පුරා භීතිය වපුළ චෝළයින්ගෙන් ලංකාව මුදාගන්නට දැඩි අධිෂ්ඨානයකි. මේ පිරිසට සමගාමීව ලංකාවේ නැගෙනහිර දෙසින් පුලතිසිපුරය බලා ඇදෙන සිය සහෝදර හමුදාව ද තමන්ගේ සහයට සිටීම මේ හමුදාවන්ට මහත් ශක්තියකි… කලාවැව් ඉව්රේ කඳවුරු බැඳ සිටි විජයබා හමුදාවෝ සිය ඓතිහාසික ප්‍රහාරය දියත්කරනුයේ සතුරන් කිසිසේත් නොසිතූ අවස්ථාවක ය. නැගෙනහිර අහසට ළා හිරු එළිය පතිතවන්නට හෝරා හතරක් පමණ තිබිය දී, සතුරු සේනා නිදිගැට කඩමින් අවදිව සිටින්නට දැඩි උත්සාහයක නිරතව සිටි අවස්ථාවක ය. රැය පුරා දුක් කරදර ගෙන දුන් මැසි මදුරුවන් හා සටන් කරමින් සිටි අවස්ථාවක ය. ඇතැම් මුර සෙබලූන් අතින් විටින් විට අත රැඳි හෙලි, පලිස් පවා ගිලිහී වැටෙනා තරම් නිදිබරිතව සිටි අවස්ථාවක ය. එවන් තත්ත්වයක් තිබිය දී මල්වතු ඔය වම් ඉවුරේ වනලැහැබ්, මිටි පඳුරු  සහිත ලඳු බිම් ඔස්සේ, වියළී වැටුණු ඉපල් හා කටුපඳුරු අතරින් රිංගමින් හ~ නොනඟා පෙරට ඇඳුණු පළමුපෙළ විජයබා සේනාංක සතුරු කඳවුරු පෙනෙන මානයේ නතරවූහ. ඒ බියකට නොවේ. සිය සහයක භටපිරිස් හා සැපයුම් සේනා පසුපසින් නිසි ලෙස ස්ථානගතවන තුරු ය. අඳුරු සළුවකින් සැරසී කාළවර්ණ රෙදිකඩකින් හිස වසාගෙන සිටි සිය සේනා විධායකයාගේ අවසන් නියෝගය ලැඛෙනතුරු ය. සඳ එළිය හෝ නැති මේ රාත්‍රිය සතුරු හමුදාවන්ට සුව නින්දකට කදිම වටපිටාවක් සකසා තිබුණ ද විජයබා සේනාංක සිටියේ දැඩි ප්‍රබෝධයකින් යුතුව ය. ඔවුහූ සියල්ලෝ දැඩි අඳුර අතරින් සිය සේනා විධායකයා සිටිනා ඉසව්ව දෙස බලා සිටියේ අවසන් නියොගය කොයි මොහොතේ ලැබේදෝ‘යි යන විමසිල්ල සමගිනි.  තැන තැන සෙළවෙන පඳුරු අතර නිශාචාරී කුඩා වනසතුන් මිස අන් කවරෙක් හෝ ඇතැයි සතුරු හමුදා සිතන්නට නැත. නමුත් ඒ පඳුරු අතරින් එක්වරම……….

මීළඟ කලාපය හා බැඳේ