නීතියේ ආධිපත්‍යය
මෙම ප්‍රශ්නයෙන් අපේක්ෂා කෙරෙන්නේ නීතියේ ආධිපත්‍යය, එහි අත්‍යවශ්‍ය සංරචක සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය තුළ නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම පිළිබඳ ශිෂ්‍යයාගේ අවබෝධය තක්සේරු කිරීමට ය.
නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අතිමූලික මූලධර්මයක් ලෙස සැලකේ. නීතියේ ආධිපත්‍යය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
නීතියේ ආධිපත්‍යය යන්නෙහි සරල අර්ථය නම් නීතිය පාලකයන්ට මෙන්ම පාලිතයන්ටද එකසේ ක්‍රියාත්මක විය යුතුය යන අදහසයි. එය තව දුරටත්, නීති නිර්මාණය කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ පාලකයින් අතර සබඳතා පවා නීත්‍යානුකූලව නියාමනය කර ඇති බව ගම්‍ය කරයි. එනයින්, කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවයි.
බ්‍රිතාන්‍ය නීතිවේදියෙකු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා න්‍යායවේදියකු වන ඒ. වී. ඩයිසි (Albert Venn Dicey) ඔහුගේ Law of the constitution හි දී නීතියේ ආධිපත්‍යය විස්තර කළේ රජයේ හෝ එහි නිලධාරීන්ගේ අභිමතානුසාරී අභිලාෂයන්ට ඉහලින් නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ නීතියට අනුගත වීමයි තැබීමයි.
නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලධර්මය තුළ පහත සඳහන් සංරචක හඳුනා ගත හැකිය.
ඉහළම දේශපාලන අධිකාරිය ඇතුළු රජයේ සියලුම නිලධාරීන් නීතියට ඉහළින් නොසිටියි. ඒ වෙනුවට ඔවුන් සියල්ල රටේ නීතියට යටත් වේ.
නීති සම්පාදනයට සහ කියාත්මක කිරීමට රජය සතු බලය පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යවස්ථාමය සීමාවන්ට යටත් විය යුතුය.
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම සහ වැරදි දඬුවම් දීම වැනි ක්‍රියාවන් මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් රජය වැළකිය යුතුය.
රාජ්‍ය අධිකාරියේ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර එකී සීමා මායිම් අධිකරණ තීරණ මගින් සුරක්ෂිත කළ යුතුය.
ආණ්ඩුවේ සෙසු ආයතනවලින් අධිකරණය ආයතනික වශයෙන් චෙන් කිරීම නීතියේ ආධිපත්‍යයෙහි වැදගත් ලක්ෂණයක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ.
නීතියේ ආධිපත්‍යය රාජ්‍යයට සහ ආණ්ඩුවට පමණක් සීමා නොවේ. පුරවැසියන් නීතිමය සම්මතයන් සමඟ එකඟ වීම සහ ඒවාට ගරු කිරීම ද අවශ්‍ය වේ. ඔවුන්ගේ අවශ්‍යතා සහ අභිලාශ සබැඳි අන් අය සමඟ ගැටෙන විට, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් මොනවාද යන්න පිළිබඳ නීතිමය ප්‍රතිපාදන පිළිගත යුතුය.
නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර අන්තර් සම්බන්ධය ගැන සාකච්ඡා කරන විට, “නීතිය මගින් පාලනය” (rule by the law) එනම් නීතිය යනු රජයේ උපකරණයක් වන අතර රජය නීතියට වඩා ඉහළින් යන ඇඟවුම සහ “නීතියේ ආධිපත්‍යය” (rule of law) එනම්, ආණ්ඩුව ඇතුළු සමාජයේ සෑම දෙනාම නීතියට බැඳී සිටින බවට වචන ඇඟවුම අතර වෙනස අවබෝධ කරගැනීම ඉතා වැදගත් ය.
නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලධර්මය ඇතැම් ප්‍රතිමානීය ඇගයුම් ද ස්පර්ශ කරයි. නිදහස, සමානාත්මතාව, මානව ගරුත්වය සහ ඉවසීම එවැනි ප්‍රතිමානීය වටිනාකම් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.