සධ්‍යාගේ කවිය

වැහි පොද සැරෙන්

තට්ටු කරනකොට

හද කුටියෙ වීදුරු ජනේලෙට

පිටකවරෙ පුස් කෑ

මතක පොත ගෙන පිරික්සමි

එතුළ දිදුලන මතක පිටු

එකිනෙක කඩා

රටාවට නවා

රොකට් සාදා

හැකි වෙර යොදා

ඔබ වසන මැඳුරට උඩින්

පායා දිලෙන

සඳ දෙසට එවන්නෙමි

සුසුම් සරයෙන් විද

සෝ වැහි වලාකුළු පුපුරුවමි

කුඩා දැරියක ලෙසින්

සිනා වපුරමින්

මතක මඩ දිය කලඹමි

එදා ඔබ දුන්

රනින් බැඳි පදියමේ දිස්නය

සොයා ගන්නට වෙහෙසෙමි

කොටන හැම විදුලියක් ගාණෙ ම

අහස විනිවිද බලනෙමි

වේළුණු නෙලුම් පෙත්තක ඔතා

විදුලියක දවටා වෙලා

අසන රිසියෙන් සිටින

පණිවිඩය එවතැයි

අපේක්ෂාසහගත වෙමි

ප්‍රියය,

ආපසු හැරී ආ රොකට්ටු

හිස් අතින් ආ විදුලි රේඛා

දහස් සුවහස් ගණන් මැද

ඇඟිලි කරු අතර ඝන ව වියළුණු මඩ ඇති

මැදි වියේ කෙල්ලක

සිහින සරුංගලයක් අතැති ව

තාමත් බලා සිටින බව

මග යන එන්නෝ දකිති…

2023.10.03-සධ්‍යා කොඩිතුවක්කු