මෙම අරගලය සඳහා පාදක වූ ප්‍රදේශය වන්නේ ඌව වෙල්ලස්ස ප්‍රදේශය යි. 1796 සිට ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඉංග්‍රීසීහූ එම ප්‍රදේශවල ගෙනගියේ බ්‍රිතාන්‍යයේ ආර්ථික ප්‍රතිපත්ති හා ඉලක්ක වලට අනුකූල පාලනයකි. ලාංකික අවශ්‍යතා පිළිබඳ ඔවුන් විශාල අවධානයක් යොමු කළ වගක් පෙනෙන්නට නැත. 1796-98 කාලයේ ක්‍රියාත්මක වූ මුහුදුබඩ වෙළඳ සමාගමේ පාලන සමය හෙවත් මදුරාසි පාලන සමය යටතේත් ඉන් පසු 1798-1802 කාලයේ ක්‍රියාත්මක වූ ද්විත්ව පාලන සමයේ දී ත් 1802 සිට 1815 දක්වා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය කිරීටයේ පාලන සමයේ දී ත් බ්‍රිතාන්‍යයෝ අනුගමනය කළේ තම මව් රටේ ආර්ථික ප්‍රතිපත්තිය මත පදනම් වී මව් රටේ ආර්ථිකය ශක්තිමත් කරන පාලන ක්‍රමයකි. මේ ක්‍රමය තුළ ලාංකේය අරමුණු ඉටු කිරීමට ඔවුන් තුළ තදබල බැඳීමක් නොවුණි. 1815 වර්ෂයේ දී උඩරට ප්‍රධානීන් හා බ්‍රිතාන්‍යයන් අතර අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව බ්‍රිතාන්‍යයන් ලාංකිකයන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ද යම් එකඟතාවක් දැක්වුව ද ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ඒ සඳහා තිබූ උනන්දුව හෝ පෙන්වූ නම්‍යශීලීභාවය සැබෑවට ම ඔවුන් තුළ නොවූ බවක් ගිවිසුම අත්සන් කර මාසයක් දෙකක් යනවිටත් සිංහලයන්ට අවබෝධ වී තිබුණි. මේ දෙපාර්ශ්වය අතර ඇති වූ ගිවිසුම කඩ වීම නිසා උඩරට ප්‍රධානීන්ගේ දෙශපාලන, සමාජ, ආර්ථික ආදී වරප්‍රසාද රැසක් කඩවීමකට ලක් වී තිබුණි. නමුත් මේ වන විට කළහැකි කිසිවක් නොවූයෙන් ඔවුන්ට සිදු වූයේ බ්‍රිතාන්‍ය විරෝධී අරගලයකට යොමුවීම යි. මේ සඳහා පාදක වූ හේතු අතර ප්‍රධාන වන්නේ උඩරට රදල ප්‍රධානීන්, භික්ෂූන්වහන්සේලා හා සාමාන්‍ය වැසියන් අතර ඇතිවූ කලකිරීම යි.
- රදලවරු කලකිරීම-
උපරි පාලන ව්‍යුහය බ්‍රිතාන්‍යයන් අතට ගැනීම- අරගලයට හේතු වූ කරුණු විමසුමට ලක්කිරීමේ දී බ්‍රිතාන්‍යයන් උඩරට අල්ලා ගැනීමට පෙර කාලය පිළිබඳව ද අවධානය යොමු කළයුතු වේ. උඩරට පාලන ක්‍රමය සකස් වී තිබූ අකාරයත්, රටවැසියන් මෙම පාලන රටාවට බද්ධ වී සිටි ආකාරයත් මෙහි ලා විමසුමට ලක්කිරීම වටී. උඩරට දේශපාලන ක්‍රමය රාජාණ්ඩු ක්‍රමය පදනම් කරගත් එකක් විය. රජු පාලනයේ ප්‍රධානියා වූ අතර ඔහුගේ තීන්දු තීරණ සෑම විට ම රාජසභාවේ සාකච්ඡාවට බඳුන් විය. (රාජසභාව සකස් වී තිබුණේ අධිකාරම්වරු , දිසාවේවරු , මහ ලේකම් හා බද්දේ ලේකම්වරුන්ගේ එකතුවෙනි.) ඒ නිසා එකී තීන්දු තීරණ ක්‍රියාත්මක වූයේ රාජසභාවේ දී ඇතිකරගන්නා වූ එකඟතාවන්ට යටත්ව ය. මේ නිසා රජුට ඒකාධිපතයෙක් වූමට ඇති අවස්ථා ඇහිරුණි. රජුගේ තීරණ වලට ප්‍රභූවරු එරෙහි වූ අවස්ථා බොහෝ තිබුණි. ඇතැම් කාලවල ප්‍රභූවරු රජු ඝාතනය කිරීමට පවා කුමන්ත්‍රණ කළහ. මෙකී කුමන්ත්‍රණ සාර්ථක වුව ද අසාර්ථක වුව ද ඉන් පෙනී යන්නේ උඩරට වැසියන් හෝ ප්‍රභූන් රජුගේ වහලුන් වශයෙන් ක්‍රියා නොකළ බව යි. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ජෝන් ඩොයිලිගේ කූට උපායන් නිසා මහජනයාට රජු පිළිබඳ විශාල කලකිරීමක් ඇතිවිය. නමුත් එය පුද්ගලබද්ධ කලකිරීමක් මිස උඩරට පාලනක්‍රමය පිළිබඳ ඇති වූ කලකිරීමක් නොවේ. රටවැසියාට රජු බලයෙන් පහකිරීමේ අවශ්‍යතාවක් ඇති වූව ද උඩරට ඉංග්‍රීසීන්ට පැවරීමේ කිසිදු අවශ්‍යතාවක් නොවී ය. නමුත් බ්‍රිතාන්‍යයන් උඩරට ගිවිසුම මාර්ගයෙන් රජුට හා රජුගේ ඥාතීන්ට පවා උඩරටට ඇතුළු වීම ද තහනම් කරන ලදී. උඩරට පැරණි පාලන ක්‍රමය ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට සිව්වන වගන්තියෙන් පොරොන්දු වුව ද උඩරට පාලන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය පාලනාධිකාරියක් පත්කිරීම තුළින් පෙනී යන්නේ උඩරට ගිවිසුමේ සඳහන් ආකාරයට ම පැරණි උඩරට පාලනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් දුන් පොරොන්දුව ඔවුන් ගිවිසුම තුළින් ම අර්ධ සත්‍යයක තත්ත්වයට පහත හෙළා තිබුණු බව යි.. ජෝන් ඩොයිලි, සයිමන් සෝවර්ස් වැනි සිංහල උගත් බ්‍රිතාන්‍යයන් ද ඔවුන්ගේ සහයක බ්‍රිතාන්‍ය ජාතිකයන් ද සමගින් උඩරට උපරි ව්‍යුහයේ සිට පාලන කටයුතු මෙහෙයවීමටත් අධීක්ෂණයටත් බ්‍රිතාන්‍ය ජාතිකයින් පත්කිරීම තුළ ඇත්තේ මේ කරුණ යි. මීට අමතරව උඩරට පාලනකටයුතු විධිමත්කිරීමේ අරමුණෙන් 1816 දී කොමසාරිස් මණ්ඩලයක් පත්කිරීමේ දී ඒ සඳහා බ්‍රිතාන්‍ය නිළධාරීන් වැඩියෙන් පත්කළ අතර මේ නිසා දේශිය නිළධාරීන්ගේ බලතල තවදුරටත් අඩු විය.
අමතරව රජු හා රජවාසල සම්බන්ධ සේවාවන් ඉටු කළ නිළධාරීන් අතරින් බොහොමයකට තනතුරු අහිමි වූයේ රජෙකු නොමැතිව ඔවුන්ගේ සේවාවේ අවශ්‍යතාවක් නොතිබී නිසා ය. ඊට අමතරව බ්‍රිතාන්‍යයන් යටතේ පැරණි තනතුරු වල ම සේවය කිරීමට කැමැත්තක් දැක්වූ දේශීය ප්‍රභූන්ට බ්‍රව්න්ඩ්රිග් ආණ්ඩුකරුගේ අත්සනින් යුත් විධිමත් පත්වීම් ලිපි ලබා දීමෙන් පෙනී යන්නේ ඔවුන් ද බ්‍රිතාන්‍ය පාලනයට යටත් කළ බව යි. ඇහැලේපොළ මහාධිකාරම් ධුරය ප්‍රතික්ෂේප කළ ද කැප්පෙටිපොළ, මොල්ලිගොඩ, කපුවත්ත, කොබ්බෑකඩුව, මිල්ලෑව ආදී නායකයෝ බ්‍රිතාන්‍යයන් යටතේ තනතුරු දැරීමට කැමැත්ත දැක්වූ හ. නමුත් ඔවුන් කටයුතු කළේ බ්‍රිතාන්‍ය රජයේ පත්වීම් ලිපිය ප්‍රකාරව ය. මේ ආකාරයට 1815 පසු බ්‍රිතාන්‍යයන් ගිවිසුමේ පොරොන්දු එම ගිවිසුම තුළින් ම සූක්ෂ්ම ලෙස බල රහිත කළ අතර මේ තත්ත්වය නිසා උඩරැටියන්ගේ අපේක්ෂාවන් බිඳවැටුණි. මීට පෙර ප්‍රභූන්ට ඉහළින් සිටියේ රජු පමණක් වුව ද දැන් බ්‍රිතාන්‍ය නිළධාරීන් ගණනාවක් ම ප්‍රභූන්ට ඉහළින් සිටීම ප්‍රභූවරු අපේක්ෂා කළ තත්ත්වයක් නොවී ය.
බ්‍රිතාන්‍යයන් උඩරට ක්‍රියාත්මක කළ අධිකරණ ක්‍රමය-මෙතුවක් කල් උඩරට රදල ප්‍රධානීන් සතුව යම් යම් අධිකරණ බලතල පැවතුණි. ඒවායේ බලය ඔවුන් දැරූ තනතුර අනුව අඩු වැඩි විය. නමුත් මෙම අධිකරණ බලය විසින් ඔවුන්ට විශාල සමාජ පිළිනීමක් ලබා දී තිබුණි. අධිකාරම්වරු භුක්තිවිඳි අසීමිත යැයි කිවහැකි තරම් වූ අධිකරණ බලතල වල සිට සුළු මුලාදෑනීන් භුක්තිවිඳි සීමා සහිත අධිකරණ බලතල දක්වා ක්‍රමයෙක් හීන වී ගිය අධිකරණ බලතල පැවතියේ යැයි රැල්ෆ් පීරිස් මහත් සඳහනක් කර තිබේ. අධිකාරම්වරුන්ට හමුදා මෙහෙයවීම, සාමය ආරක්ෂාකිරීම හා බන්ධනාගාර සම්බන්ධයෙන් ද විශේෂ බලතල හිමි වී තිබුණි. මේ බලතල ඔවුන්ට විශාල සමාජ හා දේශපාලනික වටිනාකමක් හිමිකර දුන් අතර ආර්ථික වාසි ද අත්වී තිබුණි. නමුත් නව බ්‍රිතාන්‍ය පාලනය යටතේ මෙම බලතල අහෝසි කර බ්‍රිතාන්‍ය රජයේ බලය ලත් ඒජන්තවරුන් වෙත ඒවා පවරා තිබුණි. මේ නිසා මීට පෙර උඩරට පරිපාලන සංස්ථාව තුළ රජුට පමණක් දෙවැනි වූ අධිකරම්වරු තෙවැනි සිවුවැනි ස්ථාන දක්වා පසුපසට තල්ලුවී ගොස් තිබුණි. මේ තත්ත්වය නිසා උඩරට සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමය තුළ වැදගත් සේවාවන් ඉටු කළ රදලවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයින් තුළ කලකිරීමක් ඇති විය.
තනතුරු පැවරීමේ ගැටළු-එපමණක් නොව උඩරට ප්‍රවාහන කටයුතු භාර කාර්යංශය වූ මඩිගෙ බද්ද මෙහෙය වූ ප්‍රධානියා වූ ‘‘මඩිගෙ මුහන්දිරම්“ තනතුර එතුවක් හිමිව තිබුණේ සිංහලයින්ට ය. නමුත් බ්‍රිතාන්‍යයන් මේ තත්ත්වය උල්ලංඝනය කර එම තනතුරට හජ්ජි මරික්කාර් නම් මුස්ලිම්වරයෙක් පත්කරන ලදී. මෙය උඩරට සමාජය තුළ ප්‍රබල කැළඹීමක් අති කළ සිදුවීමක් විය.
ආදායම් අහිමි වීම-තම පාලන ඒකකය තුළ සාමාන්‍ය බදු එකතුකිරීම මෙන් ම කඩවත් බදු එකතුකිරීමේ අයිතිය ද උඩරට රජුගේ පාලන සමයේ දී රදලප්‍රධානීන් සතු විය. ඔවුන් යැපුනේ එකී බදු වලිනි. එකතුකරගන්නා බදු සම්පූර්ණයෙන් ම රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කිරීමක් සිදු නොවුණි. රජු විසින් ඒ ඒ නිළධාරීන් වාර්ෂිකව රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතු කප්පම් හෙවත් දැකුම් ප්‍රමාණ නියම කර තිබුණි. එය නිශ්චිත ප්‍රමාණයක් මිස ප්‍රතිශතයක් නොවී ය. මේ නිසා ඊට අතිරේක ආදායම් තමන්ට පෞද්ගලිකව භුක්තිවිඳිමට හා තම සහයක නිළධාරීන්ට වැටුප් වශයෙන් ගෙවීමට දිසාවේ වරු, අධිකාරම්වරු ඇතුළු නිළධාරීන්ට හැකියාව තිබුණි. මේ ක්‍රමය තුළ පැහැදිලිව ම ඔවුන්ට විශාල ආර්ථික වාසියක් අත් විය. නමුත් විශේෂත්වය වූයේ එය සාමාන්‍ය ජනයා පීඩාවට පත්කළ බදුක්‍රමයක් නොවීම යි. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සියලු ම ආකාරයේ බදුඑකතු කිරීමේ අයිතිය ඔවුන්ගෙන් ඉවත් කර තිබුණි. ඒ වෙනුවට ඔවුන් රජයේ නිශ්චිත වැටුපක් ලබනා සේවකයන් බවට පත්කර තිබුණි. මේ නිසා ඔවුන්ට විශාල ආදායමක් අහිමි විය.
මෙවැනි හේතු නිසා දේශීය රදල පන්තිය තුළ බ්‍රිතාන්‍ය පාලනය පිළිබඳ විශාල කලකිරීමක් ඇති වී තිබුණි.
- භික්ෂූන්වහන්සේලාගේ කලකිරීම
ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ ඇතිවුණු තත්ත්වය-උඩරට ගිවිසුම ප්‍රකාරව ලංකාවේ සාම්ප්‍රදායික ආගම්, ඇදහිලි විශ්වාස ආදිය ඒ අයුරින් ම ආරක්ෂා කරන බවට ඉංග්‍රීසීන් පොරොන්දු වී සිටිය ද එකී පොරොන්දු, ක්‍රමයෙන් ගිවිසුමට පමණක් ම සීමා විය. බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ තාවකාලිකව බඹරගල විහාරයට වඩමවා තිබූ ශ්‍රී දළදා වහන්සේ ඩොයිලිගේ බලවත් ඉල්ලීම පරිදි මහනුවරට වැඩමවීමට භික්ෂූන්වහන්සේලා කටයුතු කළ අතර 1815 අප්‍රේල් මාසයේ සිට ම පැරණි චිරාගත ක්‍රම අනුව දළදා පූජාව පැවත්වීම ඩොයිලි විසින් අරඹන ලදී. නමුත් රජු එවන් අවස්ථාවකට සහභාගී වන විට දැනුණු ළෙංගතු, හෘදයාංගම භාවය ඩොයිලි ගේ සහභාගීත්වය තුළ දක්නට ලැබුණේ නැත. දළදා වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් වඩාත් උනන්දු වූයේ ඒ පිළිබඳව තිබූ ගෞරවය නිසා නොවේ. එය රාජ්‍ය උරුමය පිළිබඳ සංකේතයක් වූ නිසා එය අහිමිවීම තුළ පැනනැඟියහැකි භයානක හා වියවුල් සහගත තත්ත්වය පිළිබඳව තිබූ අවබෝධය නිසාවෙනි.
ප්‍රධාන කරපකරු දායකයා වූ රජු අහිමි වීම-මීට පෙර ආගමික හා ජාතික වැදගත්කම් ඇති උත්සව ආදියට රජුගේ හෝ වෙනත් උසස් රදළ ප්‍රධානියෙකුගේ සහභාගීත්වය දක්නට ලැබුණ ද බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීමෙන් පසු එකී තත්ත්වය වෙනස් විය. මුලසුනේ රජු හෝ උසස් රදළ ප්‍රධානීන් නැතිව උත්සව පවත්වන විට භික්ෂූන්වහන්සේලාට දැනුනේ තමන් හා තම ආගමත්, ජාතියක් තනිවීමකට, කොන්කිරීමකට ලක්ව ඇති බව යි. තමන්ට රජෙකු නොමැති අඩුව තදින් ම දැනෙන්නට පටන්ගෙන තිබුණි. භික්ෂූන්වහන්සේලාට මෙය තදින් ම දැනුනේ තමන්ගේ ප්‍රධාන කැපකරු දායකයා නොමැතිවීම නිසාවෙනි.
භික්ෂූන් වහන්සේලා හිමිව තිබූ ගෞරවනීය තත්ත්වය අහිමි වීම- තව ද බ්‍රිතාන්‍ය නිළධාරීන් භික්ෂූන්වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කළේ ගෞරවසම්ප්‍රයුක්ත භාවයෙන් යුතුව නොවේ. ගරුකිරීමක් සිදුනොකරන ලදී. සාමාන්‍ය වැසියන් වශයෙන් සලකා කටයුතු කළේ යැයි කීම වඩාත් නිවැරදි ය. රාජ්‍ය පාලන යාන්ත්‍රණය තුළ උන්වහන්සේලා සතුව තිබූ උපදේශක තත්ත්වය අහිමි වී තිබුණි. මේ වැනි කරුණු නිසා භික්ෂූන්වහන්සේලා තුළ විශාල කලකිරීමක් ඇතිව තිබුණි.
උඩරට සංස්කෘතිය අභියෝගයට ලක්වීම-උඩරට රදල ප්‍රධානීන්ගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමත්, ඒ සඳහා මහනුවර ආශ්‍රිතව සෙමනේරි පිහිටුවීමත් නිසා බෞද්ධ භික්ෂූන්වහන්සේලා තුළ කලබලයක් ද හටගෙන තිබුණි. උන්වහන්සේලා එය දුටුවේ උඩරට ගිවිසුමේ වගන්ති කඩකරමින් උඩරට ප්‍රදේශයේ කිතුදහම ප්‍රචාරය කිරීමට ගන්නා කූට උත්සාහයක් වශයෙනි. මේ සැකය දුරුකරමින් තමන් බුදුදහම හා මහනුවර සාම්ප්‍රදායික ආගම් ආරක්ෂා කරන බවට සිතුවිල්ලක් ඇතිකිරීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යයන් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් විවිධ හේතු මත පවරා ගන්නා ලද විහාර දේවාලගම් ආදිය යළි විහාර හා දේවාල වලට ම පැවරීමටත්, දළදා මාළිගාවේ පත්තිරිප්පුව යළි භික්ෂූන් වහන්සේලාට ම පැවරීමත්, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් භික්ෂූන්වහන්සේලා උදෙසා නිකුත් කළ දන් පැන් ආදී වතාවත් ඒ අයුරින් ම යළි ඇරඹීමත් වැනි කටයුතු බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලදී. නමුත් එය ද කූට උපක්‍රමයක් වශයෙන් භික්ෂූන්වහන්සේලා දුටුයේ මෙතුවක් කල් බ්‍රිතාන්‍යයන්ගේ හැසිරීම් ආදිය තුළ ඔවුන් වඩාත් ප්‍රකට කළේ කූට බව, වංචාව, රැවටීම ආදිය නිසාවෙනි.
- සාමාන්‍ය වැසියන්ගේ කලකිරීම
නායකයින් අහිමි වීම-සාමාන්‍ය වැසියන්ට බ්‍රිතාන්‍ය පාලනයේ දෝෂ එතරම් තදින් දැනෙනු ඇතැයි මුල් අවස්ථාවේ ඔවුන් පවා නොසිතන්නට ඇත. බ්‍රිතාන්‍ය හමුදාවන් සමග උඩරටට ගිය වෛද්‍ය හෙන්රි මාෂල් ලංකාව පිළිබඳ ලියූ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ උඩරට වැසියන්, උඩරට හා බ්‍රිතාන්‍යයන් අතර ඇතිකරගැනීමට ගිය ගිවිසුම පිළිබඳ කිසිදු උනන්දුවක් නොතිබූ බව යි. නමුත් කල්යත් ම ඔවුන්ට මෙහි දෝෂ දැනෙන්නට විය. බ්‍රිතාන්‍යයන් ගිවිසුමෙන් පසු පත්කළ නව රදල ප්‍රධානීන් මද කලක් යනතුරු මහනුවර නගරය තුළ ම රඳවා ගත්තේ ඔවුන් තම පාලන ඒකක වල වැඩ භාරගැනීමට ගිය විට ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමිනි. සාමාන්‍ය වැසියන් නව නිළධාරියෙක් පිළිබඳ කටයුතු කරන සාම්ප්‍රදායික ආකාරය අනුව දැකුම් පිළිගැන්වීම ආදිය සිදුකරන නිසා බ්‍රිතාන්‍යයන් එම තත්ත්වය වැලක්වීමේ අරමුණෙන් මෙසේ මද කලක් යනතුරු නව නිළධාරීන් මෙලෙස මහනුවර නගරය තුළ ම රඳවා තබාගන්නා ලදී. නමුත් මේ නිසා සිදුවූයේ ඒ ඒ ප්‍රදේශ වල වැසියන්ට තමන් මුහුණ දුන් ප්‍රශ්න ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමේ අවස්ථාවක් අහිමිවීම යි. තමන්ට රජෙකු අහිමි වීමේ කනස්සල්ලෙන් සිටි සාමාන්‍ය වැසියන්ට ප්‍රාදේශීය නායකයා හමු වී තම ගැටළු සාකච්ඡා කර දුක බෙදාගැනීමේ අවස්ථාවක් හෝ නොවී ය. ජෝන් ඩොයිලිට රජකු වශයෙන් ජන හදවත් දිනාගැනීමට ද නොහැකි විය.
පරිපාලන වෙනස්කම් පිළිබඳ අර්බුද- උඩරට සාම්ප්‍රදායික පාලන ක්‍රමය බ්‍රිතාන්‍යයන් යටතේ විවිධ සංශෝධනයන්ට ලක් කර තිබූ අතර ඒ තත්ත්වය ද මහජනයාට තරමක් ගැටළු සහගත විය. අධිකරණ ක්ෂේත්‍රයේ සිදුකළ ප්‍රතිසංස්කරණ, පරිපාලන ක්‍රම ප්‍රතිසංස්කරණ, බදු ක්‍රම වල සිදුකළ ප්‍රතිසංස්කරණ ආදිය පිළිබඳ නිසි අවබෝධයක් මහජනයා තුළ නොවූයෙන් ඒ පිළිබඳ ඔවුන් තුළ යම් කලකිරීම් ඇතිවී තිබුණි. තව ද භාෂා ප්‍රශ්නය ද ඔවුන්ට තදින් බලපා තිබුණි. ජෝන් ඩොයිලි, සයිමන් සෝවර්ස්, හෙන්රි රයිට් වැනි නිළධාරීන් හැරුණුකොට සෙසු බ්‍රිතාන්‍ය නිළධාරීන් තුළ සිංහල භාෂා දැනුමක් නොතිබුණි. මේ නිසා එදිනෙදා කටයුතු වල දී සිංහල නිලධාරීන්ගේ සහයක් සාමාන්‍ය වැසියන්ට අත්‍යවශ්‍ය විය. නමුත් බ්‍රිතාන්‍යයන් මේ පිළිබඳ අවධානයක් යොමු කළ බවක් නොපෙනුණි. එ පමණක් නොව ඔවුන් සිදුකළේ උඩරට රදල ප්‍රධානීන්ගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමට සැලසුම් කිරීම යි. ඉංග්‍රීසීන් එයින් බලාපොරොත්තු වූයේ ඔවුන් රාජ්‍ය සේවයට සම්බන්ධ කරගැනීම යි. ඔවුන්ට භාෂා දෙක පිළිබඳව ම දැනුමක් වර්ධනය වන නිසා මෙහි දී සිංහලයන් සමග කටයුතු කිරීමේ පහසුව ඇති වේ. නමුත් සාමාන්‍ය වැසියන් හා භික්ෂූන්වහන්සේලා මෙය දුටුවේ භාෂා ඉගැන්වීමට එහි ගිය කාර්යයක් වශයෙනි. භාෂාවට අමතරව බටහිර සංස්කෘතිය ද ඔවුන්ට හුරුකරවීම නිසා උඩරට සාම්ප්‍රදායික සංස්කෘතියට ඉන් හානි වන බවට ඔවුන් තුළ බියක් ද ඇතිවිය. උඩරටට උරුමව පැවති සාම්ප්‍රදායික සිරිත් විරිත් හා චර්යා ධර්ම අභියෝගයට ලක් වී සමාජ සංස්ථාව බිඳවැටෙනු ඇත යන මතය වර්ධනය වූ අතර එය සනාථ කරන සිදුවීම් ද අසන්නට ලැබුණි. මෙවැනි වාතාවරණයක් තුළ සාමාන්‍ය වැසියන් තුළ කලකිරීමක් ඇතිවිය.
උඩරැටියන්ගේ බ්‍රිතාන්‍ය විරෝධී චින්තනය-උඩරට වැසියන් මුල සිට ම බ්‍රිතාන්‍ය විරෝධීන් වූ නිසා ද මේ තත්ත්වය ඇතිවිය. ඔවුන් මුල සිට ම සිය ස්වාධීනත්වය පිළිබඳ අභිමානයෙන් පසු වූ ජාතියක් විය මේ නිසා තමන් ඉංග්‍රීසීන්ගේ යටත් වැසියන්ගේ තත්ත්වයට පත්වීම පිළිබඳ ඔවුන් තුළ පැවතියේ කලකිරීමක් හා කෝපයකි. වෛද්‍ය හෙන්රි මාෂල් සඳහන් කර ඇත්තේ ‘‘ නුඹලා දැන් රජු බලයෙන් පහකර ඇත. ඊට වඩා කිසිවක් අනවශ්‍යයි. නුඹලාට දැන් අපව අත්හැර යා හැකි ය.‘‘ යනුවෙන් තමාට එක් උඩරැටියෙක් ප්‍රකාශ කළ බව යි. මෙයින් ම පෙනී යන්නේ උඩරැටියන් තුළ වර්ධනය වී තිබූ බ්‍රිතාන්‍ය විරෝධය යි. ස්වාධීන බව නිවහල් බව අගය කළ ගතිය යි.
සේ සියල්ල අවසානයේ උව වෙල්ලස්ස ප්‍රදේශයෙන් බ්‍රිතාන්‍ය විරෝධී මහා අරගලයක් වශයෙන් පිටතට පැමිණියේ ය. එය මතුවීමට ආසන්නත ම හේතුව වූයේ හජ්ජි මරික්කාර් සම්බන්ධ සිදුවීමයි. මෙය මුළු මහත් උඩරට සමාජය ම කැළඹීමට පත් කළ සිදුවීමක් විය. මැද පෙරදිග රටක ප්‍රාදේශීය පාලන ඒකකයකට හෝ බෞද්ධයෙකු පාලන ප්‍රධානියෙක් වශයෙන් පත්වුවහොත් ඇතිවන තත්ත්වයට සමාන එකකි. මේ මුල් කරගෙන ඇතිවූ කැළඹිමේ මුල් ම විශාල ගොදුර බවට පත්වන්නට සිදුවූයේ බදුල්ලේ උප ඒජන්තවරයා වූ සිල්වෙස්ටර් විල්සන් හා හජ්ජි මරික්කාර් ය. කුපිත වූ වැසියන් විසින් මේ දෙදෙනා ඝාතනය කරන ලදී. මෙසේ ඇරඹුණු අරගලයට නායකත්වය දුන්නේ දොරේසාමි හෙවත් විල්බාවේ නමැත්තා ය.කැප්පෙටිපොළ අදිකාරම, මඩුගල්ලේ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ වැනි නායකයෝ රැසක් මීට දායක වූහ.