ඉන්දියාවේ පැරණි වරාය අතරින් කිහිපයක වැදගත්කම-තාම්‍රලිප්ති, සුප්පාරක, භාරුකච්ච, කැලිකට්, කොචින්, ගෝව

තාම්‍රලිප්ත වරාය

ගංගා නම් නදියේ අග නිමවී ඇති ඩෙල්ටාවන් අතරින් බටහිරට වන්නට ඇති කොටසේ පිහිටි සුප්‍රසිද්ධ නෞකා තොටුපළකි. බුරුමය, චීනය, සියමය, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග අතීතයේ සිටම ඉන්දියානුවන් සබදතා පැවැත්වූයේ මේ තොටුපළ ඔස්සේය. විශේෂයෙන්ම උතුරු ඉන්දීය වෙළඳුන් ගිනිකොණ දිග ආසියාව හා සම්බන්ධ වූයේ මේ වරාය ඔස්සේය. මේ තොටුපළ අසලින් ඇරඹෙන ජල මාර්ගයක් ද ගොඩබිම් මාර්ගයක් ද පැවතියේ ය. ඒ දෙකම වාණිජ කටයුතුවලට සම්බන්ධ මාර්ග වේ. ඉන් ජල මාර්ගය ගංගා නම් ගග ඔස්සේ අලහබාද් දක්වා විහිදුණු අතර එතැනින් යමුනා නදිය ඔස්සේ අග්‍රා දක්වා විහිදුණි. ගොඩබිම් මාර්ගය පාඨලීපුත්‍රයටත් එතැනින් බරණැස හරහා වයඹදිග ඉන්දියාවේ කාබුල් ප්‍රදේශය දක්වාත් විහිද තිබුණි.

ලංකාවට ආ භද්දකච්චායනා කුමරිය මෙහි ආයේ තාම්‍රලිප්තිය හරහා ය. අශෝක රජු හා දූත සබඳතා පැවැත්වූ ලංකාවේ තිස්ස රජු ද සිය දූතයින් පිටත්කර හැරියේ තාම්‍රලිප්තියටය. එතැනට යාමට සතියක් ගතවූයේ යැයි මහාවංසයේ සඳහන් වේ. එතැන් සිට පාඨලීපුත්‍රයට ගොඩබිම් මගින් යාමට සතියක කාලයක් ගතවිය. ශ්‍රී ලංකාවේ මහාතිත්ථ, ජම්බුකොල, ගෝකණ්ණ වැනි වරායන් ඔස්සේ තාම්‍රලිප්තිය සමග සබඳතා පවත්වා ඇති බව මෙරට සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යයි. තාම්‍රලිප්ති වරාය වර්තමානයේ තම්ලුක් නමින් හැඳින්වේ.

තාම්‍රලිප්ති වරාය නිසා වංග දේශයට විශේෂ වැදගත්කමක් ද හිමිවිය. තාම්‍රලිප්තියේ සිට බුරුමය දෙසටත් දකුණු ඉන්දියාවටත් පහසුවෙන් යාත්‍රාකළ හැකි වීම නිසාය. වංග දේශය හරහා වෙළෙන්දන් තාම්‍රලිප්තියට පැමිණ ගනුදෙනු කිරීමට පෙළඹී තිබුණි.

ගෞඩ දේශයේ සාසංක රජුගේ මරණින් පසු ඔහුගේ රාජ්‍ය කොටස් 5කට බෙදී ගිය බව හ්‍යුංසාං හිමි සඳහන්කර තිබේ. ඉන් එකක මූලස්ථානය වූයේ තාම්‍රලිප්තියයි.  අශෝක අධිරාජ්‍යයාගේ නැගෙනහිර සීමාව වූයේ ද තාම්‍රලිප්තියයි. තාම්‍රලිප්තියේ අශෝක රජුගේ යැයි අනුමාන කළහැකි ස්තූපයක් ද වූ බව හ්‍යුං සියැං හිමි සඳහන් කර තිබේ. තාම්‍රලිප්තිය හරහා ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දු චීනය සමග සබඳතා තිබූ බව චීන සංචාරකයින් සඳහන්කර තිබේ.

සුප්පාරක වරාය

සොපාරා නමින් වර්තමානයේ හැඳින්වේ. වත්මන් මුම්බායි නගරයට සැතපුම් 37ක් පමණ උතුරින් පිහිටියේ වෙයි. වාණිජ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රකට විය. හින්දු පුරාණය සඳහන් කරන්නේ පැරණි භාරතයේ කොටස් පහෙන් එකක් වූ අපරන්තක දේශයේ අගනුවර වූයේ සුප්පාරකය බවයි. ටොලමි මේ වරාය සවුප්පාර නමින් හඳුන්වා ඇත. මජ්ඣිම නිකායේ පුණ්ණෝවාද සූත්‍රයේ ද බ්‍රහ්ම පුරාණය නම් ග්‍රන්ථයේ ද මේ තොටුපළ පිළිබඳ සඳහන් වේ. විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ඒමට ප්‍රථම සුප්පාරක තොටට ගොඩබැස කලක් සිටියද ඔවුන්ගේ නොමනා හැසිරීම් නිසා එතැනින් නික්මීමට සිදුවිය. අශෝක අධිරාජයාගේ නවරට සසුන් සේවයේ දී යෝනක ධම්මරක්ඛිත හිමි වැඩම කළේ සුප්පාරකය අගනුවර කරගත් අපරන්තක දේශයටය. රජුගේ පසුකාලීන ශිලා ලේඛනයක් ද මෙහි ඇත්තේය. සොපාරාවට නැගෙනහිරින් පිහිටි කාර්ලේ ලිපියක සොපාරාවේ සිට පැමිණි ධම්මොත්තරිය නිකායට අයත් දේශකයානන් වහන්සේනමක් ගැන සඳහන් වේ.

අශෝක අධිරාජ්‍යය අරාබි මුහුද තෙක් පැතිර පැවති බවට සොපාරා ලිපිය සාධකයකි.

සාතවාහනවරුන් අතරින් එක් රජකු වූ යඥ ශ්‍රී සාතකර්ණී රජුට අයත් කාසි ද සොපාරාවේ තිබී හමුවී තිබේ. ඔහුගේ බලය යටතේ මේ වරාය තිබූ බවට එය සාධකයකි. ශක සත්‍රපයෙකු වූ නහපානගේ බල ප්‍රදේශ පිළිබඳ සඳහන් මූලාශ්‍රයවල ශුර්පාරක නම ද සඳහන් වෙයි. එය සුප්පාරක වරාය යැයි හඳුනාගෙන තිබේ.

භාරුකච්ච වරාය

ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි වරායක් වන අතර ඉන්දියාව බටහිර ලෝකය හා සම්බන්ධ කළ වරායකි. බ්‍රෝච් ලෙස වර්තමානයේ හඳුන්වන මෙය අතීතයේදී භෘගුකච්ච නමින් ද හඳුන්වා ඇත. කාබුල් සිට උජ්ජේනි හරහා මධුරාව තෙක් විහිදුණු වෙළඳ මාර්ගයට භාරුකච්චය ද අයත් වූයේ එය ප්‍රධාන වරායක්ව පැවති නිසාවෙනි. වයඹ දිගින් එන්නන්ට පමණක් නොව පාඨලීපුත්‍ර, බරණැස් ආදී ප්‍රදේශවල සිට උජ්ජේනි හරහා පැමිණෙන්නන්ට ද බටහිර රටවල් හා ගනුදෙනු කිරීමට මේ වරාය වැදගත් විය. ක්‍රි.පූ. පළමු සියවසේ ලියවුණු පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයේ ද මේ වරාය පිළිබඳ සඳහන් වේ. පර්සියාව, අරාබිය, රෝමය වැනි රටවල් සමග ගනුදෙනුවේදී භාරුකච්චයට විශේෂ වැදගත්කමක් හිමිවිය. මිනැන්ඩර් රජුට අයත් කාසි ද මේ වරායේ කැණීම්වලදී හමුවී තිබේ. මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීමේදී භාවිත කළේ ද මෙම වරාය වියයුතු යැයි සෙනරත් පරණවිතාන මහතා අදහස් කරයි.

කැලිකට්, කොචින්, ගෝව වැනි වරායන් ද ඉන්දීය ඉතිහාසය කෙරෙහි යම් බලපෑමක් සිදුකර තිබේ. 1498 වර්ෂයේ මැයි මස 20 වැනිදා වස්කෝ ද ගාමා කැලිකට් වරායට ගොඩබැසීම ඉන්දීය ඉතිහාසයට පමණක් නොව පෙරදිග ඉතිහාසයටම මහත් බලපෑමක් සිදුකළේය. කුළුබඩු හා ක්‍රිස්තියානීන් සොයා ආ වස්කෝද ගාමා අනුව ගිය සෙසු යුරෝපීය ජාතිකයෝ ආසියාවේ ආගම, සංස්කෘතිය, දේශපාලනය හා ආර්ථිකය උඩුයටිකුරු කළහ. පෙරදිග ඔවුන් පිහිටුවාගත් මධ්‍යස්ථානවල සිට ආසියා කලාපයේ වෙළඳ හා වාණිජ කටයුතුවල ඒකාධිකාරයක් හිමිකරගන්නට උත්සාහ කළහ. ඉන්දියානු ලංකා හා වෙනත් රටවල වැසියන් දහස් ගණනක් මේ යුරෝපා ජාතීන් නිසාවෙන් මියගියහ. ආගම් වෙනස් කළහ. පෘතුගීසීන් පසුව සිය මධ්‍යස්ථානය කර ගත්තේ ගෝව නගරයයි. කොචින් වරාය ද මෙම බටහිර කරණයට සම්බන්ධවූ වරායකි.