සටහන-අමිල උඩවත්ත
මෙහි ආරම්භක පාලකයා ලෙස සඳහන් වන්නේ ඉහතින් කී දෙවැනි බුවනෙකබාහු රජතුමා ය. නමුත් ඔහුගේ කාලයේ විශේෂයෙන් සිදුවූ දෙයක් පිළිබඳ තොරතුරු හීන ය. (ම.ව. 90පරි 105 ගාථාව) ඔහු දම්බයි හෙවත් දඹදෙණියේ ආරක්ෂකයා වශයෙන් ද හඳුන්වා තිබේ යැයි ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය කෘතියේ සඳහන් වේ. හෙතෙම සැම ජෙට්ඨමූල මාසයක ම හෙවත් සෑම ජුනි මාසයක ම අභිෂේක උත්සව පැවැත්වූ බව ද සඳහන් වෙයි. මේ වනාහි යළි යළිත් අභිෂේක වීමක් නොව සිය රාජ්‍ය පදවිප්‍රාප්තිය සැමරීමක් පමණක් වියයුතුය. ඊට අමතර ව ඔහු වාර්ෂිකව උපසම්පදා උත්සව නවයක් කරවූ බව ද සඳහන් වේ. මේ නිසා මෙතුමා වර්ෂ 9ක් බලයේ සිටින්නට ඇතැයි අනුමාන කෙරෙයි. ඔහුට පසු ඔහුගේ පුත්‍රයා IVවන පරාක්‍රමබාහු නමින් එහි ම රජවිය. ඒ 1302 වර්ෂයේදී ය. IIවන පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද මේ රජු හඳුන්වා ඇත.
මෙතුමාගේ රාජ්‍ය කාලය ඉතා සාමකාමී එකක් වී යැයි සැලකෙයි. ඒ නිසා මෙකල ශාස්ත්‍රීය උන්නතියක් ද සිදුවිය. මෙතුමා පළමුකොටම සිය රාජගුරු පදවියට චෝළ දේශයෙන් ආ මහතෙර නමක් පත් කළේය. වීදාගම අනර්ඝ වෙහෙරක් කරවා එය එකී තෙරුන්වහන්සේට පූජා කළේය. ඉන් අනතුරුව සිය මාළිගය සමීපයේ සිතුවම් කර්මාන්තයෙන් විචිත්‍ර වූ දළදා මන්දිරයක් කරවා මහත් භක්තියෙන් යුතුව දළදා වහන්සේ එහි තැන්පත් කළේය. ඉන් අනතුරුව දළදා වහන්සේට පුදසත්කාර කළයුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තරකර දළදා සිරිත නම් කෘතිය කරවීය. දළදා වහන්සේ සම්බන්ධ චාරිත්‍ර අඛණ්ඩව ඉටුකරමින් දළදාමැදුර ද දිගුකල් පවත්වා ගැනීම උදෙසා දළදා මැදුරට ගම්බිම් කෙත්වතු හා පිරිවර ද පූජා කළේය.
මෙතුමාගේ කාලයේ ඇතිවූ ශාස්ත්‍රීය නවෝදය පිළිබඳ එකම සාධකය දළදා සිරිත කෘතියම පමණක් නොවේ. එතුවක් කාලයක් පෙළ බසින් පැවති පන්සියපනස් ජාතක පොත්වහන්සේ හෙළ බසට පරිවර්තනය කරන ලද්දේ ද මෙතුමාගේ කාලයේදී ය. මෙකල කිත්සිරිමෙවන් කැළණි විහාරයේ වැඩවාසය කළ විල්ගම්මුල ශ්‍රී පරාක්‍රමබාහු මාහිමියන් වහන්සේ විසින් අනාගතවංශය හා එළුබෝධිවංශය යන කෘතිද්වය රචනා කළේ ය. මූලාශ්‍රයවල සඳහන් වන අකාරයට මේ යුගයේදී ජාතක පොත් වහන්සේ සිංහල බසින් ලිවීමේදී ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරඇත්තේ වීරසිංහ පතිරාජ ඇමතියාය. උපදේශකත්වය සැපයූයේ රජුගේ රාජගුරු වූ චෝල භික්ෂූන් වහන්සේය. රජු උන්වහන්සේ වෙතින් සියලු ජාතක කතා අසා දැන, එය හෙළ බසින් ලියැවීය. පසුව එය ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් පවත්වාගෙන එන ලෙස මේධංකර නම් තෙරුන් වහන්සේට පැවරීය. රජු, තම නමින්ම වෙහෙරක් කරවා පූජාකරන ලද්දේ මේ මේධංකර ස්වාමීන් වහන්සේටය. රජු එම විහාරයේ නඩත්තුව පිණිස පරණගම, තැඹිලිහෙළ, දෙල්මඩ හා මොරවක යන ග්‍රාමයන් ද පූජා කළේය. රජු ජාතක පොත්වහන්සේ කෙරෙහි කෙතරම් විශේෂත්වයක් දැක්වී ද යන්න එයින්ම පෙනී යයි.
මෙතුමාගේ ශාසනික සේවාව ද මහත්ය. කුරුණෑගල කරවූ දළදා මැදුර, තම රාජගුරු හිමියන් උදෙසා කරවූ විහාරය,ජාතක පොත පවත්වාගෙන යාම පැවරුම් ලද මේධංකර මාහිමියන් උදෙසා කරවූ පැරකුම්බා මහවෙහෙර යනාදියට අමතරව මෙතුමා තොටගමු විහාරයේ ගරාවැටෙමින් තිබූ දීඝපාසාදය අලුත්වැඩියා කර දෙමහල් කොට පිදීය. දෙවුන්දර දෙමහල් පිළිමගෙයක් කරවා ගැටමාන්නා ග්‍රාමය එයට පිදීය. වැලිගම ඉදිකළ අග්‍රබෝධි විහාරයත් එතුමාගේ නිර්මාණයකි. කළුතරට නුදුරුව වීදාගම ග්‍රාමයේ වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන කරවා සිය රාජගුරු චෝළිය තෙරුන්වහන්සේට පූජා කළේය. සත්කෝරළයට අයත් අලුත්නුවර දේවාලය පිළිසකර කරවා එහි උපුල්වන් දේව ප්‍රතිමාවක් ද තැන්පත් කරවීය.
මෙතුමාගේ විශේෂතම ශාසනික සේවාව මහනුවර නගරය හැ බැඳී පවතී. සිය බෑනණුවන් වූ සිරිවර්ධන සේනාධිකාරීන් ලවා මහනුවර හෙවත් එවකට කටුපුළු නුවර නමින් හැඳින්වූ ප්‍රදේශයේ මාර්ග ආදිය පිළිසකර කරවා, සීමා ප්‍රාකාර ආදිය නිමවා කටුකොහොල් හරවා ප්‍රකෘතිමක් කළේය. අනතුරුව එහි අලුත් විහාරයක් ද කරවීය. ඒ විහාරය වනවාසී භික්ෂූන් සඳහා උචිත එකක් විය. එහි වාසය පිණිස සංඝ සම්මුතියෙන් වැඩම කරවූයේ යාපහුවේ වලස්ගිරි හෙවත් අච්ඡපබ්බත විහාරයේ වැඩවාසය කළ භික්ෂූන් වහන්සේලා හයනමකි. අච්ජගල්ල යන්න අස්ගිරි නමින් සිංහලයට එයි. ඒ නිසා මේ විහාරය එතැන්පටන් අස්ගිරි විහාරය නමින් ප්‍රකට විය. අස්ගිරි විහාරයේ නඩත්තුවට ශ්‍රීපාදස්ථානයේ ආදායමෙන් කොටසක් ද තවත් අයමාර්ග ද සලසා දුන්නේය.
මේ වැනි ශාසනික සේවාවන් රැසක් මෙතුමා සම්බන්ධයෙන් අසන්නට ලැබේ. නමුත් මෙතුමාගේ පාලන සමය නිමාවන්නේ බෝධා මාපාණ නම් ප්‍රභූවරයා ඇතිකළ කැරැල්ලෙන් රජු මිය යාමත් සමගිනි. මේ මරණයට ආසන්න කාලයේ එවකට මහනාහිමි පදවිය දැරූ පළාබත්ගල ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ අපවත්වූහ. ඒ නිසා මහනාහිමි තනතුරට පත්වූයේ විල්ගම්මුල හිමියන් ය. එහෙත් ඒ පත්වීම සමග මහනාහිමි තනතුර සංඝරාජ තනතුර බවට පත්විය. සංඝරාජ පරපුරේ ඇරඹුම මේ යැයි සැලකෙයි. රජුගේ මරණය සිදුවන්නේ ද මේ ආසන්න කාලයකදී ය. බෝධා මහපාණන්ගේ කැරැල්ල නිසා මරණයට පත් වූ රජු IIIවන විජයබාහු රජුගෙන් ඇරඹුණු රාජවංශයේ අවසානයා ද විය.
ඉතිහාසඥයන් පවසන්නේ දෙවන නාගරීකරණ අවදියේ ක්‍රමයෙන් නිරිතදිගට විතැන්වෙමින් පැවති රාජධානි නිරිත දිග ප්‍රදේශයේ ස්ථාවරත්වයට පත්කිරීමේ පළමු පියවර දඹදෙණියේ දෙවන පැරකුම්බා රජු විසින් තැබු බවයි. එහි දෙවැනි පියවර තැබූයේ සිව්වන පරාක්‍රමබාහු රජතුමා බව ද ඔවුන් සඳහන් කර තිබේ. මෙතුමාගේ සේවාවන් කුරුණෑගල, මහනුවර, කෑගල්ල, කොළඹ, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්ක කරා ව්‍යාප්තවීම නිසා මෙවැනි නිගමනයකට එළැඹෙන්නට ඇත.
1326දී පමණ සිදු වූ බෝදා මහපාණන්ගේ කැරැල්ල සමග කුරුණෑගල ආශ්‍රිතව වැඩවාසය කළ භික්ෂූන් වහන්සේලා එම ප්‍රදේශ අත්හැර ගිය බව සඳහන් වෙයි. විල්ගම්මුල හිමියන් කිත්සිරිමෙවන් කැළණි විහාරයට වැඩම කළේ ඒ කාලයේ යැයි සිතිය හැකි වේ. බෝදා මාපාණන්, රජුගේ යුවරජු වන්නට ඇතැයි සිතිය හැක. සිව්වන පරාක්‍රමබාහු රජතුමාගෙන් පසු බලයට පත්වූයේ තෙවැනි බුවනෙකබාහු හා පස්වෙනි විජයබාහු රජවරුන් ය.