සටහන-අමිල උඩවත්ත
ක්‍රි.ව. 1287 වැන්නේ දී තුන්වැනි පරාක්‍රමබාහු රජු බලයට පත් විය. ඔහු කුලශේඛර පාණ්ඩ්‍ය රජුගෙන් පෞද්ගලික ආයාචනයක් කර දළදා වහන්සේ යළි ලංකාවට වැඩමවීමට සමත් විය. මේ කාලය වනවිට පාණ්ඩ්‍යයින් ඉතා ප්‍රබල ව සිටින්නට ඇත. තුන්වැනි පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය දේශයට ගොස් එහි සැලකිය යුතු කාලයක් රැඳී සිට යළි මෙරටට ආ බව මූලාශ්‍රය අනුව පෙනී යයි. මේ වියවුල් සහගත කාලයේ යාපන රාජධානියත් වන්නි පාලකයනුත් ලංකාවේ ඒ ඒ කොටස්වල තමන්ට රිසි පාලනයක් ගෙනයන්නට ඇත. පාණ්ඩ්‍ය දේශයේ ගතකළ කාලය තුළ පාණ්ඩ්‍ය රජුගේ හිත දිනාගත් පරාක්‍රමබාහු රජු දළදා වහන්සේ යළි ලක්දිවට වැඩමවීමට සමත් විය. නමුත් මේ කාලයේ ම චීන අධිරාජයා වූ කුබ්ලයි ඛාන් ද දන්තධාතුව ඉල්ලා ලංකාවටත් පාණ්ඩ්‍ය දේශයටත් දූතයින් එවීය. ඔවුන් පළමු ව ආයේ ශ්‍රී ලංකාවට ය. ඒ වනවිට දළදා වහන්සේ වැඩසිටියේ පාණ්ඩ්‍ය දේශයේ නිසා චීන දූත පිරිස යළි පාණ්ඩ්‍ය දේශයට පිටත් වූහ. ඔවුන් එහි යනවිට තුන්වැනි පරාක්‍රමබාහු රජු දළදා වහන්සේ රැගෙන ලංකාව බලා පිටත් ව තිබුණි. මේ නිසා කුබ්ලයි ඛාන් ට දළදා වහන්සේ ලබාගැනීමට නොහැකි විය. දළදාවහන්සේ ලංකාවෙන් බැහැර වීමේ සිදුවීම පිළිබඳ පරණවිතාන මහතා සඳහන් කරන්නේ අන් කරුණකි. එතුමන් කියන්නේ ලංකාවේ ඇති වූ දුර්වල දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගත් ආර්යචක්‍රවර්තීන් ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ තමන් සතු කරගෙන යාපනය කේන්ද්‍ර කරගෙන ලංකාවේ උතුරේ පාලනය තමන් සතු කර ගත් බවයි. මේ අවස්ථාවේ තෙවැනි පරාක්‍රමබාහු රජු දළදාවහන්සේ යළි තමන් සතුකරගනු පිණිස පාණ්ඩ්‍ය දේශයට ගොස් පාණ්ඩ්‍ය ආධාර පැතී ය. ඔහුගේ ඉල්ලීම අනුව ලංකාවේ උතුර ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය හමුදා දළදාවහන්සේ අත්පත්කරගෙන පාණ්ඩ්‍ය දේශයට ගොස් එතුවක් කල් එහි රැඳී සිටි පරාක්‍රමබාහු රජුට දළදා වහන්සේ භාර දුන්හ. තෙවැනි පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය දේශයේ මද කලක් රැඳී සිටි බවට සාධක ඇති නිසා මෙය සත්‍යයක් වන්නට ද ඇත. මේ නිසා මේ ආර්යචක්‍රවර්තී ආක්‍රමණය සමග දළදා වහන්සේ ලංකාවෙන් බැහැරට ගෙන ගියේ ය යනුවෙන් මතයක් ගොඩනැගුණේ නැත යැයි තර්කයක් ඇත.
III වැනි පරාක්‍රමබාහු රජු බලයට පත්වූයේ පොළොන්නරුවේ ය. ඔහුට පාණ්ඩ්‍ය ආශිර්වාදය හිමි වූ අතර ලංකාවට අවාසි සහගත බැඳීම් ඇතිකරගන්නට සිදුවූවා විය යුතු ය. මේ නිසා දළදා වහන්සේ යළි ලක්දිවට වැඩමවීම පිළිබඳ සතුට මහජනයාට එතරම් නොදැනෙන්නට වූ ඇති අතර ඔවුන් ඒ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රබල ව සිටි බුවනෙකබාහු කුමරාට සහය දක්වන්නට වූහ. මේ බුවනෙකබාහු කුමරා අන් කවරෙකුත් නො ව පළමු බුවනෙකබාහු රජුගේ පුත්‍රයා ය.
මේ බුවනෙකබාහු කුමරා ජන පදනමක් ගොඩනගා ගනිමින් ප්‍රබල වෙමින් සිටියදී ඒ බව දැනගත් තෙවැනි පරා ක්‍රමබාහු රජු මේ කුමරාගේ ඇස් අන්ධ කරවීමට හෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කළේ ය. ඒ සඳහා ඔහු යොදාගත්තේ බුවනෙකබාහු කුමරාගේ කරණවෑමියා ය. නමුත් කුමන්ත්‍රණය අසාර්ථක විය. මේ සිදුවීම සමග බුවනෙකබාහු කුමාරයා තුළ රාජ්‍ය බලය හිමිකර ගැනීමේ ආශාව වැඩි විය. ඉහතින් කී ඝාතන තැත මහාවංශයේ ද සියලු පිටපත්වල සඳහන් නො වේ. ඒ කෙසේ වුව ද සිය බලසෙන් සමග පොළොන්නරුවට පිවිසි බුවනෙකබාහු කුමාරයා පරාක්‍රමබාහු රජු නෙරපා දමා රාජ්‍ය බලය පැහැරගත්තේ ය. එහෙත් මහාවංසයේ ඇතැම් පිටපත්වල ඇත්තේ III වැනි පරාක්‍රමබාහු රජුට පසු බුවවෙකබාහු බලයට පත්වූ බව ය.
එය කෙසේ සිදුවුව ද අභිනව පාලකයා වූ දෙවන බුවනෙකබාහු රජු තවදුරටත් පොළොන්නරුවේ විසීමට කැමැත්තක් නොදැක්වී ය. ඒ නිසා ඔහු අභිනව රාජධානියක් පිහිටුවා ගත්තේ ය. ඒ වත්මන් වයඹ පළාතට අයත් ඇතුගල්පුරය හෙවත් කුරුණෑගල පුරයයි.