සටහන-අමිල උඩවත්ත
යාපහුව පාලන මධ්‍යස්ථානය කරගත් පළමු පාලකයා වන්නේ පළමුවෙනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු IIවන පරාක්‍රමබාහු රජතුමාගේ බාල පුත්‍රයා වූ අතර IVවන විජයබාහු රජුගේ සොහොයුරා ය. අවබෝධයට පහසුව පිණිස පසුගිය විස්තරයක් යළි සිහිපත් කරමු.
විසිහතර දහසක කේරළ හා මලල ද්‍රවිඩයන් පිරිසක් සමග පැමිණ ක්‍රි. ව. 1215වැන්නේ දී පොළොන්නරුවේ බලය තහවුරු කරගත් කාලිංග මාඝ ඉන් වර්ෂ 40කට පසු දෙවැනි පැරකුම්බාවන් අතින් මියයාමත් සමග ලංකාවේ නව යුගයක් ඇරඹුණි. පැරණි රජරට රාජධානිය බිඳවැටී දෙවැනි නාගරීකරණ අවධිය ඇරඹුණු පසු උදාවූ පළමු ස්වර්ණමය යුගය වශයෙන් හැඳින්විය හැක්කේ දෙවැනි පරාක්‍රමාබාහු රාජ්‍ය සමයයි. මේ යුගයේ දී ලංකාවේ බොහෝ දුරට සමබර සංවර්ධනයක් ඇති වී ය යන්නට තර්කයකින් තොර ව ම එකඟ විය හැකි වේ. කෙසේ වුව ද පොළොන්නරු පරිහානියට පසු ලංකාවේ සිදු වූ සුවිශේෂ ම දේශපාලන වෙනසක් වූ වන්නි රාජධානි බිහි වීම පිළිබඳ ව ද අපගේ අවධානය යොමුවෙයි. වන්නි යන වදන පළමුකොට ම මහාවංසයේ සඳහන් වන්නේ තෙවැනි විජයබාහු රජු සම්බන්ධ විස්තරයේ ය. තෙවැනි විජයබාහු රජු වන්නිවරුන් අතරින් කෙනෙක් යැයි මහාවංසයේ දැක්වේ. වන්නි යන වදන උපදින්නට ඇත්තේ වනය යන වදනින් හෝ වනගත රාජධානි යන අරුත දෙන වදනකින් යැයි විශ්වාසයක් පැවතිය ද ඥානප්‍රගාසර්, එස්. පද්මනාදන් වැනි ඉන්දීය උගතුන් ප්‍රකාශ කරන ආකාරයට වන්නිවරු බිහි වී ඇත්තේ දකුණු ඉන්දීය තොණ්ඩෙයිමණ්ඩලම්හි වනගත ප්‍රදේශවල සිට පැමිණි වන්නියාර්වරුන්ගෙනි. නමුත් මේ පිළිබඳ වෙනත් මතවාද ද ඇති බව අමතක නොකළ යුතු ය. ඔවුන් අතර සිංහල නායකයෝ මෙන් ම ද්‍රවිඩ නායකයෝ ද වූහ. කාලිංග මාඝගෙන් පසු වනයට බිලිවෙමින් තිබූ රජරට කොටසේ උතුරු හා නැගෙනහිර කලාප ආශ්‍රිතව ඉතිරි වී සිටි ජන සමූහයාගේ නායකයින් වූයේ ඔවුන් ය. ඈත වනගත ගම්මානවල පාලන කටයුතු හෝ ආර්ථික කටයුතුවල බලපෑම මධ්‍යම රජයට තදින් අදාළ නොවන නිසා මේ වන්නි පිළිබඳ කාලයක් තිස්සේ රාජ්‍ය අවධානයක් යොමු වූයේ නැත. වන්නිවරු ද අර්ධ හෝ පූර්ණ ස්වාධීන පාලනයක් ගෙනගියහ. ඔවුන් කලින් කලට පත් වූ සිංහල හෝ යාපනයේ ද්‍රවිඩ නායකයින් අතරින් වඩාත් ප්‍රබල රජුට අවනත වීමේ ප්‍රවණතාවක් ද විය. මහ වන්නි හා සිරි වන්නි නමින් වන්නි වර්ග දෙකක් විය. මහ වන්නි යනු තරමක් විශාල පාලන ප්‍රදේශයකි. මේවා දහඅටක් තිබූ බව පෙනෙයි. සිරි වන්නි යනු කුඩා රාජ්‍යයන් ය. මේවා තුන්සිය හැටහතරක් වී යැයි පිළිගන්නට හැකි ය. නමුත් මේ සංඛ්‍යා දී ඇත්තේ මේ පිළිබඳ විධිමත් ගණනය කිරීමකින් පසු නො වන නිසා සංඛ්‍යා පිළිබඳ විශාල විස්වාසයක් තැබීමට නොහැකි ය. අත්තනගලු ප්‍රදේශයේ ද වන්නිවරුන් සිටි බව අත්තනගලු වංසය අනුව පෙනී යයි. ඔවුන් එකල පාලකයාට අකීකරු වීමක් පිළිබඳ පුවතක් එහි සඳහනක් වේ. මේ වන්නිවරු අතරින් ම ආ IIIවන විජයබාහු රජු පොළාන්නරුවේ කාලිංග මාඝ සිටියදී ම දඹදෙණියේ රාජධානියක් පිහිටුවාගත් අයුරු මීට ඉහත සඳහන් කර ඇත. ඔහු බලයට පත් වූ පසු සෙසු වන්නියාර්වරු ඔහුට අවනතව වාසය කළා මිස රාජධානි හෝ
බලප්‍රදේශ අත්හැර දැමූ වගක් නොපෙනෙයි. මේ නිසා ලංකාවේ යටත්විජිත යුගය වනවිටත් කලින් කලට මේ වන්නියාර්වරුන්ගේ පිබිදීම් දක්නට ලැබෙයි.
IIIවන විජයබාහු රජුට පසු බලයට පත් වූ IIවන පරාක්‍රමබාහු රජුගේ සමයේ ද මේ වන්නියර්වරු රජරට උතුරු ප්‍රදේශයේ හා නැගෙනහිර පළාතේ වනගත පාලන ඒකක පවත්වාගෙන ගොස් ඇත. ඔවුන් සතු ව පෞද්ගලික යුද්ධහමුදා සිටි බවක් ද පෙනී යයි. නමුත් රටේ අගරජු හෝ කාලීන ව බලවත් වූ නායකයින්ට ඔවුන් අවනතව සිටියා විනා, මෙරට දේශපාලන බලවේගයන්ට විශාල වශයෙන් අභියෝග කළේ නැත. ඒ නිසා මේ යුගයේ රජවරු වන්නිවරුන් මර්දනය කෙරේ විශාල අවධානයක් යොමු කළේ ද නැත. නමුත් ඇතැම් අවස්ථාවල වන්නියර්වරු ප්‍රබලව නැගී සිටින ආකාරයක් ද පෙනී යයි. IIවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී වන්නියාර්වරුන්ට රජරට ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීමේ රාජකාරිය පැවරීමක් දක්නට ලැබෙයි. පරක්‍රමබාහු රජුගේ පුත් විජයබාහු කුමරු (පසු කාලයේ IVවන විජයබාහු නමින් රජවූ කුමාරයා) වන්නිවරුන්ට මෙකී රාජකාරිය පැවරී ය. එය වන්නිවරුන්ට යම් නීත්‍යනුකූලභාවයක් හිමි වූ අවස්ථාවක් වශයෙන් ද සැලකිය හැකි ය. තව ද ඔවුන් දඹදෙණියේ රජුට අවනත ව විසූ බවක් ද මින් පෙනී යයි.
IIවන පරාක්‍රමබාහු රජුට පසු බලයට පත්වන්නේ ඔහු පුත්, IVවන විජයබාහු කුමාරයා ය. ඔහු බෝසත් විජයබාහු යන නමින් ද හඳුන්වා ඇත. සරල, චාම් ගතිපැවතුම්වලින් යුතු හේ, එකී ගුණාංග නිසා ම විරුද්ධ මතවාදියෙකුගේ පහසු ගොදුරක් බවට පත් විය. මිත්ත නමින් සිටි යුධහමුදා ප්‍රධානියෙකු රාජ්‍යත්වයෙන් දෙවැනි වර්ෂය ගතකරමින් සිටි බෝසත් විජයබාහු රජු ඝාතනය කළේ ය. (නමුත් මේ පුවත සඳහන් වන්නේ මහා වංශයේ පමණි) මේ ඝාතනය සිදු කළේ අල්ලස් දීමෙන් පක්ෂපාත කරගත් රජමැදුරේ සේවකයෙකු මාර්ගයෙනි. කෙසේ වෙතත් මේ සෙන්පතියාගේ ක්‍රියාව යුද්ධහමුදාවේ සෙසු පිරිස් අනුමත කළ බවක් නොපෙනෙයි.මේ නිසා මිත්ත සෙන්පතියා වැටුප් හා වරප්‍රසාද දීම මගින් සිංහල හමුදා පක්ෂපාතී කරගත්තේ ය. අනතුරු ව මිත්ත නම් වූ මේ සෙන්පතියා විජයබාහු රජ ඝාතනයෙන් නොනැවතී ඔහුගේ සොයුරු බුවනෙකබාහු කුමාරයා ඝාතනය කිරීමට ද උත්සාහයක් ගත්තේ ය. නමුත් එම ඝාතන තැත පිළිබඳ අවබෝධ කර ගත් බුවනෙකබාහු කුමාරයා රජමැදුරෙන් පලා ගියේ ය. මිත්ත උත්සාහය අත් නොහැර ම සිය සහචරයින් නවදෙනෙකු කුමරා පසුපස යැවී ය. බුවනෙකබාහු කුමරාගේ සහයකයින් කුමරා දෝලාවක නංවාගෙන යන අතරතුර මිත්තගේ සහයකයින් පැමිණ ඔහු අල්ලා දෝලාව කඩාබිඳ දැමුව ද, ඉන් බේරී කෙසේ හෝ යාපහුවට යාමට කුමරා සමත් විය. එහි සිටි පිරිස කුමරාට පක්ෂපාතව සිටි බවක් පෙනෙයි. දඹදෙණි රජගෙදර අශ්‍රිත ව සිටි හමුදාව අතර ආර්ය හා සිංහල නමින් කොටස් 2ක් විය. ආර්ය බලඇණියේ නායකයා ඨකූරක නම් විය. ඒ නාමය අනුව පෙනී යන්නේ ඔවුන් කුලී පදනමට මෙරට සේවය කළ රාජ්පුත්වරුන් බවයි. දිවුරුමේ ලෙසට ම කටයුතු කරන්නන් වශයෙන් ප්‍රකට රාජ්පුත්වරු මෙහි දී සුවිශේෂ තීරණයක් ගත්හ. සිංහල සේනා මිත්තට පක්ෂපාත වුව ද මිත්ත රාජ්‍යත්වයට සුදුස්සා නොවූ නිසාත් රාජ්‍ය පැහැරගත් කුමන්ත්‍රණකරු වූ නිසාත් ඨකූරක විසින් මිත්ත සෙනෙවියා මරා දමන ලදී. පසු ව සිංහල හමුදා ද පක්ෂපාතී කරගත් ඨකූරක, යාපහුවේ සිටි බුවනෙකබාහු කුමරා කැඳවාගෙන අවුත් අභිෂේක කළේ ය. විදෙස් භටයන් විසින් ලංකාවේ පාලනය යහමගට ගැනීමේ මේ අවස්ථාව ලංකා ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වශයෙන් සැලකෙයි. 1272 වර්ෂයේ දී දඹදෙණියේ දී මේ කුමාරයා බලයට පත්වන්නේ බුවනෙකබාහු නමිනි. මේ නමින් ලංකා ඉතිහාසයේ සිටි පළමුවැන්නා මොහු නිසා පළමු බුවනෙකබාහු නමින් හඳුනවනු ලැබෙයි. බලයට පත් වූ පසු ඔහුට තිබූ අභියෝග නිම වූයේ නැත. මීට ඉහතින් විස්තර කර ඇති වන්නියාර්වරු රජුට එරෙහි ව නැගී සිටියහ. එබඳු වන්නියාර්වරු කිහිපදෙනෙකු පිළිබඳ ව වංස කතාවල සඳහන් වෙයි.
- කදලිවාට
- ඈපාන
- තිප
- හිමියන්ක(හිමියාන)
මේ වන්නිවරුන් රජුට එරෙහි ව නැගීසිටියේ ඇයි ද යන්න පැහැදිලි නො වේ. කෙසේ වෙතත් ඉතා නිර්භීත වූ බුවනෙකබාහු රජු මේ සතුරන් පරාජය කිරීමට සමත් විය. එහෙත් සතුරු උවදුරු එයින් ද නිම වූ වගක් නොපෙනෙයි. එවර විදෙස් සතුරන් දෙදෙනෙකුට මුහුණ දීමට රජුට සිදු විය.
- කාලිංගරායර
- චෝඩගංග
මේ සතුරන් දෙදෙනා ය. ඔවුන් දකුණු ඉන්දීය ප්‍රභූන් යැයි සඳහන් වේ. රජු මේ ආක්‍රමණිකයන් ද පරාජය කිරීමට සමත් විය. මේ අභියෝගවලින් පසු රජු දඹදෙණිය රාජධානියෙන් ඉවත් ව යාපහුවට ගිය බවක් අසන්නට ලැබෙයි. යාපහුව ඒ වනවිටත් බලකොටුවක් ව පැවතියේ ය. කාලිංග මාඝගේ සමයේ ද මෙහි සුභ(ශුබ) නමැති සෙන්පතියා බලකොටුවක් තනාගෙන සිටියේ ය. නමුත් පළමු බුවනෙකබාහු රජු යාපහුවේ පළමු පාලකයා ලෙස පිළිගැනෙයි. චන්ද්‍රභානු දෙවන වර පරාජයට පත් කළේ ද යාපහුවේ දී ය. එය දුර්ග බලකොටුවකි. මේ ස්ථානය තම අගනුවර වශයෙන් තෝරාගැනීමේ මෙම තීරණයට හේතුව ඒ වනවිට ක්‍රමයෙන් ප්‍රබල වෙමින් සිටි යාපන පාලකයින්ගෙන් මතු ඇති විය හැකි උවදුරු වළක්වා ගැනීම විය යුතු ය. යාපනය ඒ වන විට පාලනක කළේ චන්ද්‍රභානු ආක්‍රමණිකයාගේ පුත්‍රයා විය යුතු ය. චන්ද්‍රභානු දෙව නවර පරිජය කිරීම සඳහා දඹදෙණියේ දෙවන පැරකුම්බාවන් පාණ්ඩ්‍ය සහය ලබාගත් අතර, පාණ්ඩ්‍යයෝ ඒ වෙනුවෙන් ලංකාවේ උතුරු කොටසේ තමන්ට පක්ෂපාතී පාලනයක් ස්ථාපනය කළහ. මෙහි පාලකයා වශයෙන් ඔවුන් පත් කළේ ඔවුන් අතින් පරාජය වූ චන්ද්‍රභානු අක්‍රමණිකයාගේ පුත්‍රයා ය. එයට හේතුව පැහැදිලි නැත. ඇතැම් විට මේ යුද්ධයේ දී එම කුමාරයා පාණ්ඩ්‍ය පාර්ශ්වයට එකතු වන්නට ඇත. 1272 වර්ෂයේ දී ලංකාවට ආ මාර්කෝ පෝලෝ සඳහන් කරන්නේ ඒ වන විට යාපනයේ පාලකයා වූයේ ‘‘සෙන්දමේන් ‘‘ නමැත්තා බවයි. මෙය චන්ද්‍රභානු යන්නට සමාන උච්චාරණයක් සහිත වදනකැ‘යි ඉතිහාසඥයෝ විශ්වාස කරති.
- පළමු බුවනෙකබාහු රජුගේ විවිධ සේවා
- යාපහුව මුල්කරගත් නව රාජධානියක් ඇරඹීම.
- යාපහුව බලකොටුව අගනගරයක් වශයෙන් සංවර්ධනය කිරීම.
- විදෙස් සබඳතා තුළින් ලංකාවේ ආර්ථික සංවර්ධනයට උත්සාහ කිරීම.
- ධර්ම පුස්තක කළවුන්ට වස්තුව දී, දිරිගැන්වීම.
- ත්‍රිපිටකය ග්‍රන්ථාගත කිරීම/ යළි ලිවීම.
- රාජ්‍යානුග්‍රහය ඇති ව උපසම්පදා උත්සවයක් කිරීම
- දෛනිකව දළදා පූජා පැවැත්වීම.
යාපහුව රාජධානිය අඩසියවසක් හෝ නොපැවතුණ ද එය ශ්‍රී ලංකාවේ සිව්වන රාජධානිය වශයෙන් ඉතිහාසයට එක් විය. දෙවැනි නාගරීකරණ අවධියට අයත් දෙවැනි රාජධානිය වූයේ ද එයයි. එය කලක් ආරක්ෂිත බලකොටුවක් ව පැවතියේ ද එය රාජධානි අගනගරයක් වශයෙන් වර්ධනය කළේ පළමුවන බුවනෙකබාහු රජතුමා ය. පියගැටපෙළ සංකීර්ණය , පවුරු හා දිය අගල් ද සහිත අංග සම්පූර්ණ අගනගරයක් වශයෙන් මෙය වර්ධනය කළේ මෙතුමා යැයි විශ්වාස කෙරෙයි. නමුත් අදවන විට යාපහුව ආශ්‍රිත ව හමු වන සියලු නටබුන් මෙතුමාගේ ඉදිකිරීම් පිළිබඳ සාධකයෝ නොවෙති. එතුමාට පෙර යුගයේ යාපහුව බලකොටුවක් වශයෙන් තිබියදී කළ ඉදිකිරීම්වල කොටස් ද ඒ අතර වෙයි. විශේෂයෙන් ම එහි ඇති ගඩොල් ප්‍රාකාරය අය ත්වන්නේ එතුමාට පෙර යුගයකට ය. මේ යුගය වනවිට වියළි කලාපයේ රාජධානි සක්‍රිය ව නොපැවතියෙන් ඊට සමාන්තර ව ඒ කලාපයේ කෘෂි ආර්ථිකයේ ද පසුබැසීමක් දක්නට ලැබිණි. මේ නිසා මෙරට ආර්ථිකය තවදුරටත් කෘෂිකර්මය මත පමණක් ගොඩනැංවීමට අපහසු බව අවබෝධ කරගත් පළමු බුවනෙකබාහු රජතුමා විදෙස් සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේ ය. මේ වන විට ලංකාව අවට ඉන්දීය සාගර කලාපයේ විදෙස් වෙළඳාම දියුණු වී පැවතුණි. මේ විදෙස් වෙළඳාමේ වැඩි වාසි අත්කර ගත්තේ එහි අතරමැදියන් වශයෙන් කටයුතු කළ මුස්ලිම්වරුන් ය. මේ නිසා වෙළඳ කටයුතුවල දී අතරමැදියන් යොදා නොගෙන සෘජු ගනුදෙනු වර්ධනය කරගතහැකි නම් වැඩි ලාභයක් ලබා ගන්නට හැකි වග මේ රජු අවබෝධකරගෙන සිටියේ ය.
“ මා සතු ව සියලු ම වර්ගවල අගනා මැණික් හා මුතු තිබේ. කුරුඳු, අලිඇතුන් හා වටිනා දැව ද තිබේ. ඔබගේ ඉල්ලීමක් වේ නම් ඉතා අගනා දැවවලින් කළ නෞකා විස්සක් පමණ වුව ද වාර්ෂික ව සැපයීමට හැකි ය. “
යනුවෙන් තම වෙළඳ ශක්‍යතාව සඳහන් කළ හසුනක් සමග ලංකා දූත කණ්ඩායමක් ඊජිප්තු සුල්තාන්වරයා හමුවට ගියේ පළමුවෙනි බුවනෙකබාහු රජ දවස ය. මේ බව අරාබි ලේඛනවලින් ද සනාථ වී ඇති අතර 1283 වර්ෂයේ අප්රේල් මාසයේ දී ඊජිප්තු සුල්තාන්වරයා විසින් මිසරයේ කයිරෝ නුවර දී මේ ලාංකික දූත පිරිස පිළිගන්නා ලද බව අරාබි ලේඛන අනුව පෙනී යයි. කයිරෝව යනු මේ වන විට යුරෝපය පුරා භාණ්ඩ බෙදාහැරි වෙළඳ මධ්‍යස්ථානයි. කොන්ස්තන්තිනෝපල් නගරය යුරෝපයේ ප්‍රධාන වෙළඳ නගරය වීමට පෙර යුරෝපය පුරා භාණ්ඩ බෙදාහරින ලද්දේ කයිරෝවේ සිට ය. එ බැවින් කයිරෝව හා වෙළඳ සබඳතාවක් ඇතිකර ගැනීම යනු එවකට යුරෝපා වෙළඳපොළ දොරටුවක් විවර කරගත්තා හා සමාන කාර්යයකි. මේ නිසා පළමු බුවනෙකබාහු රජු ගත් තීරණය අතිශය වැදගත් එකකි. මේ දූත ගමන බොහෝ විට සාර්ථක වන්නට ඇත. මේ දූත ගමනේ දී ඊජිප්තු පාර්ශ්වයේ සුල්තාන්වරයා වූයේ ක්වූ-ලාවුන් ය. (Qulaun) ඔහුගේ කාසි ලංකාවෙන් හමු වී ඇති බව කොඩ්රින්ටන් වාර්තාවල සඳහන් වේ. බුවනෙකබාහු රජුට අයත් ලංකා කාසි කෙන්යාවේ මොගදිසු (මොගඩිෂු) නගරයෙන් ද හමු වී තිබේ. ඒ නිසා මේ දූතගමන් සාර්ථක වන්නට ඇති බව විශ්වාස කළ හැකි වේ.
පළමු බුවනෙකබාහු රජු ද තම පියා මෙන්ම ශාසනික මෙහෙවරක නිරත වූයේ ය. ධර්ම පුස්තක කරවූ ලේඛකයන් තවදුරටත් දිරිමත් කරනු පිණිස ඔවුන්ට වස්තු දාන කළේය. ත්‍රිපිටකය යළිත් වරක් ග්‍රන්ථාගත කළේ ය. අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා පිරිහී යමින් තිබූ ශාසනය යළි නගාසිටුවීම පිණිස මේ රජතුමා විසින් උපසම්පදා රාජ්‍ය උත්සවයක් ද පවත්වනු ලැබිණි. දළදා වහන්සේ වෙනුවෙන් දෛනික පූජා පැවැත්වීමට ද මෙතුමා අනුග්‍රහ දැක්වී ය. ඒ වෙනුවෙන් යාපහුවේ දළදා මැදුරක් කරවී ය. එහි නටබුන් අද ද දක්නට ලැබෙයි. මේ දළදා මැදුරේ දළදා වහන්සේ වර්ෂ 11ක් වැඩසිටි බව රාජාවලිය, දළදා පූජාවලිය , එළු දළදා වංශය හා රාජරත්නාකරය වැනි මූලාශ්‍රය අනුව පෙනී යයි.