දෙවන පරාක්‍රමබාහු රජතුමා

 

සටහන-අමිල උඩවත්ත

3 වන විජයබාහු රජතුමාගෙන් පස්සෙ දඹදෙනිය රාජධානියේ පාලකයා වූයේ දෙවන පරාක්‍රමබාහු රජතුමා ය. මහාවංසය, පූජාවලිය, දඹදෙණි අස්න, කඳවුරු සිරිත ආදී කෘති වලින් මෙතුමා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ. මෙතුමා විශිෂ්ට ගණයේ උගතෙක් වශයෙන් පෙන්වා දී ඇත. එම හේතුවෙන් එතුමාට  “කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත”  යන උපාධි නාමය හිමි වී තිබේ. දළදා පූජාවලියේ සඳහන් පරිදි මේ උපාධි නාමය මීට පෙර මහා පරාක්‍රමබාහු රජුගේ සුළු පියා වූ කිත්සිරිමෙවන් කුමරුන්ට ද තිබී ඇත. මේ නිසා මේ වනිහි ලංකාවේ සංඝ පරපුර විසින් උගතුන් උදෙසා දුන් ගෞරව උපාධිනාමයක් බව අවබෝධකරගත හැකි වේ. දෙවන පරාක්‍රමබාහු රජු ද දුර්ලභ ගණයේ උගත් පාලකයෙකු බව සඳහන් කළ හැකි වේ. මහාවංසයේ දෙවන කොටසේ මෙතුමා පිළිබඳ ගාථා 535ක විස්තරයත් අන්තර්ගත වේ. මෙතුමා ත්‍රිසිංහලාධීශ්වර යන විරුදය ද භාවිත කළේ ය.

ඔහුගේ පියා වූ තෙවන විජයබාහු රජු රජතුමා දළදා, පාදා දෙනම හිමිකරගනිමින් තම පරපුරට ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳ ඇති ජන සම්මතය ජය ගෙන තිබුණි. එපමණක් නොව එකළ පැවති නීතියට අනුව ද තමන්ට ලංකාවේ රාජ්‍යත්වය උරුම බව සනාථ කිරීමට මෙතුමා සමත් විය. ඒ අනුව දෙවන පරාක්‍රමබාහු කුමරාට රාජ්‍යත්ව උරුමය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැනනැඟුණේ නැත. මේ උදෙසා තෙවන විජයබාහු රජු අනුගමනය කළ ක්‍රියාමාර්ග තෙවන විජයබාහු රජු පිළිබඳ නිබන්ධනයේ දී ඔබට උගනින්නට අවස්ථාව ලැබී ඇත.

තෙවන විජයබාහු රජු අභාවයට ගිය පසු ඔහුගේ පුතුන් දෙදෙනා අතර දඹදෙණි රජකම හා යුව රජකම බෙදී ගියේ ය. ඒ අනුව දෙවන පැරකුමාබාවන් දඹදෙණියේ රජු වූ අතර බුවනෙකබාහු කුමාරයා යුව රජු වී කුරුණෑගල වාසයට ගියේ ය. මේ යුගය පිළිබඳ තොරතුරු ඇතුළත් වන හත්ථවනගල්ල විහාර වංසයේ සඳහන් වන්නේ දෙවන පැරකුම්බාවන් බලයට පත් වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 1824කට පසුව බව යි. මෙය නූතන ව්‍යවහාර වර්ෂ ක්‍රමයට අනුව ගණනය කළ විට ක්‍රි.ව. 1236 ලෙස ගතහැකි ය. පූජාවලියේ සඳහන් වන පරිදි මෙතුමා බලයට පත් වී ඇත්තේ මාඝගේ පැමිණීයෙන් වර්ෂ 21කට පසුව ය. මාඝ ලංකාවට පැමිණෙන්නේ ක්‍රි.ව. 1215 වැන්නේ දී ය. 1215+21=1236 වේ. මේ නිසා මූලාශ්‍රය දෙකකින් ම මෙතුමා බලයට පත් වූ වර්ෂය සනාථ වේ.

කාලිංග මාඝ ලංකාවේ බලය තහවුරු කරගත්ත ද ඔහුගේ බලය ලංකාව පුරා බලපැවත්වූයේ නැත. ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ කාලයේ විවිධ ප්‍රාදේශීය පාලකයන් බලකොටු තනාගෙන මාඝගේ ව්‍යාප්තිය නතර කළ බවක් පෙනෙන්නට තිබේ. නමුත් ඔවුන් කිසිවෙකු හෝ මාඝ සමග යුද්ධයට ඉදිරිපත් නොවී ය.මාඝ ද ලංකාව තුළින් තමන්ට එල්ලවිය හැකි තර්ජන පිළිබඳ වැඩි තැකීමක් නොකිරීම නිසා පෙනී යන්නේ මේ ප්‍රාදේශීය නායකයින් එතරම් ප්‍රබල නායකයින් නොවූ බව යි. මාඝ මායාරට සීමාවේ සිය බලකොටු හෝ ස්ථාපනය නොකළේ ය. පොළොන්නරුව, කොට්ටියාරම, කන්තලේ, කවුඩුල්ල, පදවිය, ත්‍රිකුණාමලය, මීපාතොට හා කයිට්ස්හි මේ රජුගේ බලකොටු පිහිටුවා තිබුණි. මෙයින් පෙනී යන්නේ ඔහු දකුණු ඉන්දීය ආක්‍රමණයකට සූදානමින් සිටි බව යි. පාණ්ඩ්‍යයෝ කාලිංගයින් හා අමනාපයෙන් පසුවීම මේ සූදානමට හේතු වන්නට ඇත. ලංකාව තුළින් තමන්ට ප්‍රබල අභියෝග ඇතැයි හේ නොසිතුවේ ය. මාඝගේ උපකාරයට ජයබාහු නමැති තවත් පාලකයෙකු ද සිට ඇත. ඔහු ද බුදුදහමට විරුද්ධව කටයුතු කළ අයෙකි. බොහෝ විට ඔහු ඉන්දියානුවෙකි. ඔහු පිළිබඳ පැහැදිලි තොරතුරක් නැත.

දෙවන පැරකුම්බාවන් රජ වන්නේ මෙවන් වාතාවරණයක් මධ්‍යයේ ය. කාලිංග මාඝ  බලයේ සිටි කාලය වර්ෂ 40ක් ලෙස සඳහන් වුව ද මහාවංසය එය වර්ෂ 21ක් ලෙස දක්වා තිබේ. එසේ දැක්වීමට හේතුව දෙවන පරාක්‍රමබාහු කුමරු බලයට පත්වන විට කාලිංග මාඝ වර්ෂ 21ක් බලයේ සිට තිබීමත්, දෙවන පැරකුම්බාවන්ගේ රාජ්‍ය පදවිප්‍රාප්තිය සමග ලංකාවේ වංසකතාකරුවන් ලංකාවේ රජු පැරකුම්බාවන් මිස මාඝ නොවන බව සලකා තිබූ බව යි. එනම් දෙවන පැරකුම්බාවන් බලයට පත්වීමත් සමග මාඝ ගේ පාලන සමය අවලංගු වූ බව යි.

දෙවන පැරකුමුබාවන් බලයට පත් වූ විගස සිදුකළ දෙයක් නම් මේ වනවිට බෙලිගල තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙණියේ අභිනවයෙන් ඉදිකළ දළදාමැදුරේ තැන්පත්කිරීම යි. ඉන් පසු දළදා වහන්සේ උදෙසා විශාල උත්සවයක් හා පෙරහැරක් ද කරවීය. මේ වනාහි සිය බලය තවදුරටත් තහවුරු කරගැනීමට හා ජනයා තමා වටා එක්රැස් කරගැනීම උදෙසා අනුගමනය කළ සාර්ථක උපක්‍රමයක් විය. මෙතැන් සිට ලංකාවේ බලය යළි සපුරාම දේශීය පාලකයෙකු යටතට ගැනීම උදෙසා දෙවන පරාක්‍රමබාහු රජු සැලසුම් කළේ ය. නමුත් ඔහුට එහි දී අභියෝග කිහිපයකට මුහුණදීමට සිදුවිය.

 

චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණය

චන්ද්‍රභානු වනාහි මලය අර්ධද්වීපයේ තාම්‍රලිංග[1] හෙවත් ලිගෝර් නම් ප්‍රදේශයේ වැසි බෞද්ධ ප්‍රභූවරයෙකි. ඔහු එහි පාලකයා යැයි ද අනුමාන කරන්නට හැකි ය. ඔහු පිළිබඳ සාධක සපයන ශිලාලේඛනමය මූලාශ්‍රයක් මැලේසියාවේ ක්‍රා සමුද්‍රසන්ධියට නුදුරු ස්ථානයකින් ලැබී තිබේ. එහි ඇත්තේ තාම්බ්‍රලිංගේශ්වර නමයි. එහි අරුත තාම්‍රලිංගයේ අධිපති යන්නයි. නමුත් ඔහු මුල්වරට ලංකාව ආක්‍රමණය කළේ ඇයි ද යන්න පැහැදිලි නොවේ. දෙවන වර ආක්‍රමණයේ දී හේ දළදා හා පාදා දෙනම ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ සම්පූර්ණ බලය හිමිකරගැනීම උදෙසා හෝ බෞද්ධ පුජනීය වස්තු හිමිකරගැනීමේ අරමුණෙන් පැමිණි බව යි. සියම් වංශකතාවක් වන ජිනකාලමාලියේ සඳහන් වන්නේ චන්ද්‍රභානු රජු පූජනීය වස්තුවක් හිමිකරගැනීම සඳහා ලංකාවට ආ බව යි. ඔහු ලංකාවට ආවේ ලංකාවේ තිබූ අද්භූත බුද්ධ ප්‍රතිමාවක් හිමිකරගැනීමටදැයි ද ජිනකාලමාලිය අනුව සිතේ. නමුත් ඔවුන් සඳහන් කළ ඒ ප්‍රතිමාව ලංකාවෙන් ලබාගැනීම පිණිස එකල සියම් රජු ලංකාවට දූතයෙක් එවූ බවත්, ලංකා රජු ඒ ප්‍රතිමාව ලබාදීමට එකඟ වූ බවත්, ඒ ප්‍රතිමාව සීහල පටිමා නමින් එරට තැන්පත් කළ බවත් එම කෘතියේ සඳහන් වේ.  ඇතැම් විට ඒ සිද්ධිය වන්නට ඇත්තේ චන්ද්‍රභානුගේ පළමු ආක්‍රමණයට පසු විහ හැකි ය. කෙසේ වෙතත් ක්‍රි.ව 1247 වැන්නේ දී ලංකාවේ නිරිතදිග වරායන්ගෙන් ඔහු පළමුවරට ලංකාවට ඇතුළුවන්නට ඇතැයි පිළිගත හැකි වේ. මන්ද යත් ඒ වන විට ලංකාවේ උතුරු කොටසේ බලය කාලිංග මාඝ යටතේ පැවති නිසා ය. ඔවුන් ‘‘ අපිත් බෞද්ධයෝ‘‘ යැයි කියමින් ලංකාවේ තොටුපළ කිහිපයකින් ගොඩබැස විෂ යෙදූ ඊතල වලින් විදිමින් මහත් විනාශයක් කළෝ ය.

චන්ද්‍රබානුගේ පළමු ආක්‍රමණ අවස්ථාවේ පරකුම්බාවන් සිය බැණනුවන් යටතේ ප්‍රබල සනද්ධ හමුදාවක් යවා තියුණු හා බිහිසුණු සටනකින් අනතුරුව චන්ද්‍රභානු පරාජය කළේ ය. පරාජයකිරීමෙන් අනතුරුව වීරබාහු කුමාරයා දෙවියන්ට තුති පුදකිරීම පිණිස දෙවිනුවරට ගිය බව දැක්වේ. ආක්‍රමණිකයන් ලංකාවට ඇතුළු වූයේ නිරිතදිගින් ය යන්නට එය සාධකයකි.

කෙසේ නමුත් චන්ද්‍රභානු මේ අවස්ථාවේ යළි සියරට බලා ගියේ ද යන්න සැක සහිත වේ. යාපන අර්ධද්වීපයේ ඇති චාවාකච්චේරි, චාවන් කෝට්ටෙයි හා ජාවක කෝට්ටේ වැනි නම් මේ සැකයට හේතුවක් වේ. මේවා ජාවක මූලයක් සහිත නම් ලෙස භාෂා විශේෂඥයින් දක්වා තිබේ. මේ අනුව පෙනී යන්නේ බොහෝ විට චන්ද්‍රභානු යළි සියරට නොගොස් යළි අවස්ථාවක් හිමිවන තුරු යාපන අර්ධද්වීපයේ නතර වී සිටි බව යි. කෝකිල සංදේශයේ ද මේ පිළිබඳ සරළ සඳහනක් තිබේ. කණ්නඩ බලසෙන් බිඳ හෙලූ ජාවක කෝට්ටේ යන වැකිය එහි ද තිබේ.

 

කාලිංග මාඝ පරාජය කිරීම.

ක්‍රි.ව. 1255 වැන්නට ආසන්න සමයක දී පරාක්‍රමබාහු රජුගේ හමුදා සිය උපරිම වැර යොදා කාලිංග මාඝ ගේ බලකොටු වලට පහර දීම ඇරඹීය. මන්නාරම, කයිට්ස්, ත්‍රිකුණාමලය වැනි සමුද්‍රාසන්න ස්ථානවල පැවත් මාඝ බලකොටු වලට දැවැන්ත සමුද්‍ර ප්‍රහාරයක් එල්ල කළ අතර මාඝ හමුදාවන්ට තවදුරටත් එම ප්‍රදේශ අල්ලාසිටීමට අපහසු වූයෙන් ඔවුහූ පොළොන්නරුවට පසුබැස ගියහ. නමුත් මේ සමුද්‍ර ප්‍රහාරය සැකයට භාජනය වී තිබේ. පරාක්‍රමබාහු රජුට ප්‍රබල නාවික බලයක් තිබූ බවට සාධක හමු නොවේ. ඉතිහාසඥයින් අනුමාන කරන්නේ කාලිංඝ වංශික  මාඝ  පරාජයකර පාණ්ඩ්‍ය වංශිකයෙකු වශයෙන් සැලකූ දෙවන පරාක්‍රමබාහු රජුට බලය හිමිකරදීම පිණිස ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය රජු උතුරු හා නැගෙනහිර දෙසින් පැමිණ බලවත් ප්‍රහාරයක් එල්ල කළ බව යි. උතුරු හෝ නැගෙනහිර දෙසින් පලායන්නට අසමත් ව පොළොන්නරුවේ කොටු වූ මාඝ හමුදා තවදුරටත් එහි රැඳී සිටීම අනතුරුදායක යැයි සිතූ නිසා තමන් සතු සියලු වස්තූන් ද රැගෙන පලා යාමට තීරණය කළ හ. නමුත් වංසකතා වල සඳහන් වන්නේ මාඝ සේනා පොළොන්නරුවේ නැගෙනහිර දොරටුවෙන් පිටත්වීමට තීරණය කළ බවකි. නමුත් කළබලකාරී වාතාවරණය මැද ඔවුන් යා යුතු දිශාව සොයාගත නොහැකි ව බටහිර දොරටුවෙන් පිටත් වූ බව කියවේ. මෙය තරමක් විශ්වාස කිරීමට අපහසු දෙයකි. වර්ෂ හතලිහක් මුළුල්ලේ සිටි ස්ථානයේ දොරටුව මාරු වී ය යන්න විශ්වස කළ නොහැක්කකි. ඔවුන් දෙවන උතුරු හෝ නැගෙනහිරින් පැනයා නොහැකි වූ තැන ක්ෂණිකව තීරණය වෙනස් කර බටහිරට පළා යන්නට ඇත. එහෙත් පරාක්‍රමබාහු හමුදා මේ තත්ත්වයට සූදානමින් සිට ඇති බවක් පෙනී යයි. කලැවැවට නුදුරු වනගත ප්‍රදේශයේ සැඟවී සිටි සිංහල හමුදා එල්ල කළ ප්‍රහාරයකින් මාඝ සේනාවෝ සපුරා ම විනාශයට පත්වූ හ. සතුරන් සතුවූ වස්තුව ද සිංහල හමුදා සතු විය. ලංකාවේ මූලාශ්‍රය වල සඳහන් නොවුණ ද මේ සටනට ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය රජුගේ සහය ලැබුණු බව දකුණු ඉන්දීය සෙල්ලිපිවල්න් හෙළි වී ඇත. මේ පිළිබඳව වංශකතාවල විවිධ අතිශයෝක්ති වර්ණනා ඇතත් ඒවා ඉතිහාසයට අදාළ කර නොගැනේ.

 

චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය

1261-62 වර්ෂ ආසන්නව එල්ලවුණු මේ ආක්‍රමණය එල්ලවන කාලය වන විට දෙවන පැරකුම්බා රජු අසාධ්‍ය රෝගයකින් පීඩා විඳිමින් සිටියේ ය. කතාකිරීමට හෝ අසමත්ව ගොත ගසමින් සිටි රජු දේවපතිරාජ අමාත්‍යයාට තාවකාලිකව පරිපාලන කටයුතු පැවරීය. චන්ද්‍රභානු ආක්‍රමණය එල්ලවන්නේ ඒ අතර ය. ඒ වන විට කාලිංග මාඝ ලංකාවෙන් නෙරපාහැර සිටි නිසා චන්ද්‍රභානු ප්‍රහාරය අරඹන්නේ උතුරු දෙසිනි. ඔහු ඉතා ඉක්මනින් ම යාපහුව ද වැටලීය. දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත්‍ර විජයබාහු කුමාරයා ඒ වන විට යපහුවේ කඳවුරක් බැඳ රැකවල්හි යෙදී සිටියේ ය. ප්‍රහාරය එල්ලවන විට විජයබැහු කුමරා මෙන් ම ඔහුගේ ඥාති වීරබාහු කුමාරයා ද යාපහුවේ නතර වී සිටියේ ය. මේ වන විට චන්ද්‍රභානු ලංකාවේ සැලකියයුතු ප්‍රදේශයක් සිය ග්‍රහණයට ගෙන සිටි අතර කුරුන්දි ආදී නැගෙනහිර පෙදෙසේ ලාංකික ජනයා ද ඔහුට උපකාර කළ බවක් පෙනෙයි. ඒ බව හත්ථවනගල්ල විහාරවංසයේ ද සඳහන් වේ. ඔහුට මෙවර පාණ්ඩ්‍ය හා චෝළ වැසියන් ද එක්ව සිටි බවක් පෙනී යයි. ඒ වැසියන් වනාහි එරට වල රජවරුන් සැපයූ පිරිස් නොවියහැකි ය. මන්ද යත් ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය නමැති පාණ්ඩ්‍ය රජුට අයත් ලිපියක කියැවෙන කරුණු අනුව පෙනී යන්නේ පාණ්ඩ්‍යයින් මේ සටනේ දී සිංහලයින්ට සහය දුන් බවකි. එක ම රජෙකු යුද්ධයකට සම්බන්ධ දෙපිලකට ම ආධාර කළේ ය යන්න පිළිගැනීමට දුෂ්කර කියමනකි. යාපහුව වැටලූ පසු හේ දන්තධාතුව හා පාත්‍රාධාතුව ඉල්ලා සිංහල රජු වෙත දූතයින් යැවී ය. කෙසේ වෙතත් ආධාරක සිංහල හමුදාවන් පිළිබඳ ඉල්ලීමක් හෝ නොකොට ඒ වන විට යාපහුවේ සිටි බලඇණි යොදවා බිහිසුණු සටනක් කර චන්ද්‍රභානුගේ සේනා අන්ත පරාජයකට පත්කිරීමට විජයබාහු කුමරු සමත් විය. මේ සටනේ දී චන්ද්‍රභානු රජු ද මියගියේ යැයි සඳහන් වේ. ජටාවර්මන් සුන්දරපාණ්ඩ්‍ය රජුගේ කුච්චියාමලෙයි ලිපිය අනුව පෙනී යන්නේ මේ සටනේ දී ලංකාවේ රජෙතු ද මියගිය බව යි. තව ද සටනින් පසු චන්ද්‍රභානුගේ පුත්‍රෙයකු පාණ්ඩ්‍ය ගැති පාලකයෙකු ලෙස යාපනයේ පාලකයා ලෙස පත්කළ බවක් ද දැක්වේ. ඔහුගේ අන්තඃපුර බිසෝවරුන් ද, ඇත් අස් ආදී යුද සතුන් හා ආයුධ ද සිංහල හමුදා සතුවිය. නමුත් මේ පිළිබඳව ද වංසකතාවල එන බොහොමයක් තොරතුරු පිළිගැනීමට නොහැකි හුදු අතිශයෝක්ති වර්ණනාවන් වග ද සඳහන් කළයුතුව තිබේ. දඹදෙණි අස්නේ ඇත්තේ පරාක්‍රමබාහු රජු ද්වන්ධ සටනකින් පසු චන්ද්‍රභානු මරාදැමූ බව යි. නමුත් සත්‍යය නම් මේ මහළු හා රෝගී ව සිටි රජු චන්ද්‍රභානු ආක්‍රමණිකයාව සියැසින් හෝ නොදුටු බව යි.

 

දෙවන පරාක්‍රමබාහු රජුගේ වෙනත් දේශපාලන සේවා හා දේශපාලනික තොරතුරු-

රජුගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ විජයබාහු පුත්‍රයා හා වීරබාහු ඥාති පුත්‍රයා පොළොන්නරුවේ ආරක්ෂක විධිවිධාන ප්‍රතිසංස්කරණය කරවී ය. පොළොන්නරුවේ පැරණි රජ මාළිගය ද ප්‍රතිසංස්කරණය කරවා අනතුරුව දෙවන පරාක්‍රමබාහු රජු එහි රැගෙන විත් යළි අභිෂේක කරවන ලදී. එසේ වුව ද උත්සවයෙන් පසු රජු යළී දඹදෙණියට ම කැඳවාගෙන ගිය අතර වීරබුහු කුමරා පොළොන්නරුවේ නතර වී ඉතිරි ප්‍රතිසංස්කරණ කාර්යයන් සිදුකරවී ය.

රජු කෞටිල්‍යෙග් අර්ථශාස්ත්‍රය පරිශීලනය කර ඒ අනුව කටයුතු කරන්නට උත්සාහ කළ වගක් කඳවුරුසිරිත කෘතිය අනුව පෙනී යයි.රජුගේ දෛනික චර්යාව පිළිබඳ එහි සඳහන් වේ.  මේ යුගයේ රාජ්‍යත්ව උරුමය පිය පාර්ශ්වයෙන් මෙන් ම මවු පාර්ශ්වයෙන් ද උරුම වූ බව පෙනෙයි.

 

දෙවන පරාක්‍රමබාහු රජුගේ ශාසනික සේවා.

රජු පාලනයට පත්වූ විගස ම සිදු කළේ බෙලිගලින් දඹදෙණියට දන්තධාතූන්වහන්සේ වැඩමවීම යි. ඒ සිදුවීම ආශ්‍රිතව පෙරහැර පැවත්වීම හා ආගමික උත්සව පැවත්වීම පිළිබඳව ද සඳහන් වේ. දෙවන වර චන්ද්‍රභානු පරාජය කිරීමෙන් අනතුරුව පරාක්‍රමබාහු රජු වෙනුවෙන් ඒ වන විට රාජ්‍ය කටයුතු විචාරමින් සිටි විජයබාහු කුමාරයා සිය පියාගේ ඉල්ලීම් පරිදි ශාසනික සේවාවන්හි නිරත විය. හේ පළමුව අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශ වල සංචාරය කරන අතරතුර වන්නිවරු පැමිණ කුමරු බැහැදැක ගරුබුහුමන් කළ හ. අනුරාධපුරයේ නටබුන්ව තිබූ රුවන්වැලි සෑය ඇතුළු වෙහෙරවිහාරාදිය ප්‍රතිසංස්කරණය වන්නිවරුන්ට පැවරූ රජු පොළොන්නරුවට ගිය බව වංසකතා වල දැක්වේ.

දෙවන පරාක්‍රමබාහු රජතුමා දිඹුලාගල මේධංකර හිමි වැනි වියත් යතිවරයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ශාසන ශෝධනයක් ද කරවීය. පසුව ඒ ඇසුරෙන් දඹදෙණි කතිකාවත කරවා භික්ෂූන්වහන්සේලාගේ පැවැත්මට අදාළ විනය නීති ස්ථාපනය කළේ ය.පසුව මහවැලිගඟේ දාස්තොට දී උපසම්පදා උත්සව ද සංවිධානය කළේ ය. මේ නිසා බුදුසසුන යළි ජීවය ලබනා වගක් ප්‍රකට විය. ජාවක දේශයේ සිට වැඩමවූ ධර්මකීර්ති නම් මහස්ථවිරයන් වහන්සේගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ ලංකාවේ වනවාසී භික්ෂු පරපුරක් ද ඇතිකිරීමට පියවර ගත්තේ ය.

මීට සමගාමීව නිරිතදිග හා දකුණු ප්‍රදේශයේ වූ කැළණිය, බෙන්තොට වෙහෙර, ගලපාත විහාරය, බෙලිගල විහාරය, වාකිරිගල විහාරය, දෙවිනුවර උපුල්වන් විහාරය ආදිය ද ප්‍රතිසංස්කරණය කරවී ය. රත්නපුර මහසමන් දේවාලය ද මෙතුමාගේ සමයේ ඉදිකළ බව කියවේ.  විවිධ ස්ථාන වල පිරිවෙන් පිහිටුවා භික්ෂු අධයාපනය ද නගාසිටුවීය. සුප්‍රකට බෙන්තර පෙරහැර ඇරඹුණේ ද මෙතුමාගේ පාලන සමයේ රාජ්‍යානුග්‍රහය ඇතිව ය.ඇසළ පෙරහැර සඳහා ද මෙකල රාජ්‍යානුග්‍රහය හිමි විය. කාලිංග මාඝ විසින් පැහැරගන්නා ලද විහාර දේපළ හැකි අයුරුනි යළී එම විහාර වලට ම පවරා දෙන ලදී.

 

අධ්‍යාපනයේ උන්නතිය හා ශාස්ත්‍රීය සේවාව

නන්දන පිරිවෙන, කුරුණෑගල මහේන්ද්‍ර පිරිවෙන, පරාක්‍රම පිරිවෙන, පළාබද්දල පිරිවෙන, වාකිරිගල හා දඹදෙණියේ විජයසුන්දරාරාමය වැනි විහාර කරවන ලදී.විදේශවලින් ත්‍රිපිටකට පිළිබඳ උගත් භික්ෂූන් වහන්සේලා වඩමවා සාහිත්‍යයේ උන්නතියට කටයුතුකරවීය.

පරාක්‍රමබාහු රජු ද උගත් පඬිවරයකු වූ අතර එතුමා ද ග්‍රන්ථකරණයේ නියුළුණේ ය. පූජාවලිය, මහාවංසය, දඹදෙණිඅස්න වැනි කෘතීන් අනුව පෙනී යන්නේ මෙතුමා සිංහල, දෙමළ, පාලි, සංස්කෘත යන භාෂාවන්හි ප්‍රවීණයෙකු බව යි. ඊට අමතරව පූර්ණ ත්‍රිපිටකය හදාරා තිබූ බවත්, යුධ ශිල්පයන් හදාරා පරතෙරට ගොස්විටි බවත් සඳහන් වේ. මෙතුමා ගත්කතුවරයෙකු ද විය. කව්සිළුමිණ, විසුද්ධිමග්ග සන්නය, වන විනිස සන්නය වැනි කෘතීන් රජතුමා විසින් ම කර වූ ඒවා සේ දැක්විය හැකි ය. මෙතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන උපාධියෙන් ද පිදුම් ලැබී ය.

මෙකල ග්‍රන්ථකරණයට රාජ්‍යානුග්‍රහ ලැබීම නිසා මේ නිසා සිංහල, පාලි, සංස්කෘත ආදි භාෂාවන්ගෙන් විවිධ ක්ෂේත්‍ර අලළා ග්‍රන්ථ සම්පාදනය වීමක් දක්නට ලැබේ. දොළොස්වැනි සියවසේ පැවති අෂ්ටමූලායතන ක්‍රමයට සමානව මෙකල පංචමූල පිරිවෙන් ක්‍රමය ආරම්භ විය.මේ නිසා අධ්‍යාපනයේ සැලකියයුතු දියුණුවක් දක්නට ලැබුණි. මයුරපාද පිරිවෙන හා දේවපතිරාජ පිරිවෙන මෙම යුගයේ පැවැති දීප්තිමත් අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකකි.

 

දෙවන පරාක්‍රමබාහු රජුගේ ආර්ථික සේවා.

චන්ද්‍රභානු ආක්‍රමණිකයා පරාජය කිරීමෙන් අනතුරුව දෙවන පරාක්‍රමබාහු රජු වෙනුවෙන් කටයුතු කරමින් සිටි විජයබාහු කුමාරයා රජරට පැරණි වැව් අමුණු ඇතුළු ජලානයන ක්‍රම ප්‍රතිසංස්කරණයට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළෙන් එය බොහෝ දුරට සඵල විය. මෙතුමාගේ කාලයේ දී විදෙස් රටවලට අලෙවි කිරීමේ අරමුණ ඇතිව කළුගඟ හා බෙන්තර ගඟ අතර භූමියේ පොල් වාගාවක් කරවූ බව සඳහන් වෙයි. දියෝ ගෝ ද කූටෝ නමැති ඉතිහාසඥයා සඳහන් කරන්නේ ලංකාවේ කැලෑ වල වැවුණු සුවඳින් උසස් වූ කුරුඳු ලෝපප්‍රකට වන්නට පටන්ගත්තේ දෙවන පැරකුම්බා රජ දවස සිට බව යි. අරාබි වරු හා යුරෝපීයයන් මේ කුරුඳු විශාල ලෙස ඇණවුම් කළ අතර එය ලංකවේ ආර්ථික වර්ධනයට මහත් රුකුලක් විය.

මේ කාලයේ ලංකාවේ විදෙස් වෙළඳා ම ද වර්ධනය විය.මෙතුමාගේ කාලයේ දෙවිනුවර වරාය පාලකයා වශයෙන් සිටි නිළධාරියාට මහාපණ්ඩිත යනුවෙන් උපාධි නාමයක් ද විය. හේ වරායට පැමිණෙන විදෙස් වෙළෙන්දන් පිළිබඳ විශේෂ අවධානයකින් සිටියේ ය. විශේෂයෙන් ම විවිධ දේ කියා බදු ගෙවීම පැහැරහැරීමට උත්සාහ කළ වෙළෙන්දන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලී ය. වෙළෙන්දන් සුංගම් හෙවත් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් ඇතුළත් ආජාඥාවක් ද රජු විසින් නිකුත් කරන ලදී. ප්‍රමාණය ඉක්මවා බදු අයනොකළ යුතු යැයි ද එහි සඳහන් වේ.

[1] තාමුලිංග යන්න එළුඅත්තනගලු වංශයේ දක්වා තිබෙන්නේ තඹලිංගමු යනුවෙනි.පාලි කෘතියේ(හත්ථවනගල්ල විහාරවංශයේ) තම්බලිංග නමින් දක්වා ඇත.