සටහන-අමිල උඩවත්ත
මහා විජයබාහු රජුට පසු මහා පැරකුම්බාවන් යටතේ ලංකාව ජාත්‍යන්තරයේ සැලකිය යුතු ස්ථානයක් හිමි කරගත්තේ ය. නමුත් කාලිංග මාඝගේ පැමිණීම සමග ලංකාව බොහෝ අංශ වලින් බිඳවැටීමකට ලක්වුණි. සංස්කෘතිය, ආගම, ආර්ථිකය, දේශපාලනය, සමාජය වැනි බොහෝ අංශ බිඳවැටීමකට ලක්වුණි. ලංකාවේ ඒකීය පාලනය බිඳ වැටුණු අතර මාඝ යටතේ රජරට ප්‍රදේශය පාලනය විය. මෙකල ලංකාවේ ප්‍රදේශ කිහිපයක කුඩා රාජධානි කිහිපයක් බිහි වූ අතර ඒවා සෙන්පතිවරුන් යටතේ පාලනය විය.
- යාපහුවේ සුභ සෙනෙවි
- ගංගාදෝණියේ සංඛ සෙනෙවි
- ගෝවින්දමලයේ බුවනෙකබා ආදිපාද
- දඹදෙණියේ විජයබාහු
ආදීහුය. නමුත් මේ කිසිවෙකු හෝ තනිව ම කාලිංග මාඝ සමග යුධවැදීමට තරම් ශක්තිවන්තයෝ නොවූ හ. ඔවුන් සිදුකළේ මාඝ ගේ බලය තවදුරටත් ව්‍යාප්ත වීම වැළකිවීම පමණි. නමුත් මේ අතර සිටි විජයබාහු තරමක් උන්නතිකාමී නායකයෙකු විය. හේ කලක් වන්නි නායකයෙකු වශයෙන් හිඳිමින් වන්නි රජවරුන් අතරින් කැපී පෙනුණු රජෙකු බවට පත්විය. මේ නිසා කාලිංග මාඝට විරුද්ධව වඩාත් කාර්යක්ෂම ලෙස සංවිධානය වීමටත්, ජනතාව ඒ සඳහා පෙළගැස්වීමටත් ඔහුට හැකි විය. ඒ නිසාවෙන් ම සෙසු නායකයින් ඉතිහාසයේ අඳුරු මුළු වල සැඟව ගිය බවක් පෙනෙයි. ඔවුන් පිළිබඳව තොරතුරු හමු නොවන්නේ ඒ නිසා විය යුතු ය.
තෙවන විජයබාහු රජ පරපුරකට අයත් ද නැත් ද යන්න පිළිබඳ විවිධ මත පවතී. ඔහුගේ පුත්‍ර දෙවන පැරකුම්බා රජ දවසට අයත් දෙව්න්දර ශිලා ලේඛනය අනුව පෙනී යන්නේ මේ රජු සෝම රාජ පරපුරට අයත් බවයි. එනම් චන්ද්‍ර වංශයට අයත් බව යි. ඔහුගේ පියා විජයමල්ල නමැත්තෙකි. මල්ල යන නම කාලිංග වංශයට ද නෑකම් කියන්නකි(නිශ්ශංකමල්ල, සාහස්ස මල්ල…) පරනවිතාන මහතා පවසන්නේ මොහුගේ පියා පොළොන්නරුවේ දෙවන ගජබා බව යි. රජු ඒ පිළිබඳ ඇති වියවුල් සහගත මතවාද අනුව ඔහු රජ පෙළපතකට අයත් නැති අයෙකිය යන මතයට වැඩි වාසි අත් වී තිබේ. මාඝ ආක්‍රමණය සමග ශ්‍රී ලාංකේය පාලනයෙන් මිදුණු රජරට හා නැගෙනහිර ඈත වනගත ගම්මාන වල ඇතිවූ කුඩා පාලන ඒකක වන්නි වශයෙන් හැඳින්වුණු අතර, ඒවායේ පාලන කටයුතු සිදු කළේ එකී ගම්මානවල කැපී පෙනුණු නායකයින් මිස රජ පරපුරු වල පිරිස් විසින් නොවේ. මාඝගේ අවධානයෙන් මිදී වර්ධනය වුණු මේ සුළු රාජධානි අතරින් එකක් පාලනය කළේ විජයබාහු නමැත්තා විසිනි. ඉහතින් දැක්වූ ආකාරයට උන්නතිකාමී රජෙකු වූ හෙතෙම සෙසු වන්නි රජවරු අතරින් ද කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ‘‘වන්නිරාජ‘‘ නමින් ද හැඳින්වුණු ඔහු මාඝට එරෙහිව සංවිධානය වීමේ දී හොඳ ම ස්ථානය ලෙස තෝරා ගත්තේ දඹදෙණිය යි. රජරටට වඩාත් සමීප හෝ දුරස්ථ නොවූ දඹදෙණිය මුල් කරගනිමින් නව රාජධානියක් ද නව රජ පෙළපතක් ද ඇරඹූ විජයබාහු ඒ නමින් රජ වූ තෙවැන්නා නිසා තුන්වන විජයබාහු නමින් මූලාශ්‍රය වල හඳුන්වා ඇත. නමුත් ඔහු දඹදෙණියේ බලයට පත්වන්නේ ඉතා වයෝවෘද්ධ සමයේ ය. බලයට පත් වී වර්ෂ හතරකින් පසු මිය ගියේ ය. නමුත් ඒ කාල සීමාව තුළ ඔහු කළ කාර්ය ප්‍රමාණය අතිශය ප්‍රබල හා තීරණාත්මක ය.
තෙවන විජයබාහු රජුගේ කාර්ය සංසිද්ධිය අතින් ඔහු කාවන්තිස්ස රජුට සම නොවූව ද තම පුතු වෙනුවෙන් කළ කැපකිරීම් අනුව බලන කල කාවන්තිස්ස හා තෙවන විජයබාහු යන රජවරු දෙදෙනා ම අතිශයින් සමාන වේ. පූජාවලී කතුවරයා සෘජුව ම මේ බව සඳහන් කරයි. (පූජාවලිය789 පිට 2002 මුද්‍රණය) එළාර රජු පරාජය කිරීම පිණිස කාවන්තිස්ස රජු තම පුතුට මාර්ගය සකස් කර දුන්නේ කෙසේ ද, එලෙස ම තෙවන විජයබා රජු ද කාලිංග මාඝ පරාජය කිරීම පිණිස තම පුත්‍රයාට අවශ්‍ය පදනම් සකස්කර දුන්නේ ය.
වන්නි ප්‍රදේශයේ සිට ම තම බලය පිළිගැනීමට අකමැති වන්නා නායකයින් මර්දනය කිරීමට කටයුතු කරමින් මුල සිට ම තම අධිපතීත්වය වර්ධනය කරගැනීමට තැත් කළ වන්නිරාජ විජයබාහු අවසානයේ ලංකාවේ විකල්ප රජ පරපුරු අතර ප්‍රධානත්වය තම පරපුරට හිමි කර ගත්තේ ය. මේ සඳහා ඔහු ක්‍රියාමාර්ග කිහිපයක් ම ගත්තේ ය.
- මාඝගේ සේනා පළවා හැර මායාරට නිදහස් කරගැනීම.
- මාඝගේ සේනාවන්ට විටින් විට ප්‍රහාර එල්ලකිරීම.
- දළදා වහන්සේ තමන් භාරයට ගැනීම.
- නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ වෙත බලය ව්‍යාප්ත කිරීම.
- සංඝ සමාජයේ හිතවත්බව දිනාගැනීම.
වන්නි ප්‍රදේශ වල සිට දඹදෙණියට පැමිණි විගස ඔහු සිදු කළේ එම ප්‍රදේශ මාඝගේ සේනා වෙතින් ගළවා ගැනිම යි. මේ ප්‍රදේශය තුළ මාඝ ගේ මෙන් ම සිංහලයින්ගේ ද බලය සම පරිදි තිබෙන්නට ඇත. මාඝ ගේ බලය ඉවත් කර සපුරා ම මායා රට ගලවා ගත් විජයබාහු රජු ඒ තුළ සිංහල බලය ස්ථාපනය කළේ ය. ඔහු එසේ කළ නිසා මායාරට රජු ලෙස ඔහුට මහජන ප්‍රසාදයක් ඇති විය. යම් හෙයකින් ඔහු එසේ නොකර වන්නි රජෙකු ලෙස ම සිටියා නම් ඔහුගේ පුත්‍ර දෙවන පැරකුම්බාවන් යනු තවත් වන්නි රජෙකු පමණක් වීමට ද ඉඩ තිබුණි. නමුත් තෙවන විජයබා රජු ක්‍රමානුකූලව ගොඩනඟා ගත් බලය නිසා පසු කාලීනව දෙවන පැරකුම්බාවන්ට ලංකාවේ අගරජු වීමේ සිහිනය සැබෑකරගත හැකි විය. මේ නිසා දෙවන පැකුම්බාවන්ගේ යුධ ජයග්‍රහණ මෙන් ම ලංකාව එක්සත් කිරීමේ කාර්යය පිටුපස සිටි සෙවණැල්ල වූයේ තෙවන විජයබාහු රජු යැයි කීම වරදක් නොවේ.තෙවන විජයබාහු රජු අවස්ථාව ලද විගස මාඝ සේනාවන්ගේ හුදෙකලා කණ්ඩායම් වලට එළව එළවා පහර දුන්නේ ය. ඇතැම් අවස්ථා වල ඔහු පොළොන්නරුව ආසන්නය දක්වා ම තම හමුදා මෙහෙයවමින් මාඝ ගේ හමුදාවන්ට පහර දුන් බව පැවසේ. මායා රටේ භූමි සීමාව මාඝ හමුදාවන්ට මර බිය ඇති කරවන ප්‍රදේශයක් කිරීමෙන් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ මාඝගේ සේනා තව දුරටත් දකුණට ව්‍යාප්තවීම වැලකිවීම විය හැක. එය ඉතා කාලෝචිත ක්‍රියාවකි. මාඝ යටතේ ලංකාවේ කෘෂි කර්මය බිඳ වැටුණු නිසාත්, ජනතාව රුහුණු හා මලය දේශයන්ට පළා ගිය නිසාත් මාඝට ද විශාල ආදායම් නොතිබූ බව පිළිගන්නට සිදු වේ. ඔහු තම හමුදා නඩත්තු කළේ ද වෙහෙර විහාර සතු දේපල කොල්ලකමින් බව පෙනී යයි. හමුදාවන්ට ද නිසි ලෙස වැටුප් ආදිය නොලැබුණු නිසා ඔවුන් මිලේච්ඡ අයුරින් හැසිරුණු වග මූලාශ්‍රය අනුව පෙනී යයි. තෙවන වාජයබාහු හා දෙවන පැරකුම්බාවන්ට මේ තත්ත්වය වාසිදායක වන්නට ඇත. ආදායම් නූපදින බිමක ත්‍රස්තයින්ට පවා රැඳී සිටිය හැකි කාල සීමාවක් තිබේ. එකී සීමාව උදාවන තුරු ඉවසා සිටිය යුතු අතර ම සතුරා ඊළඟ ගොදුරු බිමට පැමිණීම වැළක්විය යුතුවේ. මාඝ හමුදාවන්ට විරුද්ධව තෙවන විජයබාහු රජුගේ ප්‍රහාර සුළු විය හැකි නමුත් රජරට සාරය නිම වූ පසු මාඝ හමුදා මලය දේශයේ සාරය උරා බීමට පැමිණීම වළකාලන්නට තරම් ප්‍රමාණවත් විය. මේ නිසා මලය දේශයේ සරු, සශ්‍රික බව රැගන්නට හැකි වූ අතර දෙවන පැරකුම්බාවන්ගේ අගරජ සිහිනය පෝෂණය කරන්නට ඒ සශ්‍රීක බවට හැකි විය. යම් හෙයකින් තෙවන විජයබා රජු එසේ නොකළා නම් නිශ්‍රීක කටුක බිමක පැරකුම්බාවන්ගේ අගරජ සිහිනය කේඩෑරි ඉපලක් වන්නට ඉඩ තිබුණි.
මාඝ ගේ කුරිරු පාලනය නිසා විදෙස් ගතව සිට යළි මෙහි වැඩමකළ වාචිස්සර හිමියන්ගේ ද උපදෙස් හා සහය ඇතිව බෙලිගල දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කිරීමට මේ රජතුමා පියවර ගත්තේ ය. ඒ වන විට දළදා වහන්සේ වැඩසිටියේ කොත්මලේ ප්‍රදේශයේ ය. දළදා වහන්සේ තමන් භාරයට ගැනීමට කටයුතු කිරීම තුළින් තෙවන විජයබාහු රජුට රාජ්‍යත්වය පිළිබඳ සාම්ප්‍රදායික අයිතියත්, නෛතික හිමිකමත් ලබා ගත හැකි විය. දළදා වහන්සේගේ හිමිකරුවා ලංකාවේ ප්‍රධානියා සේ පිළිගැනීමේ සම්ප්‍රදායක් ලංකාවේ තිබුණි. එය ජන සම්මත සම්ප්‍රදායක් විය. මේ නිසා දළදා වහන්සේගේ භාරකාරීත්වය අතිශය වැදගත් විය.මෙය මේ අවස්ථාවේ ලංකාවේ වෙනත් පාලකයෙක් අත පත් වී නම් ලංකා ඉතිහාසයේ දෙවන පැරකුම්බා නිරිඳෙක් බිහි නොවන්නට ඉඩ තිබුණි. නැතහොත් මාඝ සමග යුධ කිරීම පසෙක තබා සිංහල නායකයින් සමගම යුද්ධ කිරීමට සිදු වන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ඉන් වාසි අත් වන්නේ ද මාඝ සේනාවට ම ය. මේ නිසා නියම කාලයේ ක්‍රියාත්මක වී තෙවන විජයබාහු රජු දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව තමන් භාරයට ගැනීම නිසා දෙවන පැරකුම්බාවන්ට පහසුවෙන් ම ලංකාවේ මාඝ පාලන සමය නිමා කර ලංකාවේ අගරජු වීමේ අවස්ථාව උදා විය.පුරාණ මායා රටේ සීමාවේ පිහිටි නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශ වෙත ද තෙවන විජයබාහු රජු සිය බලය ව්‍යාප්ත කළේ ය. වත්තල, කැළණිය, අත්තනගල්ල හා තොටගමුව ප්‍රදේශවල පිහිටි විහාරාරාම ද රජු විසින් අලුත්වැඩියා කළ බව සඳහන් වීමෙන් පෙනී යන්නේ රජුගේ බලය එම ප්‍රදේශ වල ද ව්‍යාප්ත වූ බවයි. මේ නිසා තමන්ගේ උපරිම බල ප්‍රදේශය තුළ තම උපරිම බලය ව්‍යාප්ත කිරීමෙන් තෙවන විජයබාහු රජු මහජනයා අතර ලක්දිව රජු බවට පත් වී සිටියේ ය. රජු මිය ගිය පසු ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කළේ ද අත්තනගල්ලේ ය. ඔහුගේ බලය මේ ප්‍රදේශයේ ජනයා පිළිගෙන තිබූ බව ඉන් පැහැදිළි වේ. මේ නිසා ඔහුගෙන් පසු දෙවන පැරකුම්බාවන්ට ලංකාවේ අදාළ ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට විශේෂ වෙහෙසක් දැරිය යුතු නොවීය. මේ නිසා තෙවන විජයබාවන්ගේ එකී ක්‍රියා කලාපය ද දෙවන පැරකුම්බාවන්ගේ යුධ ජය්‍රහණයන්ට මහෝපකාරී විය.
දඹදෙණි කථිකාවතේ සඳහන් වන්නේ තෙවන විජයබාහු රජු කථිකාවත් දෙකක් පැනවූ බව යි. සංඝ සමාජයේ මෙන් ම බුද්ධ ශාසනයේ ද අභිවෘද්ධියට හේතු වන මෙවැනි ක්‍රියා තුළින් සංඝයා වහන්ස තුළ ද රජු පිළිබඳ පහන් හැඟීමක් ඇති විය. රජු බුදු සසුන රකිනා බව තහවුරු විය. විදෙස්ගතව සිටි භික්ෂූන්වහන්සේලා යළි ලක්දිවට වැඩමකරවූ මෙතුමා උසස් ධර්ම ග්‍රන්ථ කිරීමට උන්වහන්සේලාට අනුග්‍රහ දැක්වීය. පඬිවරුන්ට මුදල්ගෙවා පොත් පත් ලියවීය. මින් නොවැතී දඹදෙණියේ විජයසුන්දරාරාමය නමින් වෙහෙරක් කරවා සඟ සතු කොට පිදීය. එපමණක් නොව විවිධ හේතු සාධක මත ජරාවාසව තිබූ හා අබලන්ව තිබූ වෙහෙර විහාර පිළිසකර කරවා බුදු සසුන සංවර්ධනයට කටයුතු කළේ ය කැළනිය, අත්තනගල්ල, වත්තල, තොටගමුව වැනි ප්‍රදේශ වල පිහිටි විහාරාරාම මේ අයුරින් පිළිසකර කළේ ය. මෙවැනි ක්‍රියා නිසා භික්ෂූන් වහන්සේලාගේ හොඳ හිත දිනාගැනීමට හේ සමත් විය. එය සමස්ත සිංහල සමාජය ජයගැනීම හා සමාන ක්‍රියාවක් වන්නේ භික්ෂූන් වහන්සේලා අද පවා සමාජයේ මෙහෙයුම්කාරකය වන නිසා ය. මෙකී කරුණු වලින් පෙනී යන්නේ තෙවන විජයබාහු රජතුමා ඉතිහාසකරුවන්ගේ පන්හිඳට හසු නොවූව ද ඔහු කාවන්තිස්ස රජු සේ ම සැඟවුණු වීරයෙකු බව ය.
සටහන-අමිල උඩවත්ත