සටහන-අමිල උඩවත්ත
ලංකාවේ දෙවන නාගරීකරණ අවදියට අයත් පළමු අග නගරය දඹදෙණියයි. වත්මන් වයඹ පළාතේ දඹදෙණි උස් භූමිය ආශ්‍රිත අගනුවරක් වූ නිසා මේ නම ලැබුණි. මේ යුගය ඇරඹෙන්නේ පොළොන්නරුව රාජධානිය කාලිංඝ මාඝ විසින් අත්පත්කරගෙන සිටියදී ය. කාලිංග මාඝ පිලිබඳ මූලාහ්‍රය වල බොහෝ විස්තර තිබේ.
පොළොන්නරු රාජධානියේ අවසානය සනිටුහන් කරමින් පරාක්‍රම පාණ්ඩ්‍ය රජ දවස, එනම් ක්‍රි. ව. 1215 වැන්නේ දී සිදුවූ කාලිංග මාඝගේ මිලේච්ඡ ආක්‍රමණයෙන් පසු පුරා සියවස් 17ක් පමණ සක්‍රියව පැවති රජරට ශිෂ්ටාචාරයේ ද අවසානය සනිටුහන් විය. විසි හතර දහසක කේරළ හා මළල ආදීන්ගෙන් සමන්විත මිලේච්ඡ හමුදාවක් රැගෙන ආ ඔහු විසින් පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍ය රජු (ක්‍රි.ව 1212-1215) අල්ලා ඔහුගේ ඇස් උගුලුවා මරා දමා මුළු රජරට ශිෂ්ටාචාරයම විනාශ කළ ආකාරය මහාවංශය වාර්තා කර තිබේ. කාලිංග මාඝ එතුවක් මෙරට ආක්‍රමණය කළ වෙනත් ආක්‍රමණිකයන්ට සාපේක්ෂව බොහෝසෙයින් ප්‍රචණ්ඩ හා මිලේච්ඡ ආක්‍රමණිකයෙකු විය. ඔහු විසින් රජරට ශිෂ්ටාචාරයට කළ විනාශය සුළුපටු නොවීය.රටේ ආර්ථිකයට පමණක් නොව, සංස්කෘතියට, සමාජයට පවා ඔහුගේ ඍජු ප්‍රහාරය එල්ල විය. සාමාන්‍යයෙන් ආක්‍රමණිකයෙකු නිසා රටක සංස්කෘතික, සාමාජික පරිහානියක් සිදු වියහැකි නමුත්, එය වක්‍රාකාරව සිදුවන්නකි. නමුත් මාඝ ඍජුව ම මෙරට සංස්කෘතියට හා සමාජයට විශාල හානියක් සිදු කළේ ය.
මාඝ පැමිණි කාලිංගය යනු වර්තමාන ඉන්දියාවේ “ඔරිස්සා” ප්‍රදේශයයි. ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ආසන්න ඔරිස්සාව කලක් තිස්සේ ලංකාව සමග සුහද සබඳතා පැවත්වූ ප්‍රදේශයකි. පොළොන්නරු යුගයේ පාලකයෙකු වූ නිශ්ශංකමල්ල රජු ද කාලිංග වංශිකයෙකු වූ අතර මාඝ ලංකාවට පැමිණ මෙහි බලයට හිමිකම් කීමේ දී නිශ්ශංකමල්ල උරුමය ද පෙන්වූ බව සඳහන් වේ.මාඝගේ ආක්‍රමණය සම්බන්ධයෙන් වංශ කතා වල මෙසේ සඳහන් වේ.
“මාඝ නරේන්ද්‍ර නමැති මහා ග්‍රීස්මය තෙම ලංකා රාජ්‍යය නමැති මහ වනය පෙළන්නට බොහෝ වූ යෝධ නමැති ළැව්ගිනි මෙහෙයීය. ඉක්බිති ලෝකයාට පීඩා කරන්නා වූ උහුගේ ක්‍රෑර වූ මහා යෝධයෝ “අපි කෝරළ යෝධයෝ වම්හයි” උන්නාද කෙරෙමින් තැනින් තැන මිනිසුන්ගේ වස්ත්‍රාභරණාදිය පැහැරගත්හ. බොහෝකල් පාලනය කරන ලද්දා වූ කුලාචාරය කඩ කළහ. හස්ත පාදාදිය කැපූහ. බොහෝ ගෙවල් බිඳවූහ. ගව මහේෂාදීන් තමන් අයත්කොට බැඳවූහ. මහා ධනවත් වූ ආඪ්‍ය ජනයන් බැඳ වදකොට සියලු බොහෝ වූ චෛත්‍යයන් වැනසූහ. විහාරයන්හි විසූහ. උපාසකයන් පහර පෙළීහ. දරුවන් තැලූහ. පස්සාදැමියන් පෙලූහ. ජනයන් ලවා බර ඉසිලවූහ. බොහෝ වූ කාර්ය කරවූහ. ඔවුන් ප්‍රසිද්ධ ප්‍රශස්ත වූ බොහෝ පොත් ලණුවෙන් මුදා ඒ ඒ තැන විසිර වූහ. ශ්‍රද්ධා ඇත්තා වූ පූර්ව නරේන්ද්‍ර යන්ගේ කීර්තිශරීර සමාන වූ රත්නාවලී ආදී වූ අස් මහත් චෛත්‍යයන් හෙලමින් වනසා ඒ චෛත්‍යන්ගේ ජීවිත සමාන වූ බොහෝ ශාරීරික ධාතූන් අතුරුදන් කළහ. අඳෝමය.
මෙසේ දුෂ්ඨ අදහස් ඇත්තා වූ මාර යෝධයන් සමාන වූ දෙමළ යෝධයෝ ලොව දසස්න ද නැසූහ. ඉක්බිත්තෙන් පුලස්ති නම් පුරය සර්වප්‍රකාරයෙන් හාත්පසින් සිරකොට පැරකුම් පඬිරජු ගත්හ. ඉක්බිත්තෙන් ඒ නරේන්ද්‍රයන්ගේ ඇස් උපුටා මුතු වෙරළුමිණි ආදී වූ සියලු ධනය පැහැරගත්හ. ඉක්බිත්තෙන් ඒ කාලිංග මාඝ රජු මාණභාරණා දී වූ ඒ ප්‍රධාන යෝධයෝ ලංකා රාජ්‍යයෙහි අභිෂේක කළහ. එසේ ඒ නරේන්ද්‍රතෙම රට හස්තප්‍රාප්ත කොට ගෙන රාජාභිෂේකයට පැමිණ පොළොන්නරුවේ විසීය. ඒ මහීපාල තෙම මහජනයා මිසදිටු ගන්වා අමිශ්‍ර වූ සතර කුලයේ ජනයා අත්‍යාර්ථයෙන් මිශ්‍ර කළේය. සිංහලයන් අයත් වූ ග්‍රාමකේෂත්‍ර ගෘහාරාම දාස ගව මහීෂාදී සියල්ල කේරළයන්ට දෙවීය. විහාරයන් හා පිරිවෙන්ද බොහෝ දේවාලයන්ද කිසියම් යෝධ කෙනෙකුන්ගේ වාසස්ථාන පිණිස නියමකළේය. හේතෙමේ බුදුන් අයත්වූද එසේම දහම්, සඟ අයත් වූද ධනය හැරගෙන නරකයට යනු පිණිස බොහෝ පව් ඉපිද වූයේය. මාඝ නම් මහීපති තෙම මේ පරිද්දෙන් බලාත්කාර (ක්‍රියාකොට) එක් විසි වසක් ලක්දිව රජ කරවී. මෙසේ ලංකාද්වීපයේ ඒ ඒ නරේන්ද්‍රයෝ මහත් වූ ධන ලෝභයෙන් ඒ ඒ රජුන් මරා තුමන් මේ කර්මයෙන් ආයු නැතිව රාජ්‍යයට පැමිණත් එය බෝකල් අනුබව කරන්නට නොහැකි වූහ.(මහාවංශය අසූ වැනි පරිච්ඡේදය)
මාඝ විසින් ලංකාවට, රජරට ශිෂ්ටාචාරයට කළ හානිය අවබෝධ කරගන්නට මේ උපුටාගැනීම ම ප්‍රමාණවත් වනු ඇත. මේ සමස්තය තුළ මාඝගේ බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් ද, රජරටට මගපෙන්වීම දුන් ප්‍රභූ ජනයා හා රජරට ජීවය දුන් සාමාන්‍ය ජනයා පීඩාවට පත්කිරීමක් ද, සමාජයේ පැවැත්ම කෙරේ අතිශය වැදගත් වූ පාරම්පරික කුලාචාර ධර්මයන් බිඳීමක් ද, බලහත්කාරයෙන් අන්‍ය ආගමට හැරවීමක් ද දක්නට ලැබේ. මාඝ යක්ෂයා ඇදහූවෙකු යැයි වංසකතාවල සඳහන් වේ. මේ නිසා මාඝ හා ඔහුගේ හමුදා විසින් එතුවක් රජරට ජනයාට අප්‍රමාණ ශක්තියක් සැපයූ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කළා පමණක් නොව ඒවායේ වැඩවිසූ භික්ෂූන්වහන්සේලාට ශාරීරික වධහිංසා සිදුකළේ ය. මේ නිසා මහත් පීඩාවට පත් වූ භික්ෂූන්වහන්සේලා රැකවරණ පතා මායා රටටත්, රුහුණු රටට හා මලය රටට සංක්‍රමණය වූහ. තවත් පිරිසක් කුඩා ජල යාත්‍රාවල නැගී දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩ්‍ය ආදී රාජ්‍යවලට ගොස් ආරක්ෂාව සලසාගත්හ. භික්ෂූන්වහන්සේලා මෙසේ රජරටින් නික්මීමත් සමග සමාජය එකිනෙකට බැඳ ශක්තිමත් කර තිබූ ඇලවුම්කාරකය අහිමි විය. මේ නිසා සමාජය විසිර ගිය ආකාරක් පෙනී යයි. රජරට බෞද්ධ පදනම දෙදෙරා ගොස් ආගමික වශයෙන් විශාල පසුබෑමක් සිදු වූ බව පෙනේ. භික්ෂූන්ගෙන් තොර වූ රජරට වෙහෙර විහාර මාඝගේ මිලේච්ඡ හමුදාවේ හමුදා කඳවුරු බවට පත් වූ බව ද පෙනේ. මේ නිසා රජරට ආගමික තත්ත්වය ඉතා ඛේදජනක තත්ත්වයට පත්විය. නමුත් සමස්ත ලංකාව ම මාඝගේ ග්‍රහණයට නතු නොවූ බව මිණිපේ පුවරු ලිපියෙන් පැහැදිලි වේ. ‘බොහෝ පිංවත් ජනයා, මහා දුර්ග පර්වතයන්හි නගර හා ගම් ඉදිකොට ඒවායේ සිහ ශාසනයත් අවට ජනතාවත් ආරක්ෂා කළහ’ යනුවෙන් මිණිපේ පුවරු ලිපියේ සඳහන් වේ.
මාඝගේ ආක්‍රමණයේ රජරට ප්‍රභූ ජනයා මාඝ ගේ හමුදාවේ විශේෂ ඉලක්ක බවට පත්විය. ලංකාව ආක්‍රමණය කළ ද මාඝ සතුව ලංකාවේ පාලන කටයුතු කරන ආකාරය හෝ ආදායම් උපදවන ආකාරය පිළිබඳ මනා සැලසුමක් තිබූ බවක් පෙනී යන්නේ නැත. ආක්‍රමණිකයා බුද්ධිමත් නම් ඔහු කිසිසේත් ම සාමාන්‍ය ජනයාට හානි කරන්නේ නැත. හේතුව ආදායන් උපදවන්නේ ඔවුන් නිසාවෙනි. නමුත් මඝ සාමාන්‍ය ජනයාට නොයෙකුත් හිරිහැර ඇති කළේ ය. එපමණක් නොව මාඝ හමුදා රජරට ප්‍රභූන් පෙලූ බව මහාවංසයේ ඉහත උපුටාගැනීමෙන් පෙනී යයි. රජරට ප්‍රභූ ජනතාව මාඝගේ ආක්‍රමණය නිසා විශාල වශයෙන් පීඩාවට පත්වූ අතර ඔවුන් සතු සම්පත් පැහැරගෙන ඔවුන් දිළින්දන් බවට පත්කළ බව ද සඳහන් වේ. මෙක ප්‍රභූ නමින් හැඳීන්වූයේ ඉහළ ම වෙළඳ ප්‍රජාව හා රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු දැරූ රාජරාජ මහා මාත්‍යාදීන්ය. ඔවුන් සතුව විශාල ධනයක් තිබෙන්නට ඇත. මාඝ එම ධනය පැහැරගෙන ඒවා සිය හමුදා නඩත්තුවට යොදවන්නට ඇති අතර කොටසක් සිය රට යවන්නට ද ඇත. ප්‍රභූ ජනයා පමණක් නොව මාඝ නිසා රජරට සාමාන්‍ය ජනයා ද ඉතා දුක්ඛිත තත්ත්වයකට ඇද වැටුණි. ඔවුන් විවිධ ශාරීරික වධ බන්ධනයන්ට ලක්කර තිබේ. කුඩා ළමුන්ට, කාන්තාවන්ට පවා අනේකවිධ හිරිහැර කරමින් මාඝ උමතුවෙන් හැසිරුණු බව ද මූලාශ්‍රය අනුව පෙනී යයි.
ලංකාවේ කුල ක්‍රමය සකස්වී තිබුණේ රැකියාව පනම් කරගෙන ය. ඒ ඒ කුළ වලට අයත් ආචාර ධර්ම පද්ධතීන් ද පැවතුණි. මාඝ තුළ මේ පිළිබඳ කිසිදු පහැඟීමක් නොවී ය.හෙතෙම මෙම පාරම්පරික කුලාචාර පද්ධති නොසලකාහැර ඒවා බිඳදැමීය.එහි ප්‍රතිඵලය ක්ෂණික එකක් නොවී ය. මෙම තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන අනර්ථයක් සිදු වූ බව විද්වත් මතයයි. පසුකාලීන ලංකා දේශපාලනයේ රාජ්‍යත්වය අරභයා ඇති වූ ගැටුම්වල දී මාඝ විසින් සිදුකළ මෙම විනාශය වඩාත් මතුව පෙනෙයි.
මාඝ යක්ෂයා ඇදහූවෙකි’යි සඳහන් වේ. හේ රජරට ජනයා පෙළමින් බියවද්දමින් බලහත්කාරයෙන් අන්‍ය ආගම්වලට හැරවීමට ද කටයුතු කළේ ය. එසේ කරන්නට ඇත්තේ මාඝ ප්‍රචන්ඩත්වය අගයන ආගමක් ඇදහූ නිසිවෙන් විය යුතු ය. භික්ෂූන්වහන්සේලා හා විහාරස්ථානය මුල් වී සමාජය එක් මිටකට තබාගැනීම පිළිබඳව මාඝ තුළ නොකැමැත්තක් තිබෙන්නට ඇත. මේ බැඳීම කඩා සමාජය විසුරුවාහැරීමෙන් තම අභිමතාර්ථය මුදුන් පමුණුවාගන්නට ඔහු සිතන්නට ඇත. මාඝ මේත් සමග ම විශාල සංස්කෘතික සංහාරයකට ද මුලපිරීය.
විහාරස්ථාන ආශ්‍රිතව තිබූ පොත්ගුල් ඔහු අතින් විනාශ වූ ආකාරය වංශකතාවල විස්තර තර තිබේ.