නිශ්ශංකමල්ල රජතුමා

සටහන-අමිල උඩවත්ත

මෙතුමා පිළිබඳව පහත තේමා ඔස්සේ සාකච්ඡා කෙරෙයි. (විෂය නිර්දේශයට අනුව)

  • දෙවෙනි විජයබාහු රජුගෙන් පසු ඔහුගේ ආදිපාද ධුරය දැරූ නිශ්ශංකමල්ල බලයට පත් වීම.
  • පරාක්‍රමබාහු රජුගෙන් පසු පොළොන්නරුවේ බලයට පත් ශ්‍රේෂ්ඨ පාලකයා වීම.
  • සිහසුනට පත්වීමේ දී ඔහුට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා.
  • එම දුෂ්කරතා ජයගත් ආකාරය.
  • තම බලය තහවුරු කොට ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග. බුදු දහමට සැලකීම,
  • රට වටා සංචාරය කිරීම, තුලාභාර දාන දීම, වැසියා බදුබරින් මුදවා ගැනීම, වැසියාට සහන සැලසීම.

මහා පරාක්‍රමබාහු රජතුමාට පසු පොළෙන්නරු රාජධානිය මුල්කරගනිමින් බල අරගල ඇතිවිය. රජු ජීවත්ව සිටියදී ම තමාගෙන් පසු පාලන කටයුතු සඳහා දෙවන විජයබාහු කුමරා තෝරා ගත්ත ද රාජ සභාවේ සියලු දෙනා එය එකහෙළා පිළිගත් බවක් නොපෙනෙයි. නමුත් මේ වියවුල් මැද පළමු පරාක්‍රමබාහු රජු මියගියෙන් නම් කළ පරිදි දෙවන විජයබාහු රජු බලයට පත් විය. නමුත් බලයට පත්වූ දාට පසු දින පටන් ම එතුමාට අමාත්‍යවරුන්ගේ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. අමාත්‍යවරු මේ අභිනව රජු ජනයා අතර අප්‍රසාදයට ලක්කරන්නට උත්සාහ කළ බවක් පෙනී යයි. මේ නිසා මහජන හිත දිනාගැනීම උදෙසා දෙවන විජයබාහු රජු විවිධ මහජන සුභසාධන කටයුතු සිදු කළ බවක් ද පැහැදිලි ය. මහා පරාක්‍රමබාහු රජදවස අත්අඩංගුවට ගෙන සිරගත කළ හා විවිධ ශාරීරික වධබන්ධනයන්ට ලක්කළ සිරකරුවන් නිදහස් කළ මෙතුමා පරාක්‍රමබාහු රජදවස රාජසන්තක කරනු ලැබ තිබූ දේපල ද හිමිකරුවන්ට ම යළී පවරන ලදී.  රාජ්‍ය බලය තහවුරු කරගැනීම සඳහා මෙතුමාට විජයා-යාන්-තැන්නාවන් විශාල වශයෙන් උපකාර කළේ ය. නමුත් මේ තත්ත්වය යටතේ වුව ද දෙවන විජයබාහු රජුට වසරකට වඩා කාලයක් බලයේ සිටින්නට හැකි වූයේ නැත. සයවැනි මහින්ද නමින් පසුව රජ වූ පුද්ගලයා විසින් දීපනී නමු ගොපළු කත යොදවා විජයබාහු රජු ඝාතනය කර බලය අල්ලා ගන්නා ලදී. නමුත් දෙවන විජයබාහු රජුගේ මහාදිපාද ධුරය හෙබවූ නිශ්ශංකමල්ල නම් කාලිංග වංශිකයා තම උරුමය පිණීස සටන්කර සවැනි මහින්ද රජු පරාජය කර බලය අල්ලා ගත්තේ ය. සවැනි මහින්ද රජුට බලයේ සිටීමට අවස්ථාව ලැබුණේ යාන්තම් පස් දිනක් පමණී. පොළොන්නරු රජවරුන්ගේ නම් සඳහන් මිණිපේ පුවරුලිපියේ මේ රජුගේ නම හෝ සඳහන් නොවේ. මෙයින් පෙනී යන්නේ සවැනි මහින්ද රජුගේ පත්වීම නීත්‍යානූකූල භාවයක් තිබූ එකක් නොවන බව යි.

මහා පරාක්‍රමබාහු රජුට පසු ලංකාවේ රජබවට පත් ශ්‍රේෂ්ඨතමයා නිශ්ශංකමල්ල රජු බව අවිවාදයෙන් ම පිළිගැනෙයි. මේ රජතුමා පිළිබඳ මහාවංසාගත තොරතුරු ප්‍රමාණය මද වුව ද ඔහු විසින් පිහිටුවා ඇති විශාල ප්‍රමාණයක් වන ශිලාලේඛන වලින් පෙනී යන පරිදි මෙතුමා මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ලංකාවේ උද්ගත වූ දේශපාන වියවුල් සහගත තත්ත්වය යම්තාක්දුරට හෝ පාලනය කරන්නට සමත් වී තිබේ. එ මෙන් ම තනි පාලකයෙකු විසින් පිහිටුවන ලද විශාලතම සෙල්ලිපි සංඛ්‍යාව මේ රජුට අයත් වේ. එසේ වුවත් එකී ලිපි වල අන්තර්ගත ඓතිහාසික තොරතුරු ප්‍රමාණය එතරම් විශාල නොවන වග ද සඳහන් කළයුතුම ය.

නිශ්ශංකමල්ල රජතුමා බලයට පත්වන්නේ ද විවිධ අභියෝග මධ්‍යයේය. විශේෂයෙන් ම මෙතුමාගේ විජාතිකත්වය එතුමාට අභියෝගයක් වූ වග පෙනී යයි.

 

විජාතිකත්ව අභියෝගය-

හේ කාලිංග වංශකයෙකි (කාලිංග ජෝ). උපන්නේ දඹදිව කාලිංගයේ සිංහපුරයේ ය. ඔහුගේ පියා කාලිංගයේ විසූ ශ්‍රී ජයගෝප මහාරාජ නම් වූ බවත්, මව පාර්වතී මහා දේවී නම් වූ බවත් වංස කතා සඳහන් කර තිබේ. නමුත් මෙම කරුණු අභියෝගයට ලක් වී තිබේ. කෙසේ වුව ද මේ රජු යම් රාජකීය පෙළපතකට දුරස්ථව හෝ සම්බන්ධ කුමාරයෙකු වශයෙන් සිටියේ ය යන්න පිළිගතහැකි කරුණකි.පූජාවලියේ සඳහන් වන්නේ ‘‘ කාලිංගයෙන් ආ කීර්ති නිශ්ශංක නම් මල්ල රජු‘‘  යනුවෙනි. තමන් ලංකාවට පැමිණියේ මහා පැරකුම්බාවන්ගේ ආරාධනයෙන් යැයි ද, තමන් බලයට පත්වූයේ, ඈපා, හිමියා, උපරාජ ආදී තනතුරු දැරීමෙන් අනතුරුව යැයි ද ශිලා ලේඛන මගින් දිගින් දිගට ම දක්වා සිටින්නේ ඔහුට යම් අභියෝගයක් පැවති නිසා ය යන්න පිළිගැනීමට සිදු වේ. සෙල් ලිපි වල සිය විජාතිකත්වය නොසඟවා සඳහන් කර ඇත්තේ එය මහජනයා අතර සාමාන්‍යකරණය කිරීමට විය යුතු ය. සිය ශිලාලේඛන වල නම සඳහන් කර ඇත්තේ ‘‘ ශ්‍රී වීර රාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල කාලිංග ලංකේශ්වර පරාක්‍රමබාහු චක්‍රවර්තී ස්වාමීන් වහන්සේ‘‘ ලෙසිනි.

 

ගොවිකුල ඇත්තන්ගේ අභියෝගය-

රාජ්‍යත්වය ලබා ගන්නට උත්සාහ දරනා ගොවිකුලිකයන්ට උපකර නොකරන්නැ‘යි රජු රටවැසියන්ගෙන් කරන ඉල්ලීමක් ගල්පොත ලිපියේ සඳහන් වේ. ඉන් පෙනී යන්නේ මේ වන විට රජුට ලංකාවේ ගොවි කුලිකයින්ගෙන් අභියෝගයක් තිබූ බව යි. එසේ කිරීම දේශදෝහී ක්‍රියාවක් බවත්, එසේ කිරීමට උත්සාහ කිරීම යනු කපුටන් හා හිවලුන් හංසයින් හා සිංහයින් වීමට ගන්නා උත්සායකන් වැනි උපහාසාත්මක උත්සාහයකැයි ද හේ සඳහන් කර තිබේ. තමා බෞද්ධයෙක් බවත්, තමා උපන්නේ බුදු බෝසත් සක්විත්තන් උපදිනා දඹදිව කළඟු පුරයේ බවත් හේ පුන පුනා කියයි. තම සුදුසුකම් ඉස්මතුකර පෙන්වීමට ඔහු එසේ කියන්නට ඇත.

 

පාණ්ඩ්‍යාදී විදෙස් අභියෝග-

තව ද චෝළ, පාණ්ඩ්‍ය, කේරලා දී අබෞද්ධයින් ලංකාවේ රාජ්‍යත්වයට පත්කරන්නට උත්සාහ නොකරන්නැයි ද හේ ගල්පොත හා පොළොන්නරු උතුරු වාහල් දොරටු ලිපි වලින් මහ ජනයාගෙන් ඉල්ලා සිටී. ඉල්ලීමකට ඔබ්බට යමින් ඇතැම් ලිපි වල සඳහන් කර ඇත්තතේ එසේ කරන්නට උත්සාහ කරන්නේ නම් සමස්ත පරපුරම වනසන බව යි. එසේ පවසන්නට හේතුවක් වන්නට ඇත්තේ පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙකු මුල් වී මධුරින්ද නම් පාණ්ඩ්‍ය කුමරෙකු ලංකාවට ගෙන්වා ඔහුට ශිල්පශාස්ත්‍රාදිය දී රාජ්‍යත්ව සුදුසුකම් ඇතිකිරීමේ සිද්ධිය නිසා විය යුතු ය. තව ද සිංහාසනයට සුදුස්සෙක් නොමැති නම් පූර්ව රජුගේ මිරිවැඬිසඟල සිහසුනේ තබා රට පාලනය කිරීම සුදුසු යැයි ද දක්වයි. ඉන් අදහස් කරන්නට ඇත්තේ තමන්ට රාජ්‍යත්ව සුදුසුකම් ඇති බවත්, නුසුදුස්සන්ට බලය දීම නුසුදුසු බවත් විය යුතු ය.

 

රුහුණු වැසියන්ගේ අභියෝගය-

යුධගනාව, වැලිගත්ත හා කටුගහගල්ගේ වැනි ස්ථානවල ඔහු පිහිටුවා ඇති ගව් කණූ වල සඳහන් කර ඇත්තේ දකුණේ වැසියන් රජරට හා මායා රටේ ජනයාගේ දෝෂ දර්ශනයට ලක්වන ආකාරයට කටයුතු නොකරන ලෙසයි. දකුණු ලංකාව බොහෝ අවස්ථාවල කැරලිකරුවන්ටත්, සිංහාසනය අත්කරගන්නට උත්සාහ කළවුන්ටත් තෝතැන්නක් වූ නිසා මේ සටහන තබා ඇත. මේ අනුව පෙනී යන්නේ ද නිශ්ශංකමල්ල රජු යම් අභියෝගයකට මුහුණ දී සිටි බව යි. මේ රජුගේ සමයේ රචනා වී යැයි පිළිගැනෙන සාධුචරිතෝදය නම් කෘතියෙන් එ මේ බව සනාථ වේ. මහාචාර්ය සිරිමා කිරිබමුණේ මහත්මිය ද මෙයට එකඟව කරුණු  දක්වා තිබේ.

 

මහජන සහය දිනාගැනීමේ අභියෝගය-

හේ සිය රාජ්‍යයයේ ජනයාගේ තත්ත්වය අවබෝධ කරගනු පිණිස තුන් රජයේ චාරිකා කළේ ය. තුන් රජය යනු රුහුණු, මායා හා පිහිටි යන පාලක ඒකකයන් ය. දෙවිනුවර, කැළණිය, දඹුල්ල, අනුරාධපුරය වැනි ස්ථාන වලට පැමිණ නොයෙක් ආකාරයේ දානයක් කළ බව ද සඳහන් වේ. සමකාලීන ඉන්දීය රජවරුන් අතර වඩාත් ප්‍රකටව පැවති තුලාභාර දානයන් දීම නිශ්ශංකමල්ල රජුගේ ද සිරිතක් විය. දොරටියාව සන්නසේ මේ බව පැහැදිලිව ම සඳහන් වේ. සිය බිසව වූ කාලිංග සුභද්‍රා දේවියත් පුත්‍ර වීරබාහු කුමාරයාත් හා එක්ව දුන් එබඳු දානයක් පිළිබඳව රුවනැමැලි සඋ ලිපියේ ද සඳහන් වේ. තමන් දිවෙල්, වහල්, සරක්, පමුණු(ඉඩම්, වහලුන්,ගවයින් හා පමුණු ඉඩම්) නිරන්තරයෙන් ම දන්දුන්නේ යැයි බොහෝ ශිලි ලේඛන වල සඳහන් කර තිබේ. මෙය සෙල්ලිපි ගණනාවක එන පොදු පාඨයක් තරමට  යළි යළි සඳහන් කර තිබේ.  පෙර රජවරුන් නිසා මහජනයාට අහිමි වූ බොහෝ දේපළ යළි ඔවුන්ට ම පවරා දුන් බවත්, ප්‍රත්‍ය ලෝභයෙන් මහණ වූවන්ට යැපීම් මාර්ග සලසා දී සිවුරු හරවා යැවූ බවත් හේ සඳහන් කර තිබේ.   ලංකාවේ මෙන් ම ඉන් පිටත වාසය කළ ජනයාට ද හේ සහන සැලසීය. පොළොන්නරුවේ දාන ශාලා සතරක් කරවීය. ඒවා ත්‍රිභුවන සත්‍ර, නිශ්ශංක සත්‍ර, බ්‍රාහ්මණ සත්‍ර හා බෞද්ධ සත්‍ර නම් විය. කාලිංග හා රාමේශ්වරම් හි ද දාන ශාලා කරවූ බව සඳහන් වේ. ඇතැම් විට සිය මව් රටට කෘතගුණ දැක්වීමක් සේ එසේ කරන්නට ඇත.  අනුරාධපුර, ශ්‍රීපුර, ශ්‍රී නිවාසපුර ආදී ස්ථාන වල ද දන්හල් කරවා ඒවායේ කටයුතු පෞද්ගලිකව ම අධීක්ෂණය කළේ ය. මෙවැනි ක්‍රියා තුළින් මහජන සිත් දිනාගැනීමට රජු වැඩි උත්සාහයක් ගෙන තිබේ. තමන්ට ප්‍රභූපන්තියේ ළෙංගතු හා සැබෑ සහයක් අඩු වග ඔහුට දැනෙන්නට ඇත.

 

මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිරූපය පිළිබඳ අභියෝගය.

මහා පරාක්‍රමබාහු රජුගේ දැවැන්ත ප්‍රතිරූපය ද ඔහුට අභියෝගයක් වූ බව පෙනෙයි. ඒ අභියෝගය ජයගනු පිණිස රජු  ඇතැම් අවස්ථාවල පරාක්‍රමබාහු රජුට සම වීමටත් තවත් අවස්ථාවප පරාක්‍රමබාහු ප්‍රතිරූපය බිඳ දැමීමටත් කටයුතු කර තිබේ. එක් ස්ථානයක ඔහු සෘජුව ම සඳහන් කරන්නේ මාලු පරාක්‍රමබාහු වහන්සේ පූර්ව රජ චරිත ඉක්මවා කළ අති දඩ අවිනයෙන්(ප්‍රමාණය ඉක්මවා කළ බදු අයකිරීමෙන්) පීඩිත වූ ජනයාට තමා පිහිට වන වගයි. කැති අඩ හා කෙටුකනබ වැනි බදු අයකිරීම තමන් නතරකර දැමූ බව ද මෙතුමා සඳහන් කර තිබෙන්නේ ද පරාක්‍රමබාහු රජුගේ කාර්යයන් විවේචනය කිරීමක් ලෙසිනැ යි සිතේ.

පරාක්‍රමබාහු රජුට සම වීමට ද රජු උත්සාහ දරා තිබේ. පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණයක් පිළිබඳව ද,පරාක්‍රමසමුද්‍රයට සම නිශ්ශංක සමුද්‍රයක් පිළිබඳ ව ද මෙතුමාගේ ශිලාලේඛන වල සඳහන් වේ. තමන් පාණ්ඩ්‍ය චෝළාදීන්ගේ රටට ගොස් ද්වන්ධව හෝ හමුදා වශයෙන් තමන් හා යුද්ධයට එන්නැයි අභියෝග කළ බව ද කිසිවෙකු හෝ ඒ අභියෝගය භාර නොගත් නිසා ඔවුන්ගෙන් කප්පම් ගෙන යළි ආ බව ද දක්වා තිබේ. නමුත් රාමේශ්වරමෙන් සොයා ගත් මෙතුමාර අයත් සෙල් ලිපියකින් පෙනී යන්නේ මෙතුමා රාමේශ්වරමට ගොස් එහි වූ ජරාවාස කෝවිලක් ප්‍රතිසංස්කරණය කරවා එයට නිශ්ශංකේශ්වර නම දී යළි ආ වගකි.  නිශ්ශංකමල්ල රජු වැව් අමුණු ආදිය ද ප්‍රතිසංස්කරණය කරවීය. නමුත් එකී වැව් අමුණු ආදිය සත්‍ය වශයෙන් ම ඔහු විසින් කරවූ ඒවා ද යන්න පිළිබඳ ගැටළු පවතී. පරාක්‍රමසමුද්‍රය හා නිශ්ශංක සමුද්‍රය පිළිබඳ මේ වැනි සංකාවන් මතු වී තිබේ. නිශ්ශංක සමුද්‍රය යන නම සඳහන් ශිලා ලේඛනයත් පරාක්‍රමසමුද්‍රය යන නම සඳහන් ශිලා ලේඛනයත් දෙක ම පරාක්‍රමසමුද්‍රයට යට වූ තෝපා වැවේ බැම්මේ තිබී හමු වීම මේ සංකාව තීව්‍ර කරවන්නට සමත් වී තිබේ. තව ද තම පාණ්ඩ්‍ය දේශ විජය සිහිකරවනු පිණිස එක් දිනකින් කරවූ වැවක් ලෙස පාණ්ඩිවිජයකුලම රජු විසින් හඳුන්වා දී ඇත. මේ වනාහි ගල්මැටියාන වැව යි. එය රජු කරවූ බවට ඇති මතයත්, එක් දිනකින් කරවූ බවට ඇති මතයත් යන මත දෙක ම සැක සහිත වී ඇත. පණුඩවාපිය ද රජු කරවූ එකක් යැයි පිළිගැනෙයි. කෙසේ වෙතත් රජු වැව් අමුණු ගණනාවක් ප්‍රතිසංස්කරණය කරවූ බව පිළිගන්නට සිදු වේ.

ජනයාට සුවසෙත සදනු පිණිස රජු තවත් බොහෝ දේ කළේ ය. අයබදු වලින් පීඩාවට පත් ජනයා ඉන් මුදනු පිණිස පස්අවුරුදු බදු සහන දීම ඉන් එකකි. කැති අඩ, කටුකනබා අය(කෙටූකනබ) හා පිසඹුරු වත යන බදු සපුරා ම අහෝසි කළ රජු මතු රජවරුන් ද බදු අය කිරීමේ දී ඒවා සාධාරණ ලෙස යළ යුතු නිසා බදු මුදල් තීරණය කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ද සකස් කළේ ය. දූෂණක්‍රියාවෙහ් නොයෙදෙන්නැයි සිය නිළධාරීන්ට අවවාද කිරීම පිණිස කරවූ වාන් ඇළ සෙල්ලිපිය ද මෙතුමාගේ මහජන හිතකාමී පාලනය පිළිබඳ සාධකයකි.

චතුරාංජගනී සේනාව ද පිරිවරා රාජ්‍යය පුරා සංචාරය කිරීම ද මෙතුමාගේ සිරිතක්ව පැවතියේ ය. කැළණි,දඹුලුථ සමනොළ ආදී ස්ථාන වල මෙසේ සංචාරය කර ඇත.ප්‍රාදේශීය නායකයින් අවනතව තබා ගැනීම හා කැරළි කෝලාහල වැලක්වීම මේ සංචාර වල අරමුණ වන්නට ඇතැයි පිළිගැනෙයි.

ආගමික අතින් ද ඔහු ජනයාගේ සිත් ගන්නට උත්සාහ කළේ ය. පොලොන්නරුවේ විශාලතම දැගැබක් වන රන්කොත් වෙහෙර කරවූයේ මේ රජතුමා ය. දඹුල් ලෙන් විහාර සංකීර්ණය ද ප්‍රතිසංස්කරණය කරවීය . පොළොන්නරු හැටදාගේ හා වටදාගේ ද මෙතුමාගේ කෘතීන් ලෙස පිළිගැනෙයි. සංඝයාවහන්සේලාට ද විවිධ දීමනාවන් කළ මෙතුමා තුන්නිකාය සමගි කරවූ බව ද සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජු ද තුන්නිකාය සමගි කරවීය. නිශ්ශංකමල්ල රජු බොහෝ අවස්ථාවල පරාක්‍රමබාහු රජු හා සම වීමට උත්සාහ කර ඇති නිසා එය හුදු ප්‍රකාශයක් පමණක් වීමට ද ඉඩ තිබේ.

මේ ආකාරයට නව වසරක් ලංකාවේ භෞමික අඛණ්ඩතාව රැකගැනීමටත් මහජන හිතසුව සැලසීමටත් රජු සමත් විය. ඔහුගේ සෙල්ලිපිවල එන තොරතුරු බොහොමයක් ප්‍රශස්ති ස්වරූපයක් ගත්ත ද මහා පරාක්‍රමබාහු රජුට පසු යුගයේ ලංකාවේ එක්සත් භාවය ආරක්ෂා කරගැනීම උදෙසා නිශ්ශංකමල්ල රජු ගත් උත්සායහ ප්‍රශංසාකටයුතු වේ.

නිශ්ශංකමල්ල රජුගේ විදෙස් සබඳතා

මේ රජුගේ විදෙස් සබඳතා ඉති විමසිල්ලෙන් අධ්‍යයනය කළ යුතු වේ. ඒ සඳහා සාහිත්‍ය මූලාශ්‍රය වල සහයක් නොලැබෙන තරමි ය. මෙතුමාගේ ශිලාලේඛන වල එක කරුණු ද අතිශයෝකිත්යට නැඹුරු ය. වරක් තමන් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කළ බවත්, මේ දැක බිය වූ පඬි රජු තමන්ට හා මැණියන්ට ජීවත්වීමට තරම් දේ ඉතිරිකර ඉතිරි සියල්ල ගන්නැයි ද (තමන්ට අභය දෙන්නැයි ද) ආයාචනය කළ බව සෙල්ලිපියක දැක්වේ. නමුත් තමන් පුදපඬුරු, රාජකීය කන්‍යාවන් හා තවත් බොහෝ වස්තුව පමණක් ගත් බව ද හේ සඳහන් කර ඇත. දකුණු ඉන්දියාව පමණක් නොව අරමණ, කාම්බෝජ ආදී දුරස්ථ රටවල් සමග ද හේ සබඳතා වර්ධනය කරගත් බව දක්වා තිබේ. එකී බොහෝ රටවලින් තමන්ට ඇත් අශ්වාදී බොහෝ පඬුරු ද සමග බිසෝවරුන් ලෙස කුමාරිකාවන් එවූ බව දක්වා තිබේ. ඔහු කාම්බෝජය සමග පැවත්වූ සබඳතා නිසා පොළොන්නරුවේ එක් වාසලක් ‘‘කබොජ වාසල‘‘ ලෙසින් නම් කළ බව ද සඳහන් වේ. මෙකී කරුණු වල යම් තරමක හෝ සත්‍යයක් ඇතත් මේවා හුදෙක් පරාක්‍රමබාහු රජු පිළිබඳ වර්ණනාවන් අනුව යමින් කළ හුදු වර්ණනා විය හැකි යැයි ද නව වසරක පාලන කාලය තුළ නිශ්ශංකමල්ල රජුට මේ සා කාර්යයක් කරන්නට ඇති ඉඩ සීමිත බව ද බොහොමයක් ඉතිහාසඥයින්ගේ පොදු මතය යි. මේ පිළිබඳ ඇති තොරතුරු ද ඇතැම් විට පරස්පරය. ගල්පොත ලේඛනයට අනුව රජු වරක් ආක්‍රමණයක් පිණිස ඉන්දියාවට ගොස් ඇත. නමුත් තවත් ශිලාලේඛනයක දෙවරක් ගිය බව දක්වා තිබේ. එය දෙවනවර ගිය පසු පිහිටවූ ශිලාලේඛනයක් යැයි සිතන්නට හැකි නමුත් අතිශයෝක්තීන් හා අලංකාරෝක්තීන් නිසා එකී මතය ද බැහැර කරන්නට සිදුවේ. ඔහුගේ හමුදා මෙහෙයවා ඇත්තේ ලක්විජය නමැති සෙනවියා ය. ඔහුගේ පාණඩ්‍ය දේශ ගමනේ දී රාමේශ්වරයේ තෙමසක් නතර වී සිට තුලාභාර දානාදිය දී, නිශ්ශංකේශ්වර නමින් දෙවොලක් ද කරවූ බව කියා තිබේ. එය සත්‍යයක් වැය හැකි ය. මන්ද රාමේශ්වරමේ ඔහුගේ යැයි හඳුනාගත් ලිපියක් තිබෙන නිසාවෙනි. නිශ්ශංකමල්ල රජු බලයට පත්වන්නේ ක්‍රි.ව. 1187 වැන්නේ දී ය. චෝළ පාණ්ඩ්‍ය දෙරට අතර නෙට්ටූර් සටන ඇති වූයේ 1188 දී ය. බොහෝ විට මේ සටනට සිංහල හමුදා සහය පාණ්ඩ්‍යයින්ට ලැබෙන්නට ඇත. පරාක්‍රමබාහු රජුගේ මරණයට පසුත් ඒ වන විටත් රාමේශ්වරම්හි නතර වී සිටි සිංහල හමුදා හෝ නිශ්ශංකමල්ල රජු යැවූ හමුදාවක් මෙසේ පාණ්ඩ්‍යයින්ට සහය වන්නට ඇත. එහෙත් එය සනාථ කළ නොහැකි කරුණකි. නමුත් මේ සටනට සිංහල හමුදා පාණ්ඩ්‍ය පාර්ශ්වය නියෝජනය කර සහභාගී වූ බව තරමක් දුරට තහවුරු වේ. මේ සටනින් පාණ්ඩ්‍යයෝ පරාජය වූ අතර චෝළයෝ ජය තහවුරු කරගත් අතර. කුලෝත්තුංග චෝළ රජුගේ අභිලේඛන වල එන්නේ තමන් සිංහල හමුදා මුහුදට පන්නා දැමූ බවට ඇති සඳහන මෙය තරමක් දුරට හෝ සනාථ කරන සාධකය යි. කෙසේ වෙතත් මේ වනාහි නිශ්ශංකමල්ල් රජු සිය ශිලාලේඛන වල සඳහන් කරන කරුණට හාත්පසින් වෙනස් කතාවකි. කෙසේ වුව ද මෙතුමාගේ ඉන්දීය සබඳතා සපුරා ම අසත්‍යයක් විය නොහැකි ය. මෙතුමාගේ මෙහෙසියන් තිදෙනෙකු පිළිබඳ සෙල් ලිපිවල සඳහන් වේ. කාලිංග සුභද්‍රා, ගංගාවංශයේ කල්‍යාණවතී හා චන්ද්‍රා යන බිසෝවරුන් ය. මේ අය විදෙස් බිසෝවරුන් වගක් පෙනී යයි. කෙසේ වුව ද අවසන් වශයෙන් සඳහන් කළ හැක්කේ නිශ්ශංකමල්ල රජුගේ විදෙස් සබඳතා වනාහි තහවුරුකිරීමට තරම් ප්‍රබල සාක්ෂි රහිත සබඳතා විශේෂයක් බව ය.