සටහන-අමිල උඩවත්ත
මූලික විස්තර
විජයබාහු නමින් පෙනී සිටි පළමුවැන්නා මෙතුමා ය. ලංකාවේ චෝළ පාලන සමය නිමා කරමින් බලයට පත් වූ මෙතුමා බලයට පැමිණිමට පෙර රුහුණේ සිටි සමයේ කිත්ති කුමරු නමින් හඳුන්වන ලදී.
දැනට ලැබී ඇති ඓතිහාසික තොරතුරු අනුව විජයබාහු රජුගේ මව් පාර්ශ්වය දාඨෝපතිස්ස රජුගේ පාර්ශ්වයෙන් පැවත ආ එකකි.පිය පාර්ශ්වය දෙවන ලම්බකර්ණ වංශයේ පස්වැනි සේන රජුගෙන් පැවත ආ එකකි. එතුමන්ගේ මව ලෝකිතා දේවී වූ අතර පියා මහාසාමි මුගලන් නම් වීය. සහෝදරයන් වූයේ මහින්ද හා රක්ඛිතය. එක ම සොයුරිය මිත්තා නම් වූවාය.
කිත්ති කුමරාගේ පියා වූ මහාසාමි මුගලන් යනු රජෙක් ද යන්න තරමක් අපැහැදිලි ය. මොහුගේ නම සමග යෙදී ඇති මහාසාමි යන උප නාමය පැවිදි දිවියට සමීප ගිහි දිවියක් ගත කළ අය සඳහා යෙදෙන්නකැයි අනුමානයක් තිබේ. කෙසේ වුවත් පණාකඩුව තඹ සන්නසේ ‘‘ අප පිය මහසැමිය මුගලන් රජ පා වහන්සේ “ යනුවෙන් සඳහන් වන නිසා මහාසාමි මුගලන් යනු රජවී සිටි අයෙකු ය යන්න තරමක් දුරට හෝ සනාථ වේ. අඹගමුව සෙල්ලිපියේ ද සඳහන් වන්නේ මෙතුමා රජෙකු බව යි.[1] නමුත් ඒ කවර ප්‍රදේශයක ද යන්න අපැහැදිලි ය. බොහෝ විට ඒ රුහුණේ ප්‍රදේශයක විය යුකු ය. මන්ද යත් ඒ වන විටත් රජරට සොලී පාලනයක් පැවති නිසා ය. එමෙන් ම මහාසාමි මුගලන් පවුල කලක් තිස්සේ සොලී තර්ජන වලින් ගැලවීම පිණිස වනගත දුෂ්කර දිවියක් ගතකළ බව ද සඳහන් වේ.
කිත්ති කුමාරයා ධනු ශිල්පයෙහි දක්ෂයෙකු වීය. ඔහු මුල් කාලයේ වාසය කළේ මූලසාල නම් ගම්මානයේ ය. මෙය වත්මන් මොනරාගලට නුදුරු ගමකි. සොලීන්ට එරෙහි සටන සිදුකිරීමේ දී කිත්ති කුමරා මුහුණ දුන් අභියෝග කිහිපයක් විය.
- රුහුණ එක්සත් කිරීම.
- සොලීන්ගෙන් සැඟවී සේනා සංවිධානය කිරීම.
- මහජන සහය දිනාගැනීම
- අභියෝග ජයගනිමින් විමුක්ති සටන මෙහෙයවීම.
- රුහුණේ ආර්ථික සංවර්ධනය
- ලංකාවේ අගරජු වූ පසු ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම.
- ලංකාවේ ආර්ථිකය සංවවර්ධනය කිරීම.
රුහුණ එක්සත් කිරීම
රුහුණේ සිටි එකම නායකයා වූයේ කිත්ති කුමාරයා නොවේ. ලෝකේශ්වර නම් සෙනවියෙක් රුහුණේ සැලකිය යුතු තරමේ බලයක් ගොඩනගාගෙන සිටියේ ය. සත්‍ය වශයෙන් ම එකී බලය කිත්ති කුමරුට වඩා වැඩි බලයකි. මේ නිසා කිත්ති කුමරුන්ට ලෝකේශ්වර යනු අභියෝගයක් ම විය. නමුත් ලෝකේශ්වරට විරුද්ධ බලවේග මේ අවස්ථාවේ කිත්ති කුමරුන්ට සහය දීමට ඉදිරිපත් විය. තනි තනිව සිය ආධිපත්‍යය ගොඩනැගීමට උත්සාහ නොකරමින් කිත්ති කුමරුන්ට සහය දීමට මෙකී බලවේග එක්වීම වාසනාවක් විය.
රුහුණ එක්සත් කිරීමේ කාර්යයේ දී කිත්ති කුමාරයා පළමුව ලෝකේශ්වර යටතේ තිබූ බෝවල ගම්මානය තමා යටතට ගත්තේ ය. ලෝකේෂ්වර එහිදී කිත්ති කුමරුට විරුද්ධව සේනාවක් එවූ නමුදු ඔවුන් පරාජය කිරීමට කිත්ති කුමාරයා සමත් විය. කිත්ති කුමාරයා මලය රට තම වසඟයට ගන්නේ ඉන් අනතුරුව ය. බුද්ධරාජ සෙනවියා මේ අවස්ථාව වන විටත් කිත්ති කුමරුගේ ආරක්ෂාව පිණිස එක්වී සිටියේ ය මලය රට ද අල්ලා ගැනීමෙන් පසු දේවමල්ල නමැති තවත් ප්‍රාදේශීය නායකයෙක් විශාල සේනාවක් සමග විත් කිත්ති කුමාරයාට එක් විය. ඉන් පසු කුමරු තරමක් බලව්ත්ව සිටියෙන් රුහුණේ ආදිපාද වරයා ලෙස අභිෂේක ලැබීය. නමුත් එසේ අභිෂේක ලැබූයේ රුහුණේ ආදිපාද පදවියට පත්වීමට සිටි එක ම පුද්ගලයා ලෙසින් නොවේ. රාජ්‍යත්වය උදෙසා තම බලය තහවුරු කරගැනීමත්, තම අධිපතීත්වය හා ප්‍රමුඛත්වය පෙන්වීමත් මෙහි අරමුණ වන්නට ඇත.
නමුත් මෙම ක්‍රියාවෙන් පසුව ද කිත්ති කුමාරයාට රුහුණේ තිබූ අභියෝග නිමා වූයේ නැත. ලොකේශ්වරට පසු බලයට පත්වන්නේ ලෝකේශ්වරට වඩා ප්‍රබල නායකයෙකි. ඔහු කේෂධාතු කාශ්‍යප නම් විය. ඔහු පිළිබඳ සොලීන් පවා විමසිලිමත් වීමෙන් ම ඔහුගේ ප්‍රබලතාව පැහැදිලි වේ. පොළොන්නරුවේ සිටි සොලී සෙන්පතියා ද කේශධාතු කාශ්‍යපට විරුද්ධව සේනාවක් එවීය. නමුත් ඒ සේනා කේෂධාතු කාශ්‍යප අතින් පරාජය විය. එපමණක් නොව මේ සිදුවීමෙන් පසු කේෂධාතු කාෂ්‍යප ලංකාවේ මධ්‍ය කඳුකරයේ වත්මන් රක්වාන (රක්තපාෂාණ ඛණ්ඩක) තෙක් බලය තහවුරු කරගත්තේ ය. පසුව ඔහු කිත්ති කුමාරයා පරාජය කරනු පිණිස ද සේනාවක් එවීය. නමුත් මහජන සහය නොමැතිව මේ හමුදා අසාර්ධක වූයෙන් කාශ්‍යප ද පලා ගියේ ය. දෙවැනි වරටත් යළි හමුදාවක් එවූ අතර ඒ හමුදා කිත්ති කුමරු අතින් පරාජය වී කේෂධාතු කාශ්‍යප පවා මරණයට පත් විය. මේ සමග ම කිත්ති කුමාරයාට රුහුණේ තිබූ ප්‍රබල අභියෝග නිම වූයෙන් රුහුණේ ප්‍රමුඛ නායකයා වීමේ අවස්ථාව ඔහුට හිමි විය. ඊට අනුව ඔහු විජයබාහු නමින් ක්‍රි.ව. 1055 දී පමණ රුහුණේ රජ වන්නේ ය. නමුත් මේ දක්වා පැමිණි මග මෙහි විස්තර කළා තරම් පහසු වූයේ නැත. ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් නිමා කරමින් අභියෝග රැසක් ජයගන්නට මෙතුමාට සිදු විය.
සොලීන්ගෙන් සැඟවී සේනා සංවිධානය කිරීම.
මේ වන විට රුහුණේ වර්ධනය වෙමින් පැවති නව දේශපාලන වාතාවරණය පිළිබඳ සොලීන් අවධානයෙන් සිටි වග පෙනෙයි. විජයබාහු රුහුණේ රජවූ අලුත විවිධ සටන් ක්‍රම අධ්‍යයනය කරමින් තම හමුදා පුහුණුකිරීම් වල නිරත විය. කුඩා කණ්ඩායම් වශයෙන් ගොස් පහරදීම් වැනි ක්‍රම ඔහු පුහුණු වූ බව පරණවිතාන මහතා අනුමාන කරයි. මෙකී ක්‍රමවේද නිසා සමකාලීන රුහුණු ප්‍රභූවරුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විජයබාහු රජු යටතේ ක්‍රමයෙන් රුහුණ බලවන්ත විය. සොලීන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව පෙනී යන්නේ පොළොන්නරුවේ සොලී සෙන්පතියා විශාල හමුදාවක් සමග කතරගමට ප්‍රහාරයක් එල්ල කළ නිසා ය. නමුත් ඔහුට මහජන සහක් නොවූයෙන් හා ප්‍රදේශය පිළිබඳ අඩු අවබෝධයක් පැවතීම නිසාත් විජයබාහු රජු උපක්‍රමශීලීව තම හමුදා අවසන් සටන තෙක් රැකගැනීම පිණිසත් දුර්ග ප්‍රදේශයකට පසුබැසීම නිසාත් සටනක් නොකොට කතරගම කොල්ලකා ඉක්මනින් ම යළි පොළොන්නරුවට යෑමට සොලී සෙන්පතියාට සිදු විය. නමුත් මේ සිදුවීම විජයබාහු රජුට ක්ෂේත්‍ර අත්දැකීමක් වූවාට සැක නැත. පොළොන්නරුවට ගොස් ලබා ගතයුතු අත්දැකීමක් සතුරන් විසින් රුහුණට පැමිණ ලබා දීම විජයබාහු රජුට මහත් වාසියක් වන්නට ඇත. නමුත් සතුරන් විසින් කොල්ලකාගත් ධනය සිංහල හමුදාවන්ට අවාසියක් විය. මේ නිසා රාමඤ්ඤ දේශයේ සහය පැතීමට ද රජුට සිදු විය. නමුත් ඒ යුධාධාර ලබා ගැනීම පිණිස නොවේ. ආර්ථික සංවර්ධනයට මග පෑදෙන ආකාරයේ විදෙස් සබඳතා වර්ධනය කරගැනීම පිණිස ය. මේ අදහස ආචාර්ය නීලකණ්ඨ ශාස්ත්‍රී මහතා ද අනුමත කරයි. පරණවිතාන මහතා ප්‍රකාශ කරන්නේ ද මෙකී දූත ගමන නිසා විජයබාහු රජුට බොහෝ ආර්ථික වාසි අත් වූ බවයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි ප්‍රකාශ කරන්නේ මෙකී දූත ගමන සමග හිමි වූ ආර්ථික ප්‍රතිලාභය විජයබාහු රජු විසින් තම බලඇණි නඩත්තුව පිණිස යොදවන්නට ඇති බව යි. මෙතැන්න පසු ව වුව ද සොලීන් හා සුළු යුද්ධ වලට නොගොස් සැඟවී රහසේ යුධ හමුදා සංවිධානය කිරීමට රජු කටයුතු කළේ ය. දැවැන්ත අවසන් සටනකට මිස සුළු සටන් සඳහා හමුදා යොදවා තම ශක්තිය පිළිබඳ තක්සේරුවක් කිරීමට සතුරාට අවස්ථාව දීමට රජු කටයුතු කළේ නැත. ඒ නිසා විජයබාහු රජුගේ සටන් ව්‍යාපාර තුළ කුඩා සටන් දක්නට නොලැබෙන තරම් ය. එයට හේතුව සොලීන්ගෙන් සැඟවී යුධහමුදා සංවිධානය කිරීමට රජු තීරණය කර තිබූ නිසා විය යුතු ය.
මහජන සහය දිනාගැනීම
යුද්ධයක දී මහජන සහය අතිශය තීරණාත්මක සාධකයකි. සේනා සංවිධානය වන්නේ මහජනයා අතරිනි. රුහුණේ පමණක් නොව රජරට ජනයා පවා විජයබාහු නමැති විමුක්ති නායකයාට ලැදිව සිටි බව පැහැදිලි ය. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ද විජයබාහු රජු ප්‍රෙදශයේ ප්‍රභූවරුන්ගේ පවා සිත් දිනා සිටි බවකි. අනවශ්‍ය ලෙස කලබල නොවී උපක්‍රමශීලී වීම, දුරදක්නා නුවණින් යුතුව කටයුතු කිරීම, සැලසුම්සහගතව කටයුතු කිරීම වැනි ගුණාංග ඔහුතුළවීම ඊට හේතු වන්නට ඇත.
අභියෝග ජයගනිමින් විමුක්ති සටන මෙහෙයවීම.
විමුක්ති සටනකට පණ පෙවීම යනු තම ජීවිතය පිළිබඳ ආශාවන් අත්හැර කළ යුතු කාර්යයකි. පරාජය වීම තුළ මෙහෙයවන්නාගේ මරණය ලියැවෙන හෙයිනි. විජයබාහු රජු මෙකී කාර්යයට අතගසන්නේ ද එම කරුණු පිළිබඳ අවබෝධයෙන් වගපැහැදිලි වන්නේ මරණය පෙනි පෙනී සතුරන් අතින් මිදී පසුබැස ගිය ද යළි යළි සංවිධානය වී පෙරට පැමිණි නිසා ය. විජයබාහු රජු යටතේ රුහුණේ ඇතිවූ ප්‍රබෝධයෙන් ප්‍රබෝධයට පත් රජරට ජනයා සොලී පාලනයට විරෝධය පාමින් බදු ගෙවීම් ආදිය පැහැර හරින්නට පටන්ගත් හ. මෙසේ ජනයා සොලීන්ට විරුද්ධ වීම වනාහි විජයබාහු රජුගේ සතුටට හේතුවක් වන්නට ඇතැයි අපට සිතුන ද මේ සමගම මුළුමහත් රටේ ම ජනයාගේ ජීවිත අනතුරට පත්වීමේ ඉඩක් මතුව තිබුණි. එය විජයබාහු රජුට අභියොගයක් වන්නට ඇත. රුහුණ පිළිබඳ සොලීන්ගේ අවධානය අනවශ්‍ය ලෙස යොමු වීමට ද මේ සිදුවීම් හේතු වන්නට ඇත. කෙසේ වුව ද මේ තත්ත්වය නිසා ක්‍රි.ව. 1065 දී මහාතිත්ථයෙන් ගොඩබට සොලී හමුදා රජරට ජනයා පෙළමින් රුහුණ දක්වා ආක්‍රමණයක් එල්ල කළහ. මෙකී ආක්‍රමණ අවස්ථාවේ රජුට තවත් අභියෝගයකට මුහුණ දෙන්නට සි දු විය. ඒ තම ප්‍රධාන සෙන්පතියන් දෙදෙනා වූ රවිදේව හා චල යන සේනාපතිවරුන් දෙදෙනා සොලී පාර්ශ්වයට එක්වීමයි. මේ නිසා 1065 වසරේ සොලීන්ගේ රුහුණු ආක්‍රමණයට මුහුණ දීම විජයබාහු රජුට මහත් අභියෝගයක් ම විය. මේ නිසා පළටුපානට පසුබැස නව බලකොටුවක් ගොඩනගන්නට රජුට සිදුවිය. යුධමය අතින් අතිශය වැදගත් දුර්ගයක් වූ පළටුපාණ බලකොටුව ආශ්‍රිතව සොලීන් හා කළ යුද්ධයේ දී සිය ප්‍රධාන සෙන්පතිවරුන් දෙදෙනා නැතිව වුව ද යුද්ධය ජයගැනීමට විජයබාහු රජු සමත් විය. කෙතරම් දක්ෂයින් වුව ද, අවශ්‍ය වුව ද, බුද්ධියෙන් සිතා බලා ඉවසීමෙන් කටයුතු නොකරන ඇතැම් පුද්ගලයින් අත්‍යවශ්‍ය නොවබ බව සනාථ කරමින් විජයබාහු රජු ලැබූ මේ ජයග්‍රහණය සමග සොලීහූ වෙරළාශ්‍රිත සාම්ප්‍රදායික මාර්ගයෙන් නොව රට මැද මාර්ගයකින් පලා ගියහ. විජයබා හමුදා ඔවුන් පසුපස ගොස් තඹවිට දී ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළ හ. ඒ ප්‍රහාරයේ දී සොලී සෙන්පතියා ද නසා ඔහුගේ හිස ද රැගෙන ආ බව සඳහන් ය. මේ සිදුවීමට ආසන්න කාලයේ ම ජයග්‍රහණයෙන් ඔදවැඩී ගිය සිංහල සේනා පොළොන්නරුව ද අල්ලා ගන්න ලදී. නමුත් පොළොන්නරුව රැකගැනීම විජයබාහු රජුට අභියෝගයක් විය. මන්ද යත් ඒ වන විට වීර රාජේන්ද්‍ර රජු සොලී දේශයේ අභිනව පාලකයා ලෙස පත් වී සිටීමත්, ලංකාවේ සොලී පරාජයන් සම්බන්ධයෙන් ඔහු අතිශය කිපී සිටි නිසාත් ය. ලංකාවේ අහිමි වූ බලය යලි ලබාගනු පිණිස විශාල හමුදුවක් එවීමට හේ කටයුතු කළේ ය. මේ හමුදා සමග අනුරාධපුරයේ දී බිහිසුණු සටනකට පිවිසි සිංහල සොල්දාදුවෝ බොහෝ පිරිසක් රට වෙනුවෙන් වීරයින් සේ දිවි පිදූහ. අවසන පරාජයට පත්වූව ද අවසන් මොහොත දක්වා ම මේ දැවැන්ත අධිරාජ්‍යය සමග ගැටීමට ඔවුහූ කටයුතු කළ හ. මේ අවස්ථාවේ සේනා අහිමිව දුර්වල වී සිටි විජයබාහු රජුට තම ජීවිතය පවා අභියෝගයක් විය. මේ නිසා පොළොන්නරුවෙන් විල්ලිඛානටත් පසුව වාකිරිගලටත් පසුබැසීමට රජුට සිදුවිය. සොලී හමුදා ඒ දෙසට ද එන බව දැනගත් විජයබාහු රජු එහි ආරක්ෂක බලකොටුවක් කරවා සේනා සංවිධානය කරගත්තේ ය. සොලී හමුදා අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරමින් උපක්‍රමශීලීව ජයග්‍රහණය කළ විජයබාහු රජු සොලී හමුදා පසුබැස්සවීය.
මේ අසන්න කාලයක තවත් අභියෝගයකට මුහුණ දීමට විජයබාහු රජුට සිදුවිය. ඒ. මීට කලකට ඉහත තමා අතින් පරාජය වූ කේෂධාතු කාශ්‍යප ගේ සොයුරෙකු රුහුණේ ඇති කළ කැරැල්ලයි. විජයබාහු රජු සැලසුම් සහතගව මෙම කැරැල්ල මර්දනය කරන ලදුව සතුරා සොලී පාලන ප්‍රදේශයට පලා ගියේ ය.
විජයබාහු රජු සොලීන් හා සටන් කළේ මෙවැනි අභියෝග මධ්‍යයේ ය.
රුහුණේ ආර්ථික සංවර්ධනය
සොලීන් සමග වරින්වර ඇති වූ සටන් නිසාත් රුහුණේ අභ්‍යන්තර අර්බුද නිසාත් රුහුණ ඒ වන විට බොහෝ ආර්ථික අපහසුතා වලට මුහුණ දී සිටි බව සැක නැත. විශේෂයෙන් ම විජයබාහු රජු රුහුණේ රජ වූ විගස රුහුණට එල්ල වූ සොලී ආක්‍රමණයෙන් රුහුණු කතරගම් ප්‍රදේශයට මහත් ආර්ථික හානියක් වූ බව පැහැදිලි ය. මේ නිසා මේ ආසන්න කාලයේ තුටුපඬුරු සහිත දූතයන් පිරිසක් රාමඤ්ඤ දේශයට පිටත්තර යැවීමට විජයබාහු රජු කටයුතු කළේ ය. මේ කාලයේ රාමඤ්ඤ දේශයේ සිටියේ අනුරුද්ධ නමු රජු ය. රජු බොහෝ වටිනා වස්තුව ලංකාවට එවීමෙන් එකී දූත ගමනට ප්‍රතිචාර දැක්වූ බව සඳහන් ය. නමුත් රාමඤ්ඤ දේශය වැනි බැහැර රටකින් යුධාධාර බලාපොරොත්තු විය නොහැක. මේ නිසා මෙකී සබඳතාව ඇරඹීම අතිශය වැදගත් ය. මින් අනතුරුව දිගින් දිගට ම ලංකාව හා රාමඤ්ඤ දේශය අතර වාණිජ සබඳතා පැවති බවට තොරතුරු තිබේ. මේ හරහා රුහුණු රට ආර්ථික අතින් යම් වර්ධනයක් ලබන්නට ඇත.
මහා විජයබාහු රජු ලංකාවේ අගරජු වූ පසු ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම හා ලංකාවේ ආර්ථිකය සංවවර්ධනය කිරීම.
ලංකාවේ අගරජු වූ පසු ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීම.
අගරජු බවට පත්වීමෙන් පසු මහා විජයබාහු රජු විවිධ ක්‍රම අනුව ලංකාවේ ආරක්ෂාව තහවුරු කළේ ය. මේ නිසා මෙතුමාගෙන් පසු ලංකාවට චෝළ ආක්‍රමණයක් එල්ලවූයේ ද නැත.
- ආර්ථික සංවර්ධනය
- විදෙස් සබඳතා තරකිරීම.
- අභ්‍යන්තර ආරක්ෂාව තරකිරීම.
- සාමුද්‍රික ආරක්ෂා තරකිරීම.
යන අංශ සතරින් ම මෙතුමා ලංකාවට ආරක්ෂාව සලසාදුන්නේ ය.
එතුමා පළමුව වැව් අමුණු ප්‍රතිසංස්රකරණය කරවූ අතර වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය දෙවනිවට සිදුකළේ ය. ආර්ථිකය සංවර්ධනය නොකොට ආගමික සංවර්ධනයක් සිදුකළ නොහැකි වග එතුමා වටහාගෙන තිබුණි. චෝළයින් ලංකාවේ රජරට පාලනය කළ සමයේ දී රජරට වැසියන්ට බොහෝ හිරිහැර වූ නිසා බොහෝ ලාංකිකයන් රජරට අත්හැර ගොස් සිටි නිසා වැව්, අමුණු, ඇළ වේලි ආදිය නිසි නඩත්තුවක් නොවී ය. මේ නිසා ඒවා තැන තැන වූ වතුර වළවල තත්ත්වයට පත්වී තිබුණි. මහා විජයබාහු රජුට සිය පාලන සමය තුළ දී මේ සියල්ල පැරණි අනුරාධපුර පාලන සමයේ තිබූ සශ්‍රික තත්ත්වයට පත්කරන්නට හැකියාව ලැබුණේ නැත. ඒ තරමට ම ඒවා විනාශ වී තිබුණි. නමුත් මෙතුමා ඒ තත්ත්වය දුරු කර රටේ ආර්ථිකය යළි නගාසිටුවන්නට විශාල උත්සාහයක් ගත්තේ ය. ඒ ඒ කාර්යයන්ට ආරම්භයක් ගබා දුන්නේ ය. ඒ අනුව කැඩී බිඳී ගිය ඇළ වේලි, වැව් අමුණු අලුත්වැඩියා කර කෘෂි කටයුතු වලට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කළේ ය. නව වැව් ඉදිකිරීමට විශාල ධනයක් වැය වන නිසා පැරණි වැව් අලුත්වැඩියාකර ප්‍රයෝජනයට ගත්තේ ද වියදම් අවම කිරීම පිණිස ය. මේ යටතේ කටුන්නොරුව, පඬාවැව, වලාහස්ස, පත්තපාසාන(නාච්චිදූව) මහකණදරා වැව ආදී කොට ඇති වැව් විශාල ප්‍රමාණයක් අලුත්වැඩියා කළේ ය. ගංගා හා ඔයවල් හරහා බැමි බඳවා කුඹුරු ඉඩම් වලට ජලය සැපයූ බව ද මූලාශ්‍රය වල සඳහන් වේ. ඇළහැර ඇළේ අග කොටස වූ තිලවත්ථුක ඇළ ප්‍රතිසංස්කරණය කරවා මණිහාර හෙවත් මින්නේරි වැව යළි ජලයෙන් පුරවාලූයේ ය. සිය උපරාජයා ලවා රුහුණේ බද්ධගුණ වැව හෙවත් බුදුගුණ වැව කරවීය. රුහුණේ පාලකයාව සිටිය දී ම බුරුම දේශය සමග සබඳතා ඇති කරගත් මෙතුමා, ලංකාවෙන් වෙළඳ ද්‍රව්‍ය එහි යවා විදෙස් ආදායම් ද තර කළේ ය. මෙතුමාගේ කාලය වන විට ආරාබි ජාතිකයින් අන්තර්ජාතික වෙළඳාමේ වැඩි බලය තමන් අත පවත්වාගෙන ගිය නිසා ලංකාව ගෝකණ්ණතිත්ථ වැනි වරාය හරහා අරාබි හා යුරෝපා රටවල් සමග ද විදෙස් සබඳතා පවත්වාගෙන යන්නට ඇත.
රජු සිය ඇමතිවරුන්ට නීතියට අනුව(යථා යඤං) බදු අයකිරීමටත් බදු ක්‍රමවත් කිරීමටත් උපදෙස් දුන්නේ ය. මහජනයා පෙළමින් බදු අය නොකළ යුතුය යන මතයේ රජු සිටියේ ය. මේ අකාරයට එතුමා රාජ්‍ය වියදම් අවම කර, විදෙස් ආදායම් වැඩි කර අභ්‍යන්තර බදු ආදායම් ක්‍රමවත් කර රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කළේ ය.
තම නැගණිය වූ මිත්තා කුමරිය සමකුල පාණ්ඩ්‍ය කුමරෙකුට විවාහ කර දුන්නේ ය. චෝළයින් මෙම කුමරිය ආවාහ කරගනු පිණිස ඉල්ලීම් කළ ද රජු හේතු දෙකක් නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවක් පෙනී යයි.
- චෝළයින් කලක් තිස්සේ ලංකාවේ සතුරන් වශයෙන් සිටීම.
- චෝළයින් සූර්ය වංශිකයින් වීම.(ලංකාවේ රජවරු චන්ද්‍රවංශිකයෝ වූහ.)
මේ නිසා මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමරෙකුට විවාහ කර දෙන ලදී. රජු පසුව තමාගේ අගමෙහෙසිය කරගත්තේ ජගතීපාල නමැති පාණ්ඩ්‍ය කුමරාගේ දියණිය වූ ලීලාවතී කුමරිය යි. ජගතීපාල රජු උතුරු ඉන්දීය අයෝධ්‍යාවේ සිට ආ අයෙකු වූ නිසා ඔහුට උතුරු ඉන්දියාව සමග ද සබඳතා තිබුණි. පසු කාලයේ රජු වත්මන් ඔරිස්සාව හෙවත් පුරාණ කාලිංග දේශයෙන් ද කුමරියක ආවාහ කරගත්තේ ය. ඇය තිලෝකසුන්දරී නම් වූවා ය. රජුගේ පුත්‍ර වික්‍රමබාහු කුමරාට ද කාලිංගදේශයෙන් සුන්දරී නම් කුමරියක ආවාහ කර දීමට ද රජු කටයුතු කළේ ය. මීට අමතරව රජු කණ්ණාට දේශය(කර්ණාටක දේශය) හෙවත් බටහිර චාලුක්‍යයන් සමග දූත සබඳතා වර්ධනය කරගත්තේ ය. මේ ආකාරයට චෝළයින් ගේ රාජ්‍ය වටා සිටි ප්‍රධාන රාජධානි සමග සබඳතා ගොඩනගා ගැනීම මතු ආරක්ෂාවට හේතුවන බව රජු දැන සිටියේ ය. මේ වන විට දුර්වල තත්ත්වයේ සිටි චෝළයින් විජයබාහු රජු සමග සබඳතා ඇති කර ගැනීමේ කූට උපාය යෙදූව ද රජු ඊට නතු වූයේ නැත. 1074-75 වැන්නේ දී රජුට විරුද්ධව කැරල්ලක් ඇති කළ රජුගේ සොහොයුරන්ට චෝළ රජු උපකාර කළ බවට මතයක් ඇතිවීමත්, ලංකාවේ සිට කර්ණාටක දේශයට ගිය දූත පිරිසකට චෝළයින් විසින් හිරිහැර කිරීමත් යන කරුණු විජයබාහු රජු අතින් චෝළයින් ප්‍රතික්ෂේප වීමට හේතුවක් වන්නට ඇත. කෙසේ වුව ද රජුගේ විදෙස් ප්‍රතිපත්තිය රාජ්‍ය ආරක්ෂාව පදනම් කරගෙන පැවත් බව පෙනී යයි. මේ කාලයේ දී චීනය සමග සබඳතා ද වර්ධනය කරගෙන තිබී ඇත. ක්‍රි.ව. 976-1265 අතර කාලයේ චීනයේ පාලකයින් ගේ කාසි ලංකාවෙන් හමු වී ඇත්තේ මේ නිසා ය. මහාතිත්ථ, අනුරාධපුර, මිහින්තලේ, අල්ලයිප්පිඩ්ඩි, නිලාවේලි, ගාල්ල ආදී බොහෝ ප්‍රදේශ වලින් මේ කාලයට අයත් චීන කාසි හා පිඟන්භාණ්ඩ හමු වී තිබේ.මේ පිඟන් භාණ්ඩ චීනයේ ෂෙජියාන් හා ෆුජියාන් ප්‍රදේශවල නිෂ්පාදනය කළ ඒවා ය.
විදෙස් සබඳතාවලට අමතරව රජු අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය. චෝළයින් ලංකාවට ගොඩබට මහාතිත්ථ වරායේ ආරක්ෂාව තර කළ මෙතුමා පොළොන්නරුව අගනුවර වටා සන්නාහ සන්නද්ධ භටයින් රැඳවීමට සුදුසු යුධ අට්ටාල සහිත ශක්තිමත් ප්‍රාකාරයක් ද, ඒ වටා ගැඹුරු දියඅගලක් ද, කරවීය. රුහුණු දේශය අනවශ්‍ය තරමි ස්වාධීන වීම මතු ගැටළුවක් විය හැකි නිසාත්, විදෙස් ආක්‍රමණයක දී ආරක්ෂාව සලසාගැනීමේ පහසුව නිසාත්, ඒ වනවිට ලංකාවේ නැගෙනහිර වෙරළාශ්‍රිතව වර්ධනය වෙමින් පැවති ආර්ථික කලාපයේ වාසි ලබාගත හැකි නිසාත් රජු පොළොන්නරුව ම අගනුවර ලෙස පවත්වාගෙන ගියේ ය.
මීට අමතරව රජු මුර සංචාර යාත්‍රා ක්‍රමයක් ද පවත්වාගෙන ගිය බවට සාධක තිබේ. මහාතිත්ථයේ සිට උතුරු මුහුද හරහා ගොකණ්ණ තිත්ථය තෙක් මුහුද මෙලෙස ආරක්ෂා කරන ලදී. චෝළයින් යළි එතැයි යන අනුමානයක සිට මෙසේ සිදුකරන ලදී. රජු ක්‍රි.ව.1100-1101 අතර කාලයේ සර්ව සේනා සහිතව මහාතිත්ථ වරායට පැමිණ චෝළයින් පැමිණෙතැයි අපේක්ෂාවෙන් මද කලක් සිටි බව සඳහන් වීමෙන් පෙනී යන්නේ ද චෝළ ආක්‍රමණයක් එල්ලවේ යැයි අනුමානයක රජු සිටි බව යි.
ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම.
විජයබාහු රජුගේ ආර්ථික සංවර්ධන කාර්යය තරමක් සුවිශේෂි එකකි. ඔහු ආර්ථික සංවර්ධනය සඳහා මීට පෙර රජවරුන්ට වඩා වෙනස් ආකාරයේ ක්‍රම අනුගමනය කළේ ය.
- රාජ්‍ය වියදම් අඩුකිරීම
- විදෙස් ආදායම් වැඩිකිරීම
- අභ්‍යන්තර බදු ආදායම් ක්‍රමවත් කිරීම.
රාජකීය විභූතිය පිණිස සිදුකරන අනවශ්‍ය වියදම් කපාහැරි මෙතුමා අභිෂේක ලබන්නේ ද ඉතා චාම් උත්සවයක් පවත්වමිනි. ඔහු ඉදිකරගත් මාළිගය පැරණි ගොඩනැගිලි කොටස් එක්කර සකස් කරගත් එකකි. තව ද විහාරස්ථාන ආදිය ඉදිකිරීම ප්‍රමාද කළ එතුමා පළමුව කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළේ ඊට අවශ්‍ය යටිතලපහසුකම් වර්ධනය කරමිනි. එහිදී ද එතුමා නව වැව්, අමුණු කරවීමට මුදල් යෙදවූයේ නැත. ඒ වන විටත් ඉදිකර තිබූ විශාල ප්‍රමාණයක් වැව් ප්‍රතිසංස්කරණය කරවා කෘෂිකර්මයට අවශ්‍ය දියවර සැපයීය. දකුණේ බුදුගුණ වැව නමින් ප්‍රකට බද්දගුණවාපිය පමණක් මෙතුමා අලුතින් කරවූ වැවක් බව සඳහන් වෙතත්, ඒ බව පැහැදිලිව සනාථ වී නැත්තේ ය. අභ්‍යන්තර බදු ආදායම් ක්‍රමවත් කිරීමෙන් ආදායම් පිළිබඳ ස්ථාවර නිගමන වලට එළඹිය හැකි නිසා, එනම්, ආදියම් ප්‍රමාණ පිළිබඳ පැහැදිලි පූර්ව නිගමනයන්ට එළඹිය හැකි නිසා ආදායමට ගැළපෙන වියදම පිළිබඳව ද පූර්ව නිගමනයන්ට එළැඹිය හැකි වේ. මෙය රාජ්‍යයක ශක්තිමත්භාවයට සම්බන්ධ කරුණකි. රාජ්‍ය ආරක්ෂාව සඳහා ආර්ථික ශක්තිය අතිශය තීරණාත්මක වන නිසා මේ ආකාරයට විජයබාහු රජු රාජ්‍ය ආදායම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට ඇත. මෙතුමාගේ කාලයේ පත් කළ රාජ්‍ය නිළධාරීන්ට ක්‍රමවත් රාජකාරී ලැයිස්තු පවා ලබා දී තිබූ බව ද සඳහන් වේ. මෙයින් ම වියදම් කළමනාකරණය පිළිබඳ අවබෝධකරගත හැකි වේ.
මහා විජයබාහු රජතුමාගේ විදෙස් සබඳතා
ආරක්ෂාව, ආර්ථික වර්ධනය හා ආගමික හා සංස්කෘතික කටයුතු මුල්කරගනිමින් වර්ධනය වූ විදෙස් සබඳතා මේ රජතුමා සම්බන්ධයෙන් විශේෂයෙන් දැකිය හැකි වේ. මණ්ඩල න්‍යාය හෙවත් මණ්ඩල පිළිබඳ ධර්මය මුල්කර ගනිමින් මෙතුමා විදෙස් ප්‍රතිපත්තිය ගෙනගිය බවක් පෙනෙයි.(මණ්ඩල න්‍යාය පිළිබඳ ඒ. එල්. බෂාම් මහතා සිය The Wonder that was in India කෘතියේ දක්වා තිබේ.) සමීපස්ථ සතුරාගේ සතුරා මිතුරු කරගැනීමටත්, දුරස්ථයින් සමීපකර ගැනීමටත් මෙතුමා ක්‍රියා කර තිබේ. ඒ අනුව මෙතුමා ප්‍රධාන වශයෙන් විදෙස් සබඳතා පැවත්වූ රාජ්‍ය හතරක් අපට හඳුනාගතහැකි වේ.
- රාමඤ්ඤ දේශය(පහළ බුරුමය)
- පාණ්ඩ්‍ය දේශය
- කාලිංග දේශය
- කර්ණාටක දේශය(බටහිර චාලුක්‍ය)
මේ සබඳතා අතරින් වඩාත් පැරණි සබඳතා ඇති වූයේ රාමඤ්ඤ දේශය හෙවත් පහළ බුරුම දේශය සමගිනි. මේ සබඳතා ඇරඹුනේ රජු රුහුණේ රජවූ සමයේ ය. චෝළයින් ලංකාවේ විශාල ප්‍රදේශයක බලය තහවුරු කරගත් පසු රුහුණු රටෙහි විවිධ දුෂ්කරතා ඇති වූ බව පෙනී යයි. රුහුණේ ඈත ගම් දනව් වල මතු නොව වනගත ප්‍රදේශ වල පවා ආරක්ෂාව පිළිබඳ ගැටළු තිබූ බව පනාකඩුව තඹ සන්නස අනුව පෙනී යයි. මේ නිසා ආර්ථික දුෂ්කරතා ද ඇති විය. මේ වන විට විදෙස් සබඳතා පැවත්වීම සම්බන්ධයෙන් ද චෝළ බලය බාධාවක් විය. පාණ්ඩ්‍යයෝ ද මේ වන විට චොළ බලයෙන් මර්දනය වී සිටි නිසා සිංහලයින්ට තිබූ එක ම ශක්තිය ස්වශක්තිය පමණක් බව පෙනී යයි. එහෙත් මධ්‍යම කඳුකරයේ නිරිත හා දකුණු බෑවුම්බද වනගත ප්‍රදේශ වල චෝළ බලය තදින් ක්‍රියාත්මක නොවූ නිසා මේ ප්‍රදේශාශ්‍රිතව තිබූ නිධිගත සම්පත් දේශීය අවශ්‍යතා පිණිස යොදාගන්නට ලාංකිකයින්ට හැකිව තිබෙන්නට ඇත. මේ ප්‍රදේශ වල නිධිගත සම්පත් අතර රන්, තඹ, යකඩ,මැණික් වැනි දේ හඳුන්වන්නට හැකි ය. මේ ප්‍රදේශයේ නිධිගත සම්පත් පිළිබඳ කර ඇති පර්යේෂණ අනුව ලිපියක් සපයා ඇති ආරිය ලගමුව හා තුසිත මැන්දිස් මහත්වරුන් පවසන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතව ඇති රත්නපුර ආකර ඇල්ල, ආචාරිගොඩ, ආගරේ, යකඩාවැට, ආචාරිගම, ආකාරගම ආදී ප්‍රදේශ වල යකඩ නිධි ද, තඹලගම, රිදීවිට, රිදීගම ප්‍රදේශ වල තඹ නිධි ද, රන්කැටි ඇල්ල, රුවන්ගිරි, හිනිදුම, මොරවක ආදී ප්‍රදේශ වල රන් නිධි ද තිබී ඇති බවයි. සබරගමු අදටත් මැණික් සඳහා ප්‍රකටය. වළවේ ඉහළ නිම්නය ආශ්‍රිත සමනල වැව ප්‍රදේශයෙන් හමු වූ පැරණි ලෝහ උඳුනක් ද වෙයි. මෙය ක්‍රිස්තු පූර්ව අවදියට අයත් වෙතත් පැරණි කාලයේ සිට ම ලෝහ කර්මාන්ත හා මැණික් කර්මාන්ත ලංකාවේ සක්‍රිය ව පැවතුණි. මහා පරාක්‍රමබාහු රජතුමා අන්තරංගධුරය ඇති කළේ ද මේ වෙනුවෙනි. ඒ අනුව රුහුණට ලෝහ හිඟයක් නොතිබෙන්නට ඇත. නමුත් බෙංගාල බොක්ක ආශ්‍රිත සමුද්‍රයේ වාණිජ ආධිපත්‍යය චෝළයින් සතු වූ නිසාත්, ලංකාවට බටහිරින් වූ දූපත් දොළොස්දහස හෙවත් මාලදිවයින් පවා චෝළයින් සතුව පැවති නිසාත්, ලංකාව අවට මුහුදු කලාපයේ වැඩි කොටසක බලය චෝළයින් සතු විය. එ නිසා මෙකී සම්පත් විදේශයන්ට අලෙවිකිරීමේ අවස්ථා අවම විය. නමුත් දකුණු වෙරළ තරමක් නිදහස්ව තිබුණි. ලංකාවේ උපදනා ධන සම්පත් චෝළයින් හා යුද්ධයකට ප්‍රමාණවත් නොවූ නිසාත්, රුහුණේ අභ්‍යන්තර ගැටුම් වෙනුවෙන් බොහෝ දේශීය ධන සම්පත් හානි වී ගිය නිසාත්, රුහුණට විදෙස් සහයක් අවශ්‍ය විය. දකුණු වෙරළෙන් නික්මී යා හැකි සමීපතම හා තරමක් හෝ ආරක්ෂිත දේශය වූයේ පහළ බුරුමය යි. එනම් රාමඤ්ඤ දේශය යි. ඒ අනව විජයබාහු රජු පඬුරු සහිත දූතයින් එහි පිටත් කළේ ය.
රාමඤ්ඤ දේශයේ රජුගෙන් යුධාධාර පතා නොව ආර්ථීක ආධාර පතා මේ දූතයින් පිටත්කරන්නට ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් රාමඤ්ඤ රජු විවිධ වටිනා ද්‍රව්‍ය පිරවූ නෞකා ලංකාවට එවූ බවක් මහාවංසයේ සඳහන් වේ. මෙයින් පෙනී යන්නේ විජයබාහු රජුගේ උත්සාහය සාර්ථක වූ බවකි. මේ රජු ගේ පළමු උත්සාහය යි.
ලංකාවේ අගරජු වූ පසු යළිත් වතාවක් විජයබාහු රජු ලංකාවේ විදෙස් සබඳතා වර්ධනය කරන්නට උත්සාහ ගත්තේ ය. නමුත් එහි දී ආරක්ෂාව කෙරේ වැඩි අවධානයක් යොමු කළ බවක් පෙනී යයි. අඩසියවසකට වැඩි කාලයක් මෙරට උතුරුදිගතැන්න මුල්කරගත් පාලනයක් ගෙනයමින් ලංකාවට උරුම ධන සම්පත් කොල්ලකෑ චෝළයින්ට විරුද්ධව සිය විදෙස් ශක්තිය වර්ධනය කරගැනීම කෙරේ රජු අවධානය යොමු කිරීම අරුමයක් නොවේ. ඊට අනුව රජු කාලිංග හා පාණ්ඩ්‍ය දේශ සමග ඥාතී සබඳතා ඇතිකර ගත්තේ ය. තිලෝකසුන්දරී නමින් කාලිංග කුමරියක තමාගේ දෙවන බිසව වශයෙන් කැන්දාගෙන ආයේ ය. මේ බිසව සමග ඇයගේ ඥාතී කුමාරවරු තිදෙනෙක් හා ඔවුන්ගේ සොයුරියක් ද ලංකාවට ආ බව සඳහන් වේ. ඒ කුමරිය සුනාරි හෙවත් සුන්දරී නම් වූවා ය. පසු කාලයේ ඇය වික්‍රමබාහු කුමරාට පාවා දෙන ලදී. වික්‍රමබාහු යනු මහා විජයබාහු රජුගේ පළමු බිසවගේ හෙවත් අගබිසවගේ පුත්‍රයා ය. මේ අනුව රජු හා රජුගේ පුත්‍රයා යන දෙදෙනා ම කාලිංග හා ඥාතී වූ බව පෙනී යයි. රජුගේ පළමු බිසව අයෝධ්‍යා පුරවැසිව සිටි ජගතීපාල නම් රජුගේ දියණිය යි. ජගතීපාල රජු ලංකාවේ රුහුණේ වර්ෂ හතරක් පාලකයාව සිටියේ ය. ඔහුව චෝළයින් විසින් මරා දැමූ අතර බිසව හා දියණිය සොලීන් විසින් පැහැරගෙන ගොස් සොලී දේශයට භාර දෙන ලදී. පසු කාලයේ මේ බිසව හා දියණිය දෙදෙනා සොලීන්ගෙන් මිදී ලංකාවට පලා ආ අතර ඒ වන විට ලංකාවේ සොලී ආධිපත්‍යය නිම වී විජයබාහු රජු පොළොන්නරුවේ පාලකයා වී සිටියේ ය. රජු මේ දෙදෙනා පිළිගෙන,දෙනො අතරින් දියණිය වූ ලිලාවතී කුමරිය තම මෙහෙසිය කරගත්තේ ය. ඇය රාජකුළ කාන්තාවක් වූ නිසා මෙසේ කරන්නට ඇත. මේ අනුව රජුට උතුරු ඉන්දියාව හා සබඳතා ද යම් තරමකට හෝ වර්ධනය විය. නමුත් එල්ලාවල මේධානන්ද හිමි පවසන්නේ මේ අයෝධ්‍යාව වනාහි වත්මන් තායිලන්තයේ අයුතියා පුරය බවයි. උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාව නොවන බවයි. ඒ කෙසේ වුව ද ලංකාව මේ විවාහය ඔස්සේ යම් විදෙස් රටක් සමග සම්බන්ධ වූ බව පැහැදිලි ය.
මේ කාලයේ දී රජුගේ නැගණිය විවාහ කරගැනීමේ අරමුණෙන් චෝළ අධිරාජයා වූ කුලෝත්තුංග රජු ලංකාවට හසුන් එවී ය. නමුත් රජු ඊට කැමැත්තක් නොදක්වාම සිය නැගණිය පාණ්ඩ්‍ය කුමරෙකුට විවාහ කර දුන්නේ ය. මේ සඳහා හේතු දෙකක් විය. එකක් නම් පාණ්ඩ්‍ය රජවරුන් හා ලාංකිකයින් සෝම හෙවත් චන්ද්‍ර වංශයට අයත්වීම නිසා සමවංශිකයින් වීම යි. චෝළයෝ සූර්ය වංශිකයෝ වූහ. දෙවැන්න රජුගේ බලවත් චෝළ විරෝධය යි. චෝළ රජු ද ලංකාවේ සිය බලය අහිමි වුව ද ලංකාව අමතක කළ බවක් නොපෙනයි. විජයබාහු රජු බලයට පත් වී වර්ෂ කිහිපයකට පසු රජුගේ සොහොයුරන් තිදෙනෙකු රජුට විරුද්ධව චෝළ දේශයට ගිය බවත් පසු කාලයක ඔවුන් යළි ලංකාවට පැමිණ රුහුණ හා මලය රට මුල්කරගනිමින් රජුට විරුද්ධව කැරළි ගැසූ බවත් මහාවංසයේ සඳහන් වේ. චෝළ රජු මේ සඳහා උපකාර කළ බවක් පෙනෙයි. ලංකාවේ අභ්‍යන්තර දේශපාලන වියවුලක් ඇතිකර එහි වාසිය ගන්නට ඔහු තැත් කළා වියහැකි වේ. ඊට මද කලකට පසු ද චෝළ රජු කර්ණාටක දේශයට යමින් සිටි සිංහල දූතපිරිසක් අල්ලාගෙන අංගච්ඡේද දණ්ඩනය පැනවූයේ ය. විජයබාහු රජු ඊට ප්‍රතිචාර වශයෙන් ඒ වන විට ලංකාවේ සිටි චෝළ දූත පිරිසක් රජමැදුරට ගෙන්වා ඔවුන්ට ස්ත්‍රී ඇඳුම් අන්දවා තම යුධාභියෝගය ද චෝළ රජුට දන්වන්නැයි කියා පිටත්කර යැවී ය. නමුත් චෝළ රජු යුද්ධයට ඒමට අසමත් විය. මේ කරුණු වලින් පෙනී යන්නේ චෝළ රජු ලංකාව අමතක නොකළ බවකි. එවන් වාතාවරණයක් තුළ සිය නැගණිය චෝළ රජුට දීම තුළින් සිදුවන්නේ ඥාති සබඳතා ඇතිවීමක් නොව චෝළ රජුට ප්‍රාණ ඇපකාරියක් සැපයීමකි. මේ නිසා රජු චෝළ රජුට නැගණිය විවාහ කරනොදුන්නේ ය. ඒ වන විට පාණ්ඩ්‍යයින් ද චෝළ විරෝධීන් වී සිටි නිසා චෝළයින්ට විරුද්ධව පාණ්ඩ්‍යයින් හා සබඳතා ඇතිකරගැනීම වැදගත් විය.
රජු මීළඟට අවධානය යොමු කළේ චෝළයින්ය බටහිරින් සිටි කර්ණාටක දේශය සමග සබඳතා ඇතිකර ගැනීමට ය. මේ වන විට කර්ණාටක හෙවත් බටහිර චාලුක්‍යයෝ ද බලවත් චෝළ විරෝධීන් වූ හ. මේ විරෝධය නිසා ඔවුන් ද ලංකාව සමග සබඳතා ඇතිකරගැනීමට කැමැත්තෙන් සිටින්නට ඇත. පඬුරු සහිත දූතයින් එරටට යැවූ රජු ඔවුන් සමග වාණිජ හා සංස්කෘතික කටයුතු මුල්කරගත් සබඳතා ඇතිකර ගත්තේ ය. මෙම සබඳතා දෙස අවධානය යොමුකිරීමේ දී පෙනී යන කරුණ නම් විජයබාහු රජු චෝළ දේශය හුදෙකලා කරමින් වට කර ඇති බව යි. රුහුණේ බලයට පත් වූ කාලයේ සිට ම ඇතිකරගෙන තිබූ බුරුම ශ්‍රී ලංකා සබඳතා මේ කාලයේ වඩාත් විධිමත් අයුරින් වර්ධනය වූ බවකි පෙනී යයි. වෙළඳ ගිවිසුම් සහිතව මේ සබඳතා වර්ධනය විය. එවක බුරුම රජු වූ අනුරුද්ධ රජු වෙත දූතපිරිස් පිටත් කළ විජයබාහු රජු දෙරටේ වෙළඳ කටයුතු සම්බන්ධ ගිවිසුමකට එළඹියේ ය. ඊට අනුව දෙරට අතර ගනුදෙනු වල දී ලංකාව විසින් නෞකාවක් පිරී යන සේ බුරුම භාණ්ඩ මිලදී ගත් විට නොමිලයේ ඇතෙකු දීමට එරට රජු එකඟ විය. වෙළඳ සබඳතා වලට අමතරව ඒ වන විට ලංකාවේ පිරිහෙමින් තිබූ බුදුසසුන නගාසිටුවීමට ද බුරුම සහය ලැබුණි. විජයබාහු රජුගේ ඉල්ලීම පරිදි ත්‍රිපිටකයෙහි පරතෙරට උගත් බුරුම භික්ෂූන්වහන්සේලා පිරිසක් ලංකාවට පැමිණ ලංකාවේ උපසම්පදා විනයකර්මය යළි පිහිටුවන ලදී. පරණවිතාන මහතා පවසන්නේ එසේ පැමිණි භික්ෂූන්වහන්සේලා චෝළ පාලන සමයේ දී ආරක්ෂාව පතා ලංකාවෙන් ගිය ලාංකික භික්ෂූන් වහන්සේලා බව යි. එය සත්‍යයක් නම් විජයබාහු රජු විදෙස්ගතව සිටි ලාංකේය විද්වත් භික්ෂූන්වහන්සේලා යළි ලංකාවට වැඩමවීමට කටයුතු කළ බව ද සිතන්නට හැකි වේ. Glass Palace Chronical (වීදුරු මාළිගාවේ වංසකතා) නමැති බුරුම සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ රජු දළදා මාළිගාවේ කුඩා අනුරුවක් බුරුම රජු වෙත යැවූ බවත් බුරුම රජු එය ශ්වේතගොන්(චිතගොන්) චෛත්‍යයේ තැන්පත් කළ බවත් ය. පසුව බුරුම රජු එම අනුරුවට සමාන අනුරූ විශාල ප්‍රමාණයක් කරවූ බව ද සඳහන් වේ. බුරුමයේ අලවංසිතු රජු ලංකාවට පැමිණ ලංකාවේ රජුගේ දියණියක් ආවාහකරගත් බව ද මේ වංසකතාවේ සඳහන් වේ. බුරුමයේ ශිලාලේඛනයක සඳහන්වන්නේ ලංකාවේ ත්‍රිපිටකයට අනුව බුරුම ත්‍රිපිටකය සංස්කරණය කළ බව යි. මේ ආසන්න කාලයක බුරුම පාලකයා වූ කියෙන්සින්තා රජුගේ අනුග්‍රහයෙන් කරවූ බෞද්ධ විහාරයක ලංකාවේ මහාවංසයේ සඳහන් ඇතැම් සිද්ධි ද සිතුවම් කර තිබී ඇත. මේ අනුව දෙරටේ සබඳතා තහවුරු වී තිබේ.
මේ ආකාරයට විජයබාහු රජු විදෙස් සබඳතා වර්ධනය කළේ ය. මේ සබඳතා තුළින් ලංකාවේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය හා ආගමික පුනර්ජීවනය යන කරුණු යම්තාක්දුරට පූරණය විය. නමුත් මේ සබඳතා පසුකාලීනය ගැටළු වශයෙන් ඉස්මතු වූ අයුරු ද සඳහන් කළයුතුව තිබේ. විශේෂයෙන් ම මිත්තා කුමරියගේ පාර්ශ්වයෙන් වර්ධනය වූ පාණ්ඩ්‍ය පරපුරත්, කාලිංග තිලෝකසුන්දරී බිසව හා ඇයගේ ඥාතී සහෝදරයින් නිසා ඇති වූ කාලිංග පරපුරත් පසුකාලයේ ලංකාවේ රාජ්‍යත්වය උදෙසා අරගල ඇතිකරගත්හ. පරාක්‍රමබාහු- දෙවන ගජබා අතර අරගලයක් ලෙසින් හිස එසවූයේ මේ පරපුරු අතර ගැටුම යි. අපට ද ලංකාවේ රාජ්‍යත්වයට උරුමක් තිබේ යැයි කියමින් කාලිං ගමාඝ ලංකාවට එන්නේ ද මේ කාලිංග වංශිකයින් නිසා බව පෙනී යයි. නිශ්ශංකමල්ල සාහස්සමල්ල වැනි කාලිංගවංශිකයෝ ලංකාවේ බලයට ඒම දක්වා ම මේ තත්ත්වය වර්ධනය විය. මේ රජවරුන් ලංකාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ බව සත්‍යයක් නමුදු ලංකාවේ දේශපාලන බල අරගල වලට ඔවුන් හේතුවක් විය. මේ නිසා විජයබාහු රජුගේ විදෙස් ප්‍රතිපත්තියේ සමකාලීන වැදගත්කම් මෙන් ම පසුකාලීන ගැටළු ද පැවති බව සඳහන් කළ යුත් වේ.
පාදක සටහන්
[1] අබාසලමෙවන් මහරජ්පානන්ට…අඹගමුව සෙල් ලිපිය(මෙහි අබාසලමෙවන් යනු එකල රජවරුන් භාවිත කළ ගරු නාමයකි. එය මහාසාමි මුගලන් රජු ද භාවිත කරන්නට ඇත.)