බ්‍රිටැනික් නෞකාවේ සම්පුර්ණ නම His Majesty’s Hospital Ship Britannic නොහොත් HMHS Britannic නම් විය. මෙය මුල දී මගී ප්‍රවාහන සුඛෝපභෝගී නෞකාවක් වශයෙන් ඉදිකරනු ලැබූව ද, පළමු ලෝක යුධ සමයේ ඇති වූ අවශ්‍යතා අනුව යමින් පාවෙන රෝහලක තත්ත්වයට වැඩිවර්ධනය කරන ලදී. එය ඔලිම්පික් කාණ්ඩයට අයත් සුඛෝපභෝගී නෞකාවක් සේ ප්‍රකට ය. ටයිටැනික් නෞකාවේ සහෝදර නෞකාවකි. සුඛෝපභෝගී කණ්ඩයට අයත් වුව ද කිසි දිනක වාණිජ යාත්‍රාවක් ලෙස ක්‍රියාත්මක නොවූ එය වයිට් ස්ටාර්ලයින් නම් ආයතනයේ ඇනවුම පරිදි Belfast firm of Harland and Wolff විසින් නිර්මාණය කරන ලදී. වයිට් ස්ටාර් ලයින් ආයතනය සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සඳහා ඒ වන විටත් ප්‍රකටව සිටි අතර ටයිටනික්, බ්‍රිටනික් හා ඔලිම්පික් නමින් නවත ම නෞකා ත්‍රිත්වයක් සිය පද්ධතියට ඒක් කිරීමට තීරණය කරන ලදී. ඒ් ආසන්න වශයෙන් 1907 දී පමණ ය. නමුත් මේ අතරින් බ්‍රිටැනික් නෞකාව නිර්මාණය කිරීමේ අදහස පසුව ඇතිවූවක් සේ පිළිගැනේ. ඒපමණක් නොව මේ නෞකාවේ මුල් නම Gigantic ලෙස තීරණක කර තිබුණි. මේවා නිවුන් නෞකා වශයෙන් නම් කරන ලද අතර නිර්මාණ කටයුතු Belfast firm of Harland and Wolff වෙත පවරා තිබුණි. මෙම නැව නිර්මාණයේ දී සමාගම වැඩි අවධානය යොමුකළේ ගමන් කළ හැකි වේගය පිළිබඳව නොවේ. සුවපහසුව සහ මගී ආරක්ෂාව පිළිබඳව යි. එමෙන් ම මෙම තුන්වන නෞකාව එහි සහෝදර නැව්වලට වඩා විශාල හා සුඛෝපභෝගී එකක් වශයෙන් ද සැලසුම් කරන ලදී. 1911 නොවැම්බර් 30 වන දින ඉදිකිරීම් ඇරඹීම පිණිස නෞකාතලය තැන්පත් කළ නමුත් ඉදිකිරීම් සිදුවන අතරතුර එනම් 1912 අප්‍රේල් මාසයේ දී එහි සහෝදර නෞකාව වූ ටයිටැනික් නෞකාව ගිලී යාම නිසා බ්‍රිටැනික් නෞකාවේ අභ්‍යන්තර සැකැස්මේ විවිධ ආරක්ෂක වෙනස්කම් සිදුකරන ලදී. ටයිටැනික් නෞකාවේ තිබූ ප්‍රධාන දුබලතාවක් වූයේ ඒහිගමන් කළ මගීන් පිරිසට ප්‍රමාණවත් පරිදි ජීවිතාරක්ෂක බෝට්ටු නොමැති වීමයි. මේ නිසා බ්‍රිටැනික් නෞකාවට සැලකිය යුතු ලෙස තවත් ජීවිතාරක්ෂක බෝට්ටු ගණනාවක් ම එකතු කරන ලදී. බෝට්ටු ප්‍රමාණය ඉහළ නංවා තිබුණා පමණක් නොවෙ ඒවා හදිසි අවස්ථාවල දියත්කිරීම සඳහා විවිධ තාක්ෂණික අංග ද ඒක් කර තිබුණි. ඒපමණක් නොව එහි ජල ආරක්ෂිත මැදිරි(watertight compartments) සංඛ්‍යාව 17 දක්වා වැඩි කරන ලදී. ඉන් 5ක් E තට්ටුවේ සිට B තට්ටුවට ඒක් කරන ලදී.
මෙලෙස වැඩි දියුණු කරන ලද තාක්ෂණික අංග වලින් ද යුක්තව සකස් කරන ලද බ්‍රිටැනික් නෞකාවේ බඳ සකස් කිරීමෙන් පසු 1914 පෙබරවාරි 26 වන දින නෞකාව මුල්වරට දියත් කරන ලදී. අත්හදාබැලීමේ යාත්‍රාකිරීම් වලින් අනතුරුව බ්‍රිටැනික් නෞකාව ඊළඟ වසරේ එහි වාණිජ සේවය ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් මේ වන විටත් ලෝකයේ තත්ත්වය යහපත් තත්ත්වයක පැවතියේ නැත. විශේෂයෙන් යුරෝපය උණුසුම් වී තිබුණු අතර ජර්මනිය විසින් සිදු කළ අධිකතර යුධ ශක්ති වර්ධනයට මුහුණ දීම පිණිස බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු රටවල් ද සිය යුධ ශක්තිය වර්ධනය කරමින් සිටියහ. ජර්මනිය විවිධ මිත්‍ර සන්ධාන ඇතිකරගනිමින් වෙනත් රටවල් සමග ආරක්ෂක කටයුතු සඳහා ගිවිසුම්ගත වෙමින් යුරෝපයේ වෙන ම ‘කල්ලියක්’ නිර්මාණය කරමින් කටයුතු කළ නිසා යුරෝපා රටවල් පිල් දෙකක් වශයෙන් වර්ධනය වෙමින් පැවතුණි. මෙය අතිශය අවදානම් තත්ත්වයක් වූ අතර යුධ උණුසුම දිනෙන් දින උත්සන්න වෙමින් පැවතුණි. බ්‍රිටැනික් නෞකාව නිර්මාණය වෙමින් පැවතියේ ද එහි මූලික පරීක්ෂණ ධාවනයන් සිදුකළේ ද මේ තත්ත්වය යටතේ ය. මේ තත්ත්වයේ උච්ඡාවස්ථාව වන්නේ යුරෝපා රටවල් කේන්ද්‍රකරගත් යුද්ධයක් ඇරඹීම යි. එනම් බ්‍රිටැනික් නෞකාව දියත් කළ මුල් වසර වූ 1914 දී පළමු ලෝක සංග්‍රාමය ආරම්භ විය. මේ නිසා බ්‍රිටැනික්ගේ ඉරණම වෙනස් වන තත්ත්වයක් උදා විය. නමුත් මුල් ඉරණම් මාරුව අවාසනාවන්ත එකක් නොවීය. වාණිජ මට්ටමේ මගී ප්‍රවාහන නෞකාවක් වූ බ්‍රිටැනික්ගේ පළමු ඉරණම් මාරුවේ දී ඇය 1915 දී බ්‍රිටැනික් රෝහල් නෞකාවක් බවට පත්කරන ලදී. ඊට අනුව නෞකාවේ ඇතැම් කොටස් වෙනස් කරන ලදී. එය අවසන් වූ පසු, නෞකාවේ දිග අඩි 882 (මීටර් 269) පමණ වූ අතර බර ටොන් 48,158 ක් විය.
මෙසේ රෝහලක තත්ත්වයට වැඩිදියුණු කරන ලද බ්‍රිටැනික් 1915 දෙසැම්බර් 23 වන දින එංගලන්තයේ ලිවර්පූල් සිට නේපල්ස් හරහා ග්‍රීක දූපතක් වන ලෙම්නොස් වෙත යාත්‍රා කරමින් සිය මංගල ගමන ආරම්භ කළේය. එහි දී, යුධ බිමේ දී තුවාල ලැබූවන් 3,300ක් පමණ එකතු කර ගැනීමෙන් පසුව, නැවත එංගලන්තයේ සවුත්හැම්ප්ටන් වෙත පිටත්ව ගියේ ය. 1916 ජනවාරි 9 වන දින එහි ළඟා වූ බ්‍රිටැනික් නෞකාව 1916 ජූනි මාසයේදී යුධ රාජකාරියෙන් තාවකාලිකව නිදහස් විය. පසුව ඇය තවත් මුහුදු ගමන් දෙකක් සිදු කළ අතර ඒවා යුද්ධයට සම්බන්ධ ගමන් වශයෙන් වාර්තා නොවේ. කෙසේ වෙතත්, ඉන් මාස දෙකකට පසුව යුධ සේවා සඳහා නෞකාව නැවත ඉල්ලා සිටියෙන් 1916 නොවැම්බර් 12 වන දින බ්‍රිටැනික් නෞකාව සවුත්හැම්ප්ටන් සිට ලෙම්නොස් වෙත සිය හයවන මුහුදු ගමන පිටත් විය. මේ ගමන සිය තීරණාත්මත ගමන වනු ඇත යන්න ඇය නොසිතන්නට ඇත. මේ නිසා ඇය රළ පහර දෙබෑ කරමින් සිය සුපුරුදු ගමන ගියා ය. නමුත් අවාසානාව ඇය අවට ගැවසෙමින් තිබුණි. නෞකාවේ සිටි අය අතර මරණය දෝතින් ම ගෙන සිපගන්නට සැරසුණු පිරිසක් ද සිටින්නට ඇත. ඔවුන් ඒබව දැන නොසිටින්නට ඇත. මේ නිසා කිසිවෙකුත් කිසිදු අමුත්තක් නොමැතිව නෞකාවේ තමන්ට නියමිත රාජකාරී ඉටුකරමින් ද, විවේක සුවයෙන් පසුවෙමින් ද සිටිය හ. නොවැම්බර් 21 දින උදා විය. එදින ද උදෑසන සුපුරුදු පරිදි පෙරදිග අහස අලෝකවත් වෙමින් හිරුරැස් ග්‍රීසියට ආසන්න මුහුදු තලය මතට පතිත විය. අන්තරාය වඩාත් සමීප වූයේ හිරු උදාවෙන් දෙපැයකට පමණ පසු ය. එනම් ආසන්න වශයෙන් වශයෙන් පෙරවරු 8:15 ට පමණය. ඒ වන විට නෞකාව පැවතියේ ග්‍රීසියේ Kéa දූපතේ සිට සැතපුම් 2 ක් (3 km) පමණ දුරිනි.
එක්වර ම නෞකාවේ එක් පැත්තක පිපිරීමක් සිදු විය. පිපිරීම කුමක් ද යන්න පිළිබඳ කිසිවෙකුට කිසිදු සාක්ෂියක් නොවීය. අදහසක් ද නොවී ය. මේ නිසා පිපිරීම පිළිබඳ තොරතුරු සොයා නෞකා කාර්ය මණ්ඩලය පිපිරුම සිදු වූ ඉසව්ව පරීක්ෂා කරන්නට වූහ. මුල දී තීරණය වූයේ මෙය ටෝපිඩෝ ප්‍රහාරයක් යනුවෙනි. නමුත් මේ පිළිබඳ අවසන් නිගමනයකට එළැඹීමට ප්‍රමාණවත් සාධක නොවූයෙන් තවදුරටත් සොයා බලන ලදී. ඒ වන විටති පිපිරුමෙන් නෞකාවේ ගමන් කළ කිහිපදෙනෙකු මියගොස් සිටි අතර, නෞකාව තුලට ජලය ගලා එමින් පැවතුණි. ජලප්‍රතිරෝධී කුටි හයකට ජලය පිරී පැවතුණි. නමුත් තවමත් නැව නොගිලී පාවෙමින් පැවතුණේ එහි වූ විශේෂ ආරක්ෂක විධිවිධාන නිසාවෙනි. මේ අතර විශේෂ තොරතුරක් ලැබුණු අතර ඉන් කියැවුණේ ඔක්තෝබර් මාසයේදී ජර්මානු U-බෝට්ටුවක් එම ප්‍රදේශයේ බිම්බෝම්බ දමා තිබුණු බව යි. මුහුදේ පාවෙන බෝම්බ දැමීම යුධකාලයේ බහුලව සිදු වූ අතර ඒ මගින් අනතුරට පත් නෞකා සංඛ්‍යාව ද සැලකියයුතු තරම් වේ.
අනතුරෙන් පසු නෞකාවේ තත්ත්වය ක්‍රමයෙන් අසුභදායක තත්ත්වයට පතත්වෙමින් පැවතිය ද කපිතාන් වරයා වූ කපිතාන් චාල්ස් බාර්ට්ලට් නෞකාව අත්හැරීමට හෝ ජීවිතාරක්ෂක බෝට්ටු භාවිතයට නියෝග නිකුත් කර නොතිබුණේ ය. ඔහු උපරිම උත්සාහ කළේ නෞකාව ගිලී යෑම වළක්වාගනිමින් එය Kéa දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ වෙරළ ආසන්නයට ගෙන ඒමයි. නමුත් මේ උත්සාහයේ දී කපිතාන් නොසිතූ තත්ත්වයකට මුහුණ දුන්නේ ය. නෞකාව බේරාගනිමින් වෙරළට ආසන්න ප්‍රදේශයකට ගෙනයෑමට කපිතාන් චාල්ස් බාර්ට්ලට් නෞකාවේ උපරිම බලය යෙදවීමට තීරණය කළේ ය. එහෙත් වේගවත් හා උපරිම ජවයෙන් සිදුකළ චලනය නිසා නෞකාව තුළට වැඩි වැඩියෙන් ජලය ඇතුළු වූ අතර, අන්තරාය තවදුරටත් ඉහළගියේ ය. මේ නිසා කපිතාන් බාර්ට්ලට් ඉක්මනින් එන්ජින් නතර කිරීමට නියෝග කළේය. නමුත් ඔහු ප්‍රමාද වූවා වැඩි ය. නෞකාවේ ගිලීයාම වේගවත් විය. මේ නිසා ජීවිතාරක්ෂක බෝට්ටු වහාම භාවිත කිරීමට නියෝග නිකුත් වූ අතර අනතුර අඟවන සයිරන් හඬ නෞකාවේ සියලු ස්ථාන වලට ශ්‍රවණය වන ආකාරයට නිකුත් විය. ටයිටැනික් නෞකාව ගිලී යාමට ආසන්න වශයෙන් පැය 2යි විනාඩි 40ක් ගතවුව ද, බ්‍රිටැනික්ට එතරම් කාලයක් මුහුදු දිය මත පාවීමට නොහැකි විය. අනතුර සිදු වී වශයෙන් විනාඩි 55ක් පමණ ගත වන විට, එනම් පෙරවරු 9:07 පමණ වන විට බ්‍රිටැනික් සමුදුරු දිය මතුපිටින් සපුරා ම නොපෙනී ගියා ය. නමුත් කල් වේලා ඇතිව කපිතාන්වරයා ජීවිතාරක්ෂක බෝට්ටු දියතිකිරීමට නියෝග නිකුත් කළෙන් දිවි ගලවා ගත් අයගේ සංඛ්‍යාව ඉතා ඉහළ විය. කපිතාත්වරයාගේ අණ ලැබීමට පෙර නෞකා කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු අත්තනෝමතික ආකාරයට එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක් දියත් කළ අතර අවාසනාවට මෙන් එම බෝට්ටුව නෞකාවේ පසුපස බඳ කොටස පසුකරමින් සිටියදී නෞකාවේ අවරපෙති ඉහළට මතු විය. අවරපෙති වැදීම නිසා බෝට්ටුව කැබලි වී ගිය අතර එහි ගමන් කළ බහුතරයක් දෙනාට ජීවිත අහිමි විය. ඒ වන විට නෞකාව උපරිම බලය යොදා වෙරළාසන්නයට ගෙනයෑමට කපිතාන්වරයා උත්සාහ කරමින් සිටි අවස්ථාවයි. අවරපෙති එහි උපරිම වේගයෙන් භ්‍රමණය වෙමින් පැවතුණි. ජීවිතාරක්ෂක බෝට්ටුව එහි වැදීමත් සමග වහා ම අවරපෙති නතර කළ නමුත් විනාශය නතර කරගත නොහැකි විය. නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටු වලට අමතරව පිරිස බේරා ගැනීමට බාහිර බෝට්ටු කිහිපයක් පැමිණි අතර, ඒවා අතරට Scourge සහ Heroicද ඇතුළත් විය. ඛේදවාචකය එතැනින් නිමාවට පත්විය. මෙම නෞකා අනතුරෙන් ජීවිත 30 ක් අහිමි වී තිබුණි. 1,030 කට වඩා පිරිසක් බේරාගැනීමට හැකිව තිබුණි.
අනතුරෙන් වර්ෂ 59කට පසු එනම් 1975 දී ප්‍රංශ සාගර ගවේෂක Jacques Cousteau විසින් Britannic නෞකාවේ සුන්බුන් සොයා ගන්නා ලදී. නෞකාව මුහුදු ජලතලයේ මතුපිට සිට අඩි 390 (මීටර් 119) පමණ ගැඹුරක තැන්පත් ව තිබූ අතර බඳෙහි විශාල සිදුරක් හැර එය ඒ වන විටත් නොනැසී පැවතුනි.
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.