ටයිටනික් සොයාගිය ටයිටන්ගේ ඉරණම කුමක් වේ ද?

 

 

මීට සියවසකටත් පෙර උතුරු අත්ලාන්තික් සාගරයේ  ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් වේෂණය කරමින් සිටි ටයිටන් නම් සබ්මර්සබල් යාත්‍රාවක් (Submersible) සාගරපතුළේ අතුරුදන් වීමෙන් පසු දැවැන්ත ගවේෂණ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති අතර එය තවමත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. මෙම සබ්මර්සබල් යාත්‍රාවේ සංචාරකයින් ඇතුළු පස් දෙනෙකු ගමන් කර තිබේ. මේ පස් දෙනා

  1. Hamish Harding, -58 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් හා ගවේෂකයෙකි.
  2. Shahzada Dawood, 48 හැවිරිදි බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකි.
  3. Suleman Dawood, 19 හැවිරිදි තරුණයෙකි. ඔහු ඉහතින් කී Shahzada Dawood ගේ පුත්‍රයා ය.
  4. Paul-Henry Nargeolet, “Mr Titanic” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන77හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකි.
  5. Stockton Rush, 61 හැවිරිදි පුද්ගයෙකු වන මේ තැනත්තා, චාරිකාව සංවිධානය කළ ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියෙකි.

ටයිටන් යාත්‍රාව මෙම කිමිදීම සඳහා ගැඹුරු මුහුද වෙත පිටත්ව ගොස් ඇත්තේ පෝලා ප්‍රින්ස් (Polar Prince) නමැති මව් නෞකාව සමගිනි. නමුත් එහි කිමිදීම ආරම්භ කර මද වේලාවකින් මෙම යාත්‍රාවේ මව් නෞකාව සමග සියලු සම්බන්ධතා විඳ වැටී තිබේ. මෙම සබ්මර්සල් යාත්‍රාවේ ඇතුළත ඔක්සිජන් ප්‍රමාණය සීමිත වන අතර, අද දින (බ්‍රහස්පතින්දා) පෙරවරු 10:00 (GMT) පමණ වන විට එම ප්‍රමාණය අවසන් වනු ඇතැයි ගණන් බලා ඇත. සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක ප්‍රදේශයේ මුහුද යටින් ශබ්ද  කිහිපයක් අනාවරණය වී ඇති නමුත් ඒවා පැමිණෙන්නේ කුමන දිශාවකින්, කුමන ස්ථානයකින් ද යන්න හෝ එයින් ගම්‍ය වන්නේ කුමක්ද යන්න නොපැහැදිලි නිසා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන් සැලකියහැකි තරමේ උපකාරයක් ලැබී නැත.

මෙම මෙහෙයුම සඳහා එක්සත් ජනපදය, කැනේඩියානු සහ ප්‍රංශ නියෝජිතායතන එක්ව කටයුතු කරමින් සිටින අතර මෙම ටයිටන් යාත්‍රාව හිමි සමුද්‍ර සංචාරක සමාගම වන Ocean Gate පවසන්නේ යාත්‍රාව සමග නැවත සබඳතා ගොඩනගාගැනීමට හා එය සොයාගැනීමටත් ආරක්ෂිතව ගොඩගැනීමටත් උපරිම උත්සාහ කරමින් සිටින බව යි.

ටයිටන් පිටත ස්වභාවය ( Image source – https://www.npr.org)

කැනේඩියානු සෙවුම් ගුවන් යානයක් අඟහරුවාදා සහ බදාදා දිය යට ශබ්ද ග්‍රහණය කරගෙන ඇතත් ගැඹුරු මුහුද පිළිබඳ විශේෂඥයින් පවසන්නේ දත්ත අධ්‍යයනයකින් තොරව මෙම ශබ්ද මොනවාදැයි තීරණය කිරීම අපහසු බවයි.නමුත් මෙම ශබ්ද කෙටි, තියුණු, හා ඉහළ සංඛ්‍යාත ඝෝෂා ලෙස දැක්වෙන අතට ගිලී ගිය යාත්‍රායේ කෙළවරට දෘඩ වස්තුවකින් පහර දීමෙන් නිකුත් වන ඒවා යැයි අනුමාන කරයි.

නමුත් ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය ද පවසන්නේ මේ ශබ්දය කුමක්දැයි පැහැදිලි වශයෙන් හඳුනාගැනීම අපහසු බවයි. එක්සත් ජනපද නාවික හමුදාව ද මේ පිළිබඳ දත්ත විශ්ලේෂණය කරමින් සිටින නමුත් මෙතෙක් එය නිශ්චිතව හඳුනාගෙන නොමැත.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මේ වන විට එකී ශබ්ද අනාවරණය කරගත් ප්‍රදේශයේ ගවේෂණය සඳහා දුරස්ථව ක්‍රියාත්මක කෙරෙන ROV යාත්‍රාවක් යවා තිබේ. නමුත් මේ වන විටත් ඔවුන්ට මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිඵයක්ල ලැබී නැත. ඔවුන් මේ සඳහා තවත් බලගතු අතිරේක ROV යාත්‍රා යෙදවීමට අපේක්ෂා කරයි. එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය පවසන්නේ එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල ප්‍රදේශයක් සහ සැතපුම් 2.5 (කිලෝමීටර් 4) පමණ ගැඹුරක් ආවරණය වන පරිදි ගවේෂණ හා ගලවාගැනීමේ කටයුතු පුළුල් කර ඇති බවයි.

සන්නිවේදන සබඳතා බිඳවැටුණු නමුත් යම් හෙයකින් ටයිටන් නැවතත් සාගර මතුපිටට පැමිණෙනු ඇතයි අපේක්ෂාවෙන් සෙවුම් ගුවන් යානා තවදුරටත් ගුවනේ සිට සෙවීම් කටයුතු දිගටම කරගෙන යයි.

ගැඹුරු මුහුදේ ගවේෂණ කළහැකි ප්‍රංශ යාත්‍රාවක් ද බදාද දින මෙම ප්‍රදේශයට පැමිණීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් මෙම ගළවාගැනීමේ කටයුතු සිදුකළයුත්තේ සමුදුරු මතුපිට ද නැතහොත් සාගර පතුලේ ද යන්න පවා දැනගැනීමට නොලැබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ලන්ඩයි යුනිවර්සිටි කොලේජ් හි මහාචාර්ය ඇලිස්ටෙයාර් ග්‍රේග් පවසා තිබේ. මෙම අනතුර හුදෙක් සන්නිවේදන බැඳවැටීමක් පමණක් නම් සාගර මතුපිට ඔවුන්ව සොයාගන්නා තුරු ඔවුන් පා වෙමින් සිටීමට ඉඩ තිබේ. නමුත් අභ්‍යන්තරයට ජලය කාන්දුවීමක් වැනි තත්ත්වයක් නම් ඉතා අවසානාවන්ත පණිඩයක් සමග සියල්ල නිමාවට පත්වනු ඇත.

ටයිටන් යාත්‍රාවේ ගමනාන්තය වී ඇත්තේ අත්ලාන්තික් සාගරයේ මතුපිටට මීටර් 3,800 (අඩි 12,500) යටින් තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් ඇති ස්ථානය යි.  කෙසේ වෙතත් මෙම ටයිටන් යාත්‍රාව සැබැවින් ම මේ වන විටත් ඇත්තේ මුහුදු පතුලේ නම් සහ ස්වකීය යාත්‍රාව සතු බලයෙන් ම මතුපිටට පැමිණීමට අපොහොසත් වන්නේ නම් ගලවාගැනීමට ඇති විකල්පයන් ඉතා සීමිතය.

මෙහි ඇති අවදානම හා අවාසනාවන්ත බව නම් නාවික හමුදා සතු සබ්මැරීනයන්ට පවා එතරම් ගැඹුරු මුහුදට යා නොහැකි වීම යි. යාත්‍රාව හිමි OceanGate සමාගම පවසන්නේ  මිනිසුන් සහිතව මුහුදේ අවශ්‍ය ගැඹුරකට යා හැකි යත්‍රා ලෝ පුරා ඇත්තේ පහක් පමණක් බවත්, ටයිටන් ඉන් එකක් බවත් ය. කෙසේ වෙතත් එක්සත් ජනපද නාවික හමුදාව සතුව සාගර ගැඹුරේ ක්‍රියා කළ හැකි ROV වර්ගයේ යාත්‍රාවක් ඇති අතර පසුගිය වසරේ දකුණු චීන මුහුදට කඩා වැටී මීටර් 3,780 (අඩි 12,400) ගැඹුරක තැන්පත් තිබූ ප්‍රහාරක ජෙට් යානයක් සොයා ගැනීමට සහ නැවත ගොඩ ගැනීමට එය භාවිතා කළේය. එම අවස්ථාවේ දී, එක්සත් ජනපද හමුදාව ගුවන් යානය වටා වළලු සවි කිරීමටත් ඒ ආසන්න සාගරයේ මතුපිට රඳවා තිබූ ගලවා ගැනීමේ යාත්‍රාවේ දොඹකරයකින් සාගර පතුළට යවූ එසවුම් කොක්කකට එකී වළලු සම්බන්ධ කිරීමටත් ROV ය්‍රත්‍රාව භාවිත කරන ලදී.

ඕෂන්ගේට් ආයතනය(OceanGate Expeditions) මෙවැනි සංචාරයක් සඳහා එක් අයෙකුගෙන් ඩොලර් දෙලක්ෂ පනස්දහසක් අයකරනු ලබයි. එය සම්පූර්ණ දින අටක සංචාරයකි. ඔවුන් මේ සංචාර සිදුකරන්නේ ටයිටනික් නෞකාව ගිලී ඇති මුහුදු පතුල වෙත ය. මේ ස්ථානය කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 600ක් (සැතපුම් 370) පමණ දුරින් මුහුදු පතුළේ පිහිටා තිබේ. ගිල ගොස් ඇති ටයිටනික් නෞකාවේ ප්‍රධාන කොටස් දෙක එකිනෙකට මීටර් 800 (අඩි 2,600) දුරින් පිහිටා ඇත අතර ඒ අවට ද  විශාල සුන්බුන් ක්ෂේත්‍රයක් පවතී. මේ ස්ථානයට වරක් ගමන් කිරීමට පැය අටක කාලයක් ගතවේ. ඕෂන්ගේට් ආයතනයේ වෙබ් අඩවියට අනුව ඔවුන් මේ සංචාර සංවිධානය කරන්නේ 2021 වර්ෂයේ සිට ය.

මේ සඳහා ඔවුන් භාවිත කරන ටයිටන් යාත්‍රාව ඉතා කුඩා සහ පටු වන අතර එය සෙන්ටිමීටර 670 x 280 x 250 ප්‍රමාණයේ එකකි. එනම් අඩි 22 x 9.2 x 8.3 ප්‍රමාණයේ එකකි. මෙහි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් පමණක් රැගෙන යා හැකිය යාත්‍රා නියමුවෙකු සහ මගීන් හතර දෙනෙකු වශයෙනි. සියලු දෙනා බිම වාඩි වී ගමන්කළ යුතුය. ඇතුළත ඒ මේ අත යෑමට යාමට සීමිත ඉඩකඩක් පමණක් ඇත. ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම්කරුවන් රැගෙන යාමට අමතරව, මෙම යාත්‍රාව ස්ථාන සමීක්ෂණය සහ පරීක්ෂා කිරීම, පර්යේෂණ සහ දත්ත රැස් කිරීම, චිත්‍රපට සහ මාධ්‍ය නිෂ්පාදනය ආදිය සඳහා ද භාවිතා කර තිබේ. ඒ සඳහා අවශ්‍ය නවතම ආලෝකකරණ පද්ධති,සෝනාර් නාවික පද්ධති, අභ්‍යන්තරව සහ බාහිරව සවිකර ඇති 4K වීඩියෝ සහ ඡායාරූප උපකරණ ආදියෙන් ද යුක්ත ය. ටයිටැනික් නෞකාවේ සුන්බුන් නරඹා පටිගතකිරීමට බීබීසීයේ එක්සත් ජනපද හවුල්කාර සීබීඑස් සමාගම ද සිය වාර්තාකරුවෙකු පසුගිය වසරේ ටයිටන් සංචාරයක් සිදුකර තිබේ. එම සංචාරයට එක් වූ වාර්තාකරු හෙළි කළේ යාත්‍රාවේ ඇත්තේ එක් බොත්තමක් පමණක් බවත් වීඩියෝ ක්‍රීඩා පාලකයක් භාවිතයෙන් එය ධාවනය වන බවත්ය.මෙය ඉතා අසාමාන්‍ය හා අන්තරයකර තත්ත්වයක් බව විචාරක මතය යි. නමුත් මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වන වොෂින්ටන් පෝස්ට් සඳහන් කරන්නේ සීබීඑස් වාර්තාවේ දක්වා ඇත්තේ ටයිටන් යාත්‍රාවේ පැරණි ආකෘතියක් පිළිබඳව බවයි.

ටයිටන් ඇතුළත ස්වභාවය ( Image source- https://www.telegraph.co.uk/)

පෝලාර්ප්‍රින්ස් නෞකාව ටයිටන් රැගෙන ටයිටැනික් සුන්බුන් ආසන්න මුහුද මතුපිට ආසන්නයට පැමිණියේ පසුගිය ඉරිදා(2023 ජුනි 18) උදෑසන වන අතර ටයිටන් එරට වේලාවෙන් 08.00 ට දියත් කරන ලදී.  එය එරට වේලාවෙන් පස්වරු 3.00 ට නැවත මතුපිටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන ලදී. නමුත් එය කිමිදීම අරඹා පැය එකයි විනාඩි හතලිස් පහකින් පමණ එනම් පෙරවරු 09.45 ට පමණ මාතෘ නෞකාව වූ පෝලාර් ප්‍රිින්ස් සමග සම්බන්ධතා බිඳවැටුණි. වෙරළාරක්ෂක බලකාය පැවසුවේ සංචාරක ආයතනය විසින් මේ සිදුවූමෙන් පැය 8 කට පසුව එනම් පස්වරු5.45 ට පමණ මේ පිළිබඳ  තමන්ට දැනුම් දුන් බවයි. සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් ඇරඹෙන්නේ ඉන් අනතුරුව ය.

 

ඉදිරියටත් මෙවැනි කාලීන හා අධ්‍යාපනික වැදගත්කමක් ඇති ලිපි කියවීමට අපගේ  facebook සමූහයට එක්වන්න.- අධ්‍යාපනික පුවත් සමූහය

 

 

මෙවැනි වැදගත් කාලීන හා අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය