නකදිව(නාගදීප)

පැරණි කාලයේ මේ නමින් හඳුන්වා ඇත්තේ වත්මන් යාපන අර්ධද්වීපය යි. මෙය අනුරාධපුර යුගයේ සැලකියයුතු කාලයක් පුරා අනුරාධපුර රජු යටතේ පාලනය වූ බව සිතිය හැකි වේ. දෙවනපෑතිස් රජු මේ ප්‍රදේශය හරහා ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීමෙන් ද, එකල සිට විටින් විට ඉදි වූ බෞද්ධ විහාරාරාමවල නටබුන් හමු වීමෙන් ද, වසභ රාජ්‍ය සමයේ ඉසිගිරිය නමැති අමාත්‍යයා යටතේ පාලනය වීමෙන් ද ඒ බව පෙනී යයි. මේ ආසන්න දූපත් සමූහයෙන් එකක් වන කයිට්ස් හි සූකරතිත්ථ වරාය පොළොන්නරු යුගයේ පවා කැපී පෙනුණු වරායක් වු බව මහා පරාක්‍රමබාහු රජුට අයත් නයිනතිව් ලිපියෙන් පෙනී යයි. තව ද ලීලාවතී, සාහස්සමල්ල, ධර්මාශෝක යන පොළොන්නරු රජවරුන්ට අයත් කාසි සැලකියයුතු ප්‍රමාණයක් ද, කන්දරෝඩයෙන් ලැබී තිබේ. මේ ප්‍රදේශ ස්වාධීන වූ අවස්ථාවල දකුණේ රජවරු යළි ඒ ප්‍රදේශය යටත් කරගැනීමට උත්සහ කර තිබේ. 6වන පරාක්‍රමබාහු රජු මේ සපුමල් කුමරු ප්‍රමුඛ සන්නද්ධ සේනාංකයක් යවා ප්‍රදේශය යටත් කරගත්තේ ය. නමුත් අවස්ථා ගණනාවක දී නාගදීපය ස්වාධීන විය. ගම්පොළ යුගයේ මෙය වඩාත් බලවත් වූ අතර කෝට්ටේ යුගයේ දී කෝට්ටේ යටතේ තිබූ නමුත් යළි ස්වාධීන විය. සැලකියයුතු කාලයක් මේ ප්‍රදේශය පාලනය කළ ආර්ය චක්‍රවර්තී රජ පරපුර පිළිබඳ වාර්තා තිබේ. 1619-20 කාලයේ දී පෘතුගීසීන් මේ ප්‍රදේශය යටත් කරගත් පසු යළිත් මෙහි ස්වාධීන රාජ්‍යයක් පැනනැගුණේ නැත.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න