කතරගම/කාචරගාම/කාජරගාම

පැරණි රෝහණ දේශයේ වැදගත් නගරයක් වන මෙය මූලාශ්‍රවල කාචරගාම, කාජරගාම, කජරගම, කදරගම ආදී නම් වලින් දැක්වේ. ක්‍රි. පූ. තෙවන ශතවර්ෂයේ දී කාචරගාමයේ හා චන්දනගාමයේ සිටි ක්ෂත්‍රීය පවුල් පරපුරු දෙකක් පිළිබඳව මහාවංසයේ සඳහන් වේ. බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනය පිළිබඳ ධාතුවංස විස්තරයේ ද කාචරගාම යන නම සඳහන් වේ. සඝමිත් තෙරණිය ශ්‍රීමහාබෝධි ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කළ පසු එය රෝපණය කිරීමේ මහෝත්සවයට කතරගම ක්ෂත්‍රීය පවුල් ද සහභාගී වූ බව මහා වංසයේ දැක්වේ. මින් පෙනී යන්නේ මේ යුගය වන විට කතරගම හා ලංකාවේ එවක අගනුවර අතර සමීප සබඳතා පැවති බවය. ඊට අමතරව කතරගම මුල් කාලයේ සිට ම මෙරට බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස පෙරට විත් තිබූ බව මේ අනුව වටහා ගත හැක. දේවානම්පියතිස්ස රජසමයේ ඔහුගේ සොයුරු මහානාග යුවරජු රජ පවුලේ අර්බුදකාරී තත්ත්වයක් නිසා කතරගමට පලා යාමත් සමග කතරගම තත්ත්වය වෙනස් විය. මද කලක් සාමාන්‍ය තත්ත්වයෙන් පැවතුන ද කතරගම ක්ෂත්‍රියයන් හා රජරටින් ආ පරපුර අතර විරසකකම් වර්ධනය වී ගෝඨාභය රජ සමයේ දසබෑ රජවරුන් ඝාතනය කිරීම දක්වා තත්ත්වය උත්සන්න වූ බව පෙනෙයි. රජරට සොලී පාලන සමයේ ලෝකේශ්වර නම් කුමරෙකු සොලී බලයට අභියෝග කරමින් කතරගම විසූ අතර ඉන් අනතුරුව කේෂධාතු නායක කාෂ්‍යප නම් කුමාරයෙක් ද එහි විසීය. කිත්ති කුමරු හෙවත් පසු කාලයේ මහා විජයබාහු නමින් හැඳින්වූ කුමාරයා කේෂධාතු කාෂ්‍යප පරදා කතරගම බලය තහවුරු කරගත්තේය. මහා විජයබාහු රජතුමා චෝළ ආධිපත්‍යයට එරෙහිව සේනා සංවිධානය කළේ මෙහි හිඳිමිනි. එහෙත් මේ තත්ත්වය සැලවීමත් සමග චෝළයෝ කතරගම ආක්‍රමණය කළ අතර විජයබාහු රජු කතරගම අත්හැර ගියේය. 18 වන සියවසේ රචනා වූ කහකුරුලු, කැටකිරිලි, නීලකොබෝ ආදී සංදේශ කාව්‍යවල ද කතරගම පිළිබඳව සඳහන් වේ. 19වන සියවස වන විට මුහුදුබඩ සිට කතරගම ඔස්සේ ඌව පළාත දක්වා වැටී තිබූ මාර්ගය ඉංග්‍රීසීන්ට ඛෙහෙවින් ම ප්‍රයෝජනවත් වූ බව පෙනෙයි. 1815 පෙබරවාරි මාසයේ දී කැප්ටන් මරේ ගේ බලඇණිය වැල්ලවාය බලා පිටත්ව ගියේ මේ ඔස්සේය. මේ ගමනේ දී කතරගම ඔවුන්ගේ නවාතැන්පොළක් ද විය. කතරගම ආගමික අතින් ද වැදගත් නගරයකි. මෙහි ඇති ප්‍රධානත ම ආගමික මධ්‍යස්ථානන කිරිවෙහෙරයි. බුදුරදුන්ගේ තෙවන ලංකාගමනයේ දී මේ ස්ථානයට ද වැඩම කළ බව කියැවේ. මීට අමතරව හින්දූන් විසින් ඇදහීමට පාත්‍ර කළ මුරුගා හෙවත් කතරගම දෙවිඳුන්ගේ දේවාලය ද පිහිටා ඇත්තේ කතරගමය.

Share with a student

 

මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න