මහනුවර වඩාත් ප්‍රකට වූයේ අගනගරයක් වශයෙන් හා පූජනීය නගරයක් වශයෙනි. සංස්කෘතික වැදගත්කම අතින් ලෝ පසිඳු මේ නගරය ඊට බොහෝ කලකට පෙරාතුව පටන් වැදගත් ප්‍රදේශයක් වී තිබේ. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයක් ද වන බැවිනි. සවැනි පැරකුම්බාවන් කෝට්ටේ රජයද්දී ජෝතිය සිටාණන් මහනුවර මුල්කරගත් ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කරන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වූ නමුත් සවැනි බුවනෙකබා(සපුමල් කුමරු) කෝට්ටේ බලයට පත් වූ පසු සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර මුල්කරගෙන උඩරට ස්වාධීන රාජ්‍යයක් බවට පත් කළේ ය. එතැන් පටන් සිංහල හා නායක්කර් පෙළපත් දෙක යටතේ සියවස් හතරක් පමණ ස්වාධීන හා ප්‍රබල ම රාජධානියක්ව පවති උඩරට රාජධානියේ අගනගරය වූයේ මහනුවර නගරයයි. අගනගරයක් සේ පැවති කාලසීමාව අතින් මහනුවර දෙවැනි වන්නේ අනුරාධපුර රාජධානියට පමණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 වැන්නේ පෙබරවාරි 18 වැනිදා මහනුවර ගල්ලැහැවත්තේ දී ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වන තුරු සමස්ත ලංකාව ම විදෙස් ජාතියක් යටතට පත්වීම නමැති නින්දාවෙන් ගලවාගෙන සිටින්නට සමත් වූයේ මහනුවර මුල්කරගත් උඩරට රාජධානියයි.
Share with a student