කලා වැව

කලාවැව- අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාගම්පළාතේ පිහිටා ඇත. ලැබී ඇති සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක සාධක අනුව මේ වැව ක්‍රි. ව. 459-477 කාලයේ ලක් රජය කළ ධාතුසේන රජු විසින් කරවා ඇත. කුඩා කල පැවිදි දිවියක් ගතකළ මෙතුමා පණ්ඩු ඇතුළු ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් ගැළවීම සඳහා සිය ගුරු හිමියන් සමග පලා යද්දී ගෝණ නදිය අසලදී ලත් උපදේශයක් අනුව පසු කාලයේ මේ වැව ඉදිකළේ යැයි පැවසේ. මෙහි බැම්ම සැතපුම් 3.5ක් දිගුය. අඩි 40ක් උස්ය. වර්ග අක්කර 6380ක ප්‍රදේශයක පැතිර පවතී. වගා කෙරෙන බිමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග අක්කර 6971ක් පමණ වේ. අනුරාධපුරයේ තිසාවැවට ජලය ලබා ගැනීම සඳහා මේ වැවේ සිට අඩි 40ක් පුළුල් හා සැතපුම් 54ක් දිගු ඇළ මගක් කරවා ඇත.(එහෙත් එය කරවූ කාලයක් පිළිබඳව වංශකථාවල සඳහන් නොවේ) මේ ඇළ මග එකළ ජය ගඟ නමින් ද දැන් යෝධ ඇළ නමින් ද හැඳින් වේ. ධාතුසේන රජු මේ වැව් ඉස්මත්තේ කාලවාපි විහාරය නමින් වෙහෙරක් ද කරවීය. දෙවන මහින්ද හා මහා පරාක්‍රමබාහු යන රජවරුන් විසින් මේ වැව ප්‍රතිසංස්කරණය කරවා ඇත. වැව අවට ප්‍රදේශය කාලවාපිරට්ඨ නමින් හඳුන්වා ඇත. වැව ආශ්‍රිත ප්‍රදේශය යුධමය අතින් ද වැදගත්කමක් උසුලයි. 3වන ජෙට්ඨතිස්ස හා 3වන අග්ගබෝධි රජවරුන් අතර මේ ආශ්‍රිත ප්‍රදේශයේ ගැටුම් ඇතිවී ඇත. 2වන මහින්ද රජුට එරෙහිව නැගී සිටි ආදිපාද දප්පුල කුමරු ද සිය ආරක්ෂාව උදෙසා ආයේ මේ ප්‍රදේශයටය. මහා විජයබාහු රජුට පසු ඔහු පුත් වික්‍රමබාහු හා මිත්තා කුමරියගේ දරුවන් අතර ඇතිවූ සිව්වන සටන ද මේ ප්‍රදේශයේ දී සිදු වී ඇත. මහා පරාක්‍රමබාහු රජුගේ දේව නම් සෙන්පතියා ද මේ ආසන්නයේ කඳවුරු බැඳගෙන මද කලක් රැඳී සිටියේය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න