ධූමරක්ඛපබ්බත නමින් හැඳින්වෙන්නේ පොළොන්නරුවට සමීප දිඹුලාගල යි. මෙහි බ්‍රාහ්මී අක්ෂරයෙන් කළ ලිපි සහිත ලෙන් ආදිය ද තිබෙන නිසා මෙය ලංකා ඉතිහාසයේ වඩාත් පැරණි යුගයකට අයත් වේ යැයි පිළිගැනෙයි. පණ්ඩුකාභය කුමරා ද සේනා සහිතව අවුත් මෙහි සිව් වසරක් නතර වී සිටියේ යැයි දැක්වේ. මෙහි මාරාවිදිය ලෙන් සිතුවම් ලංකාවේ ඉපැරණි සිතුවම් අතරට අයත් වේ. මීට සමීප පුල්ලිගොඩ ගල් ගේ ද ඒ තරම් ම පැරණි සිතුවම් ඇති ස්ථානයකි. මහසෙන් රජු මෙහි විහාරයක් කරවා ථෙරවාදී භික්ෂූන්ට පිදී ය. මහාපරාක්‍රමබාහු රජුගේ ත්‍රෛ නිකාය සමගි කරවීමේ කාර්යයේ දී ඊට උපදෙස් දුන්නේ ද දිඹුලාගල හෙවත් උදුම්බරාගිරි වාසී මහා කාශ්‍යප නම් හිමිපාණෝ ය. මෙහි විසූ මේධංකර නමි හිමියෝ දෙවැනි පැරකුම්බාවන්ගේ ආගමික ශෝධනයන්ට උපදෙස් දුන්හ.
Share with a student