මහරජ ගැමුණු කවර අරමුණකින් නිපද වූ චිත්රපටයක්දැයි අපි නොදනිමු .අප ඒ දෙස බැලූයේ කලා නිර්මාණයක් දෙස බලනා බැල්මෙන් මිස වෙනත් අරමුණක් රැඳි බැල්මකින් නොවනා වග පළමුකොට ම සඳහන් කරන්නේ හේතුවක් ඇතිවය. මෙය විචාරයක් මිස අමූලක හේතු මත පදනම් වූ විවේචනයක් නොවේ. මේ මා දුටු දේය.
1997 වර්ෂයේ සිට රූපවාහිනිහිය සමග මාගේ සම්බන්ධයක් නැත. ඒ නිසා ජයන්ත චන්ද්රසිරි නම් නිර්මාණකරුවාණන්ගේ ටෙලි සිත්තම් පිළිබඳ මාගේ දැනුම දුප්පත්ය. නමුත් මා අසා ඇති පරිදිජයන්ත චන්ද්රසිරි ටෙලිනිර්මාණකරුවෙකු ලෙස සාර්ථක වූ අයෙකි.මෙගා රැල්ලට හසු වූ පොල්ලෙල්ලක් නොවූ ඔහු වෙරළේ ස්ථාවර ගල්කුළක් සේ සිටිනා වග ද අසා ඇත්තෙමි.(ඔහු පිළිබඳ මාගේ මේ කියැවීම ඇතැම් විට නිවැරදි නොවිය හැක) නමුත් මා ඔහු හොඳින් දුටුවේ සිනමා සිත්තම් හරහාය.මේ විමසුම ඒ දැක්ම ද සමගිනි.
මීට වර්ෂ ගණනාවකට පෙර චන්ද්රසිරි මහතා කළ අග්නිදාහය ද මම නරඹා ඇත්තෙමි. 17 වැනි සියවසේ දී පමණ රාසිං දෙයියන්ට(කීර්ති ශ්රී රාජසිංහ රජුට) විරුද්ධව අඹන්වෙළ රාළ කළ කුමන්ත්රණය පසුබිමේ තබාගෙන එකල සිදුවූ අතුරු කතාවක් තුළින් සිනමා සිත්තම ඇරඹී ක්රමයෙන් ඓතිහාසික කතාව කරළියට ගෙන ආ අයුරු අපූරුවට මාගේ මතකයේ තිබේ.කතාන්දරය කෙසේ වුව ද සිනමාසිත්තමේ සමස්ත හැඩය හා එය ගලා ගිය මාවත කාලීනව නැවුම් වූ වග මට මතකය.ඒ නිසා ජයන්ත චන්ද්රසිරි නාමය මා තුළ ඇති කළේයම් ක්ෂේත්රයක දැවැන්තයෙකු සම්බන්ධයෙන් මා තුළ ඇතිවන්නා වූ හැඟීමට සම හැඟීමකි. මා සමනල සන්ධ්වනිය බැලුවේ ද ඒ හැඟීම පෙරටුකොටගෙන ය. සමනල සන්ධ්වනිය මා තුළ ඇති කළ ප්රේමයේ ශෝකී අන්තය පිළිබඳ ආනන්දනීය හැඟීම(ප්රේමයේ ශෝකී අන්තය මට ආනන්දයකි.එය ඇතැම් විට පෞද්ගලික විය හැක.) නිසා ජයන්ත චන්ද්රසිරි පිළිබඳ හැඟීම තරමක් මැද මාවතකට පිවිසියේ ඔහු සද්ධන්තයෙකුට වඩා අපූරු නිර්මාණ ශිල්පියෙක්ය යන සිතිවිල්ල නිසාය. මම සමනල සන්ධ්වනිය හැඟීම්බරව බැලුවා නොව.එය බලද්දී මම හැඟීම්බර වූයෙමි.ප්රේමය සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික හැඟීම් නිසා එය එසේවන්නට ඇතත්…, නිර්මාණ ශිල්පියෙකු ලෙස ජයන්ත ජන්ද්රසිරි මහතා පෞද්ගලිකය බහුතරයකට විඳිය හැකි නිර්මාණයක් කළ බව මම සිතමි.
මම මහරජ ගැමුණ බලන්නට ගියේ ද ඒ සිතිවිල්ල කරපින්නාගෙනය. නමුත් මම සිනමාශාලාවට පිවිසියේ නිර්මාණයක් නැරඹීමේ අදහසින් මිස අපූර්ව නිර්මාණශිල්පී ජයන්ත චන්ද්රසිරි මහතාගේ නිර්මාණයක් නැරඹීමට නොවේ.
සත්ය වශයෙන් ම මට සිනමා සිත්තමක් නැරඹීමට අවස්ථාවක් නොලැබුණු තරම්ය……තෙවන සීනුවට පසු සිනමාශාලාව අඳුරු වූ අතර….තිරය මත පතිතවූ ආලෝකයෙන් සිනමා ශාලාව ආලෝකවත් වන තුරු මම බලා සිටියෙමි.
නමුත් එසේ වූ යේ නැත.
මහාවංසයේ ද, ථූපවංසයේ ද ධාතුවංසයේ ද තවත් මූලාශ්රය කිහිපයක ද විස්තර වූ ඉතිහාස කතාවක් සිනමාතිරයේ දිස්වුව ද මම ඒ තුළ සිනමා නිර්මාණයත් නොදුටුවේ ඇයිදැය් මම නොදනිමි.(සමාවෙන්න. ඇතැම් විට ඔබ එවැන්නක් දකින්නට ඇත.මම ඔබට බාධා නොකරමි.මා අන්ධයෙකු යැයි සිතන්න.) වේෂ නිරූපනය, දර්ශනතල නිර්මාණය හා පරිගණක ප්රයෝග භාවිතය අතින් මා දුටුවේ අවර ගණයේ නිර්මාණයකි.රේල්ලුවක් සේ දඩස් ගැ ගැස්සුණු නැවේ දසුනෙන් ම මා තුළ එවන් හැඟීමක් ඇතිවිය. විජය කුවේණි සිනමා සිත්මේ වේදිකා පසුතල නිර්මාණ වලට සම පසුතල නිර්මාණ හා අතේ පත්තු වූ පරිගණත ප්රයෝග තරම් ම අවර ගණයේ නොවූව ද මේ සිනමා සිත්තමේ ද පසුතල හා පරිගණක ප්රෙයා්ග ඉතා අසාර්ථක වග නොකියා බැරි ය.තුනී ගැල්වනයිස් තහඩු වලින් සැකසූවාක් වැනි සන්නාහයන් විසින්, කාවන්තිස්ස හමුදාවේ තේජස්වී, සද්ධන්ත දශ සේනාපත්වරුන් පිළිබඳ හැඟීම යටපත් කළවිට ඉවසා සිටියේ ඉතා අපහසුවෙනි. එක්වරම මට සිහිපත් වූයේ පොම්පෙයි චිත්රපටයේ දර්ශනයකි.විසූවියස් ගිනිකන්ද විධාරණය වී පොම්පෙයි නගරය මිනිසුන් ද සමග ලාවා ගංගාවකට බිලි වීම පිළිබඳ ඓතිහාසික පුවත පසුබිම් කරගත් පොම්පෙයි චිත්රපටය හොලිවුඩ් චිත්රපටයක් වුව, එහි තේමාව හා ඇතැම් දර්ශන වඩාත් සමීප වී ඇත්තේ බොලිවුඩ් සිනමාවටය. සත්ය වශයෙන් ම කිවහොත් පොම්පෙයි චිත්රපටය උසස් ගණයේ චිත්රපටයක් සේ මා දකින්නේ නැත.නමුත්…. එහි එක්තැනෙක පෙන්වූ යුධ සන්නාහයක හිස්වැස්මේ සමීප දසුනක් මා මතකයේ තදින් තැන්පත් වී ඇත. ඒ හිස්වැස්මේ ශක්තිමත් ගතිය,තද හා දැඩි ගතිය මනාව නිරූපනය කර තිබුණි.
එතැනට නොගියේ අපේ සිනමාවට මුදල් නැති නිසාය යන තර්කය ප්රමාණවත් යැයි නොසිතමි. අවම වශයෙන් දෙවනපෑතිස් රජු පිහිටුවනුලැබූ ශිලාස්ථම්භය සංකේතවක් කරමින් තනා තිබූ ස්ථම්භයේ ලෑලි මූට්ටු ටික හෝ නිසි ලෙස වසා දමන්නට හැකිව තිබුණි. රාජාංගණයේ ද නාටිකාංගනාවන්ගේ රිද්මයට අනුව දෑත්, දෑස් චලනය කරමින් යොවුන් ගති පා විනෝද වූ තිස්ස කුමරු සිරියහන්ගැබේ දී ස්ත්රියක් සේ අසුනකට වී ආභරණ ගලවා තැන්පත් කරන ආකාරය නොගැළපුණු අයුරක් දුටුවෙමි. කණ්ඩුල ඇතු සන්නාහයන්ගෙන් සරසා තිබූ ආකාරයෙන් ද එම ඇතා පිළිබඳ ඓතිහාසික පුවතය අනුචිත බවත් දුටුවෙමි. අවසන් සටනේ ගාමිණී අභය ඇඳි සන්නාහය ඔහුට ප්රමාණයෙන් විශාලය. එයින් ඔහුගේ පෞරුෂයට හානි වී ඇත. මේ ආකාරයේ ගැටළු රැසක් දුටුවෙමි.මේ සියල්ල තුළින් මා දුටුවේ මේ නිර්මාණය ඉතා කඩිමුඩියේ නිර්මාණය කිරීමට ගොස් ගුණයෙන් හීන කරගෙන ඇති අයුරකි. මහා නිර්මාණකරුවන් බිහිකරන්නට ලංකාව ප්රමාණවත් නොවේ යැයි මම කිසිවිටෙකත් නොසිතමි.මහා නිර්මාණකරුවන් බිහිකරන්නට මේ බිමට නොහැකි නොවේ. එහෙත්….ඒ සඳහා නිර්මාණකරුවා ගේ සහය අවම වූ විට සහ නිර්මාණකරුවා මාර්ගයෙන් පිටතට යන විට අපට ‘අපේ නිර්මාණයකින්’ ජාත්යන්තරය ජයගන්නට හැකිවේ ද යන්න ගැටළුවකි.
අමිල උඩවත්ත 2015