මා කියවූ පොත් අතරින් ඉතා විශිෂ්ට නිර්මාණයකි. සෑම අතින්ම විශිෂ්ට ලෙස තම නිර්මාණය පාඨකයාට ඉදිපත් කර ඇති මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් තමාගේ ප්‍රතිභා පූර්ණත්වය මනාව පෙන්නුම් කර ඇත.
මෙහි එන චරිත පිළිබඳ හැඳින්වීමේදී ප්‍රධාන චරිතයක් නිරූපණය කළ වීරප්පුලි හේනයා අහිංසක, මනුෂ්‍යත්වයෙන් පිරුණු අව්‍යාජ චරිතයක් වග අපට පෙනී යන්නකී. තමා මුළු ගමේම මිනිසුන්ගේ කිලිටි, කුණු සෝදා හැරියද හැම විටම ගම්මුන්ගෙන් නින්දා අපහාස, කොන් වීම, සිත් රිදීම් පමණක් අත්වීම පාඨක අපට පෙනී යන කරුණකි. එහිදී සෑම විටම ලඟින් සිටියේ මල්මා රිදී ඇතුළු පවුලේ පිරිසත් හා සත්පුරුෂයෙකු බඳුවූ ගුණ රාලහාමිත් පමණි. එමගින් ගම්මුන් කෙතරම් නූගත් ප්‍රාථමික වුවද තම කුළය මත රඳා පැවතුණු පුහු මාන්නය එදා සමාජයේ මුල් බැසගෙන තිබූ බවට පැහැදිලිය.
වීරප්පුලි හේනයා තම මුනුබුරු වූ බබා හේනයා වෙනුවෙන් ජීවත් වූ චරිතයක් වග අපට පැහැදිලි පෙනී යන කරුණකි. අනුරාධපුර පුණ්‍ය කර්මයෙන් පිං අත්කර දීමටත්, පාසල් අධ්‍යාපනයට යොමු කරවීමට නිතර වද වීමත් හා බබා හේනයා ගමෙන් රත්නපුරයට ගිය දිනයේ තමා සියදිවි නසා ගැනීමත් ඒ පිළිබඳ පැහැදිළි සාක්ෂියකි. අහිමි වීම්, කල කිරීම්, ප්‍රතික්ෂේප වීම් ආදී වේදනාවෙන් බැට කෑ ඔහුට සිටියේ බෝ පැළය පමණි. සෑම විටදීම ජීවිතයේ යතාර්තය තේරුම් ගැනීමට ඔහුට එය මහඟු රුකුලක් වූ බව පෙනේ.
වීරප්පුලි හේනයාගේ දියණිවරු දෙදෙනාවූ පොඩිනා හා හිං රිදී ජීවිතයේ සතුට, සැනසුම බලාපොරොත්තුවෙන් ජීවත් වූ දෙදෙනෙකි. හැඟීම් ඉදිරියේ කාන්තාව කෙතරම් අසරණ වන බවත් එයට ඇති සමාජමය බලපෑමක් නිර්මාණය පුරා දකින්නට ලැබුණු කරුණකි. ආදරය සොයා ගිය මේ දෙදෙනාම අවසානයේ මං මුලා වී තම ජීව්තයම විනාශ කරගත් ආකාරය එකිනෙකට පරස්පර දෘෂ්ටි කොණ දෙකකින් පෙන්නුම් කරලයි. එසේ පොඩිනාගේ ප්‍රේමයේ ඉත්තෙකු බවට පත්වූ අහිංසක නම්බු හේනයා පිළිබඳවද පාඨක සිත උපේක්ෂාවෙන් දනවන ලෙස නිර්මාණකරු තම නිර්මාණය පොෂණය කර ඇත. එය විටෙක පොඩිනා යන චරිතය කෙරෙහී ක්‍රෝදයක් දනවනු ලබයි. කෙසේ වෙතත් තමා සිතෙහි වූ නිර්මල ප්‍රේමය නමින් ඇය ද ජීවිතයේ අවසන් සුසුම් හෙළුවේය. එය විටෙක අවාසනාවද විටෙක ඇය නම්බු හේනයාට කළදේ හී විපාකයද යන්න පාඨක සිත දෙගිඩියාවකට පත් කරලයි. හිං රිදී හැඟීම් වලින් අන්ධ වී තම ජීවිතය අඳුරු මාවතක් වෙත ගෙන ගියේ ඇහිපිය ගසන වේගයකිනි. නමුත් තමා එදා ගත් තීරණය පිළිබඳ පසු තැවීමටද ගියේ ඊටත් අඩු කාලයක් පමණි.
මෙවන් උසස් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආකර්ශනයට හේතු වූ විශාල කරුණු රැසක් හේතු පාදක වී ඇත. ඒවා නම් මස්ඉඹුලයන්ගේ භාෂා ෂඛ්‍යතාව, අවස්ථා සිද්දි නිරූපණය, ප්‍රතිභාපූර්ණත්වය, සංවාදාත්මක භාෂාව, සංකේත මුල් කොට ගත් ධ්වනිතාර්තවත් භාෂාව, ගැමි වහර, උපමා, රූපක, පිරුළු.
“ළා දම් පැහැයෙන් යුක්ත වූ දලු දෙකක් ඒ වන විට බෝ පැළයේ නැගී තිබූ ඇතර…”
ඉහත උදෘතය දෙස බලන් කල්හී මෙතුමා යොදාගත් භාෂාව මෙන්ම් උපයුක්ත රචනා රීතිය මනාව අවබෝධ වේ. මේ සඳහා ප්‍රකාශන විලාසය හා වාග් විලාසය මුසු කරමින් නිර්මාණයේ ජීව ගුණය ඉහළ නැංවීමට රචකයා කටයුතු කර ඇත.
භාෂාව පිළිබඳව කතා කිරීමේදී මෙතුමා විවිධ අවස්ථාවන්හී හැගීම් දනවන අයුරින් තම භාෂාව හසුරුවා ඇති ආකාරය පාඨක අපගේ සිත විශ්මයෙන් පුරවාලයි. දුක, සතුට අනුකම්පාව, ආදරය, සෙනෙහස, ක්‍රෝදය, රාගය වැනි හැගීම් හද තුළ ගොඩනැංවීමට රචකයාගේ භාෂා ෂඛ්‍යතාවයට හැකි වී ඇති බව ගම්‍යමාන වේ. එය මෙම නිර්මාණය උසස් මට්ටමකට ගෙනයාමට ඉවහල් වූ ඉතා ප්‍රභල සාධකයකි.
“ඒ තමාගේ ආත්මය ආදරය නැමැති වට්ටිය මත තබා නෑඹුල් මල් මිටක් සේ දෝතින් ම…”
මෙම අවස්ථාවේ නිර්මාණකරු රූපක, උපමා යන දෙවර්ගයම එකවර යෙදූ විශිෂ්ඨ අවස්ථාවකි. එය නිසැක වශයෙන්ම ඔහුගේ ප්‍රතිභා පූර්ණත්වය බව පැහැදිලිය.
“රත්තරනේ.. උඹ බුදි ද?”
“ම්හ්” හිං රිදී අඩ නින්දෙන් මෙන් කියයි.
“කෝ ඩිංගිත්තක් එහෙට්ට වෙයං…”
රම්බරී හා හිං රිදී අතර සිදුවූ සංවාදය අවස්ථා සිද්ධි නිරූපණයේ උපරිම ඵල නෙලාගත් අවස්තාවකි.විශේෂයෙන්ම මෙම නිර්මාණයේ සංවාදාත්මක වදන හඬ නංවන ශබ්ද ඇසුරෙන් ඉතාමත් ලගන්නා සුළු අයුරින් භාෂාව යොදාගෙන තිබේ. එය පාඨක අවධානය තම නිර්මාණය කෙරෙහි රඳවා ගැනීම රචරකයාගේ අරමුණ වී ඇති බව පෙනේ.
එසේම සකේතානුසාරී භාෂාව සමඟ “බෝ පැළය” ඉතා විශේෂ වස්තු විශයක් බව අපට හඳුනා ගත හැකි කරුණකි. එමගින් ප්‍රබල අදහසක් අවසානය පුරා පාඨකයාට ළඟා කරවීමට මස්ඉඹුලයන් උත්සහ කර ඇති බව මාගේ මතයයි. ඉට නිදසුනක් නම් පොඩිනාගේ මරණයේදීත්, බබා හේනයා ගමෙන් සමුගැනීමේදී බෝ ගසින් ඉදුණු කහ පැහැති පත්‍රයක් කඳෙන් වෙන් වී වැළි මළුව සිප ගැනීම විශෙෂයෙන් අවදාරණය කරයි. එමගින් ගැඹුරු අදහස් පාඨක සිතෙහි ජනිත කරවීමට මස්ඉඹුලයන් උත්සහ කරයි. එමගින් රචකයා තම නිර්මාණයට ධ්වනිතාර්තය ( මතුපිටින් පෙනෙන අදහසට එහා ගිය ගැඹුරු අදහසක් ) ඇඳා ගැනීම තම නිර්මාණය උසස් නිර්මාණයක් දක්වා ගෙන යාමට කටයුතු කර ඇති බව සනාථ වේ.
▪චනිතු වත්මිර ලියනගේ.