නාමල් කුමරු ගේ හා චිත්රා කුමරිය ගේ කතාව
මේ, ඉසුරුමුණි පෙම් යුවළ පිළිබඳ ජනප්රවාදය විසින් අමතක නො කළ කතාව යි.
නාමල් සේනාධිපති යනු ධාතුසේන රජු ගේ සෙනෙවියෙකි. කාශ්යප විසින් රාජ්යයේ අර්බුද ඇති කළ කාලයේ ඔහු ධාතුසේන රජු ගේත්, මුගලන් කුමරු ගේත් පක්ෂය ගත් නිසා, පසු ව රජ වූ කාශ්යප විසින් නාමල් සේනාධිපති ඇතුළු වැදැගත් නිලතල හෙබවූ විශාල පිරිසක් මරා දමන ලදි. සැමියා ගේ වියෝවෙන් ශෝකාතුර වූ නාමල් සේනාපති ගේ දේවිය ද නොබෝ කලකින් ම කලුරිය කළා ය. ඒ වන විට නාමල් සේනාපති ගේත්, ඔහු ගේ දේවිය ගේත් විසි හැවිරිදි පුත් කුමරකු විය. ඔහු ද ‘නාමල් කුමාරයා’ යන නමින් ම ප්රකට ව සිටියේ ය. කුමන හෝ හේතුවක් මත සීගිරි කාශ්යප රජු නාමල් කුමරු ගෙන් පළිගන්නට සිතුවේ නැත.
තරුණ වියට පත් වන විට නාමල් කුමරු හැඩි දැඩි, කඩවසම් හා යුධ ශිල්පයෙහි දක්ෂ තරුණයකු බවට පත් විය. දෙමව්පියන් ගේ වියෝවෙන් පසු හෙතෙම ඇති දැඩි වූයේ ස්වකීය නැන්දනිය සෙවණේ තම පියාණන් ගේ මාලිගාවේ ම ය.
කලාවැව ආශ්රිත ප්රදේශය මේ කාලයේ දී වෙන ම ප්රාදේශීය පාලකයෙක් යටතේ පැවැති අතර, කලාවැව කර වූ ධාතුසේන රජු තමන් ගේ සහෝදරයා වූ සේන කුමරුන්ට කලාවැවෙන් අඩක් හා කෙත් දෙසීයක් පවරා දී තිබුණි. සේන කුමාරු ද කලාවැව ආශ්රිත ව මාලිගාවක් තනවා, එහි ඉසුරුමත් ජීවිතයක් ගත කොට මියගිය අතර, ඔහුට උපගුප්ත නමින් පුතකු විය. පියා ගේ මරණින් පසු ගුප්තසේන කලාවැව මාලිගාවෙහි වාසය කරමින් ස්වකීය පියාට අයිති කොටස පාලනය කළේ ය. ගුප්තසේනට බන්දුසේන නමින් පුත්රයෙකුත්, චිත්රා නමින් දියණියකුත් විය. බන්දුසේන කුමරු සේනාපති තනතුරක් ලැබ කාශ්යප රජු යටතේ සේවය කළ අතර, අතිශය රූපත් චිත්රා කුමරිය කලා වැවේ මාලිගයේ ස්වකීය දෙමාපියන් සමඟ වාසය කළා ය. අප ගේ කතාන්දරය පටන් ගන්නේ මෙ තැන් සිට යි.
විජිතපුර විහාරයේ පැවැති ධර්ම දේශනාවක් ශ්රවණය කිරීම පිණිස එක්තරා වෙසක් පුර පසළොස්වක දිනක දී නාමල් කුමරු විජිතපුර විහාරය කරා පැමිණියේ ය. එ දින කලාවැව මාලිගයෙහි ගුප්තසේන ගේ දියණිය වූ රූමත් චිත්රා කුමරිය ද ස්වකීය දාසියන් සමඟ විජිතපුර විහාරයේ රාත්රී ධර්ම දේශනාව ශ්රවණය පිණිස පැමිණ සිටියා ය. මෙ සේ නාමල් කුමරුත්, චිත්රා කුමරියත් විජිතපුර විහාරස්ථානයේ සිටිනා’තර අහම්බෙන් මෙන් දෙදෙනා මුහුණට මුහුණ හමු විය. පළමු දර්ශනයෙන් ම දාසියන් පිරිවරා සිටින්නේ කලාවැව මාලිගයේ ගුප්තසේන ගේ දියණිය වූ චිත්රා කුමරිය බව නාමල් කුමරු අවබෝධ කරගත්තේ ඒ වන විට චිත්රා කුමරිය පිළිබඳ ඔහු අසා තිබූ නිසාවෙනුත්, උපගුප්තයන් නාමල් කුමරුගේ ළබැඳි හිතවතකු නිසාවෙනුත් විය හැකි ය. චිත්රා කුමරිය ද දාසියන් ගෙන් විමසන ලදු ව තමා දුටු කඩවසම් දේහධාරී තරුණයා නාමල්පුර නාමල් කුමරු බව දැනගත්තා ය. දෙදෙනා ම ප්රභූ වංශවත් පවුල්වල හෙයින් ඔවුනොවුන් හා කතා කිරීමට කිසිවකු ගෙන් බාධාවක් නො වී ය. නාමල් කුමරු ධර්ම දේශනාව ද ශ්රවණය කර අවසානයේ විජිතපුර විහාරයෙන් පිට වී යන්නේ චිත්රා කුමරිය විසින් ස්වකීය නිවසට නිදහස් වෙලාවක පැමිණෙන්නැ’යි කළ ආරාධනය ද පිළිගනිමිනි.
පසු දිනෙක සන්ධ්යාවේ නාමල් කුමරු කලාවැවේ චිත්රා කුමරිය ගේ මාලිගයට පැමිණි අතර, ඔහු ඉතා ගෞරවයෙන් උපගුප්තයන් විසින් පිළිගන්නා ලදි. සුළු මොහොතක අල්ලාප සල්ලාපයෙන් පසු නාමල් කුමරු යළි නාමල්පුර ස්වකීය මාලිගයට පිව ගියේ ය. මාලිගයට පැමිණි පසු ඔහු පළමුවෙන් ස්වකීය නැන්දනිය හමුවූවේ ය.
‘නැන්දණිය, කලාවැව මාලිගයෙහි උපගුප්තයන් ගේ බාල දියණිය වන චිත්රා කුමරිය විවාහ කර ගැනීමට මම කැමති යි. හැකි නම් ඇගේ දෙමව්පියන් සමඟ ඒ පිළිබඳ කතා කරන්න.” නාමල් කුමරු ස්වකීය නැන්දනියට පැවසුවේ ය.
එම ප්රකාශයෙන් කුමරු ගේ නැන්දනිය මහත් ප්රීතියට පත් වූයේ නාමල් කුමරු ද ඒ වන විට විවාහ විය යුතු වයසේ පසු වූ හෙයිනි. එ හෙයින් පසු දිනයේ ම කලාවැව මාලිගය බලා ගිය නාමල් කුමරු ගේ නැන්දනිය උපගුප්ත හා ඔහුගේ බිරිඳ හමු වී තමන් ආ පුවත සැල කර සිටියා ය. නාමල් කුමරු ගේ අදහස පිළිබඳ චිත්රා කුමරිය ගෙන් ද විමසන ලදින් කිසිදු ආකාරයක විරුද්ධත්වයක් මතු නො වී ය. ඒ අනුව නාමල්පුර මාලිගයේ නාමල් කුමරු ගේත්, කලාවැව මාලිගයෙ චිත්රා කුමරිය ගේත් විවාහය දෙමව්පිය කැමැත්ත මත තීන්දු විය. නමුත් උපගුප්ත මෙහි දී පැවසූ දෙයක් ද විය. ඒ ස්වකීය පුත් බන්දුසේන කුමරු මේ දිනවල ලක්දිව නොමැති හෙයින් ඔහු යළි පැමිණෙන තෙක් දෙදෙනා ගේ විවාහය කළ නො හැකි බව යි. ඒ කරුණ කුමරු ගේත්, ස්වකීය දියණිය ගේත් ඇසුරට බාධාවක් කොට ගතයුතු නැතැ යි ද ගුප්තසේන වැඩි දුරටත් පැවසුවේ ය. විවාහය ස්ථීර වූ හෙයින් නාමල් කුමරු ගේ නැන්දනියට ද ගුප්තසේන ගේ ප්රකාශය ගැටළුවක් වූයේ නැත.
ඉන් පසු සෑම සන්ධ්යාවක ම නාමල් කුමරුත්, චිත්රා කුමරියත් පෙම් බස් දොඩමින් කළා වැව අසල කාලය ගත කළේ ය. විටෙක දියබුං ගසමින් ජල ක්රීඩා කළ අතර ඇතැම් දිනෙක විජිතපුර විහාරයට හෝ අවුකන විහාරයට ගොස් බුද්ධ ප්රතිමා වහන්සේ වැඳ පුදා ගත්හ. දිනෙන් දින නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් ප්රේමය මෙ ලෙස වර්ධනය විය. වසරක පමණ ඇවෑමෙන් බන්ධුසේන කුමරු ලංකාවට පැමිණියේ ය.
ලක්දිවට පැමිණි ඔහු රජු හමු වී තමන් ගිය කාර්යය පිළිබඳ පවත් දන්වා කලාවැව මාලිගයට පැමිණියේ ය. නමුත් ඔහු පැමිණියේ තනි ව ම ද නො වේ. කාශ්යප රජු ගේ උප සේනාධිපති වූ මහානාග උප සේනාපති ද බන්ධුසේන සමඟ කලාවැව මාලිගයට පැමිණ සිටියේ ය. මහානාග උපසේනාධිපති බන්ධුසේන ගේ කුළුපග ම මිත්රයා විය.
බන්ධුසේන ගේ නැගණිය වූ චිත්රා කුමරිය මහානාග උප සේනාධිපති විසින් ද දැක ගන්නේ කලාවැව මාලිගයෙහි සිටි අතරවාරයේ යි. ඒ අනුව ඈ පිළිබඳ සිතක් මහානාග උප සේනාධිපති තුළ ද ඇති වූ අතර එය ස්වකීය මිත්ර බන්ධුසේනට පැවැසුවේ ය.
“මිත්රය! මගේ නැගණිය ගේ කැමැත්ත ඔබට ලබාගත හැකි නම් අප ගේ ද විරුද්ධත්වයක් නෑ.” නාමල් කුමරු හා චිත්රාවන් අතර විවාහය ස්ථීර වී ඇති බව නො දත් බන්ධුසේන සේනාපති මිතුරු මහානාගට පැවැසුවේ ය.
ඒ අනුව චිත්රා කුමරිය ගේ සිත දිනා ගැනීමට මහානාග උප සේනාධිපති උත්සාහ කළත්, එය කිසිදු ලෙසකින් කරගත හැකි වූ දෙයක් ද නො වී ය. චිත්රාවන් සැබැවින් ම මහානාග උප සේනාධිපති දැකීම ද පිළිකුල් කළා ය. ඒ වන විටත් ඇගේ සිතෙහි වූ එක ම පුරුෂයා නාමල් කුමරු පමණක් ම වූ හෙයිනි. බන්ධුසේන හා මහානාග උප සේනාධිපති දිනක් කලාවැවේ වෑ කන්ද උඩින් ගමන් කරමින් සිටියහ. නාමල් කුමරුත්, චිත්රා කුමරියත් වෑ කන්ද පාමුල ගල්තලාවක් මත වාඩි වී පෙම්බස් දොඩමින් සිටින ආකාරය බන්ධුසේන කුමරුත්, මහානාග උප සේනාධිපතිත් දුටු අතර තම සිත ගත් තරුණිය වෙනත් පුරුෂයකු සමඟ පෙමින් වෙලී සිටීම මහානාගට ඉවසුම් නො දෙන්නක් විය. කෝපයෙන් තතනමින් අසු පිටින් පැන ගත් මහානාග, නාමල් කුමරුත්, චිත්රා කුමරියත් අසලට ගියේ ය.
‘නීච පුරුෂය! තා කවරෙක් ද? මේ කාන්තාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට තොපට කොහෙන් ආ ශක්තියක් ද?’ මහානාග කෝපයෙන් ප්රශ්න කර සිටියේ ය.
‘එම්බල සෙන්පතිය! මා මෑ සමඟ පිළිසඳරේ යෙදෙන්නේ ඇගේ අවසරය මත යි. එය ප්රශ්න කිරීමට තොපට ඇති අයිතිය කුමක් ද?’ නාමල් කුමරු ද පෙරලා වදන් දුන්නේ ය.
‘දුෂ්ට පුරුෂය! තට මෑ දිනා ගැනීමට අවශ්ය නම් මා සමඟ ද්වන්ධ කඩු හරඹයක් කර මා පරදවා මෑ සතු කර ගනුව!’ යැ යි මහානාග උප සේනාධිපති ගුගුලේ ය.
‘තා වැනි පුරුෂයන් සමඟ කඩු හරඹයේ යෙදීමත් මට නින්දාවක්. නමුත් තගේ අභියෝගය මම භාර ගනිමි. හැකි නම් මා පරාජය කරව!’ අභියෝගය භාර ගනිමින් නාමල් කුමරු ද ප්රති උත්තර දුන්නේ ය.
නාමල් කුමරු ගේ මේ වදන් බන්ධුසේනට මහත් පුදුමයක් විය. ඔහු මේ ද්වන්ධ සටනක යෙදෙන්නේ අන් කවරකු සමඟ වත් නො ව, මහ රජු ගේ උප සේනාධිපති සමඟ ය. හැරත් මහානාග යනු කෙ තරම් දක්ෂ යුදුවෙක් දැ’ යි බන්දුසේන හොඳින් ම දැන සිටියේ ය. එ හෙයින් කෙසේ හෝ මේ සටන වැළැක්විය යුතු යැ යි සිතා උත්සාහ කළ ද දෙදෙනා ගේ සිත් වෙනස් කිරීමට බන්දුසේනට නො හැකි විය. ඒ අනුව මහානාග උප සේනාධිපති ගේත්, නාමල්පුර නාමල් කුමරු ගේත් ද්වන්ධ කඩු සටන නීත්යානුකූල ව සිදු කිරීමට අවශ්ය කටයුතු සම්පාදනය කර ගිවිසුම් පත්රයකට අත්සන් තබා ගැනීම ද සිදු විය. මේ සම්බන්ධයෙන් කණ වැකුණු උපගුප්ත, බන්දුසේනට නො සෑහෙන්න බැණ වැදුනේ ය. නමුත් ඒ වන විටත් හේ නාමල් කුමරුත්, චිත්රා කුමරියත් අතර ඇති සම්බන්ධය පිළිබඳ කිසිවක් නො දැන සිටි හෙයින් ඔහුට නිදහසට කාරණයක් ද තිබුණි.
කාලය ගත විය. ද්වන්ධ සටන ආරම්භ කිරීමට දින පැමිණියේ ය. බන්දුසේන ඇතුළු කලාවැවේ උපමාලිගයේ පිරිසත්, ආරංචිය කණ වැකුණු බොහෝ පිරිසකුත්, නාමල්පුර මාලිගයේ පිරිසත් මහානාග උප සේනාධිපති හා නාමල් කුමරු අතර වන ද්වන්ධ සටන බැලීම පිණිස පැමිණ සිටියහ. විධි වූ පරිද්දෙන් සටන ආරම්භ විය. මහානාග විසින් එල්ල කරන සියළු කඩු පහරවල් නැවැත්වීමට නාමල් කුමරුට හැකි වූ අතර නාමල් කුමරු ගේ ප්රහාර වැළැක්වීම ද මහානාග පහසුවෙන් කළේ ය. එ හෙයින් ස්වකීය ප්රතිවාදියා තමා සිතූ තරම් දුර්වලයකු නො වන බව දෙදෙනාට ම වැටහුණෙන් තමන් ගේ ගුරුවරුන් විසින් කියා දුන් ප්රබල ශිල්පීය ක්රමවේද පාවිච්චි කරමින් දෙදෙනා ම සටන් කරන්නට විය. රැස් ව හුන් පිරිස මහත් බියකින් යුතු ව බලා සිටි අතර චිත්රා කුමරිය කඳුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටියා ය. නමුත් නාමල් කුමරු ගේ ප්රබල ප්රහාර හමුවේ මහානාග උප සේනාධිපති එන්න එන්නම දුර්වල විය. ඉහලට පනිමින් නාමල් කුමරු විසින් මහානාග උප සේනාධිපති ගේ හිස මතට එල්ල කළ මාරක කඩු පහරකින් මහානාග ගේ හිස දෙපළු වී මැරී වැටුණේ ය. සටනින් නාමල් කුමරුට ජය අත් විය. රැස් ව සිටි පිරිසෙන් ප්රීති ඝෝෂා නැඟුණ අතර චිත්රා කුමරිය සැනසුම් සුසුම් හෙළුවේ ය. උපගුප්ත හා නාමල්පුර මාලිගයේ පිරිස නාමල් කුමරු ගේ සටන් හැකියාව පිළිබඳ අතිශය ආඩම්බරයට පත් විය.
නමුත් මේ සිදුවීම තරමක පීඩාවක් වී තිබුණේ බන්ධුසේනට ය. මන්ද යත් නාමල් කුමරු විසින් මරා දමන ලද්දේ මහ රජුගේ උප සේනාධිපති වූ බැවිනි. එ හෙයින් තමන් සමඟ පැමිණි මහානාග ගේ මරණය සම්බන්ධ සම්පූර්ණ වගකීම ද තමාට භාර ගැනීමට සිදුවන බව බන්දුසේන දැන සිටියේ ය. ඒ අනුව වහ වහා මහානාග ගේ අවසන් කටයුතු සිදු කළ බන්දුසේන, සීගිරියට ගොස් සියලු පවත් මහ රජුට දන්වා මහානාග හා නාමල් කුමරු විසින් සටන් කරන ලද්දේ දෙදෙනා ගේ එකඟාවය මත බවත්, එය නීත්යානුකූල බවත්, ඔවුහු අත්සන් කරන ලද එකඟතා පත්රය පෙන්වමින් කියා සිටියේ ය. බන්ධුසේන විසින් කී විස්තර ඇසූ කාශ්යප රජු, නාමල් කුමරු ව වහා ම රජ මාලිගයට ගෙන්වන ලෙස නියෝග කළේ ය. නියෝග වූ පරිදි නාමල් කුමරු ද රජු ඉදිරියේ පෙනී සිටියේ ය.
‘දරුව! තොප මාගේ දක්ෂ උප සේනාධිපති පරාජයට පත් කළේ ය. තොප වැනි ශූරයෙක් මෙ තෙක් කල් සිටි බව වත් මා දැන නො සිටියෙමි. තොප වැනි දක්ෂයින් අප ඇසුරෙන් ඈත් කිරීමට අප ගේ මනාපයක් නැත. එ හෙයින් මහානාග ගෙන් හිස් වූ උප සේනාධිපති පදවිය භාර ගැනීමට තොප කැමැති ද?’ නො සිතූ මොහොතක කාශ්යප රජු විසින් කළ ඉල්ලීම නාමල් කුමරු පිළිගත්තේ ය. ඒ අනුව ලංකා රාජ්යයෙහි උප ප්රධාන සේනාධිපති තනතුර ලැබූ නාමල් කුමරු එවක් පටන් නාමල් උප සේනාධිපති වශයෙන් හඳුන්වන්නට විය.
රජ මාලිගයේ සිදුවූ පුවත් ඇසූ නාමල්පුර හා කළා වැවේ ප්රභූහු අතිශය ප්රීතියට පත් විය. ඒ අනුව ඉතිරි ව ඇත්තේ නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් විවාහ මංගල්යය පමණි. දෙපාර්ශ්වයේ වැඩිහිටියන් විසින් වෙසක් මස සුබ දිනයක් හා වේලාවක් බලා හැකි ඉක්මනින් එය ද සිදු කළ අතර නාමල් උප ප්රධාන සේනාධිපතිත්, කලා වැව මාලිගයේ චිත්රා කුමරියත් අතිනත ගත්හ.
මෙසේ ප්රීතිමත් විවාහ ජීවිතයකට පා තැබූ ඔවුන් දෙදෙනා කලා වැව මාලිගයේ වාසය කිරීමට වැඩි කැමැත්තක් දැක්වූහ. ඔවුහු විවාහ වී සිව් මසක් පමණ ඉක්මී නිකිණි මාසය එළැඹුනේ ය. නිකිණි මස අන්තිම දී නිකිණි වැස්ස නමින් හඳුන්වන මහා මේඝය දින කීපයක් තිස්සේ නො නැවතී ඇද හැලුනේ ය. මේ වර්ෂාව හේතුවෙන් ඒ වන විට නාමල් උප සේනාධිපතිත්, චිත්රා කුමරියත් වාසය කළ මාලිගය අසල තිබූ කලා වැවට ද මහා ජලස්කන්ධයක් ඇදී ආවේ ය. කලා වැවට එක් වන ජල ප්රමාණය වැඩි වෙත් ම, ජල පැන්නුමෙන් ජලය පිටවන්නට ද පටන් ගත්තේ ය (එ කල ජල පැන්නුම අදට වඩා අඩි 10 ක් පමණ උස් වූ බව පැවැසේ). ජල පැන්නුමෙන් ජලය පිටවීම බලා සිටීමට සිත් ගන්නා දර්ශනීය අවස්ථාවකි.
වර්ෂාව නැවැතිණි. වේගයෙන් සුළං හමන්නට විය. ජල පැන්නුමෙන් පිටවන විශාල ජලස්කන්ධය නැවැතුණේ ද නැත. ජල පැන්නුමෙන් පිට වන ජලය බැලීමේ තදබල ආශාවක් චිත්රා කුමරිය ගේ සිතේ ද ඇති විය. ඒ අනුව නාමල් උප සේනාධිපති ගේ අතේ වෙළුණු චිත්රා කුමරිය ජල පැන්නුමෙන් ජලය පිට වී ගලා යන ආකාරයත්, එහි වේගයත් නැරැඹීම පිණිස ජල පැන්නුම අසලට ම පැමිණියා ය. නමුත් සිදුවූයේ කවුරුත් නො සිතූ දෙයකි. ඒ අවස්ථාවේ දී වේගයෙන් හමා ගිය තද සුළං පහරකට ඔවුන් මැදි විය. සුළං පහරේ වේගයට චිත්රා කුමරිය වීසි වී ගොස් ජල පැන්නුමෙන් පහළට ඇද වැටුණේ ය. ඇය බේරා ගැනීමට නාමල් කුමරු ද වැව් දියට පැන්නේ ය. පිහිනීමෙහි දක්ෂයකු වූ නාමල් සේනාධිපති, වැවට පැන චිත්රා කුමරිය ඔසවා සිය පිට මත තබා ගත්ත ද, ජල පැන්නුමෙන් පිට වන සැඩ පහරේ වේගය නිසා ඔහුට තව දුරටත් පිහිනා යෑම අතිශය දුෂ්කර කටයුත්තක් විය. පැන්නුමෙන් ජලය පිට වන විට, පැන්නුමේ සිට තරමක දුරක පටන් ම ජල කඳ වේගයෙන් ඇදී ඒම සිදුවෙයි. ජලය පැන්නුමට ලංවත් ම එහි වේගය තව තවත් වැඩි වන අතර, ඇතෙකුට වුවත් ඒ වේගය මෙල්ල කළ නො හැකිලු. එ වැනි දිය පහරක වේගය හා සටන් කිරීමට නාමල් කුමරුට ද හැකියාවක් නො වී ය. නාමල් කුමරුත්, චිත්රා කුමරියත් වේගයෙන් පැන්නුම කරා ඇදී එන්නට විය. කෙ තරම් උත්සාහ කළත් බේරීමට නො හැකි බව දත් නාමල් කුමරු සිය බිරිඳ වූ චිත්රා කුමරිය තදින් වැළැඳ ගත්තේ තමා ගේත්, චිත්රා ගේත් ජීවිත බේරා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව අවබෝධ වූ නිසාවෙනි. වේගයෙන් පැන්නුම කරා සැඩ දිය පහරත් සමඟ ඇදී ආ නාමල් කුමරුත්, චිත්රා කුමරියත් පැන්නුමෙන් පහළට ඇද වැටී නො පෙනී ගියහ.
සිදු වූ ඛේදවාචකය කල් නො යා ම ගුප්තසේනට ද සැල විය. ඒ අනුව පසු දින ජල පැන්නුමේ ජලය පිට වන වේගය අඩු වූ පසු කළ සොයා බැලීම්වල දී, ජල පැන්නුමෙන් පිටවන ජලය ගෙන යන ජල මාර්ගයේ ගව්වක පමණ දුරින් නාමල් කුමරුත්, චිත්රා කුමරියත් එකිනෙකා වැළඳගෙන සිටි ආකාරයෙන් ම මියගොස් සිටියදී හමු විය.
දෙදෙනා ගේ අවමංගල්ය උත්සවය හා සිදු වූ සංවේගජනක පුවත කාශ්යප රජු ගේ දියණියන් දෙදෙනා වූ බෝධි හා උත්පලවණ්ණා යන කුමාරියන්ටත්, මහ රජුටත් සැල විය. එ හෙයින් ඔවුන් දෙදෙනා හා මහ රජතුමා ද මේ අවමංගල්ය උත්සවයට පැමිණියහ. නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් දේහයන් එක ම දෙනක බහා ආදාහනය කරන ලදි.
නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් මේ ප්රේම වෘත්තාන්තය හා අනුවේදනීය කතා පුවත කාශ්යප රජු ගේ වැඩිමල් කුමරිය වූ ‘බෝධි’ කුමරිය ගේ සිතින් තුරන් වූයේ නැත. ඒ කාශ්යප රජු විසින් ඉසුරුමුණිය නවකම් කරන කාලය යි. එම නවකම් පිණිස ඇගේ අධීක්ෂණ සහය ද කාශ්යප රජුට ලැබුණි. දක්ෂ ගල් කැටයම් ශිල්පිනියක වූ බෝධි කුමරිය ගේ සිතට නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් අනුවේදනීය වෘත්තාන්තය සිහියට නැඟෙන්නේ මේ අතරවාරයේ ය. ඔවුන් දෙදෙනා සදාකල් අනුස්මරණීය කිරීමට සිතාගත් බෝධි කුමරිය, ඉසුරුමුණියේ එක් කල්කඩක නාමල් කුමරුත්, චිත්රා කුමරියත් පෙමින් වෙලී සිටින ආකාරය සියතින් ම කැටයම් කළා ය. අද අප වර්තමානයේ ඉසුරුමුනි පෙම් යුවල වශයෙන් හඳුන්වන්නේ බෝධි කුමරිය විසින් කැටයම් කරන ලද නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් රූප සටහන් බව ජනප්රවාදය පවස යි.
කාශ්යප රජු විසින් ඉසුරුමුණිය නවකම් කර ස්වකීය දියණියන් දෙදෙනා ගේ නම් ද යොදා ඉසුරුමුණි විහාරය යළි ‘ඉසිරමෙනු බෝ උපුල්වන් කසුප්ගිරි රිද් මහ වෙහෙර්’ යනුවෙන් නම් කළ බව මූලාශ්රයවලින් කියැවෙයි. කෙසේ නමුත් නාමල් කුමරු ගේත්, චිත්රා කුමරිය ගේත් භූතාත්ම අදත් කලා වැව ආශ්රිත ව සැරිසරන බවත්, ඇතැම් දිනවල රාත්රියේ දියබුං ගසමින් සිනා සෙමින් ස්නානය කරන යුවලක ගේ ශබ්දයක් ඇසෙන බවත්, තවත් විටෙක මධ්යම රාත්රියේ පැරැණි දිය පැන්නුම අසල ශෝකාකූල කෑ ගැසීමක් ඇසෙන බවත් ඇතැම්හු පවසති. කෙසේ හෝ භූතාත්ම බවට පත් වූ නාමල් කුමරු හා චිත්රා කුමරියත්, ඉසුරුමුණියේ පෙම් යුවලත් අදටත් අපට සිතා ගැනීමට නො හැකි බොහෝ දේ ඉතිරි කොට ගොස් ඇති බව නම් නො රහසකි.
පසු සටහන:
මේ කථාව විවිධාකාර වෙනස්කම් සහිත ව විවිධ මූලාශ්රයවල තිබිය හැක. මේ කථාව මතකයෙන් පවසන ඇතැමෙක් මීට තරමක් වෙනස් ව ද මෙය පැවැසිය හැක. ජනප්රවාදයක ස්වභාවය එය යි.
මේ කථාව සැලැකිය යුතු පිටු ප්රමාණයකින් යුක්ත ව ඩී. පී. වික්රමසිංහ ගේ “මග දිගට ජනකතා – 2” කෘතියේ (24 වැනි කතාව) එයි. “නාමල් කුමාරයා හා නාමල් කුමරිය” යනුවෙන් නම් කර ඇති ප්රස්තුත කථාව අවසානයේ වික්රම සිංහල මෙ බඳු සටහනක් තබා ඇත.
“මීට අවුරුදු හතළිහකට පමණ පෙර එවකට පනස් ඇවිරිදි පමණ වයසේ වූ නෑගම් පහ කෝරළේ ඉහළගම නමැති ගමෙහි පදිංචි ව සිටි වෙදමහතෙක් තමා තරුණ කාලයේ දිනක මධ්යම රාත්රියේ කැකිරාවේ සිට වෑකන්දෙන් එන අතර ඉහත කී දියබුං ගසන හා සිනාසෙන හඬ තමාට ඇසුණු බව අප සමඟ කීවේ ය. එමෙන් ම මේ ශෘංගාර, භයානක, කරුණා, ශෝක ආදි රසයන්ගෙන් යුත් මේ මුඛපරම්පරා කතාව අප වෙත කියන ලද්දේ ඒ වෙදමහතා විසිනි.”
එසේ ම දිවයින පුවත්පතේ පළ වූ “මණ්ඩිලම් මඩුව” (මීවිත) ලිපි පෙළ සඳහා මීට වසර කීපයකට පෙර මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මහතා විසින් ද “ඉසුරුමුණි පෙම් කතා” යනුවෙන් නාමල් කුමරු ගේ හා චිත්රා කුමරිය ගේ කතාව ලියා යවා තිබුණි (මා විසින් සටහන් කළ කතාව හා සැසැඳූ කල ඉලංගසිංහ මහතා ලියා යැවූ කථාවේ සුලු සුලු වෙනස්කම් දැකිය හැකි විය). එසේ ම ඉලංගසිංහ මහතා විසින් ලියා යැවූ කතාවේ කවි කීපයක් ද විය. එහි වූ එක් කවියකි පහත සටහන් කර ඇත්තේ.
තාන්ගු දීලා දියරැලි නැගිලා
කලා බළලු වැව නලියන් නේ
වාන් දමාලා පෙන මල් පිපිලා
කවුරුද මේ රඟ නොබලන් නේ
තීන්දු ඉරණම චිත්රා කහමල
සුළං කැරැල්ලට ඇද වැටු නේ
වාන් ඇළට පැන කුමරිය ගන්නට
නාමල් කුමරුන් දිවිදුන් නේ
නාමල් කුමරු පිළිබඳ වෙනස් ම ආකාරයේ කථාවක් බ්රෝහියර් සටහන් කර ඇත. එය කලා වැව සමීපයේ තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සංචාරක නිවහනේ රැයක් ගත කරන විට ඔහුට අසන්නට ලැබුණු ජනකතාවක් බව පෙනේ.
බ්රෝහියර් පවසන පරිදි රන් පිළිමයක් සේ සුන්දර දරුවකු වශයෙන් උපන් නාමල් කුමරු පසු ව භීෂණය ගෙන දෙන යක්ෂයකු බවට පත් විය. අවතාර දේවතා, සපුමල් දේවතා හා මිනීමරු යක්ෂයා පිරිවරා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ඔහු එක් අවස්ථාවක කලා වැව අසලින් යන විට වැවේ දිය නාමින් සිටි සුන්දර තරුණියක් දුටුවේ ය. ඇය ව විවාහ කර ගැනීමට සිත් පහළ වූ නාමල් කුමරු (යක්ෂයා) තරුණිය මෝහනය කර මරා දමා, (මනුෂ්ය දුවක් විවාහ කර ගැනීම යක්ෂයෙකුට කළ නො හැක්කක් නිසා) භූතාත්මයක් බවට පත් කොට ඇය හා විවාහ විය. ඉඳහිට ඔවුන් මුලින් තමන් හමු වූ ස්ථානයට පැමිණෙන බවත්, ජල ක්රීඩා කරමින්, සිනාසෙමින් කල් ගත කරන බවත් බ්රෝහියර් විසින් සටහන් කර ඇත.
[මෙය හුදු ජනප්රවාදයක් පමණි. ඉතිහාසඥයින්, පුරාවිද්යාඥයින් මේ කැටයමට දෙන අර්ථකථන සමඟ මෙය පටලවා ගැනීම හෝ ඒත් සමඟ මෙය සැසැඳීම සිදු නො කරන මෙන් ඉල්ලමි.]