වර්ෂ 1898 දී පමණ එ වකට ඉඩම් හිමියකු වූ එන්. වී. පෙප්පේ විසින් ලුම්බිණියේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරින්, ඉන්දියානු දේශ සීමාවේ (ඉන්දියාව දෙසට පිහිටි) ‘පිප්රාවා’ නමැති ග්රාමයේ තිබූ ස්තූපයක් යැ යි සැක කළ හැකි ගොඩැල්ලක් හරි මැදින් පහළට හෑරීමට පටන් ගත්තේ ය. එය අඩි පහළොවක් පමණ ගැඹුරට හෑරූ ඔහුට හමුවූයේ සැලැකියයුතු බරක් සහිත, තරමක වැලිගල් පෙට්ටියකි. එහි පියන විවර කළ පෙප්පේට දැක ගත හැකි වූයේ කුඩා පළිඟු කරඬුවක්, ගල් කරඬුවක්, මල් බඳුනක් හා තවත් නිදන් වස්තු කීපයකි.
ගල් පෙට්ටියෙන් හමු වූ කරඬුවල පැවැතියේ බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු, උන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වූ ධාතු කොටස් ය. එසේ ම එහි සෙ. මී. 15ක් පමණ උස දෙවැනි ගල් කරඬුවේ අකුරු කොටා තිබූ අතර, පහත සඳහන් ආකාරයේ වැකියක් විය.
‘ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානං සුකිතිභතානං සභගිනිකානං සපුත දලන’
(මේ ධාතු නිධානය භාග්යවත් බුදුන් ගේ භක්ත වූ සහෝදර සහෝදරියන්, අඹුදරුවන් සහිත වූ ශාක්යයන් ගේ යහපත් කෘතියක් ය)
කපිලවස්තුව හා ඒ අවට පැරැණි ස්ථාන හාරා බලා පූර්ණචන්ද්ර මුඛර්ජි ලියූ අංගසම්පූර්ණ වාර්තාවට හැඳින්වීමක් සපයන වින්සන්ට් ස්මිත් ගේ අදහස වන්නේ මේ වනාහි කපිලවස්තුවේ ශාක්ය රජදරුවන්ට අයත් වූ බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතු කොටස බව යි.
පෙප්පේ ගේ මේ සොයාගැනීම ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් විය. බොහෝ කාලයක පටන් ඉන්දියාව පිළිබඳ සොයා බැලීම් කළ පුරාවිද්යාඥයින්ට නො නිමි හිසරදයක් ව තිබුණු බුද්ධකාලීන කපිලවස්තුව පිහිටියේ කවර ප්රදේශයක ද යන ගැටළුව මේ සොයා ගැනීමත් සමඟ විසඳීම ඊට හේතුව යි.
වර්ෂ 1973 පමණ සිට ඉදිරියට පිප්රාවාහි සිදු වූ කැණීම් අතිශයින් සුවිශේෂී වූ ඒවා විය. මේ කැණීම්වල සුවිශේෂී මැදිහත්කරුවා වූයේ කේ. ඇම්. ශ්රීවාස්තව යි. ඔහු මැටියෙන් කළ මුද්රා හතලිහක් පමණ මේ කැණීම්වලින් සොයාගත් අතර, මෙසේ හමු වූ ඇතැම් මුද්රාවල ‘ඕම් දේවපුත්ර විහාරේ කපිලවස්තු භික්ෂුසංඝස’ යනුවෙනුත්, ඇතැම් මුද්රාවල ‘මහා කපිලවස්තු භික්ෂුසංඝස’ යනුවෙනුත් සටහන් ව තිබුණි.