ගුත්තිල කාව්‍යය ගැන-ශකිල රාජකරුණා

අහන්න
ගුත්තිල කාව්යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණාලු. ඒ කතාව ජනප්රවාදයේ තියෙන කතාවක්.
වෑත්තෑවේ හාමුදුරුවො කියන්නෙ තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක්. වෑත්තෑවේ හිමියන් ගෙ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා දකුණු පළාතේ වෑවැත්තෑව කියන ගම උන්වහන්සේ ගෙ උපන් ගම කියලා. උතුරු පළාතේ වෑත්තෑගම උන් වහන්සේ උපන් ගම බවටත්, මාවත්ත නමින් හඳුන්වන ගම උන්වහන්සේ ගෙ සැබෑ උපන් ගම බවටත් තවත් විවිධ පිරිස් අදහස් මතු කරලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් පිළිගන්න මතය වෙන්නෙ සත් කෝරළේ පහළ දොළොස් පත්තුවට අයිති දඹදෙණිය ළඟ තියෙන වෑත්තෑව කියන ගම මේ හිමියන් ගෙ උපන් ගම කියන එක. ඒ අදහසේ ඇත්තක් තියෙන බව පෞද්ගලික ව මගෙත් විශ්වාසය. ඒ වගේ ම උන් වහන්සේ ගේ ගිහි කාලයෙ නම ගැනත් ජනප්රවාදවල සඳහන් වෙලා තියෙනවා. සමහර ජනප්රවාද සඳහන් කරන්නෙ වෑත්තෑවෙ හිමියන් ගෙ ගිහි නම ‘දුග්ගන්නාවෙ අප්පුහාමි’ කියලා.
කොහොම නමුත් තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ළඟ පැවිදි වෙන දුග්ගන්නාවේ අප්පුහාමි ‘වෑත්තෑවේ හාමුදුරුවො’ කියන නමින් ප්රසිද්ධ වෙනවා. උන් වහන්සේ කවියට බොහොම දක්ෂයෙක්. තොටගමුවේ රාහුල හිමියන් ගෙ ආභාසයත් වෑත්තෑවෙ හිමියන්ට ලැබෙන්න ඇති. රාහුල හිමියනුත්, වෑත්තෑවේ හිමියනුත් එක ම විහාරයේ වාසය කරපු කාලයේ සිද්ධවුණු එක් සිද්ධියක් ගැන අපූරු විස්තරයක් ජනකතාවක සඳහන් වෙනවා.
තොටගමුවේ හිමියන් ගෙ කාමරයට අල්ලපු කාමරය තමා වෑත්තෑවේ හිමියන් ගෙ කාමරය වෙලා තිබුණෙ. ඒ නිසා රාහුල හිමි කී ඕනෑ ම දෙයක් වෑත්තෑවේ හිමියන්ටත්, වෑත්තෑවේ හිමි කී ඕනෑ ම දෙයක් රාහුල හිමියන්ටත් හොඳින් ඇහුනා.
එක දවසක්, පාන්දර වෙලාවක තොටගමුවේ හිමියන්ට තදබල දත් කැක්කුමක් හැදුණා. වේදනාව දරාගෙන පහුවදා එළිය වැටෙනකම් රාහුල හිමියන්ට බලාගෙන ඉන්න සිද්ධ වුණා. පසු දින පහන් වන තුරු වේදනාව දරාගෙන හිටියත්, අවශ්ය තරම් ඉක්මනින් සූර්යයා නැගී එන්නෙ නැති බව තොටගමුවේ හිමියන්ට වැටහුණා. තමන් ගෙ සයනයේ සැතැපීගෙන ම උන් වහන්සේ මේ විදියට කවියක් කියන්න ගත්තා.
චාරිය පදින රථ ඇණ ඉගිළුණෙන් දෝ
වාරිය පණිඳු මඟ රැකවල් කෙළෙන් දෝ
මේරිය වට ම දෙවරක් කරකැවෙන් දෝ
සූරිය තව උදා නූනේ එයින් දෝ
තොටගමුවෙ රාහුල හිමියන් ගෙ කවිය, එහා කාමරයේ සැතැපිලා හිටපු වෑත්තෑවේ හිමියන්ට ඇහුණා. උන් වහන්සේ තමන් ගෙ ගුරු හාමුදුරුවන් ගෙ කවියට කවියකින් ම පිළිතුරු දුන්නා.
චාරිය පදින රථ ඇණ ඉගිළුණෙත් නැත
වාරිය පණිඳු මඟ රැකවල් කළෙත් නැත
මේරිය වට ම දෙවරක් කැරකුනෙත් නැත
සූරිය උදා වෙන්නට තව පැයක් ඇත
කොහොම නමුත් කාලයක් ගත වෙද්දි වෑත්තෑවෙ හාමුදුරුවොත්, රාහුල හාමුදුරුවොත් අතර යම් යම් අමනාපකම් ඇති වෙන්න පටන් ගත්තා. සමහරු කියන විදියට වෑත්තෑවේ හිමියන් ගෙ කවීත්වය රාහුල හාමුදුරුවො ඒ තරම් ඉවසුවෙ නැතිලු. මම පෞද්ගලික ව විශ්වාස කරන්නෙ ඒකට හේතුව වෙන කාරණාවක් කියන එක. වෑත්තෑවේ හාමුදුරුවො දක්ෂ කවියෙක් බව ඇත්ත. නමුත් රාහුල හාමුදුරුවො ඊට වඩා කවීත්වයක් තිබුණු කෙනෙක් බව යි මගෙ අදහස. හැරත් ඇත්තට ම වෑත්තෑවෙ හාමුදුරුවො සහ රාහුල හාමුදුරුවො අතර විරසකයක් ඇති වුණා ද කියන කාරණාව තහවුරු කරගන්න තරම් ප්රමාණවත් සාධකත් අපිට නැහැ. තියෙන එක ම සාධකය ජනප්රවාදය විතර යි. ඉතිහාසය ඉගෙන ගද්දි ජනප්රවාදය කියන්නෙ විශාල බලපෑමක් කරන්න පුළුවන් විදියෙ දෙයක් නෙවෙ යි.
ජනප්රවාදය කියන විදියට වෑත්තෑවේ හිමිත්, රාහුල හිමිත් අතර විරසකයක් ඇති වුණා. රාහුල හාමුදුරුවන්ට අවශ්ය වුණා වෑත්තෑවේ හාමුදුරුවන් ව කොහොම හරි විහාරයෙන් පිට කරන්න. උන් වහන්සේ ඒකට උපක්රමයක් කල්පනා කළා. ඒ, දවල් දානය වෙලාවෙ වෑත්තෑවේ හිමියන් ගෙ දන් පාත්රයේ තුන් පළකට පළා බෙදීමෙන්. මේ විදියට පළා බෙදපු එකෙන් අදහස් කළේ ‘පල පල පල’ කියන කාරණාවලු. මේ සිද්ධියෙන් බොහොම අපහසුතාවයට පත් වුණා වෑත්තෑවේ හාමුදුරුවො. එක පාර ම ගුරුවරයා ගෙන් වෙන් වෙලා ගියොත් ගුරුවරයාට විරුද්ධ වීම නිසා තමන් ලෝකාපවාදයට ලක් වෙන බව උන් වහන්සේ තේරුම් ගත්තා. ඒ ගැන කල්පනා කර කර ඉද්දි තම යි වෑත්තෑවේ හාමුදුරුවො එක්ක හිතවත් ‘සලාවත ජයපාල’ කියන ඇමතිවරයා ඇවිත් ජාතක කතාවක් කවියෙන් රචනා කරන්න කියලා ආරාධනා කරන්නෙ.
මේ ආරාධනාව වෑත්තෑවෙ හාමුදුරුවො භාර ගත්තා. උන් වහන්සේ කවියට නඟන්න තෝරගත්ත ජාතක කථාව තමා ‘ගුත්තිල ජාතකය’. මූසිල, ගුත්තිල ආචාර්යවරයාට විරුද්ධ වුණා වගේ තමන් ගුරුවරයාට විරුද්ධ වෙන්නෙ නැති බව වක්ර ව මතු කරන එකත් සමහර විට වෑත්තෑවේ හාමුදුරුවන් ගෙ අරමුණක් වෙන්න ඇති. ගුරුවරයාට ද්රෝහි නො වී පිටවෙන්න වෑත්තෑවේ හාමුදුරුවන්ට අවශ්ය වුණා. උන් වහන්සේ ඒ කාරණාව සිද්ධ කරගන්න ගුත්තිල ජාතකය අපූරු විදියට පාවිච්චි කළා. මේකෙ දි මතක තියාගන්න ඕනෙ තවත් කාරණාවක් තියෙනවා. වෑත්තෑවේ හාමුදුරුවො ගුත්තිල කාව්යය රචනා කරපු බව ඒ පොතේ සඳහන් වෙන්නෙ නැහැ. මම දන්න තරමින් වෙනත් පැරැණි පොතකත් නෑ. ගුත්තිල කාව්යය ලීවෙ වෑත්තෑවේ හාමුදුරුවො කියන එකත් මුඛපරම්පරාගත කතාවක් විතර යි. පොදුවේ පිළිගන්න මතයට වැඩි වාසිය දෙමිනු යි මමත් ගුත්තිල කාව්යය වෑත්තෑවේ හාමුදුරුවො ලීවා කියන කාරණාව සටහන් කරන්නෙ.
කොහොමහරි ගුත්තිල කාව්යය ලියද්දි කවි පොතේ පළවෙනි කවිය ම උන් වහන්සේ රචනා කරන්නෙ වායු ගණයෙන්. වායු ගණය සකස් වෙලා තියෙන්නෙ වචනෙ මුල ලඝු දෙකකින් සහ අග ගුරු එකකින්. පැරැණි පොත්වල වායු ගණය ගැන කියද්දි ‘වායු ගණය සනි හිමි වෙයි – දේස යව යි ස ගණේ’ ආදි වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ‘ස ගණය’ කියලා හඳුන්වන්නෙත් ‘වායු ගණය’ ම තම යි. වායු ගණය මූලික කරගෙන කවියක් නිර්මාණය කළොත් ලැබෙන ප්රතිඵලය තමා රට හැර යන්න සිද්ධ වෙන එක. උන් වහන්සෙ ගුත්තිලය පටන් ගන්නෙ වායු ගණයෙන්.
සියපින් සිරින් ස රු
දෙතිස් ලකුණින් විසිතු රු
කෙළෙසුන් කෙරෙන් දු රු
වඳිම් මුනි උතුමන් තිලෝගු රු
කොහොම හරි රචනා කරලා අවසන් වුණ ගුත්තිල කාව්යය ග්රන්ථය තොටගමුවේ රාහුල හාමුදුරුවන්ටත් දැක ගන්න ලැබුණලු. ග්රන්ථයේ ආරම්භක කවිය දැකපු ගමං ම උන්වහන්සේ ‘මේ වැත්තේ ඒ වැත්තේ නැව් නඟිද් ද?’ කියලා ප්රශ්න කරපු බවත් සඳහන්. වෑත්තෑවේ හාමුදුරුවන් ගෙ අරමුණේ විදියට ම ගුත්තිල කාව්යය නිසා උන් වහන්සේට රට අතෑරලා යන්න සිද්ධ වෙලා තියෙනවා. ලංකාවෙන් පිටවෙලා ගිහින් කාලයකට පස්සෙ උන් වහන්සේ නැවැත ලංකාවට එන්නෙ තව දුරටත් භික්ෂුන් වහන්සේ නමක් විදියට නෙවෙ යි. උපැවිදි වෙලා ගිහියෙක් විදියට යි ලංකාවට එන්නෙ. ලංකාවට ආවට පස්සෙ මෙතුමා ‘වහල පට බැඳි මුදියන්සේ’ කියන නමින් සහ ‘කොට්ටල්බද්දේ දිසාපති ධූරයෙන්’ පිදුම් ලබපු බවත් සඳහන්.
ඒ තම යි ගුත්තිල කාව්යය ගැන ජනප්රවාදයේ එන කතාව. කවි පොතක් විදියට ගත්ත ම ගුත්තිල කාව්යය කියන්නෙ බොහොම අපූරු පොතක්. ඒ ඒ අවස්ථාවලට ගැලැපෙන විදියෙ විචිත්රවත් විරිත් භාවිත කරන්න වෑත්තෑවේ හාමුදුරුවන්ට විශිෂ්ට හැකියාවක් තිබිලා තියෙනවා. බොහෝ කවි අතිශයින් සරළ නමුත් රසවත් ඒවා. ගුත්තිලයෙ සමහර කවි ගම්වල ජීවත් වෙන සාමාන්ය ගැමියො අතරෙත් ප්රසිද්ධියට පත් වුණු අවස්ථා අහන්න දකින්න ලැබිලා තියෙනවා. පහළින් සටහන් කරන කවි දෙක උදාහරණ.
උගත සිප් සොඳ සේ
සිටිය බලවත් වය සේ
මට මහළු වය සේ
බැරිය වෙණ ගායනා පෙර සේ
අඳ මව්පිය දෙදෙ න
ඔහු වයන බව නොමැ දැ න
කතී වෙණ මීය න
සු සූ යැ යි අත ගැසූ සැකයෙ න
මේ තියෙන්නෙ ගුත්තිලයෙ තියෙන තවත් ප්රසිද්ධ කවියක්.
දියෙහි යන දණ්ඩ ට
පිහිටක් වෙතත් පෙරැ සි ට
දුදනන් හට පිහි ට
නොවව යන බස සැබෑ කෙළෙ ම ට
වෑත්තෑවෙ හාමුදුරුවන් ගෙ කවීත්වය කොයි තරම් ද කියලා දැනගන්න පුළුවන් කවි කීපයකින් එක් කවියක් මේ.
රූ රැසේ අඳිනා ලෙසේ අත්
ලෙළ දිදී විදුලිය ප බා
රන් රසේ එක් වන ලෙසේ වෙණ
නාදනූ පා තබ ත බා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස
බල බලා නෙත’ගින් ස බා
මම් කෙසේ පවසම් එසේ වර
සුර ලඳුන් දුන් රඟ සො බා
ගුත්තිලය කියන්නෙ මීට දශක කීපයකට කලින් ආන්දෝලනයට තුඩු දුන් මාතෘකාවලට පවා හේතු වුණු කාව්ය ග්රන්ථයක්. ඒ ගැන වෙන ම ලිපියකට ඉඩ තියලා දැනට නවතිනවා.