තරඟෙට වගේ ලියැවුණු සන්දේශ කවි පොත් දෙකක් ලංකාවෙ තියෙනවා. ඒ ගිරා සන්දේශය යි, හංස සන්දේශය යි.
මේ පොත් දෙකේ ම කතුවරු කවුරුද කියන කාරණාව නිශ්චිත ව හඳුනාගෙන නැහැ. සමහරු තර්ක කරනවා හංස සන්දේශය වීදාගම මෛත්රීය හිමියන් ගෙ කෘතියක් වෙන්නත් පුළුවන් කියලා. ගිරා සන්දේශයේ කතුවරයා ගැන කතා කරද්දි සමහරු අදහස් කරන්නෙ ඒ පොත තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක් ලියන්න ඇති කියලා.
මේ පොත් දෙකෙන් මුලින් ම ලියැවෙන්නෙ ගිරා සන්දේශය. තොටගමුවේ විජයබා පිරිවෙන සහ එහි පරිවෙනාධිපති හිමියන් ව වර්ණනා කරන්න ගිරා සන්දේශයෙ කතුවරයා කටයුතු කරනවා. කෝට්ටේ කාලය වෙද්දි තොටගමුවේ රාහුල හාමුදුරුවො තම යි විජයබා පිරිවෙනේ මුල් තැන හිටියෙ. ගිරා සන්දේශයේ කතුවරයා ගිරා පක්ෂියා ව විජයබා පිරිවෙන් හිමියන් කරා යවනවා. කෝට්ටේ පරාක්රමබාහු රජතුමාත්, ලංකාවේ බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගන්න එක ගිරා සන්දේශයෙ අරමුණ වෙලා තිබුණෙ. විජයබා පිරිවෙන්පති හිමි ලවා මේ අස්න (ගිරා සන්දේශය) නාථ දෙවියන් වෙත ඉදිරිපත් කරන්න යි ගිරා සන්දේශයේ කතුවරයා කටයුතු කරන්නෙ. කොහොම නමුත් මේ සන්දේශ කාව්යයෙන් විජයබා පිරිවෙන්පති හිමියන් ව බොහොම තදින් වර්ණනා කළා.
ගිරා සන්දේශය රචනා කරපු කතුවරයා ගෙ මේ ක්රියාව ගැන ඒ තරම් වැඩි කැමැත්තක් නො තිබුණු පිරිසකුත් ශාසනයේ හිටියා. සමහර උගතුන් තර්ක කරන විදියට ඒ වීදාගම ගණ පන්තිය. තොටගමුවේ රාහුල හාමුදුරුවන් ගෙ පාර්ශ්වය වැඩි නැඹුරුවක් තිබුණෙ ග්රාමවාසී සම්ප්රදායට. ග්රාමවාසී සම්ප්රදායෙ යම් යම් පිළිගැනීම්වලට වීදාගම ගණ පන්තියෙ ලොකු ප්රසාදයක් තිබුණෙ නෑ. මේ අතර දේව වන්දනාව වගේ දේවලුත් තිබුණු බව පේනවා. වීදාගම මෛත්රීය හිමියන් ගෙ බුදු ගුණ අලංකාරය වගේ පොත් කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් දේව වන්දනාව කොයි තරම් උපහාසයට ලක් කරන්න උන් වහන්සේ කටයුතු කරලා තියෙනව ද කියන කාරණාව. නමුත් වීදාගම මෛත්රීය හිමියෝ තොටගමුවේ ශ්රී රාහුල හිමියන් ගෙත් ගුරුවරයෙක් බවට යම් යම් තොරතුරු තියෙන බවත් අපි අමතක කරන්න හොඳ නෑ. මේ අතරෙ විවිධ දේශපාලන මති මතාන්තර නිසා ඇති වුණු ආරවුලුත් තිබුණු බව කල්පනා කරන්න පුළුවන් විදියෙ තොරතුරුත් නැතිවා ම නෙවෙ යි.
ගිරා සන්දේශය ලියැවීම වීදාගම ගණ පන්තියෙ කවියන් ගෙ නිහඬ බව බිඳින්න සමත් වුණා. ඔවුන් ගිරා සන්දේශයට තවත් සන්දේශ කාව්ය ග්රන්ථයකින් ම පිළිතුරු දෙන්න කල්පනා කළා. මේ විදියට ගිරා සන්දේශයට පිළිතුරු දෙන්න රචනා කරපු සන්දේශ කාව්යය තම යි ‘හංස සන්දේශය’ කියලා කියන්නෙ.
මේ පොත අපි අද හංස සන්දේශය කියලා හැඳින්නුවට කතුවරයා මේ පොතට දුන්නෙ ‘තිසර සන්දේශය’ කියන නම. ගම්පොළ යුගයේ මීට කලින් තිසර සන්දේශයක් ලියැවිලා තිබුණු නිසා හඳුනා ගැනීමේ පහසුවට මේ පොත හංස සන්දේශය කියන නමින් ව්යවහාර කරන්න උගත්තු කටයුතු කළා.
හංස සන්දේශ කියන්නෙ කෑරගල පද්මාවතී පිරිවෙන්පති වනරතන හිමියන්ට යවපු සන්දේශයක්. ගිරා සන්දේශය තොටගමුවේ විජයබා පිරිවෙන්පති හිමියන්ට යවද්දි, හංස සන්දේශය කෑරගල පද්මාවතී පිරිවෙන්පති හිමියන්ට යවනවා. මේ සන්දේශයේ කතුවරයා වනතරන හිමියන් ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, රතන සූත්රය ලක්ෂ වාරයක් සජ්ඣායනා කොට දෙවියන්ට පින් දීමටත්, සතුරු වියවුල් දුරු කොට කෝට්ටේ පරාක්රමබාහු රජතුමාට ආශිර්වාද කිරීම සඳහා නියෝග කරන ලෙසත්. ඒ වගේ ම තමා ගිරා සන්දේශයේ කතුවරයා තොටගමුවේ විජයබා පිරිවෙන්පති හිමියන් ව වර්ණනා කරද්දි, හංස සන්දේශයේ කතුවරයා කෑරගල පද්මාවතී පිරිවෙන්පති හිමියන් ව වර්ණනා කරනවා. ඒ වගේ ම ගිරා සන්දේශය නාථ දෙවියන් ගෙ පිහිටක් බලාපොරොත්තුවෙන් ඉල්ලීම් කරද්දි, හංස සන්දේශය රතන සූත්රය සජ්ඣායනා කිරීමෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා.
හංස සන්දේශය හා ගිරා සන්දේශය ගැන මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල කියන කාරණාව බොහො ම වැදැගත්. ඔහු මෙහෙම කියනවා.
“… හංස කවි පිරික්සනවිට ඔහු දෙයාකාරයෙන් ගිරා කවිවලට පිළිතුරු දෙන හැටි පෙනී යයි. ගිරා කව දෙස බලා එහි කී අදහස, අලංකාරය, වෘත්තය, පද පිළිවෙළ ගෙන කවි ලිවීම එක් විදියකි. එය ගිරාකරුට කළ සරදමක් වගේය. නැතහොත් කාගේ කවි වඩා හොඳදැයි ගිරා කරු සමඟ තරඟ කිරීමක් වැනිය. දෙවන විදිය නම්, ගිරා අදහසට එක එල්ලේ පහරදීමය. එහි ද වෘත්තය, යතිය, එළිය, තාලය ආදියෙහි ගිරාකරුවන් පසුපස එළවා ගියාක් මෙන් පෙනෙන්නට ඇත. සන්දේශ දෙකෙහි තරගයට පිටුබිම් වූ වැනුම් සයක් ඇත. ජයවර්ධනපුරය, දියකෙළිය, වනරොද, විහාරෝපවනය, විද්යාලය හා පිරුවන් පති යනු ඒ ප්රස්තුතයෝය. අනුකරණයෙන් කළ සරදම් ඇත්තේ පළමුවන වැනුම් තුනෙහිය. විදුහල හා පිරුවන්පති ගැන කළ වැනුම් දෙක එකඑල්ලේ පහර දෙන්නාක් මෙන් ලියූ කවිවලින් යුක්තය. මේ දෙතැන සසඳා බලනවිට, කිවි දෙදෙන එකකුට, එකකු නොදෙවෙනි තරමින් කවිත්වය පිළිබිඹු කළ සැටි දක්නට පුළුවන …”
අපි බලමු කොහොම ද ගිරා සන්දේශයෙ සමහර කවිවලට හංස සන්දේශය උත්තර දුන්නෙ කියලා. මේ පිළිතුරු බැඳීම ගොඩක් ම පේන්නෙ පිරුවන්පති හිමි ගැන තියෙන වර්ණනාවලදි. මේ කවි ගැනත් මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සටහන් කරලා තියෙනවා. එතුමා නිදසුන් කරන කවි ම මමත් සටහන් කරන්නම්. මේ ගිරා සන්දේශයේ කවියක්.
සතර පහළ කළ ඇදුරන්සෙ පොරණ ය
නොහැර සිතසෙ දැනගෙන අටවියරණ ය
පවර පබඳ බැඳ සඳ සතොස කරණ ය
නිතර පසිඳු කරවිය සියලු දෙරණ ය
ගිරා සන්දේශයේ කතුවරයා මේ කියන්නෙ විජයබා පිරුවන්පති හිමියන් ගැන. උන් වහන්සේ ගේ ව්යක්ත බව ගැන. උන් වහන්සේ අෂ්ට ව්යාකරණය ම දන්න බව යි ගිරා සන්දේශයෙ කතුවරයා මතු කරන්නෙ. මේකට පිළිතුරු දෙනවා හංස සන්දේශයෙ කතුවරයා මේ විදියට.
විසඹ සරණ සසුන’ඹරට රිවි මඬල
සත අසරණ ගිම් නිවුමට සඳ මඬල
නැණලුසරණ ඔහු තෙපලට හිමි මඬල
හැම වියරණ ඔහු නැණයට කෙළි මඬල
විජයබා පිරුවන්පති හිමියන් ගැන ගිරා සන්දේශය ‘නොහැර සිතසෙ දැනගෙන අට වියරණය’ ආදි වශයෙන් විජයබා පිරුවන්පති හිමියන් අෂ්ට ව්යාකරණය ම දන්න බව කියද්දි හංස සන්දේශය කියන්නෙ ‘හැම වියරණ ඔහු නැණයට කෙළි මඬල’ කියලා. විජයබා පිරුවන්පති හිමියන් දන්නෙ අෂ්ට ව්යාකාරණය වුණාට, කෑරගල පද්මාවතී පිරුවන්පති හිමියන් හැම ව්යාකරණයක් ම දන්නවා. ඒක යි හංස සන්දේශයෙ කතුවරයා කියන්නෙ. ‘හැම වියරණ ඔහු නැණයට කෙළි මඬල’ කියන එකෙන් අදහස් කළේ ‘සියළු ම ව්යාකරණ ඔහු ගෙ (කෑරගල පද්මාවතී පිරුවන්පති හිමියන් ගෙ) ඥානයට ක්රීඩා මණ්ඩපයක්’ කියන කාරණාව.
ගිරා සන්දේශය සමහර කාරණා කියද්දි කාව්යකරණයට භාවිත කරණ විරිත ම භාවිත කරලා හංස සන්දේශ කතුවරයාත් පිළිතුරු දුන්නු අවස්ථා තියෙනවා.
සිල් සෙනගහු යස සෙමරහු මෙත් සත හු
ගුණ බරණහු දම් කිරුළුහු නැණ කග හු
බුන් නරගහු තව දෙරණහු සරිරජ හු
සුර ඇදුරහු හැර කවරහු වනති ඔ හු
ගිරාවෙ කතුවරයා සරළ ව මතු කරන්නෙ විජයබා පිරුවන්පති හිමියන් ගෙ ගුණ වර්ණනා කරන්න සුරගුරු (බ්රහස්පති) හැර වෙන කවුරු නම් සමත් වේවි ද? කියන කාරණාව. ගිරාවෙ විරිත ම භාවිත කරලා මේකට උත්තර දෙනවා හංස සන්දේශයේ කතුවරයා මේ විදියට.
පත් සතතහු මෙත් සිතැතහු කිත් කොත හු
දෙත් සමතහු ලක් සැපතහු සිත් සිත හු
ගත් සමතහු සත් සිරිතහු සෙත් පත හු
නත් සතතහු මුත් කෙවතහු වනති ඔ හු
විජයබා පිරුවන්පති හිමියන් ගෙ ගුණ වර්ණනා කරන්න බ්රහස්පති සමත් වුණාට කෑරගල පද්මාවති පිරුවන්පති හිමියන් ගෙ ගුණ වර්ණනා කරන්න සමත් වෙන්නෙ මහා බ්රහ්මයා හෝ අනන්තයා පමණ යි කියල යි හංස සන්දේශ කතුවරයා සටහන් කරන්නෙ. මේ අදහස ඇතුලෙ තියෙනවා ලොකු උපහාසයකුත්.
මේ විදියට අපූරු සංවාදයක් ගිරා සන්දේශය සහ හංස සන්දේශය ඇතුළෙ තියෙනවා. තවත් පැත්තකින් කල්පනා කළොත් මේ, කෝට්ටේ යුගයෙ භික්ෂු ශාසනය ඇතුළෙ මතවාදී ව සිදුවුණු ඝට්ටනයක් සලකුණු කරන එක් අවස්ථාවක්.