තොටගමුවේ රාහුල හාමුදුරුවො ගැන අපූරු ජනප්රවාද තියෙනවා. පරවි සන්දේශය ලීවට පස්සෙ රාහුල හාමුදුරුවන්ට මුහුණ දෙන්න වුණා කියන ගැටලුවත් ඒ වගේ ජනප්රවාදයේ එන කතාවක්. කතාව මෙහෙම යි.
රාහුල හාමුදුරුවො පරවි සන්දේශය ලියන්නෙ උන් වහන්සේ ගෙ නව යොවුන් අවධියේ බව යි විශ්වාස කෙරෙන්නෙ. පරවි සන්දේශය රචනා කරද්දි උන් වහන්සේට වැඩි වයසක් නෑ. පරාක්රමබාහු රජතුමා ගෙ වැඩිමල් දියණිය වුණු චන්ද්රවතී කුමරියට සුදුසු සැමියෙකුත්, අනතුරු ව රාජ්යත්වය දැරීමට තරම් සුදුසු පුත් කුමරෙකුත් ලබා ගැනීමට දෙවියන්ට ආයාචනා කිරීමේ අරමුණින් තම යි පරවි සන්දේශය රචනා වෙන්නෙ. සන්දේශය අරගෙන යන්නෙ දෙවිනුවර උපුල්වන් දේවාලයට. එ තරම් වියපත් නොවුණත් ඒ වෙද්දි රාහුල හාමුදුරුවන්ට තිබුණු දැනුම ගැන සාධක ඇති තරම් පරවි සන්දේශයෙන් පෙන්වන්න පුළුවන්. කුමාරදාස රජතුමා ගෙ ජානකීහරණය වගේ සංස්කෘත පොත්වල ආභාසය පරවි සන්දේශයේ තදින් පේන්න තියෙනවා.
පරවි සන්දේශයේ තවත් තදින් පේන්න තියෙන දෙයක් තමා ශෘංගාරාත්මක වර්ණනාවලට රාහුල හාමුදුරුවන් ගෙ ප්රවේශ වීම. මේ කතාව අදාළ ගැටලුව ඇති වෙන්නෙත් මේ ශෘංගාරාත්මක වර්ණනා නිසා ම තමා. ශෘංගාරය තදින් පේන පරෙවියෙ තියෙන කවි දෙකක් මේ.
රත්සර කැකුළකට තුඩු දී හසෙක් මො ළ
සිත් සහතොසින් සෙද විදහා පුබුදු ක ළ
පත් නූ අනඟ රස අඟනකට කර ලො ළ
මත් සළෙලකු ගියා වැනි අවල කෙළි කෙ ළ (102)
“චණ්ඩ හංසයෙක් සිතේ සතුටින් රතු නෙළුම් මලකට හොටින් ඇන පුබුදු කළේ, රාගයෙන් මත් වුණු සල්ලාලයෙක් වැඩිවිය නො පැමිණි ළඳකට කාමාශාවෙන් රති ක්රීඩාව කළ පරිද්දෙනි” මේ තම යි කවියෙ සරල තේරුම.
මලවල වරල් යුතු සඳුනෙන් සිහිල් ගතු න්
මලවිය කෙළිය පැලඹෙන මොළ සලෙළ කතු න්
ගල රැවු අසා හඬ යැ යි සිය පරෙවි කතු න්
කලරැවු ගොසින් නොරැවට පහර පියපතු න් (141)
“පරෙවිය, මල් ගවසා ගත් කෙස් කළඹින් යුක්ත, සඳුනෙන් සිහිල් සිරුරු ඇති රති ක්රීඩාවේ යෙදී සිටින චණ්ඩ, කාමාශක්ත කාන්තාවන් ගේ උගුරේ ශබ්දය පරෙවි දෙනුන් ගේ හඬ යැ යි සිතා නො රැවටී පියාසර කරන්න.” දෙවැනි කවියෙ සරළ තේරුම මේ විදියට යි තියෙන්නෙ.
කොහොමෙන් කොහොම හරි තරුණ රාහුල හාමුදුරුවො ලියපු පරෙවි සන්දේශය පොත පැරකුම්බා රජතුමාටත් කියවන්න ලැබෙනවා. පොත කියවපු ගමං රජතුමාට ලොකු ප්රශ්නයක් ඇති වුණා. බොහොම කුඩා වයසක පැවිදි වුණු මේ වගේ කෙනෙක් කොහොම ද මේ විදියට කවි ලියන්නෙ?
රජතුමා රාහුල හාමුදුරුවන් ව කැඳෙව්වා.
“හාමුදුරුවනේ, මට හිතාගන්න බෑ බොහොම කුඩා වයසක පැවිදි වුණු ඔබ වහන්සේ වගේ කෙනෙක් මේ විදියෙ කවි හදන්නෙ කොහොම ද කියලා. මේ විදියෙ අත්දැකීම් නැති කෙනෙක්ට මෙහෙම කවි ලියන්න පුළුවන් ද?”
මේකට ප්රශ්නයකින් ම පිළිතුරු දෙන්න කල්පනා කරපු රාහුල හාමුදුරුවො රජතුමා ගෙන් මේ විදියට ප්රශ්න කළා ලු.
“රජතුමනි, මළ මූත්රවල රස මොන වගේ ද?”
“මළ මූත්රවල තියෙන්නෙ ලවණ (ලුණු) රසය හාමුදුරුවනෙ.” රජතුමාත් පිළිතුරු දුන්නා.
“ඔබතුමා මළ මූත්ර ලවණ රසය යි කියන්නෙ ඒවා අනුභව කරලා ද රජතුමනි?” රාහුල හාමුදුරුවන් ගෙ දෙවැනි ප්රශ්නයට රජතුමාට පිළිතුරක් නැති ව ගියා. රජතුමා නිරුත්තර වුණු බව දැනගත්තු තොටගමුවේ හාමුදුරුවො මේ විදියට පැහැදිලි කිරීමක් කළා ලු.
“රජතුමනි, පණ්ඩිතයන්ට ශිල්ප ශාස්ත්රයෙන් දැන ඉගෙන ගන්න බැරි දෙයක් නෑ.”
පරෙවි සන්දේශය නිසා රජතුමාට ඇති වුණු ගැටලුව තොටගමුවේ රාහුල හාමුදුරුවො විසඳුවෙ ඔය විදියට යි කියලා ජනප්රවාදය කියනවා.