මහාවංසය ගැන වචනයක්-ශකිල රාජකරුණා

මහාවංසය ගැන වචනයක්
මෑත දශක කීපයක ඉඳං අහේතුක ව වැඩිපුර ම විවේචනය වුණු ලංකාවෙ පොත සහ කතුවරයා? මගෙන් කවුරුහරි ඇහුවොත් මේ විදියෙ ප්රශ්නයක් ඇහුවොත් මම දෙපාරක් හිතන්නැති ව දෙන පිළිතුර තමා, “මහාවංසය සහ මහානාම හාමුදුරුවො”. ලංකාවේත්, ලංකාවෙන් පිටත් සමහරුන්ට තියෙනවා මහාවංසය යි, මහානාම හාමුදුරුවො යි එක්ක ලොකු ප්රශ්නයක්. විවිධාකාර හේතු නිසා මේ ඒ අයට මහාවංසය ප්රශ්නයක් වෙලා තියෙන බව පේනවා. දැං කවුරුහරි අහන්න පුළුවන් මහාවංසයේ තියෙන ඒවා 100%ක් ම ඇත්ත ද? කියලා. මහාවංසයේ 100% ක් ඇත්ත තියෙනවා කියලා මම කියන්නෑ. මම විශ්වාස කරන විදියට ලංකාවෙ කිසි ම ඓතිහාසික මූලාශ්රයක 100%ක් ඇත්ත නෑ. නමුත් සෙසු සාධකත් එක්ක සත්ය යැ යි පිළිගන්න පුළුවන් තොරතුරු මහාවංසයේ ඇති තරම් තියෙනවා. සෙල්ලිපි, වෙනත් ලේඛන, සමහර පුරාවස්තු මහාවංසයේ බොහෝ ප්රකාශ සත්යය බව ඔප්පු කරනවා. ඕවා එකින් එක අවශ්ය නම් ලියන්න පුළුවන්. නමුත් දැනට ඒ ගැන මම කතා කරන්න යන්නෑ.
මහාවංසයේ තියෙන අන්තර්ගතය නිසා සමහරු කාලයක් මහානාම හාමුදුරුවන් ව විවේචනය කරන්න ගත්තා. ගොඩක් වෙලාවට මේ විවේචන ඇති වුණේ සීගිරි කාශ්යප සම්බන්ධයෙන් මහාවංසයෙ තියෙන සඳහන් නිසා. මහානාම හාමුදුරුවො කාශ්යප ව පීතෘ ඝාතකයෙක් කළා ය. සීගිරිය වගේ තැනක් නිර්මාණය කරපු කාශ්යපට ඒ විදියෙ ඝාතනයක් කරන්න පුළුවන් ද? කාශ්යප ව පීතෘ ඝාතකයෙක් කළේ මහානාම හාමුදුරුවෝ ය. ඔය විදියෙ නා නා ප්රකාර කතා කියන්න ගත්තා. හැබැ යි මහාවංසයේ කාශ්යප සම්බන්ධයෙන් තියෙන කොටස ලිව්වෙ මහානාම හාමුදුරුවො නෙවෙ යි කියලා වත් ඒ අය නො දැන සිටි එක ම තම යි මේකෙ තියෙන ලොකු ම විහිළුව. ඒ විතරක් නෙවෙ යි. සීගිරිය කියන්නෙ තනි කාශ්යප ගෙ නිර්මාණයක් නෙවෙ යි කියන කාරණාවත්, සීගිරිය කාලාන්තරයක් තිස්සේ ම වර්ධනය වෙමින් ආපු ස්ථානයක් කියන කාරණාවත් ඔය කතා කියපු බොහෝ දෙනෙක් දන්න බවක් නං පෙනුනෙ නෑ.
දැං අලුත් කතාවකුත් වටින් ගොඩින් ඇහෙන්න පටන් අරං. ඒ තම යි වැඩිමලා වුණු කාශ්යපට රාජ්ය උරුමයක් තිබුණා ය කියන කාරණාව. මම දන්නෙ නැහැ මේක සත්ය ඉතිහාසය විදියට මතු කරපු දෙයක් ද, නැත්තං හුදෙක් මනඃකල්පිත ප්රබන්ධයක් විදියට පමණක් මතු කරපු දෙයක් ද කියන එක. මහාවංසය කාශ්යප ගැන කියද්දි යොදන්නෙ ‘භින්නමාතික’ කියන වචනෙ. භින්න මාතික කියන්නෙ ‘අන්ය මවක ගේ’ කියන සරල තේරුම තියෙන වචනයක්. ධාතුසේන රජතුමා විෂයෙහි ගත්තොත් රජතුමා ගෙ වෙනත් බිසවක ගෙ පුතෙක් තමා කාශ්යප. මුගලන් ගැන කියන්නෙ ‘සමාන මාතික’ කියලා. සමාන කියන්නෙ ‘භින්න නොවූ’ කියන අර්ථය. වචනයට අර්ථ කීපයක් තියෙනවා. ‘ඒකාකර, ඊට ම අයත්’ ඒ වගේ තේරුම් මේ වචනයෙ තියෙන්නෙ. සාමාන්යයෙන් සමාන මාතික පුතෙක් ඉද්දි භින්න මාතික පුතෙකුට ලංකාවෙ රජකම යන්නෙ නෑ. රජකම උරුම වුණු ක්රම කීපයක් තියෙනවා. මම මෙතැන දි කියන්නෙ පියා ගෙන් පුතාට රජකම උරුම වෙද්දි පැවැතුණු තත්ත්වය ගැන.
කාශ්යප ගැන මහාවිහාරයෙ හාමුදුරුවරු අප්රසාදයෙන් යුක්ත ව බලන්න හේතු වුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමා ඔහු පීතෘ ඝාතකයෙක්. දෙවැන්න, කාශ්යප කියන්නෙ උරුම නැති රාජ්යත්වයක් බලෙන් ගත්ත කුමන්ත්රණකාරී චරිතයක්. මේ අප්රසාදය පැහැදිලි ව ම පේනවා කාශ්යප ඉසුරුමුණිය පිළිසකර කරලා පූජා කරන්න හදපු වෙලාවෙ භික්ෂූන් වහන්සේලා ඒ පිළිගැනීම ප්රතික්ෂේප කරපු එකෙන්. ඉසුරුමුණිය ප්රතිසංස්කරණය කරලා අලුතෙන් නම් කරන්නත් කාශ්යප කටයුතු කළා. ඒ, ‘ඉසිරමෙනු බෝ උපුල්වන් කසුප්ගිරි රද් මහ වෙහෙර්’ කියන නමින්. බෝ (බෝධි), උපුල්වන් (උප්පලවණ්ණා) කියන්නෙ කාශ්යප රජතුමා ගෙ දුවලා දෙන්න ගෙ නම.
මේ කතාවත් එක්ක මට කල්පනා වෙන තවත් කාරණාවක් තම යි කාශ්යපට රාජ්ය උරුමය තිබුණා නං ඇයි මහාවංසය ඒ ගැන නොකීවෙ කියන එක. සරළ යි. කාශ්යපට රාජ්ය උරුමයක් තිබුණා නං තාත්තා ව මරලා රජ වෙන්න අවශ්ය නැහැනෙ. පියාට පස්සෙ නිරායාසයෙන් ම ඔහුට රජකම උරුම වෙනවා. මහාවංසයේ සමහර තැන්වල තියෙනවා වැඩිමලා ඉද්දි බාලයා රජ වුණු අවස්ථා. සාමාන්ය සම්ප්රදාය ඉක්මවා යෑමක් එතැන තියෙනවා. ඒ විදියෙ සිද්ධීන් ගැන ලියද්දි මහාවංස කතුවරයා පැහැදිලි ව ම කියනවා වැඩිමලා කවුද කියන කාරණාව. හොඳ ම උදාහරණය ථුල්ලත්ථන ගෙ රජවීම ගැන තියෙන විස්තර ය. සද්ධාතිස්ස රජතුමා ගෙ ජ්යෙෂ්ඨ පුත්රයා ලඤ්ජතිස්ස. ‘ලඤ්ජතිස්සො ජෙට්ඨ පුත්තො’ කියලා මහාවංසය පැහැදිලි ව ම කියනවා. ථුල්ලත්ථන ගැන කියද්දි පාවිච්චි කරන්නෙ ‘කණිට්ඨ’ කියන වචනෙ. ‘කණිෂ්ට’ කියන අර්ථය. සද්ධාතිස්ස රජතුමා මිය ගියාට පස්සෙ ඇමතිවරු සහ සංඝ්යා එකතු වෙලා ථුල්ලත්ථන ව රජ කරවනවා. ඒකත් මහාවංසය පැහැදිලි ව කියනවා. නමුත් වැඩිමලා ලඤ්ජතිස්ස. ඔහු ඇවිත් ථුල්ලත්ථන ව බලයෙන් පහ කරලා රජ වෙනවා. තුන් මාසයක් සංඝ්යා වහන්සේලාට කිසි ම අවධානයක් යොමු නො කර ඉන්න ලඤ්ජතිස්ස කටයුතු කළා. හේතු වුණු කාරණාවත් දෙපාරක් නොහිතා ම මහානාම හාමුදුරුවො ලියලා තියෙනවා. ‘සංඝ්යා වහන්සේ වැඩිමහල් පිළිවෙල දන්නෙ නැහැ’. ලඤ්ජතිස්ස සංඝ්යාට කරපු චෝදනාව ඒක.
මේක සරළ සිද්ධියක් නෙවෙ යි. සංඝ්යා වහන්සේලා සහ ඇමැතිවරු එකතු වෙලා ලංකාවෙ රාජ්යත්වය සම්බන්ධයෙන් තිබුණු සම්ප්රදාය අමු අමුවේ ම උල්ලංඝණය කරපු අවස්ථාවක්. බැලූ බැල්මට පේනවා සංඝ්යා වහන්සේලා සහ ඇමැතිවරු මේ වෙලාවෙ කරලා තියෙන්නෙ අසාධාරණ වැඩක් බව. ලඤ්ජතිස්ස ගෙ සේවය ගැන පවා මහාවංස කතුවරයා විස්තර කරනවා. අවශ්ය නං මහානාම හාමුදුරුවන්ට තිබුණා මේ කතාව වෙන විදියකට ලියන්න. ලඤ්ජතිස්ස ව අධාර්මික පාලකයෙක් විදියට හංවඩු ගහන්න. හැබැයි එහෙම කළේ නෑ. තමන්ට ලැබුණු හෝ දන්න තොරතුරු අපක්ෂපාතී ව මහානාම හාමුදුරුවො මහාවංසයෙ ලිව්වා. ඒ වගේ තමා කාශ්යප ගැන වුණත්. කාශ්යප සම්බන්ධ කොටස ලියන්නෙ මහානාම හාමුදුරුවො නොවුණට අදාල ලේඛකයා තමන් දන්න හෝ අහන්න දකින්න ලැබුණු තොරතුරු ඒ විදියට මහාවංසයෙ දෙවෙනි කොටසට ඇතුළත් කරලා තියෙනවා. තවත් උදාහරණයක් අවශ්ය නං ගන්න පුළුවන් මහසෙන් රජතුමා ගැන. මහසෙන් රජතුමා මහාවිහාරයට කරපු අනර්ථකාරී වැඩ මොනව ද කියලත් මහාවංසයේ තියෙනවා. මහසෙන් රජතුමා ගෙ සේවය මොන වගේ ද කියලත් මහාවංසයෙ තියෙනවා. ඒ ඔක්කොට ම පස්සෙ ‘ඒ රජතුමා පින් පව් දෙක ම රැස් කළා’ කියලත් ලියනවා. ඕනෙ නං මහසෙන් රජතුමා ගෙ වැරැදි ටික විතරක් මහාවංසයෙ ලියන්න තිබුණ නෙ. එහෙම කළේ නෑ. මහාවංසයෙ සහ මහාවංසය රචනා කරපු කතුවරුන් ගෙ තියෙන වැදැගත්කමත් ඕක ම තමා.
එ වකට භික්ෂුන් වහන්සේලා ගෙ සත්යගරුකභාවය ගැන තේරුම් ගන්න පුළුවන් අපූරු කතාවක් ආනන්ද ගුරුගේ ‘මහාවංස ගීතය’ පළමු වෙළුමේ පූර්විකාවෙ සටහන් කරනවා. ඒ සටහනේ ‘මනඃකල්පිතය සහ ප්රාතිහාර්යය විෂයයෙහි ශ්රී ලංකාවේ ආකල්පය’ අනුමාතෘකාව යටතේ දකින්න පුළුවන් විස්තරයෙ කොටසක් මේ (ලිපියට සෘජුව ම අදාළ නො වන මුත් යම් අංශයකින් මෙයත් වැදැගත් බව සිතමි).
ශ්රද්ධා භක්තීන් වඩා වර්ධනය කිරීමත් ආගමික ප්රචාරයත් සඳහා අද්භූත හා ප්රාතිහාර්යාත්මක ලක්ෂණ යුත් තොරතුරු යම් ප්රමාණයක් ශ්රී ලංකාවේ ඓතිහාසික මූලාශ්රයයන්හි ලැබෙන බව සැබැවි. එහෙත් භාරතයේ පැවතුණාට වඩා ප්රබල ඉතිහාස සඤ්ඤාවක් මෙහි පැවතීම නිසා එහි ලා යම් සංයමයක් පැවතිණි. මේ පිළිබඳ අතිශයින් සිත් ගන්නා සාක්ෂ්යයක් නම් බුදුන්වහන්සේ ගේ තුන්තරා ලංකාගමන පිළිබඳ වාර්තා ය. මේ පිළිබඳ ඓතිහාසික වාර්තා සාකල්යයෙන් එකිනෙකට සමාන වේ. මේ තුන්තරා ලංකාගමන පිළිබඳ ව හෝ ලංකාවේ දී දේශනා කරනු ලැබූ සූත්ර දේශනාවන් ගැන හෝ ඒ සිද්ධීන් හා සම්බන්ධ පුද්ගලයන් ගැන හෝ කිසිත් ත්රිපිටකයෙහි සඳහන් නොවන හෙයින් වියත්හු මේ වාර්තාවන්හි සත්යතාව ගැන සැක කරති.
විශේෂයෙන් සලකාගත යුතු කරුණක් නම්, ත්රිපිටක සාහිත්යය පළමු කොට ශත වර්ෂ සතරක් පමණ මුඛ පරම්පරාවෙන් පවත්වාගෙනවුත් අනතුරු ව එය ලංකාවේ දී භික්ෂූන් වහන්සේ විසින් ග්රන්ථාරූඪ කරනු ලැබීමයි. බුදුන් වහන්සේගේ ලංකා ගමන් පිළිබඳ වූ ජාතික කතා පුවත් ඊට පහසුවෙන් ම ඇතුළත් කොට ඒ කථාව ස්ථිර කිරීමට භික්ෂූන් වහන්සේට හොඳට ම පුළුවන්කම තිබිණි. එ පරිද්දෙන් ම බුදු සසුන ආරක්ෂා කිරීම පිළිබඳ ව ලංකාවට පැවරෙන වගකීම අරබයා බුදුන් වදාළ හ යි කියන අනාගත වාක්යය ද, විජය හා ඔහු ගේ පිරිස ආරක්ෂා කිරීම සඳහා ගත් ක්රියාමාර්ගය ද පහසුවෙන් ම ත්රිපිටකයට ඇතුළත් කළ හැකි ව තිබිණි.
එ සේ කිරීමෙන් සංඝයා වහන්සේ වළක්වන ලද්දේ කවුරුන් විසින් ද? යම් යම් තැන අදාළ කතා පුවත් ඇතුළත් කිරීමෙන් ඒ ජාතික ප්රවාදයන් තහවුරු කළ හැකි ව තිබිය දී ත්රිපිටකයේ පාරිශුද්ධිය රැකීමට භික්ෂූන් වහන්සේ පෙළඹුණේ කෙ සේ ද? ලංකාවතාර සූත්රය වැනි මිථ්යා සූත්ර ප්රබන්ධ කිරීමට ඉන්දියාවේ මහායාන බෞද්ධයන් පෙළඹුණාක් මෙන් ලාංකික භික්ෂූන් වහන්සේ නොපෙළඹුණේ කෙසේ ද? ඉතා ම විශ්වසනීය පිළිතුර නම්, උන් වහන්සේ තුළ පැවති ඉතිහාස සඤ්ඤාවෙන් හා ත්රිපිටකයේ පාරිශුද්ධිය කෙරෙහි වූ අචල භක්තියෙන් පරිපෝෂිත වූ ආත්ම නිරපේක්ෂතාව හා සංයමය හා ඊට හේතු වූ බව යි.
භික්ෂූන් වහන්සේ තුළ පැවති සත්යගරුකභාවය හා ඉතිහාස සඤ්ඤාව හා වර්තමාන යුගය දක්වා ම පැවත ආ ආකල්පයක් වන අතර ජෝජ් ටර්නර්ගේ පහත සඳහන් අත්දැකීම ඒ ආකල්පය අනුවේදනීය ලෙස නිරූපණය කරයි. 1837 දී ඔහු පවසන සිද්ධිය මෙ සේ යි:- “අස්ගිරි මල්වතු දෙපාර්ශ්වයේ නායක ස්වාමීන් වහන්සේ දෙ නම හා එහි භික්ෂූන් වහන්සේ සමඟ පැවති නිල සාකච්ඡාවක දී, බුදුන් වහන්සේ ගේ ලංකා ගමන්, පංච අධිෂ්ඨානය හා විජය ආරක්ෂා කරන ලෙස ශක්රදේවේන්ද්රයනට කළ නියමය යන මේ කරුණු ත්රිපිටකයේ සඳහන් නොවීමෙන් ඇති වන විෂමතාව ගැනත් එයින් ඒවායේ සත්යතාවට සිදු වී ඇති හානිය ගැනත් සඳහන් කළෙමි. පංච අධිෂ්ඨානය අට්ඨකථාවන්හි පමණක් ඇතුළත් ව තිබෙන බව උන්වහන්සේ දැන සිටි බවක් නො පෙනිණි. මේ කරුණ ත්රිපිටක සාහිත්යයේ විද්යමාන නොවීම එ තරම් වැදගත් ලෙස උන් වහන්සේ නො සැලකූ හ. එ සේ නම් එය අට්ඨකථාවන්හි පමණක් සඳහන් වීම මිහිඳු හිමියන් විසින් පැරැණි ලාංකිකයන් බුදු සසුනට හැරවීමට යෙදූ සම්යක් ප්රයෝගයක් නොවිය හැකි දැයි ම විසින් කරන ලද ඉඟියට උන් වහන්සේ දුන් විචක්ෂණ පිළිතුර වූයේ, මිහිඳු හිමියන් එ වැන්නක් අදහස් කරන ලද්දේ නම්, පිටකත්රය ම අවශ්ය ලෙස වෙනස් කිරීමෙන් එම අරමුණ ඊට වඩා සාර්ථක ලෙස ඉටු කර ගන්නට උන්වහන්සේට හැකි ව තිබුණු බව යි” …”
මහාවංසය කියන්නෙ ලංකා ඉතිහාසයෙ මුදුන් මුල. මහාවංසයේ යම් යම් ගැටලු සහිත තැන් නැතිවා ම නෙවෙ යි. එහෙම තැන් තියෙනවා. හැබැ යි ඒ ගැටලු තැන් ගැන කතා කරන ක්රමයක් තියෙනවා. ඒ ගැටලුව ශාස්ත්රීය ව පෙන්න පිළිවෙලක් තියෙනවා. එහෙම නැති ව කටට එන එන හිතලු කීවා කියලා මහාවංසය ශාස්ත්රීය ව විවේචනය කළා වෙන්නෙ වත්, මහාවංසය බොරු කළා වෙන්නෙ වත් නෑ.
මහාවංසය සහ නවකතා -2
===============
මහාවංසය ගැන කතාව තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න හිතුනා. ඒකට හේතුව මහාවංසය ගැන සමහරු ඇති කරගෙන තියෙන ආකල්පය. මහාවංසය කියන්නෙ හුදු ප්රබන්ධාත්මක ස්වරූපයේ ලේඛනයක් බව යි මේ ගැන කතා කරන ඇතමුන් ගෙ අදහස. කණගාටුවට කාරණාව තම යි මහාවංසයත් නවකථාවල තත්ත්වයට ම දාන්නත් සමහරු උත්සාහ කරන එක. මහාවංසය ලියැවෙන්නෙ නවකථාවක් ලියැවෙන විදියෙ රාමුවක ඉඳගෙන නෙවෙ යි. නවකතාවක් ලියද්දි ලේඛකයා ගේ පරිකල්පනය අනුව අන්තර්ගතය සකස් කරගන්න ඔහුට පූර්ණ නිදහස තියෙනවා. සත්ය හෝ සත්ය නො වන දෙයක් ඔහුට අන්තර්ගත කරන්න පුළුවන්. ඉතිහාස කතාවක් මූලික කරගෙන ලියැවුණු නවකතාවක් උදාහරණයට ගත්තොත්, එය තවත් එක් තොරතුරු වාර්තාගත කිරීමක් වෙන්නෙ නෑ. යම් යම් සංසිද්ධීන් හැඩ දාලා, වැඩ දාලා සමහර විට කිසිම ඓතිහාසික තොරතුරක නැති දෙයක් වුණත් ඇත්ත වගේ නවකතාවක ලියන්න පුළුවන්. නවකතාවක ස්වභාවයත් ඒකනෙ.
නමුත් මහාවංසය ඔය කාරණාවෙන් වෙනස්. මහාවංසය ලියැවෙන්නෙ මම කලින් කියපු විදියෙ නවකතා ලියැවෙන සන්දර්භයක නෙවෙ යි. පැරැණි ලංකාවෙ ඉතිහාස රචකයන්ට තිබුණු ආවේණික ගුණාංග මහාවංසයෙ තියෙනවා. තවත් වැදැගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මහාවංසය ලියැවෙන්නෙ බෞද්ධ සන්දර්භයක් තුළ හිඳිමින්. එහෙම වෙන්නත් එපැ යි. මොකද මහාවංසය ලියන්නෙ බෞද්ධ භික්ෂුන් වහන්සේලානෙ. මහාවංස කතුවරයා ගෙ අරමුණ වුණේ පහන් සංවේගය ඇති කරන එක. පරිච්ඡේද අවසානයට තියෙන ‘හුදී ජන පහන් සංවේගය පිණිස කළ මහාවංසයේ …’ ආදි වශයෙන් සඳහන් වෙන යෙදුමෙන් ඒක පැහැදිලි වෙනවා. ලෝකෙ විවිධ රටවල් ඉතිහාසය ලියපු විදියක් තිබුණා. චීනය වගේ රටක් ගත්තොත්, මම දන්න විදියට ඒ රටවල ඉතිහාසය ලියැවුණේ දේශපාලනික සන්දර්භයක ඉඳගෙන. ප්රංශ විප්ලවය ගැන ලියපු තෝමස් කාලයිල් ඉතිහාසය දැක්කෙ ශ්රේෂ්ඨ මිනිස්සුන් ගෙ ජීවිත කථාවක් විදියට. හෙරඩෝටස් ඉතිහාසය ලීවෙ පැරැණි ග්රීකයන් ගෙ වැඩ කටයුතු අනාගත පරම්පරාව අමතක නොකරාවි කියන අදහසේ ඉඳගෙන. පෙරදිග චින්තනය ඉතිහාසය ගැන කතා කළේ අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ කියන චතුර්විධ සම්පත්තියෙන් යුක්ත, සහ පූර්ව කථාවන් ගෙන් සමන්විත ක්ෂේත්රයක් විදියට. බෞද්ධ සංස්කෘතියක් යටතේ හැඩගැහුණු, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගෙන් සාහිත්යකරණය ඇරැඹුණු ලංකාව වගේ රටක බෞද්ධ පරිසරයක් ඔස්සේ ඉතිහාස රචනය හැඩ ගැනීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ.
මහාවංසයට කලින් ලියැවුණු දීපවංසයේ අරමුණු දිහා බැලුවොත් මේ කාරණාව බොහොම හොඳින් පැහැදිලි වෙනවා. ‘දීපාගමනං බුද්ධස්ස’ ආදි වශයෙන් දීපවංස කතුවරයා තමන් ගෙ ග්රන්ථයේ අරමුණු විදියට සඳහන් කරන්නෙ බුදුන් වහන්සේ ගෙ ලංකාගමනය, සර්වඥ ධාතුන් වහන්සේ ගේ සහ බෝධින් වහන්සේ ගේ පැමිණීම, ආචාර්යවාද සංග්රහය, ලංකාවට බුදු දහම පැමිණීම, (විජය ආදි) රජුන් ගේ වංසය (පැමිණීම හා වාසය ආදි ලෙස) යනාදි කාරණා ගැන විස්තර කරන එක. මේ විස්තර කෙටියෙන් කියනවා ඒ ටික අහන්න කියන එක යි දීපවංස කතුවරයා සඳහන් කරන්නෙ. මේවා ඔක්කො ම බෞද්ධ අභාසය සහිත ව ගොඩනැඟුණු අරමුණු.
දීපවංසය, මහාවංසය වගේ පොත් ඉතිහාස පොත් විදියට අපි භාවිත කළාට මේ එක පොතක් වත් ඉතිහාසය ලියනවා කියන අරමුණේ ඉඳගෙන ලියපුවත් නෙවෙ යි. මේ කතුවරුන්ට තිබුණෙ ශාසනික අරමුණු.
කොහොම නමුත් මේ කතාවෙදි මූලික අවධානය යොමු කරන්න ඕනෙ කාරණාව තම යි මහාවංසය කියන්නෙ නවකතාවක් වගේ බිහිවුණු පොතක් නෙවෙයි කියන එක. අපිට අද දකින්න ලැබෙන මහාවංසය අවුරුදු සිය ගාණක් තිස්සේ විවිධ ලේඛකයන් විසින් ගත් සමූහ ප්රයත්නයක ප්රතිඵලයක්. මහාවංසය කියන්නෙ මහානාම හාමුදුරුවො ක්ෂණික පූර්වාරම්භයක් ගත්තු පොතක් ද? ඒත් නෑ. මහානාම හාමුදුරුවො මහාවංසය ලියන්නත් කලින් ලංකාවෙ තිබුණා ‘සීහලට්ඨකථා මහාවංසය’ කියලා පොතක්. ඒ විතරක් නෙවෙ යි. ඒ වෙද්දි තිබුණු විවිධ පත පොතින් තොරතුරු අරගෙන තම යි මහාවංසය මහානාම හාමුදුරුවො ලියන්නෙ. මේ කාරණාව හොඳට දැක ගන්න පුළුවන් මහාවංස ටීකාව කියෙව්වොත්. මහාවංසයේ අන්තර්ගත වෙලා තියෙන සමහර කාරණා ගැන විස්තර කරද්දි මහාවංස ටීකාව ඒ කාරණාව ගැන ලියැවිලා තිබුණු මුල් පොත් ගැන සටහන් කරනවා. සීහලට්ඨකථා මහාවංස, උත්තර විහාරට්ඨකථාව, විනයට්ඨකථාව ඔය විදියට. වියත් ලේඛකයො කියන විදියට උත්තර විහාරට්ඨකථාව අභයගිරියෙ ලේඛනයක්. නමුත් ඒ පොත්වලින් පවා තොරතුරු මේවට අරගෙන තියෙනවා. මහාවිහාරයේ ලේඛකයන් ගෙ ශාස්ත්රීය ශික්ෂණය ගැන තවත් අමුතු අටුවා මොකට ද? අනික මහානාම හාමුදුරුවෝ ම මහාවංසය ආරම්භ කරද්දි පොත ලියැවුණු හැටි ගැන ඉඟියක් දීලා ම යි පොත පටන් ගන්නෙ.
‘මේ වනාහි පුරාණයන් විසින් කරන ලද නමුත්, ඇතැම් තැනෙක අතිශයින් විස්තර සහිත ව ද, ඇතැම් තැනෙක සංක්ෂිප්ත ව ද, නොයෙක් පුණරුක්ත දෝෂයෙන් ද යුක්ත ව පැවැතිණි. එම දොස් මඟහරවමින් පහසුවෙන් අවබෝධ කරගත හැකි, ප්රසාදය සහ සංවේගය උපදවන, ශ්රැති පරම්පරාවෙන් ආ මෙය (ප්රසාදය උපදවන තැන්වල දී ප්රසාදයත්, සංවේගය උපදවන තැන්වල දී සංවේගයත් උපදවමින්) අසව්!’
ආරම්භයේ දී මහානාම හාමුදුරුවො කියන කාරණාව දිහා අවධානෙන් බැලුවොත් පේනවා මේකෙ ඇතුළෙ තියෙන කතාව. විස්තර සහිත ව තිබුණු තැන් කෙටි කරලා, විස්තර කළ යුතු තැන් විස්තර කරලා, පුනරුත් දෝෂ ඉවත් කරලා මහානාම හාමුදුරුවො මහාවංසය ලියනවා. එක පැත්තකින් බැලුවොත් සංස්කාරකවරයකු ගෙ වැඩේ මහානාම හාමුදුරුවො කරලා තියෙන්නෙ. මහාවංසය අටුවාවක් ද කියලත් සමහරු ප්රශ්න කරලා තියෙනවා. ඒකට හේතුව වෙන්නෙ මහාවංසයට අටුවාවක් නොලියැවී ටීකාවක් විතරක් ලියැවිලා තියෙන නිසා. වංසත්ථප්පකාසිනී කියන්නෙ මහාවංස ටීකාව.
මම ඉහළින් සටහන් කරපු කාරණාවෙන් පේනවා මහාවංසය කියන්නෙ ආවට ගියාට හිතලුවලින් පුරවපු පොතක් නෙවෙ යි, මූලාශ්රය ඇසුරින් බිහිවුණු පොතක් කියන එක. ඒ නිසා ම තම යි මහාවංසයේ තියෙන ඇතැම් කාරණා අපිට පුරාවිද්යාත්මක මූලාශ්රයවලිනුත් ඔප්පු කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මිහිඳු හාමුදුරුවන් ගෙ ලංකාගමනය රජගල සෙල්ලිපියෙන් ඔප්පු වුණා. මහාවංසයේ නම් සඳහන් වෙන බොහෝ රජවරුන් ගෙ ශිලා ලේඛන අද වෙද්දි හමු වෙලා තියෙනවා. ඒවා ප්රකාශයට පත් වෙලත් තියෙනවා. ඒ විතරක් නෙවෙ යි මහාවංසයේ තියෙන සමහර සිදුවීම් පවා පුරාවිද්යාත්මක ව මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා. මේකට දෙන්න පුළුවන් හොඳ ම උදාහරණයක් තම යි ලෝවාමහාපායේ කරපු පුරාවිද්යා කටයුතුවලින් සනාථ වුණු කාරණා. ලෝවාමහාපායට ගින්නෙන් සිද්ධ වුණු හානිය ගැන මහාවංසයේ සඳහන් වෙලා තියෙනවා. පුරාවිද්යා දෙපාර්තමේන්තුව මේ භූමියෙ කරපු කැණීමක දි තාල වර්ගයට අයිති ගසක දැවී ගිය ලී කොටස් හමු වෙලා තියෙනවා. මහාචාර්ය කුලතුංග ගෙ අනුරාධපුර මහා විහාරය කියන පොත බැළුවොත් මේ කාරණාව ගැන එතුමාත් සටහන් කරලා තියෙන බවත් දැකගන්න පුළුවන්. ඒ විතරක් ද දුටුගැමුණු රජතුමා ගෙ කාලෙ ලංකාවෙ ජීවත් වුණු දස මහා යෝධයො ගැන තොරතුරුත් මහාවංසයෙන් දැකගන්න පුළුවන්. මේ අය ගෙ නම් සඳහන් සෙල්ලිපි සිතුල්පව්ව ආසන්නයේ තියෙන කොරවක්ගල, වැලඑල්ලූගොඩකන්ද වගේ ප්රදේශවලින් මේ වෙද්දි හමුවෙලා තියෙනවා. ප්රකාශයට පත්වෙලත් තියෙනවා. මේ විදියට මහාවංසයේ තියෙන ඒවා පුරාවිද්යා සාධකවලින් ඔප්පු වෙලා තියෙන හැටි ගැන ලියන්න පුළුවන් පොතක් වුණත්. ඒ තරං තියෙනවා. කතුවරයෙක් ගෙ හිතේ මැවුණු හුදු ප්රබන්ධාත්මක සංකල්ප ගොන්නක මේ ලක්ෂණය තියෙන්න පුළුවන් ද? මහාවංසය කියන්නෙ තවත් එක් ප්රබන්ධයක් විතර යි කියන අයගෙන් මම කාරුණික ව ඉල්ලන්නෙ ඉස්සරලා මේ මූලාශ්රය හරියට කියවලා බලන්න කියන එක.
මහාවංසයේ සමහර තැන් තියෙනවා හැඩ වැඩ දාලා ලස්සන කරලා කතුවරයා කියන්න උත්සාහ කරපු. ඒක මම නැහැ කියන්නෙ නැහැ. හැබැයි අන්තර්ගතයෙ තියෙන ඓතිහාසික තොරතුරු විකෘති වෙන්නෙ නැති විදියට ඒවා බොහොම ලස්සනට කතුවරයා කියලා තියෙනවා. ලංකාවෙ ලියැවුණු පැරැණි පොත් බොහොමයක් ලියැවුණේ කවුරුහරි කියවද්දි අහගෙන ඉන්න පුළුවන් වෙන විදියට. ශ්රාවකයාට කියන කාරණාව අහගෙන ඉන්න කැමැත්තක් ඇති වෙන විදියට. ඒවා අපි අමතක කරන්න හොඳ නෑ.
මහාවංසයෙ ස්වභාවය ඇස් පනාපිට පේද්දි ඒක නවකතාවකට සමාන කරන්න තරම් අනුවණ වෙන්න පුළුවන් කාට ද?