අනුරාධපුර දක්ඛිණ ථූපය යනු, දුටුගැමුණු සොහොන ද? එළාර සොහොන ද?

• අනුරාධපුර දක්ඛිණ ථූපය යනු,
දුටුගැමුණු සොහොන ද? එළාර සොහොන ද? •
මේ මාතෘකාව කාලයක් ලොකු වාද විවාදවලට ලක් වුණු මාතෘකාවක්. එළාර-දුටුගැමුණු යුද්ධය පිළිබඳ ව බොහෝ දෙනෙක් දන්නවා. දුටුගැමුණු කුමාරයා එළාර ව පරාජය කරලා ජීවිතක්ෂයට පත් කළාට පස්සෙ, ඔහු ආදාහනය කරපු තැන (දැවූ තැන) චෛත්යයක් (චේති) ඉදි කරපු බව යි අපේ ප්රාථමික මූලාශ්රයවල සඳහන් වෙන්නෙ. මේ චෛත්යය අපි වර්තමානයේ දැක ගන්න දක්ඛිණ ථූපය කියලා කාලාන්තරයක් ම අදහසක් තිබුණා. ආචාර්ය ජේම්ස් ටී. රත්නම් වගේ අයත් මේ ස්තූපය එළාර සොහොන වශයෙන් අඳුනගන්න වැඩි කැමැත්තක් දක්වපු බව පේනවා. ඔහු ගෙ The Tomb of Elara at Anuradhapura වගේ ලේඛන කියෙව්වොත් මේ කරුණු අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ ම දක්ඛිණ ථූපය සම්බන්ධයෙන් එච්. සී. පී. බෙල් ඔහු ගෙ පුරාවිද්යා ගවේෂණ වාර්තාවල සටහන් කරද්දි ‘එළාර සොහොන’ කියන වචනය යොදන්න කටයුතු කරලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා එක්දාස් අටසිය අනූ ගණන්වල ඉඳන් ම මේ ස්ථූපය එළාර සොහොන විදියට විශ්වාසයක් පැවැතුණු බව.
නමුත් මේ ස්තූපය පිළිබඳ ව මහාචාර්ය සෙනරත් පරණවිතාන ගෙ අදහස වුණේ වෙන එකක්. දක්ඛිණ ථූපය කියන්නෙ එළාර සොහොන වශයෙන් හඳුනගන්න පරණවිතාන වැඩි කැමැත්තක් දැක්වුවෙ නෑ. ඔහු සාධක ගණනාවක් ඉදිරිපත් කරමින් මේ ස්ථානය එළාර ගෙ සොහොන නෙවෙයි කියන කාරණාව මතු කරන්න උත්සාහ කළා. මහාචාර්ය සෙනරත් පරණවිතාන රචනා කරපු ‘පුරාවිදු පරියේසණ’ කියන ග්රන්ථයේ එන ‘දක්ඛිණථූප – දුටුගැමුණු රජතුමාගේ සොහොන් ගැබ’ කියන කොටස කියවගත්තොත් පරණවිතාන මේ ස්ථූපය ගැන මොන වගේ අදහසක හිටියා ද කියන කාරණාව දැනගන්න පුළුවන්.
1946 වගේ වෙද්දි පරණවිතාන මේ ස්තූපයේ කැණීම් කටයුතු ආරම්භ කරලා තිබුණෙ. ඔහු 1949 විතර වෙනකං මේ කැණීම් කටයුතු නොකඩවා කරගෙන යනවා. මේ කාලවලට අයත් වාර්ෂික පුරාවිද්යා වාර්තාවලත් පරණවිතාන මේ ගැන සඳහන් කරනවා. දක්ඛිණ ථූපය සම්බන්ධයෙන් තනි ලිපියකින් දීර්ඝ විස්තරයක් පරණවිතාන ඉදිරිපත් කරන්නෙ 1972 දි විතර. ඒකෙ දි පරණවිතාන කියන්න උත්සාහ කළේ දක්ඛිණ ථූපය කියන්නෙ දුටුගැමුණු සොහොන මිසක්, එළාර සොහොන නෙවෙයි කියන එක. පරණවිතාන ඉදිරිපත් කරන ප්රධාන තර්කයක් වුණේ එළාර රජතුමා ගෙ සොහොන ඉදි වෙන්නෙ අනුරාධපුර නගරයේ දකුණු දොරටුව ආසන්නයේ නිසා දක්ඛිණ ථූපය එළාර සොහොන විය නො හැකි යි කියන එක. මොකද දක්ඛි ථූපය තියෙන්නෙ අනුරාධපුර පැරැණි නගරයේ දකුණු දොරටුව ආසන්නයේ නොවෙන නිසා. පරණවිතාන මෙහෙම කියනවා.
“දකුණු දොරටුව පිහිටා තිබුණේ දක්ඛිණවිහාරය පිහිටි ස්ථානයේ නොව ඊට උතුරෙන් නගර ප්රාකාරයේ තවත් ඉතුරුව ඇති කොටස් සමීක්ෂා කර බැලුවහොත් නිගමනය කරගත හැකි තැනක බව ඔප්පු කිරීමට තීරණාත්මක සාහිත්ය සාක්කි ඇත.”
1960 පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙ වාර්ෂික වාර්තාවෙ දි නගරයේ දකුණු වාසල් දොරටුවෙ කරපු කැණීම ගැන චාල්ස් ගොඩකුඹුර තරමක විස්තරයක් සටහන් කරනවා. ඒ වාර්තාව වැදැගත් වෙන්නෙ නගරයේ දකුණු වාසල් දොරටුව පුරාවිද්යාත්මක ව හඳුනා ගැනීම සම්බන්ධයෙන් සුවිශේෂී එකක් වන නිසා.
ජේම්ස්. ටී. රත්නම් එළාර සොහොන ගැන අදහස් පළ කරන්නෙ මේ ඔක්කොට ම පස්සෙ. මම නිවැරැදි නම් The Tomb of Elara at Anuradhapura නමින් නිකුත් වෙන දේශන පිටපත (මේ ප්රකාශනය යාපනය විශ්වවිද්යාලයේ දි ජේම්ස් ටී. රත්නම් පවත්වපු දේශනයක පිටපතක්) 1981 දි යාපනය පුරාවිද්යා සංගමය විසිනු යි ප්රකාශයට පත් කරන්නෙ. මම මුලින් කීවා වගේ රත්නම්, පරණවිතාන ගෙ අදහස එක්ක එකඟ වෙන්න මැලි කමක් දක්වනවා. ඔහු කැමති මේ ස්ථූපය එළාර සොහොන විදියට ම අඳුනගන්න.
එළාර රජතුමා වෙනුවෙන් ඉදි කරපු සොහොන මොන වගේ තැනක ද තිබිය යුත්තෙ කියන කාරණාව ගැන පරණවිතාන අවධානය යොමු කරනවා. මේ ඒ ගැන ඔහු කරන සඳහන.
“මෙසේ සාහිත්ය සාධකයන්ගෙන් මෙන්ම ගොඩනැඟිලිවලින්ද එක සේ පෙනීයන්නේ දකුණු වාසල්දොරටුව වර්තමාන වෛද්ය නිලධාරියාගේ නිවසට යාර කීපයක් උතුරින් පිහිටි බවයි. එම ස්ථානය අද පුඟුල්සතු ඉඩමකි. එහි පරීක්ෂණ කටයුතු කිසිවක් අරඹා නැත. නගරප්රාකාරයට පිටතින් ඇති මෙම ස්ථානයේ පැරණි චෛත්යයක ලකුණක් වශයෙන් ගත හැකි ගොඩැල්ලක් නැත. එවැනි ගොඩැල්ලක් මින් පෙර තිබිණි නම් එය මෙහි ගොඩනැඟිලි ඉදි කිරීමට හෝ වැවිලි වගා කිරීමට හෝ පටන්ගන්නා විට කපා මට්ටම් කරන්නට ඇත. එළාරයන්ගේ භෂ්මාවශේෂ මත අනුරාධපුරයේ වෛද්යනිලධාරියා අද සිය යහන පනවාගෙන ඇතැයි කිවහොත් එය වැරැදි නොවන්නට පුළුවන. එහෙමත් නොවේ නම් එකී නිලධාරියාගේ නිවස තනාදුන් කොන්ත්රාත්කරු ඒ අළු හතර අතට විසුරුවාදැම්මා විය හැකිය.”
අනුරාධපුර රුවන්වැලි මහාසෑය ළඟ තියෙන ඛුජ්ජතිස්ස ස්තූපය එළාර සොහොන විය හැකි යි කියලා අදහසක් මහාචාර්ය ටී. ජී. කුලතුංග ඉදිරිපත් කරනවා. කොහොම නමුත් දක්ඛිණ ථූපයට වඩා, ඛුජ්ජතිස්ස ස්තූපය අනුරාධපුර පැරැණි නගරයේ දකුණු දොරටුවට ආසන්න ව යි දැකගන්න ලැබෙන්නෙ.
මම මුලින් කියපු විදියට මහාචාර්ය සෙනරත් පරණවිතාන වැඩි කැමැත්තක් දැක්වුවෙ දක්ඛිණ ථූපය කියන්නෙ දුටුගැමුණු සොහොන කියලා පිළිගන්න. දුටුගැමුණු රජතුමා ආදාහනය කරපු තැන ගැන අවධානය යොමු කරන සෙනරත් පරණවිතාන මේ විදියට සටහන් කරනවා.
“අනුරාධපුරයෙහි පිහිටි සංඝ කමම්මාළකයක් ගැන දුට්ඨගාමිණී රජුන්ට පෙරත් පසුවත් ඇත්තේ එකම සඳැහුමකි. එය අප මිහිඳු තෙරණුවන් සම්බන්ධයෙන් සඳහන් කළ කම්මමාළකයයි. එබැවින් දුට්ඨගාමිණී රජතුමාගේ සිරුර ආදාහනය කරන්නට ඇත්තේ පිචුල හෙවත් පුලිල ගස පිහිටි තැන ඉදි කළ බැවින් මහ-පුලිල-මළුව යයි නම් වූ ස්ථානයේ පිහිටුවන ලද කම්මමාළකයේ විය යුතුය. තවද දක්ඛිණථූපය ඉදි කරන්නට ඇත්තේ සද්ධර්මාලංකාරයෙන් කියැවෙන පරිදි මහ-පුලිල-මළුවේ නම් ඒ ථූපය දුට්ඨගාමිණී රජතුමාගේ දේහය ආදාහනය කළ ස්ථානයේ ඉදි වූවකි. තවත් ලෙසකින් කිවහොත් එය ඉදි කර ඇත්තේ ඒ නරවීරයාගේ භස්මාවශේෂ මතය. රජතුමාගේ මරණාසන්න ආඥා අනුව අදාහන කටයුතු සිදු කළ යුතු වූයේ මහාථූපය (රුවන්වැලිසෑය) පෙනෙන තැනකය. දක්ඛිණථූපය පිහිටා තිබෙන්නේ රුවන්වැලිසෑයට දකුණිනි. අදත් එම ස්ථානයට රුවන්වැලිසෑයේ කොත් කැරැල්ල පෙනෙයි. අද ඒ දර්ශනයට ඇති බාධක දුටුගැමුණු රජ දවස නොතිබිණි නම් දක්ඛිණථූපය පිහිටි ස්ථානයට මුළු රුවන්වැලිසෑයම පෙනෙන්නට ඇත.
දුට්ඨගාමණී රජතුමාගේ ආදාහන කටයුතු සිදු කළ ස්ථානය නිස්සීම-මාළක යනුවෙන් හැඳින්වෙන බැවින් එය මහාවිහාරයේ සීමාවලින් පිටත තිබෙන්නට ඇති බවද මහාවංසය තවදුරටත් පෙන්නාදෙයි (තිස් දෙවැනි පරිච්ඡේදයේ 80 වැනි ගාථාව). දක්ඛිණ ථූපය අවශ්යයෙන්ම මහාවිහාර සීමාවලින් පිටත පිහිටා තිබෙන්නකි. ස්තූපය ඉදි කරන්නටත් පෙර හා එය වටා වැඩීගිය විහාරාශ්රම මහාවිහාරයේ ආඥාචක්රයෙන් නිදහස් නිකායකගේ මූලස්ථානය වීමටත් පෙරම මෙම ස්තූපය පිහිටුවනු ලැබූ කම්මමාළකය තිබෙන්නට ඇත්තේ මහාවිහාර සීමාවෙන් පිටත විය යුතුය. ශ්රී මහාබෝධීන් වහන්සේ මහාවිහාරයේ දකුණු සීමාවට ඉතා කිට්ටුවෙන් පිහිටි බව ලංකාවේ ඉතිහාස පුවත්වල පැවසෙයි. මහාවිහාරයේ දකුණු සීමාපවුර ශ්රී මහාබෝධියට බඹ සීයක් පමණ දකුණෙන් දැක්ක හැකිය.”
ලංකාවෙ ඉතිහාස කථාවල සඳහන් වෙලා තියෙන විදියට, එළාර රජතුමා වෙනුවෙන් ඉදිකරපු චෛත්යයට සෑම කෙනෙක් ම ගෞරව කළ යුතු යි කියලා ආඥාවක් නිකුත් කරන්න දුටුගැමුණු රජතුමා කටයුතු කරනවා. කාලාන්තරයක් යනකම් ම මේ පුරුද්ද ලංකාවෙ ජීවත් වුණු මිනිස්සු අතර තිබුණු බවට සාධක අපිට ඉතිහාසයෙන් හමුවෙනවා. උදාහරණයක් විදියට මේජර් ෆෝබ්ස් ඔහු ගෙ Eleven Years in Ceylon ග්රන්ථයේ කරන සඳහනක් පෙන්වන්න පුළුවන්. ඔහු කියනවා, 1818 කැරැල්ලෙන් පස්සෙ සතුරන් ගෙන් පලා යන්න උත්සාහ කරමින් හිටපු පිළිමතලාවෙ අධික වෙහෙසට පත් වෙලා හිටියත්, එළාර ගෙ සොහොන නිශ්චිත ව ම තිබුණු ස්ථානය අඳුනගන්න බැරි ව, ඒ ස්ථානය පහු කරගෙන බොහෝ දුරක් ආපු බව හැඟෙන තෙක් ම ඉදිරියට පයින් ගමන් කරපු බව.
දක්ඛිණ ථූපය ගැන කතා කරද්දි තවත් විශේෂ කාරණාවක් කියන්න ඕනෙ. දක්ඛිණ ථූපය කැණීම් කරද්දි අළු සහ අඟුරු තට්ටුවක් හොයාගන්නවා. පස්සෙ කාලෙක මේ භෂ්මාවශේෂ ප්රදර්ශනය කරන්න පවා කටයුතු කරනවා (1980 ජූනි 26). ඒ ප්රදර්ශනයට සමගාමී ව සමරු කලාපයක් නිකුත් කළා. මේ සමරු කලාපයට ලිපියක් ලියනවා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ ස්මාරක පරීක්ෂකයෙක් වුණු එච්. ඩී. එෆ් සරත් වත්තල. ඒ ලිපිය ‘දුටුගැමුණු භෂ්මාවශේෂ සොයාගත් හැටි’ කියන නමින් නම් කරලා තියෙනවා. ඒ හැම එකක් ගැන ම කතා කරන්න ගියොත් වෙන්නෙ ලිපිය තවත් දිග් වෙන එක නිසා ඒ ගැන මම වැඩිදුරටත් සඳහන් කරන්නෙ නැහැ.
තවත් එක කාරණාවක් ගැන විතරක් කතා කරලා මේ ලිපිය අවසන් කරන්නම්. දක්ඛිණ ථූපයෙන් හමු වුණු භෂ්මාවශේෂ දුටුගැමුණු රජතුමා ගෙ කියලා මේ වෙද්දි පිළිගැනීමක් තිබුණට, ඒ ගැන හොයලා බලන්න කමිටුවක් පත් කරන්න පවා මීට දශක කීපයකට පෙර කටයුතු කළා. ඒ විදියට පත් කරපු කමිටුව සකස් කරපු වාර්තාවෙ කොටසක් මේ.
“1978 නොවැම්බර් මස 3 වැනි දා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමති ඊ. ඇල්. බී. හුරුල්ලේ මහතාගේ උපදෙස් පරිදි සංස්කෘතික අමාත්යංශයේ ලේකම් නලින් රත්නායක මහතා විසින් කැඳවනු ලැබූ වියතුන් ගේ රැස්වීමක දී දුටුගැමුණු රජතුමා ගේ යැ යි සැක කරන අළු සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට බැසීම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එහි ලා ගත යුතු ප්රථම පියවර වශයෙන් එවකට අනුරාධපුරයේ පුරාවිද්යා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබූ දුටුගැමුණු රජතුමා ගේ යැ යි සැලැකෙන අළු කොළඹට ගෙනවුත් ඒවා මිනී අළු දැ යි රජයේ රස පරීක්ෂක ලවා පරීක්ෂාවක් කරවා වාර්තාවක් ලබා ගන්නට තීරණය විය. දෙවන පියවර වශයෙන් පුරාවිද්යා කැණීම්වල දී එකී අළු සම්භ වූ ස්ථූපය දුටුගැමුණු රජු ගේ සොහොන මත ඉදි කරන්නට ඇතැ යි ද එම ථූපය පිහිටි භූමි භාගය දුටුගැමුණු රජතුමා ආදාහනය කළ පුලිල මළුව විය හැකි යැ යි ද මහාචාර්ය සෙනරත් පරණවිතාන වියතුන් පළ කළ අදහස ඓතිහාසික හා පුරා විද්යාත්මක සාක්ෂ්ය අනුව වැඩිදුරටත් සොයා බලා වාර්තා කිරීමට පහත සඳහන් කමිටුව තෝරා පත් කරගන්නා ලදි:
1. මහාවංස සම්පාදන මණ්ඩලයේ සභාපති හා ප්රධාන කර්තෘ ආචාර්ය නන්දදේව විජේසේකර මහතා (සභාපති)
2. සිංහල ශබ්දකෝෂයේ සම්මාන කර්තෘ රාජකීය පණ්ඩිත හොරණ වජිරඤාණ ස්වාමීන් වහන්සේ
3. කැළණි විශ්ව විද්යාලයයේ පුරාවිද්යා අංශ ප්රධාන ආචාර්ය අභය ආරියසිංහ මහතා
4. පුරාවිද්යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා
5. පේරාදෙණි විශ්ව විද්යාලයයේ පුරා විද්යාව පිළිබඳ මහාචාර්ය පී. ඇල්. ප්රේමතිලක මහතා
6. මාතර විශ්ව විද්යාලයයේ ඉතිහාස අංශ ප්රධාන මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා
7. අද්ධ්යාපන ප්රකාශන අංශයේ ප්රධාන සංස්කාරක පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා
8. පුරාවිද්යා නියෝජ්ය කොමසාරිස් රෝලන්ඩ් සිල්වා මහතා
9. පුරාවිද්යා සහකාර කොමසාරිස් ඇම්. එච්. සිරිසෝම මහතා
10. පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්යා සහකාර සරත් වත්තල මහතා
11. ශ්රී ලංකා පුරාවිද්යා සංගමයේ සම ලේකම් සාම විනිසුරු ඩග්ලස් ඩී. රණසිංහ මහතා
12. මහාවංස සම්පාදන මණ්ඩලයේ ලේකම් වෙ. වි. අභයගුණවර්ධන මහතා (ලේකම්)”
මම සඳහන් කරලා තියෙන උධෘතයේ තනතුරු නාම, විශ්වවිද්යාල නාම වගේ ඒවා කමිටු වාර්තාවෙ තියෙන විදියට යි සඳහන් කරලා තියෙන්නෙ.
මේ කමිටුවෙ නිගමනයත් බොහොම වැදැගත්. ඒ කොටසත් මම උපුටා ගෙන සටහන් කරන්නම්.
“දුටුගැමුණු භෂ්මාවශේෂ පරීක්ෂණ කමිටුවේ පරීක්ෂණවලදී ඉදිරිපත් වී ඇති ඉහත සඳහන් ඓතිහාසික, සාහිත්යික හා පුරා විද්යාත්මක සාක්ෂ්ය අනුව කම්මමාළකය (පුලිල මළුව) එකල රාජඝරයට දකුණින් රුවන්වැලි සෑයට පෙනෙන මානයේ පිහිටි බවත් එහි දුටුගැමුණු රජතුමාගේ දේහය ආදාහන කළ බවත් එම භෂ්මාවශේෂ මත එතුමාගේ මලණු තිස්ස (පසුව සද්ධාතිස්ස) විසින් දක්ෂිණ ථූපය ගොඩ නඟන ලද බවත් එම ථූපය කැණීමේදී හමු වූ අළු දුටුගැමුණු භෂ්මාවශේෂ විය හැකි බවත් අපි නිගමනය කරමු.
එසේ ම අනාගතයේ දී ලැබිය හැකි වෙනත් සාක්ෂ්ය අනුව යට දැක්වුණු ඇතැම් නිගමනයන් වෙනස් වන්නට හෝ වැඩි දුරටත් තහවුරු වන්නට හෝ ඉඩ ඇති බවද අපි මෙහි ලා ප්රකාශ කරනු කැමැත්තෙමු.
අත්සන්:
ආචාර්ය නන්දදේව විජේසේකර (සභාපති)
ආචාර්ය හොරණ වජිරඤාණ හිමි
ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න
මහාචාර්ය පී. ඇල්. ප්රේමතිලක
මහාචාර්ය සිරිමල් රණවැල්ල
පණ්ඩිත ගුණපාල සේනාධීර
රෝලන්ඩ් සිල්වා
ඇම්. එච්. සිරිසෝම
සරත් වත්තල
සාම විනිසුරු ඩග්ලස් ඩී. රණසිංහ
ආචාර්ය අභය ආරියසිංහ (රටින් බැහැර ගොස් සිටී)
වෙ. වි. අභයගුණවර්ධන
(සාමාජික හා ලේකම්)
1979 අගෝස්තු මස 27 වැනි දින කොළඹ දීය.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය දක්ෂිණ ථූප ස්ථානය ම යැ යි නිශ්චිතව නිගමනය කිරීමට මෙතෙක් ලැබී ඇති සාක්ෂි ප්රමාණවත් නොවෙතත් සැකයේ වාසිය වැඩිදෙනාගේ පිළිගැනීමට එක්කොට වාර්තාවේ දැක්වෙන නිගමනයට එකඟ වෙමි.
(ගුණපාල සේනාධීර)
දුටුගැමුණු භෂ්මාවශේෂ මත සද්ධාතිස්ස විසින් දක්ෂිණ ථූපය ගොඩ නගන්නට ඇතැයි නිගමනය කිරීම ඉදිරිපත් වී ඇති සාක්ෂ්යවලට වඩාත් සමීපය යන සංශෝධනයට යටත්ව මම අත්සන් කරමි.
(පී. එල්. ප්රේමතිලක)”
දක්ඛිණ ථූපය ගැන මේ වෙද්දි අනාවරණය කරගෙන තියෙන කාරණා බොහොමයක් තියෙනවා. ⁣මේ එයින් තෝරාගත් ⁣කාරණා කීපයක් ගැන බොහොම කෙටි විස්තරයක් විතර යි.