අතීත ලංකාවෙ ජීවත් වුණු ඓතිහාසික චරිත කීපයකට අදාළ ව කතා කෙරෙන සුසාන කීපයක් පිළිබඳ පොඩි සටහනක් තියන්න හිතුනා.
1. කුවේණිය ගේ සහ විජය ගේ සොහොන්
විජය රජතුමා ගෙ සොහොන විදියට හැඳින්වෙන ස්ථානයක් කුරුණෑගල දිස්ත්රික්කයේ හෙට්ටිපොලට ආසන්න මැදගම කන්දේ පිහිටලා තියෙනවා. මේ ස්ථානයේ දකින්න ලැබෙන්නෙ දාගැබක ස්වරූපය දරන ඉදි කිරීමක්. නමුත් මම දන්න විදියට මේක විජය රජතුමා ගේ සොහොන ම යි කියලා නිශ්චිත ව ම මේ වෙනතුරුත් තහවුරු කරගෙන නෑ. මේ ස්ථානය විජය සොහොන විදියට නම් කරන්නෙ ජනප්රවාදය. මේ සොහොන ඇති වුණු හැටි ගැනත් ජනප්රවාදයේ යම් යම් තොරතුරු සඳහන් වෙනවා. නමුත් ඒ තොරතුරුවල සත්යතාවය මොනවගේ ද කියන එක අපැහැදිලි යි.
විජය රජතුමා ගෙ සොහොන ගැන විතරක් නෙවෙයි. කුවේණිය දවපු තැන ගැනත් තොරතුරු යම් යම් මූලාශ්රයවලින් ලැබෙනවා. විජය සොහොන සම්බන්ධයෙනුත් ඒ ජනප්රවාදය වැදැගත් නිසා ඒකත් සටහන් කරන්නම්.
විජය කුමාරයා කුවේණිය ව මාලිගාවෙන් පළවා හැරියට පස්සෙ විල්බාවේ දේවාලය තියෙන ලෙණට වෙලා හැංගිලා ඉඳලා තියෙනවා (තවත් ජනප්රවාදයක කියන විදියට මේ ලෙණේ හැංගිලා හිටියෙ විජය නෙවෙයි. විජය කුමාරයා සරණ පාවා ගන්න මධුරා පුරයෙන් ගෙනාපු ක්ෂත්රීය කාන්තාව). මේ විදියට ලෙණේ දොර වහගෙන හැංගිලා හිටපු විජය කුමාරයා ගැන කුවේණිය දැන ගන්නවා. ඇය ලෙණට ඇවිත් යතුරු සිදුරෙන් ලෙණ ඇතුළ බලද්දි විජය කුමාරයා ව දකිනවා. ඇය විදුරු දිවක් මවාගෙන ලෙණ් දොරේ යතුරු සිදුරෙන් දිව ලෙණ ඇතුළට දානවා. මේ සිදුවීම දකින විජය කුමාරයා විවාහ කරගෙන හිටපු මධුරා පුරයෙන් ගෙන්වා ගත් කුමාරිකාව කඩුවක් ඇදලා අරං කුවේණිය ගෙ දිව කපලා දානවා. දිව කැපීම නිසා වේදනාවෙන් මිරිකුණු කුවේණිය එතැනින් දුවලා ගිහිං ඇහැටුවැව ප්රදේශයේ දි මැරිලා වැටුනලු. මේ සිදුවීම දැනගත්තු විජය කුමාරයා, මිය ගිය කුවේණිය ගෙ සිරුර විල්බාවට බටහිරින් තියෙන බඹරගල කන්දෙ තැන්පත් කරපු බව ජනප්රවාදය සඳහන් කරනවා. යම් දවසක තමන් ද මිය ගියාට පස්සෙ කුවේණිය ආදාහනය කරපු තැන ම ස්වකීය ශරීරයත් ආදාහනය කරන්න කියලා විජය කුමාරයා පැවැසුවත්, ඒ දේ කරගන්න රජතුමා ගෙ ඇමතිවරුන්ට පුළුවන්කමක් ලැබිලා නෑ. ඒ දේ කරන්න අමනුෂ්යයො ඉඩ දුන්නෙ නැති බව යි ජනප්රවාදය සඳහන් කරන්නෙ.
විල්බාවෙ විහාරයට විමලධර්මසූරිය රජතුමා දුන්න සන්නසේ (දේවානම්පියතිස්ස රජතුමා මුලින් දුන්න ප්රධානයක් විමලධර්මසූරිය රජතුමා විසින් රාජකීය නිළධාරීන් ලවා පරීක්ෂා කරවලා තඹ සන්නසකින් නැවැත වාරයක් කළ තහවුරු කිරීමක් විදියට යි මේ සන්නස ගැන සඳහන් වෙන්නෙ) විහාරයට වෙන් කරපු ඉඩකඩම්වල මායිම් ගැන කියද්දි ‘නැගෙනහිරට ඇඟිල්ල කැපූ ගල බස්නාහිරට කුවේණි දවා සොහොන් කළ සොහොන්පල’ ආදි වශයෙන් සටහනක් දකින්න පුළුවන් බව ලේඛනවල සටහන් වෙලා තියෙනවා. මේ ගැන තවත් ලියන්න තරම් කාරණා තියෙනවා. නමුත් දැනට මේ ඇති.
2. භල්ලුක ගේ සොහොන හෝ එළාර ගේ මහ සෙනෙවියා ගේ සොහොන
මේකත් ජනප්රවාදය එක්ක ගැටගැහිච්ච කතාවක්. මහකුඹුක්කඩවල, කොට්ටුකච්චිය පාරෙ යද්දි හමු වෙන දංගස් හන්දියෙන් මදුරන්කුලිය පාරෙ තරමක් දුර යද්දි කිවුල්කැලේ සොහොන් කල්ම කියලා ස්ථානයක් ගැන මහාචාර්ය මුදියන්සේ දිසානායක සඳහන් කරනවා. දුටුගැමුණු රජතුමා ගෙ දස මහ යෝධයන් ගෙන් කෙනෙක් වුණු වේළුසුමන සෙනෙවියා විහාර මහා දේවිය ගේ දොළ දුක සංසිඳුවන්න එළාර රජතුමා ගේ මහ සෙනෙවියා ගෙ හිස සිඳන ලද ස්ථානය මේ ස්ථානය බව ජනප්රවාදයේ සඳහන් වෙන බව යි එතුමා සඳහන් කරන්නෙ. මේ ස්ථානය ගැන තවත් ජනප්රවාදයක් එතුමා ම සඳහන් කරනවා. දුටුගැමුණු රජතුමා සහ භල්ලුක අතර ඇති වුණු යුද්ධයේ දී මියගිය භල්ලුක ගෙ දේහය සොහොන් කළේ මේ සොහොන් කල්ම කියන ස්ථානයේ බවට තවත් ජනප්රවාදයක් පවතින බව යි ඒ. භල්ලුක සොහොන් කිරීමෙන් නොනැවතුණු දුටුගැමුණු රජතුමා එතැන සමරු ටැඹක් පිහිටුවන්නත් කටයුතු කළාලු. වර්තමානයේ සොහොන් කල්ම වැව ගාව තියෙන ගල් ටැඹ භල්ලුක ගෙ සොහොන ගාව දුටුගැමුණු රජතුමා පිහිටවපු ටැඹ බවට ප්රදේශවාසීන් පවසන බව යි මුදියන්සේ දිසානායක මහතා සටහන් කරලා තියෙන්නෙ.
3. දුටුගැමුණු සොහොන හෝ එළාර සොහොන
කාලාන්තරයක් තිස්සේ ම එළාර රජතුමා ගෙ සොහොන විදියට මිනිස්සු හඳුනගත්තෙ වර්තමානයේත් අපිට දකින්න ලැබෙන අනුරාධපුර දක්ඛිණ ථූපය. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන වගේ උගත් ලේඛකයො තර්ක කරපු විදියට ඒක එළාර සොහොන නෙවෙ යි. ඒ දුටුගැමුණු රජතුමා ගෙ සොහොන. මේ ගැන ලිපිය මෙතැනින් බලන්න පුළුවනිමම පළ කරලා තියෙනවා. ඒ ලිපිය බලන්න පුළුවන්.
4. සීගිරි කාශ්යප රජතුමා ගෙ සොහොන
සීගිරිය කියන්නෙ සෙනරත් පරණවිතානයන් ව තදින් ඇද බැඳ ගත්ත තැනක්. සීගිරියට අවධානය යොමු කළාට පස්සෙ එතුමා කාශ්යප රජතුමා ගෙ සොහොන හොයන්නත් උනන්දු වුණා. සීගිරියෙ ඉඳං කිලෝමීටර් එකහමාරක් විතර දුරින් තියෙන පිදුරංගල විහාරයට පරණවිතානයන් ගෙ අවධානය යොමු වෙන්නෙ මේ අතරෙ. පිදුරංගල තිබුණු ස්තූපය කැණීම් කරන්න පරණවිතාන සූරීන් කටයුතු කළා. මේ කැණීමේ දී කිසියම් ආකාරයක සිරුරක් ආදාහනය කළ ආකාරයේ අඟුරු තට්ටුවක් සොයාගන්න එතුමා සමත් වුණා. ස්තූපය ඉදි කරලා තිබුණෙ මේ අඟුරු තට්ටුව මත. මේ ගැන අදහසක් මතු කරන සෙනරත් පරණවිතානයන් ගෙ අදහස වුණේ මේ ස්ථානය කාශ්යප රජතුමා ගෙ ආදාහනය සිදු කරපු ස්ථානය බව සහ ස්තූපය ඉදි කරලා තියෙන්නෙ ඒ මත බව.
සොහොන් හතරක් ගැන මම කෙටියෙන් සටහන් කළා. මේ වගේ සොහොන් ගැන ලංකාවෙ බොහෝ තැන්වලින් තොරතුරු ලැබෙනවා. ගොඩක් ඒවා ජනප්රවාද. මම ලිපියෙ සටහන් කරලා තියෙන සොහොන්වලට අමතර ව විවිධ භික්ෂූන් වහන්සේලා ආදාහනය කරපු ස්ථාන ගැන පවා තොරතුරු හමු වෙනවා. නමුත් ඒ තැන් ගැන සටහන් කරන්න මම උනන්දු වුණේ නෑ. දැනට නවතිනවා. ජය!