රජගල මිහිඳු ලිපියේ එන ‘ඉදිය අගතන’ යන්නෙහි අර්ථය: සෘද්ධියෙන් පැමිණි බව ද? සමෘද්ධිය පිණිස පැමිණි බව ද?
මිහිඳු හිමි ගේත්, ඉට්ඨිය තෙරුන් ගේත් නම සඳහන් ශිලා ලේඛනයක් රජගල ගල් තලාවක කොටලා තියෙනවා. ලංකා ඉතිහාසය අධ්යයනය කරද්දි මේ ලිපිය බොහොම වැදැගත් ලිපියක් විදියට සාකච්ඡා වෙනවා. විශේෂයෙන් මහාවංසය වගේ මූලාශ්රයවල විශ්වසනීයත්වය තහවුරු කරගන්නත් මේ වගේ ලිපිවලින් සැලැසෙන සේවය සුලුපටු නෑ. මිහිඳු තෙරුන් ගේ ලංකාගමනය තහවුරු කරන සාධකයක් විදියටත් රජගල දකින්න ලැබෙන මේ ශිලා ලේඛනය වැදැගත්.
ලිපියෙ පෙළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් කියවලා තියෙන්නෙ මේ විදියට.
“යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික-[තෙර ම]හිද-තෙරහ තුබෙ”
ලිපියෙ සරල අර්ථය මෙහෙම යි.
“මේ දිවයිනේ මුඛ්ය වාසනාව පිණිස ප්රථමයෙන් වැඩම කරන ලද ඉට්ඨිය තෙරුන් ගේත්, මහින්ද තෙරුන් ගේත් ස්තූපය යි”
ලිපියෙ අපිට දකින්න ලැබෙන එක වචනයක් ගැන යි අවධානය යොමු කරන්නෙ. ලිපියෙ තියෙනවා ‘ඉදිය’ කියලා වචනයක්. මේ ඉදිය කියන වචනෙ පරණවිතාන සූරීන් ඉංග්රීසියට පරිවර්තනය කරන්නෙ ‘Foremost Good Fortune’ කියලා. සරල ව ගත්තොත් මේ වචනෙට තියෙන්නෙ ‘මුඛ්ය වාසනාව’ වගේ අර්ථයක්. චන්දිම අඹන්වල සූරීන් Archaeology.lk පිටුවෙ පළ කරපු ලිපියක මේ වචනය ‘උත්කෘෂ්ට වාසනාව’ කියලා සටහන් කරලා තියෙනවා. ඒ වෙබ් අඩවියට ම ඉෂංඛ මල්සිරි සූරීන් ලියපු ලිපියක මේ වචනය ‘සමෘද්ධිය පිණිස’ කියලා සටහන් කරලා තියෙනවා. මේ පරණවිතාන සූරීන් භාවිත කරපු අර්ථයට ගැලැපෙන ඉංග්රීසි වචනයට දුන්නු සිංහල වචන.
‘ඉදිය අගතන’ කියන වචනය විග්රහ කරද්දි තවත් විද්වත් පිරිසක් ‘සෘද්ධියෙන් පැමිණි’ හෝ ‘සෘද්ධියෙන් වැඩම කරන ලද’ කියන අර්ථය දුන්නා. ඔවුන් ‘ඉදිය’ කියන වචනයෙන් ගම්ය කරන්නෙ ‘සෘද්ධිය’ කියන අර්ථය බව යි අදහස් කළේ. උදාහරණයක් විදියට එල්ලාවල මේධානන්ද හාමුදුරුවො ලියපු ‘පාචීන පස්ස – උත්තර පස්ස නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුම’ කියන කෘතියෙ රජගල ලිපිය ගැන කෙරෙන සකාච්ඡාවෙදි ලිපියෙ අර්ථය ‘මේ දිවයිනට සෘද්ධියෙන් වැඩි මහින්ද, ඉට්ඨිය යන මහරහතන් වහන්සේලාගේ …’ ආදි වශයෙන් සටහන් කරලා තියෙනවා. ඒ කාරණාවෙන් පැහැදිලි වෙනවා උන් වහන්සේත් ‘ඉදිය’ කියන වචනෙ හඳුනගන්නෙ ‘සෘද්ධිය’ කියන අර්ථයෙන් බව. Department of Archaeology, Sri Lanka ෆේස්බුක් පිටුවෙ ජනවාරි 30 වැනි දා කර ඇති පළ කිරීමක පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග සූරීන් රජගල ලිපියට ලබා දෙන නව අර්ථ කථනයක් පිළිබඳ සඳහන් කරලා තිබුණා. ‘මෙම දිවයිනට ප්රථමව සෘද්ධියෙන් වැඩමවා…’ ආදි වශයෙන් එතුමා ගේ අර්ථ කථනයත් ඉදිරියට ගමන් කොට තිබුණු නිසා එතුමාත් ‘ඉදිය’ කියන වචනය ‘සෘද්ධිය’ යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ යැ යි කල්පනා කරන බව පේනවා.
මේ විස්තරත් එක්ක බැලුව ම ‘ඉදිය’ කියන වචනය අර්ථ ගැන්වුණු ආකාර දෙකක් ප්රධාන වශයෙන් අපිට පේනවා.
‘ඉදිය’ කියන සිංහල ප්රාකෘත වචනය හැදිලා තියෙන්නෙ ‘ඉද්ධි’ කියන පාලි වචනයෙන්. බොහෝ තැන්වල දි මේ වචනය ‘සෘද්ධිය’ කියලා අපි තේරුම් ගන්නවා. පටිසම්භිදාමග්ගප්පකරණයේ පඤ්ඤා වග්ගයේ ඉද්ධිකථාවල ‘ඉද්ධි’ කියන වචනෙ මේ විදියට විග්රහ කරනවා. ‘කා ඉද්ධී’ති’ ඉජ්ඣනට්ඨෙන ඉද්ධි’. මේ පාඨයේ ‘ඉද්ධි’ කියන එක විග්රහ කරන්නෙ ‘ඉජ්ඣනට්ඨෙන ඉද්ධි’ කියලා. පාලියෙන් ‘ඉජ්ඣන’ කියන්නෙ ‘සමෘද්ධිමත් වීම’ වගේ තේරුමක් තියෙන වචනයක්. ‘ඉජ්ඣනට්ඨෙන ඉද්ධි’ කියන වචනයෙන් කියන්නෙ ‘සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධි’ වෙනවා කියන එක. මේ වචනය ගැන තව ටිකක් විග්රහ කරලා තියෙනවා වම්බටුවැවේ ධර්මකීර්ති ශ්රී ශ්රීනිවාස හාමුදුරුවො ධර්මපද ප්රදීපයෙ. උන් වහන්සේ කරන විස්තරයෙ මේ විදියට සටහන් කරනවා.
“සෘද්ධි නම්: සමෘද්ධියට පැමිණීම ය, – අදහසට අනුව සිදුවීම ය …”
“සෘද්ධි” කියන වචනයට “සං” උපසර්ගය යෙදීමෙන් “සමෘද්ධි” වචනය සකස් වෙලා තියෙන බව ගනුෂ්ක රන්දුල සූරීන් අප සමග පැවැසුවා. ඒ, මනා සෘද්ධිය = සමෘද්ධිය විදියට.
පෙළ දහමෙ ‘ඉද්ධි’ කියන වචනය විග්රහ කරන්නෙ ආගමික සන්දර්භයකින්. ඉද්ධි කථාවල පවා ඉද්ධිය කීය ද? ඉද්ධි භූමි, පද, මුල් කෙතෙක් ද? ආදි වශයෙන් සාකච්ඡා කෙරිලා තියෙනවා. නමුත් ‘ඉද්ධි’ කියන වචනෙ ඇතුළෙ තියෙන සමෘද්ධාර්ථය නිසා රජගල ලිපියෙ ‘ඉදිය අගතන’ කියන වචනයත් ඒ පදනමින් ම ‘සමෘද්ධිමත් කිරීමට පැමිණි’ අර්ථයෙන් සාකච්ඡා කරන්න බැරි කමක් නැති බව පේනවා.
මහාවංස ටීකාව වගේ මූලාශ්රය එක්ක ගැලැපුවොත් අපිට ‘ඉදිය අගතන’ කියන වචනෙට වැඩි බරක් දෙන්න වෙන්නෙ ‘සෘද්ධියෙන් පැමිණි’ කියන අර්ථය එක්ක. මෙතැන දි සෘද්ධිය කියන එකෙන් අදහස් කරන්නෙ සාමාන්ය මනුෂ්යයකුට කළ නොහැකි සෘද්ධි ප්රාතිහාර්යාත්මක ස්වරූපයේ තත්ත්වයක් ගැන.
මිහිඳු තෙරුන් ව සම්මුඛ වෙලා සාකච්ඡා කරමින් ඉන්න අතරෙ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු හාමුදුරුවන් ගෙන් ප්රශ්නයක් අහනවා.
“ස්වාමීනි, ආවෙ කොහොම ද?”
ඒ වෙලාවෙදි මිහිඳු හාමුදුරුවො දුන්න පිළිතුර ගැන ටීකාව සටහන් කරන්නෙ මෙහෙම.
“න ථලෙන නවාරිනාති, නෙව මහාරාජ උදකෙන ආගමම්හ න ථලෙනාති වුත්තෙ සො රාජා “ඉමෙ ආකාසෙන ආගතාති තෙසං නභසාගමං විජානි”
(න ථලෙන නවාරිනාති යනුවෙන්, මහරජ දියෙනුදු නො පැමිණියෙමු. ගොඩිනුදු නො පැමිණියෙමු යි කී කල්හි ඒ රජ තෙමේ මොවුහු ආකාසයෙන් පැමිණියේ යි අහසින් පැමිණි බව දැන ගත්තේ ය.)
රජගල ලිපිය කරවපු ලේඛකයා ලිපියෙ ‘ඉදිය’ කියන වචනෙ යෙදුවෙ මොන අර්ථයෙන් ද කියන කාරණාව අපි දන්නෙ නෑ. නමුත් අපිට දැනට දන්න තොරතුරු අනුව ඒ වචනයට ‘සෘද්ධිය’ කියන අර්ථය දුන්නත්, ‘සමෘද්ධිය’ හෝ ‘මුඛ්ය වාසනාව, උත්කෘෂ්ට වාසනාව’ වගේ අර්ථ දුන්නත් වරදක් නැති බව යි මගේ හැඟීම.