ශිව වටුක, සිය වටුක, වටුක රාක්ෂ, වටුක බහිරව, ශිව වටුක බහිරව මේ වගේ නම් ගණනාවකින් ශිව වටුක යක්ෂයා ව හඳුන්වනවා. ලාංකික විශ්වාස අතර තියෙන ශිව වටුක ගෙ උපත් කතාවක් ගැන මට තොරතුරක් හොයාගන්න බැරි වුණා. ඉන්දියානු විශ්වාස අතරත් වටුක බහිරව කියලා විශ්වාසයක් තියෙනවා. ඉන්දියානු වටුක බහිරවයා ගේත්, ලංකාවෙ ශිව වටුක බහිරවයා ගේත් යම් යම් විෂමතා තියෙනවා. ලංකාවෙ ශිව වටුක ගෙ ආරම්භය ඉන්දියානු වටුක බහිරවයා ගෙ ආභාසයෙන් ඇති වුණු එකක් ද කියන එක වැඩි දුරටත් හොයලා බලන්න ඕනෙ කාරණාවක්.
ශිව වටුක ගෙ රූපය වැලිහිඳ සුදර්ශනාරාමයේත් ඇඳලා තියෙන බව උදේනි අරුණසිරි ගෙ ලිපියකින් දැක්කා. මහ සමන් දේවාලයේත් ශිව වටුක ගෙ රූපයක් දකින්න පුළුවන්. ශිව වටුක කියන්නෙ භයානක පෙනුමක් තියෙන අමනුෂ්යයෙක්. ලංකාවෙ සාම්ප්රදායික මන්ත්ර ශාස්ත්රයේත්, බලි ශාන්තිකර්මවලත් ශිව වටුක ගැන කතා කරනවා. වටුක රාක්ෂ යන්ත්රය, වටුක රාක්ෂ දැහැන, ශිව වටුක රාක්ෂ බලිය ඒ අතරින් කීපයක්.
ලංකාවෙ සාම්ප්රදායික බලි ශාන්තිකර්ම කවිවල ශිව වටුක ගෙ ස්වභාවය විස්තර කරනවා මේ විදියට.
පතිත ජටිල කෙසර වැටිය මුදුන දෙපිට සැඩ දෙකර ට
ලංබ හස්ත තිනෙත දරා අත් දසයක් අඹ මෙලෙස ට
කපල් ත්රිශුල පාසාවක් අංකුසයක් ගෙන සුරත ට
පුනරවි කඩු ගත් විලසට කර්ග චක්ක්ර මුගුරු අත ට
අරුණ කිරණ මල් වඩමකි මිනී හිසක් ගෙන සුරත ට
සරුවභරණ රතු වත ඇඳ සුනක වාහනේ වැඩ සි ට
සර්ප මාල පැළඳ අතින් රුදුරු යකෙක් ගෙන බිය කො ට
යකුන් වෙවුලුවයි මෙලෙසින් සිය වටුකේ බලි දුටු වි ට
සිරස පටන් දෙපයට ගත් වැටුනු අවුල් කෙස් වැටියෙ ක
සරොස ලෙසින් නිල් පෑ ගත සුරත දැරූ ගන්ටාරෙ ක
මෙලෙස රකුසු මූණ අඹා අඳිමින් එහි රතු පිළියෙ ක
තුනෙක රතින් පිටිතොල දත් විකා බොමින් උරිරු මුවෙ ක
දැඩි තර සුනකයකු අරා භරණ පැළැඳ සුනිල් ලෙ සේ
නිසි ලෙස දැරු ඇස් මාලය ගෙල වට මුතු මාල ලෙ සේ
රොස කර එන යක්ෂ භූත අමියා පිරිපත විල සේ
දොස හැම පිරිපත දුරුවෙයි සිය වටුකේ බලෙන් මෙ සේ
ශිව වටුකට විශාල බලයක් තියෙන බව යි පිළිගැනෙන්නෙ. ආවේශ නොවෙන යක්ෂයන් අාවේෂ කරවන්න ශිව වටුකට පුළුවන්ලු. යක්ෂ රෝග සුව කරන්නත්, අන විණ දෝෂ, නවග්රහ අපල දුරු කරන්නත් ශිව වටුකට හැකියාවක් තියෙන බව යි පිළිගැනෙන්නෙ. ඒ වගේ ම ඉඩ කඩම්, වතු පිටි ආරක්ෂා කරන්නත්, සතුරු බලවේග මර්ධනය කරන්නත් ඔහුට හැකියාවක් තියෙනවා. අමනුෂ්යයින් පවා ශිව වටුකට විශාල බියක් දක්වන බව යි පැවැසෙන්නෙ. වටුක රාක්ෂ සම්බන්ධයෙන් මේ වගේ සාම්ප්රදායික පිළිගැනීම් ගණනාවක් ම තියෙනවා.
බලි ඇදුරො භාවිත කරන මේ සකු කියමනෙත් ශිව වටුක ගැන සඳහන්.
පත්ති ජටිල කේශාම් ලම්භ හස්තං ත්රිනේත්රං
කරකලිත කපාලං ශූලපාසංකුසං ච
ප්රානරපිකර චක්ක්රං කර්ග වේතාල ගංඨං
හරිනරුදිරප්රංචිත් ප්රේෂ්ටදඟිස්ටාර රුද්ද්රං
අතිගමය නීලාං රත්න වස්ත්රාව්රතංච
සුනීඛයමවහංතං පාතු විඝ්නංබහස්තම්
සකල භය ත්රිදෝසම් සර්ව දුක්ඛංච නාසං
වටුක රුදුරු භූතාං රක්ෂතේ දීර්ඝමායුඃ
මේ ශ්ලෝක දෙකේ සංස්කෘත නං අශුද්ධ යි වගේ පේනවා. නමුත් ශිව වටුක සම්බන්ධයෙන් අදහසක් ගන්න ඒ දුර්වලතාවය බාධාවක් නෙවෙ යි කියලා හිතනවා.