ඉන්දියානු ඉතිහාසයේ නන්ද රාජ වංශයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ථෙරවාදි බෞද්ධ ඉතිහාසයේ සුප්රකට දෙ වැනි ධර්ම සංගායනාව කරවපු කාලාශෝක රජතුමා ව ඝාතනය වුණාට පස්සෙ යි භාරතීය මගධ අධිරාජ්යයේ නන්ද රාජ වංශය බලයට පත් වෙන්නෙ. ඒ ‘මහා පද්ම’ හෙවත් ‘උග්රසේන’ රජතුමා ගෙන්. මහා පද්ම නන්ද කියන්නෙ විශාල අධිරාජ්යයක් ගොඩනගපු කෙනෙක්. කාලිංගය, කෝසලය, ඩෙකෑනයේ ඇතැම් ප්රදේශ, අස්මක ආදි ප්රදේශ මහා පද්ම ගෙ අධිරාජ්යයට අයත් ව පැවැතුණු බව සඳහන් වෙනවා.
මහා පද්ම ගෙ මරණයෙන් පස්සෙ ඔහු ගෙ පුතුන් අට දෙනා පිළිවෙලින් රජ වෙනවා. බෞද්ධ සාහිත්යයේ සඳහන් වෙන විදියට මේ අය අතරින් බාල ම පුත්රයා තම යි ‘ධන නන්ද’ කියන්නෙ. ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ගෙ සමකාලීනයෙක්. මගධ අධිරාජ්යයෙ නන්ද රාජ වංශය අවසන් වෙන්නෙත් ධන නන්ද රජතුමා ගෙන්. පැරැණි භාරතයේ සුප්රකට දේශපාලන චින්තකයා හෙවත් කෞටිල්ය චාණක්ය තම යි ධන නන්ද රජතුමා ව බලයෙන් පහ කරන්න උපක්රමශීලී ව කටයුතු කරන්නෙ. ධන නන්ද ව බලයෙන් පහ කරලා චන්ද්රගුප්ත මෞර්ය බලයට පත්වන තැනට කටයුතු යොදන්නෙත් මේ චාණක්ය ම යි (කෞටිල්ය චාණක්ය ගැන මම මීට කලින් වෙන ම ලිපියක් ලියලා තියෙනවා. ඔහු උපක්රමශීලි ව චන්ද්ර ගුප්ත මෞර්ය ව බලයට පත් කරපු ආකාරයත් ඒ ලිපියෙ සටන් කරලා තියෙනවා. ලින්ක් එක පළමු කමෙන්ටුව විදියට අලවන්නම්).
ධන නන්ද කියන්නෙ මහජන ප්රසාදය ඒ තරම් තිබුණු පාලකයෙක් නෙවෙ යි. ඒකට හේතුව වුණේ ධනයට සහ බලයට ඔහු ගෙ තිබුණු කෑදරකම. ධනයට ඔහු ගෙ තිබුණු කෑදරකම නිසා ම ‘ධන නන්ද’ නමින් ඔහු ව හඳුන්වපු බවත් සමහර තැන්වල සඳහන් වෙනවා. ඔහු විශාල සහ ශක්තිමත් යුධ හමුදාවක් ගොඩනැගුවා. ග්රීක පොත්වල සඳහන් වෙන විදියට ධන නන්ද ගෙ අසරු සේනාව හේවායො 20, 000 කින් සමන්විත වුණා. පාබල හේවායො 2, 00, 000 කින් සමන්විත වුණා. අසුන් සතර දෙනෙක් බැඳි රථ 2, 000 කිනුත්, ඇතුන් 3, 000 කිනුත් ධන නන්ද ගෙ යුධ හමුදාව සමන්විත වුණා. බැලූ බැල්මට පේනවා ධන නන්දට කොයි තරම් විශාල හා ශක්තිමත් හමුදාවක් හිටියද කියන කාරණාව. ඔහු ස්වකීය ධනයෙන් වැඩි කොටසක් වියදම් කළේ තමන් ගෙ මේ දැවැන්ත යුධ හමුදාව පවත්වා ගෙන යන්න. ඒ වගේ ම ධන නන්දට හිටියා ඇමැතිවරු හතර දෙනෙක්. බන්ධු, සුබන්ධු, කුබේර සහ සකටල කියලා.
මිනිස්සුන්ට ධන නන්ද ව එපා වෙන්න හේතු වුණු කාරණා කීපයක් ම තිබුණා. මුලින් කීවා වගේ ධන නන්ද කියන්නෙ අධික ලෙස ධනයට කෑදර පාලකයෙක්. ඒ නිසා බොහොම තදින් මිනිසුන් ව තලා පෙළා ධනය රැස් කරන්න ධන නන්ද කටයුතු කළා. ජනතාව ගෙන් බදු අය කර ගන්න කෲර උපක්රම භාවිත කළා. තමන් අසාධාරණ විදියට රැස් කරගත්ත ධනයෙන් කොටසක් ගංගාවක් පතුලෙ සකස් කළ ස්ථානයක නිධන් කළ බවත් සඳහන්.
ධන නන්දට සකටල කියලා අමාත්යවරයෙක් හිටපු බව මුලින් සඳහන් කරලා තියෙනවා. මේ කාලයෙ මගධ රාජ්යයට තරමක් දැඩි ආක්රමණයක් එල්ල වෙනවා. ‘සකටල’ අමාත්යවරයා මේ ආක්රමණිකයන් සමඟ සාමදාන වීම සඳහා ධන නන්ද ගෙ භාණ්ඩාගාරයෙ තිබුණු ධනය භාවිත කරනවා. ඒ රජතුමා ගෙ අවසරයකින් තොර ව. මේ සිදුවීම නිසා කෝපයට පත් වෙන ධන නන්ද සකටල අමාත්යවරයාත්, ඔහු ගේ පවුලේ අයත් ධාන්ය හා ජලය ස්වල්පයක් සමඟ භූගත සිර මැදිරියක සිර කරනවා. මේ ආහාර හා ජලය ප්රමාණවත් වුණේ එක් පුද්ගලයෙක්ට විතර යි. ඒ නිසා සකටල අමාත්යවරයා හැර අනෙක් සියල්ලෝ ම මේ සිර මැදිරිය තුළ දී මිය යනවා. කාලය මේ විදියට ගෙවීගෙන යද්දි සකටල ගෙ වටිනාකම ධන නන්දට අවබෝධ වෙනවා. ඒ නැවැත වාරයක් මගධ අධිරාජ්යයට එල්ල වෙන විදේශීය ආක්රමණයක් නිසා. මේ ආක්රමණයෙන් ස්වකීය අධිරාජ්යය බේරා ගන්න උදව් කරන්න කියලා ධන නන්ද සකටල අමාත්යවරයා ගෙන් ඉල්ලීමක් කරනවා. නමුත් අමාත්යවරයා එය ප්රතික්ෂේප කරනවා.
ධන නන්ද කියන්නෙ ආගම ධර්මය සම්බන්ධයෙන් ඒ තරම් ශ්රද්ධාවක් තිබුණු කෙනෙක් නෙවෙ යි. නමුත් ඔහු යම් යම් ආකාරයෙන් බ්රාහ්මණාදීන්ට සළකපු බව සඳහන් වෙලා තියෙනවා. ධන නන්දට තිබුණා දාන ශාලාවක්. එක් අවස්ථාවක ඔහු මේ දාන ශාලාවෙදි එක්තරා බ්රාහ්මණයෙක්ට දරුණු විදියට අපහාස කරලා පන්නලා දානවා. ඒකට හේතු වෙන්නෙ අදාල බ්රාහ්මණයා ගෙ ශරීර ස්වභාවය සහ ඔහු ජ්යෙෂ්ඨ බමුණු ආසනයේ ඉඳගෙන සිටීම. පීඩාවට පත් වුණු බ්රාහ්මණයා ඒ වෙලාවෙ ප්රතිඥාවක් දෙනවා. ‘මම ධන නන්දත්, ඔහු ගේ රාජ්යයත් විනාශ කරලා දානවා’. ඒ තම යි බ්රාහ්මණයා දුන් ප්රතිඥාව. මේ බ්රාහ්මණයා වෙන කවුරුත් නෙවෙ යි. මම මුලින් සඳහන් කරපු භාරතයේ එදා මෙදා’තුර පහළ වුණු අසහාය දේශපාලන චින්තකයා. කෞටිල්ය චාණක්ය (ධන නන්ද සහ ඔහු ගෙ රාජ්යය කෞටිල්ය විසින් විනාශ කළේ කොහොමද කියන කාරණාව ලිපියේ පළමු කමෙන්ට් එක විදියට අමුණලා තියෙන සබැඳියේ අන්තර්ගත සටහනේ විස්තර කරලා තියෙනවා).
කෞටිල්ය චාණක්ය විසින් චන්ද්රගුප්ත කියන කුමාරයා ව ධන නන්දට විරුද්ධ ව සූදානම් කරනවා විතරක් නෙවෙ යි, මගධ අධිරාජ්යයේ රජු බවට පත් වන තෙක් ම ඔහු පසුපසින් හිඳිමින් ඔහු ව මෙහෙයවනවා. අවසානයේ චන්ද්රගුප්ත මෞර්ය රාජ්ය බලය ලබා ගත්තත් එක් වර ම ඔහු ව අභිෂේක කරන්න කෞටිල්ය ඉදිරිපත් වුණේ නැහැ. එක්තරා කෙවුළකු මාර්ගයෙන් ධන නන්ද සඟවා තිබූ වස්තුව ලබා ගන්න කෞටිල්ය කටයුතු කරනවා. මේ වස්තුව ලබා ගත්තට පස්සෙ යි චන්ද්ර ගුප්ත මෞර්ය ව මගධ අධිරාජ්යයේ රජු විදියට අභිෂේක කරන්න කටයුතු යොදන්නෙ.
ධන නන්ද ගෙ තිබුණු පීඩාකාරී පාලනයත්, ධනයට සහ බලයට තිබුණු කෑදරකමත්, අශ්රද්ධාවත් බවත් ඔහු ගෙ විනාශයට මග පෑදුවා.
හිතවතුනි, ඉතිහාසය නමින් අපිට පේන්නෙ ම අසමසම ගුරුවරයෙක්!