ඉතිහාසයේ සමහර සිද්ධීන් ගැන අපිට යලි කියැවීමක් අවශ්ය යි. මේ පෙර දිනයක දිනමිණ පුවත්පතේ කටාරම අතිරේකයට මම යොමු කළ ලිපියක්.
———–
ශ්රී වික්රම රාජසිංහ රජු වනාහි ඉතා දැඩි, කෲර පාලකයකු වශයෙන් සාමාන්ය සමාජයේ මිනිසුන් අතර පිළිගැනීමක් ඇති බව පෙනේ. රාජසිංහ රජුට සමකාලීන සාහිත්ය මූලාශ්ර ගත්ත ද ඇතැම් මූලාශ්ර රජුට විරුද්ධව ලියැවී ඇති ආකාරය දැක ගත හැකිය. නිදසුන් වශයෙන් කිරළ සන්දේශය වැනි ග්රන්ථ පෙන්වා දිය හැකිය. නමුත් අප අමතක නොකළ යුතු කාරණයක් පවතී. එනම්, අද වන විට දක්නට ඇති මේ මූලාශ්රවලින් රජුට විරුද්ධව රචනා කර ඇති ඒවා මෙන්ම, රජුට පක්ෂව රචනා කර ඇති ඒවා ද ඇති බවය.
ඉතා දැඩි, රළු පාලකයකු වශයෙන් රාජසිංහ රජුගේ චරිතය සමාජගත වී ඇතත්, ඔහු පිළිබඳ අධ්යයනය කළ හැකි ඇතැම් සාහිත්ය මූලාශ්රවල රජු නිරූපණය වී ඇත්තේ එවැනි ආකාරයකින් නොවේ. මේ සඳහා එක් උදාහරණයක් වශයෙන් “මී වැවේ විත්ති” පොතේ දක්නට හැකි විස්තරයක් පෙන්වා දිය හැකිය. මෙය ‘මධුවාපී විහාර විත්ති වර්ණනාව හා දහනැක පටුන’ (විමර්ශන සහිත පිටපත) යන නමින් සුමුදු නිරාගී සෙනෙවිරත්න විසින් සකස් කරන ලදුව මේ වන විට ප්රකාශයට පත්වී තිබේ.
ඉංග්රීසින් විසින් රාජසිංහ රජු ජීවග්රහයෙන් අල්ලාගෙන කොළඹට රැගෙන යමින් සිටි අවස්ථාවේ දී ස්වකීය විහාරස්ථානයට සමීප මාර්ගයකින් රජු රැගෙන යන බව දැනගත් සන්දනංගම සිද්ධාර්ථ හිමියන්, පුවක්ගොල්ලෙ දහනැකගෙදර මැණික්රාල මොහොට්ටාල, පුංචිරාල මොහොට්ටාල ආදි කීප දෙනෙක් සමඟ රජු දැක ගැනීම පිණිස පිටත් විය. කොළඹට රැගෙන යමින් සිටි රජු, සිද්ධාර්ථ හිමියන් ඇතුළු පිරිස දුටු අතර දෝලාව නතර කොට පය පිටතට දැමීමට කටයුතු කළේය. ඊට හේතු වූයේ රාජසිංහ රජුට දෝලාවෙන් බැසීමට අවසරයක් හිමිව නොතිබීමය.
එහි දී වූ සිද්ධීන් හා රජු හා පිරිස අතර සිදුවූ කතාබහ සිද්ධාර්ථ හිමියෝ මෙසේ සටහන් කොට තිබේ.
“මොහොට්ටාලලා දෙන්නා රජ්ජුරුවන්ට වැඳ පය ඉඹ ඇඬුවාය. දෙයියෝ අපෙන් වරදක් උනානම් සමාවෙන්ඩ හොඳයි කියා මොහොට්ටාල කීවාය. රාජසිංහ රජ්ජුරුවෝ අය්යෙ උඹේ වැඩිමාලු සහෝදරයා පුවක්ගොල්ලෙ දහනැකගෙදර කලිඟුරාජ සට්ටඹිරාල මට විස්වාසවන්තකම් පා සිට පිලිමතලවුවෙත් රත්වත්තෙත් එක්ක එකතුව මට හදි කල නිසාවට හිස ගසා දැම්මාය උඹලා මට එක්නැලිගොඩ වගේ හදි කලෙ නැත උඹලා යහතින් ජීවත් වෙයල්ලා මම ආපහු එන්නෙ නැත මින් පස්සෙ සිංහලේ රජ කෙනෙක් නැත කියා රාජසිංහ රජ්ජුරුවෝ කීවාය. මට සහෝදරයකුට වාගෙ විශ්වාසවන්තකම් පෑව උඹත් ගණන්ගමුවෙ මොහොට්ටාලත් මොරඟනේ මොහොට්ටාලත් දිවි තිබෙන තුරා මතක තියා ගන්නා බව කීවාය. මං නෑදෑයන්ට වගෙ සලකපු කවුඩුමුන්නෙ මොහොට්ටාල, කන්දෙගෙදර මොහොට්ටාල, හුරුග්ගමුවෙ යක්කාවිට, උඩුමුල්ලෙ, හංවැල්ලෙ, මූනමලයෙ, මිරිහාන්පිටියෙ, කිරිමැටියෙ, පතඟිවත්තෙ, කලුන්දෑවෙ උඹේ නෑදෑයො මට හදිය කරන්ට උපකාර කළා කීවාය. රජ්ජුරුවො දෝලාවේ සිට අපට ද වැන්දේය. රජ්ජුරුවො මටද කථා කලාය. උන්නාන්සෙ ලියා දීපු ධම්මපද පොත මා ලඟ තිබ්බා ඒක මම මොනරවිලට දුන්නා උන්නාන්සෙට මම දුන්න පන්හිඳ මා සිහි වෙන්ඩ තියා ගන්ඩ කියා මට කීවාය. උන්නාන්සෙගෙ අකුරු මුතු ඇට වගෙයි කීවාය. රජ්ජුරුවො ගෙනියනවා නොපෙනෙනකන් අපි දුකින් බලා සිටියාය. ඊට පස්සෙ මැනික්රාල මොහොට්ටාල බිම පෙරලි පෙරලී හයියෙන් හැඬුවාය. සිංහලේ දෙය්යො නැති වුනා. අපට රජ කෙනෙක් නැති වුනා. අපි නැති වුනා කියමින් විලාප කීවාය. පුංචිරාල වෙදරාල අපිට වින කරපු දරුවන් කොටවපු වඩිගයා නැහුනා කියා මොහොට්ටාලටත් බැණ වැදී ගියාය. ඊට පස්සේ මැනික්රාල මොහොට්ටාල සිංහලේ රජ්ජුරුවන්ට පක්ෂපාතව විශ්වාසවන්තව සිටි නිසාවට ඨානාන්තරයෙන් පහකොට ඔහුගේ සහෝදරයා වන පුවක්ගොල්ලෙ දහනැකගෙදර පුංචිරාල වෙදරාල ඉඟලන්තකාරයන්ට උපකාර කල කලුන්දෑවෙ ජයතිලක මොහොට්ටාලට රහසින් උපකාර කල නිසා කවුඩුමුන්නෙ මොහොට්ටාලගෙ ඉල්ලීම පිට පුංචිරාලට මොහොට්ටාල ඨානාන්තරය දුන්නාය.”
“මී වැවේ විත්ති” පොතේ අන්තර්ගත වී ඇති උක්ත සඳහන ශ්රී වික්රම රාජසිංහ රජු පිළිබඳ අනුකම්පාවක් ඇති කිරීමට සමත් වූවක් බව අමුතුවෙන් කිව යුතු නැත. රජු සම්බන්ධයෙන් ප්රකට දැඩි, රළු හා කෲර ස්වභාවය මේ වදන් ඔස්සේ මතු කර ගැනීමට හැකියාවක් නැත. බොහෝ විට තමන් නන්නාඳුනන රටක පිරිසකගේ අත්අඩංගුවට පත් වීම හේතුවෙන් රජු පත් වී සිටි අසරණ ස්වභාවය මේ වදන් ඔස්සේ පෙනෙන බවට ද එක් අතකින් තර්ක කළ හැකිය. ඒ කෙසේ වෙතත් රජුට සමකාලීන ලේඛකයකු විසින් කර ඇති මේ සඳහනින් පැහැදිලි වන වැදගත් කාරණාවක් වන්නේ ඒ වන විටත් රාජසිංහ රජුට හිතපක්ෂ පිරිසක් ශ්රී ලංකාවේ වාසය කළ බවය.
ඒ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද වූහ. රාජසිංහ රජු වනාහි අතිශය දුර්දාන්ත පාලකයකු නම් රජුට හිතපක්ෂ මෙබඳු පිරිසක් ඒ වන විටත් සිටියේ කවර කාරණාවක් හේතුවෙන් ද යන්න කල්පනා කර බැලිය යුතු ය. (අදිකාරමගේ දරුවන්) ඝාතනය කිරීම සම්බන්ධයෙන් තදබල අපැහැදීමකින් සිටි අයද මේ අතර සිටි බව අමතක කළ යුතු නොවේ. රජු කෙරෙහි අපැහැදීමකින් මෙන්ම, රජුට හිතපක්ෂව යම් පිරිසක් ද වූ බව මෙහි දී පැහැදිලි කරගත යුතු කරුණකි. රාජසිංහ රජු පිළිබඳ ලංකාවාසි බොහෝ දෙනා විරුද්ධ වීම පිණිස හේතු වූයේ ඇහැලේපොළ අදිකාරමගේ බිරිඳ, දරුවන් ආදින් විෂයෙහි රජු නිකුත් කළ නියෝගය බව පිළිගැනීමය. ඇහැලේපොළ ඛේදවාචකය හේතුවෙන් එකල මහනුවර ඇති වී තිබූ තත්ත්වය පිළිබඳ ඩේවි මෙසේ සටහන් කර තිබේ.
“දුෂ්ට පාලකයාගේ මාලිගාව හැර මුළු මහනුවර පුරා දෙදිනක් එකම මළ ගෙයක් මෙන් පැවතිණ. ශෝකය කොතරම් බලවත් වීද යත් ගිනි නොදල්වන ලදැයි ද ආහාර නොපිසින ලදැයි ද කියනු ලැබේ. මුළු නගරය ආහාර වර්ජිතව කල් යැවීය.”
නමුත් මේ සිදුවීම පිළිබඳ සාධාරණ දැක්මකින් රචනා වූ මූලාශ්රයන් ද නැත්තේම නොවේ.
නිදසුන් වශයෙන් ‘ත්රී සිංහලේ’ නමැති කෘතියෙන් පෝල් ඊ. පීරිස් විසින් කර ඇති සටහන පෙන්වා දිය හැකිය. එය ‘ඇහැලේපොළ දරුවන් මැරවීම’ යනුවෙන් කොළඹ කෞතුකාගාරයේ සුචීකරණ දත්ත ගත කර ඇති පුස්කොළ පොතකින් ලබා ගත් තොරතුරුවලින් සමන්විත වූවකි.
“රාජද්රෝහී වී පලා ගිය අයවලුනට සිංහල නීතිය අනුව දිය යුතු දඬුවම කවරේ දැ යි විමසා සිටියේය. මේ අවස්ථාවේ නිලමේ විසින් පහත සඳහන් සිංහල නීතිය කියෙවුවේය. “රාජද්රෝහී වූ විට, එම ද්රෝහියාගේ පවුලේ උදවිය අල්ලා පිරිමි අය හිස ගසා මරා දැමිය යුතු අතර, ගැහැනු උදවිය දියේ ගිල්වා මරා දැමිය යුතු ය: සිංහල නීතිය එය යි.” යි කීවේය.
පීරිස්ගේ මේ සටහන අනුව පෙනී යන ප්රධාන කාරණාවක් වන්නේ රාජසිංහ රජු විසින් ඇහැලේපොළගේ පවුලේ පිරිස් වෙත ලබා දුන් දඬුවම සාධාරණ වූවක් බවට ඇතමුන් අතර ඒ වන විටත් හැඟීමක් පැවැති බවයි. මන්ද යත්, රජු විසින් ක්රියාවට නංවා ඇත්තේ සිංහල නීතිය වන හෙයිනි.
මේ පිළිබඳ සාකච්ඡාවේදී තවත් වැදගත් තොරතුරක් රංගන කුරුවිට විසින් ‘ශ්රී නාම රත්නාලංකාරය’ සංස්කරණයේ දී උධෘත කොට තිබේ. ‘ශ්රී වික්රම රාජසිංහ චරිතය – උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම් මිටිය’ ආශ්රයෙන් උධෘත කර ඇති ප්රස්තුත සටහන මෙසේය.
“මෙහිදී දෙවැනි අදිකාරම් පදවිය ලබා සිටි මුල්ලේගම නිලමේ යම් රාජ ද්රෝහියකුට දඬුවම් කිරීමට ඉඩක් නොලැබේ නම් ඔහුගේ අඹු දරුවන්ට දඬුවම් දීම නීතිය බව ප්රකාශ කළේය. නිරපරාධයට දඬුවම් කිරීම සිංහල රාජ නීතියේ මෙසේ ඉඩ ඇති මුත් මෙහි යුක්තිය සලකා රජතුමා තුස්නීම්භූත වූහ.”
මේ උධෘතය අනුව ද පෙනී යන්නේ රජු විසින් ඇහැලේපොළ අදිකාරමගේ අඹු දරුවන් ආදීන් විෂයෙහි ක්රියාවට නංවන ලද්දේ හුදු අත්තනෝමතික නියෝගයක් නොවන බවත්, ඒ වන විට පැවැති සාම්ප්රදායික නීතිය බවත් ය. මේ කරුණ පිළිබඳ දැන සිටි නිසාවෙන් දෝ එකල වාසය කරන ලද ඇතැම් පිරිස් ඇහැලේපොළ සිදුවීම අරබයා රජු කෙරෙහි බිඳී නොසිටි බව පෙනේ. නමුත් ඩොයිලි ආදින් රජුගේ මේ දඬුවම් දුටුවේ කෝපයෙන් දිලිසුණු හිතුවක්කාර දුෂ්ට රජකු විසින් පමුණුවන ලද සාහසික ම්ලේච්ඡ දඬුවම් වශයෙනි.
ඇහැලේපොළ ඛේදවාචකය වනාහි රාජසිංහ රජු ගේ පාලනය දෙදරා යෑමට සමත් වූ සිදුවීමක් බව නොරහසකි. අඥාත කවියකු වුව ද රාජසිංහ රජු ගේ හැඟීම් යැයි අනුමානයෙන් පහත ආකාරයේ කවි නිර්මාණය කර ඇත්තේ එහෙයිනි.
“අපායට බියෙන් මත් පැන් නො බිව් ම ට
උපායෙන් පොවා යළි මා ගෙන සතු ට
පපා’දර සිටිය සුරතල් කුමරු සෙ ට
කපා දැමු බැවින් විය සතුරන්ට ර ට”
නමුත් තමන් ගත් ක්රියාමාර්ග පිළිබඳ රජුට දෝෂාරෝපණය කළ අවස්ථාවල ශ්රී වික්රම රාජසිංහ රජු විසින් දුන් පිළිතුර පෝල් ඊ. පීරිස් මෙසේ සටහන් කරයි.
“සිංහල රජකු අභිෂේක කිරීමේදී රජු ගේ හිස පැන් වත් කොට දශ රාජ ධර්මයෙන් රාජ්ය පාලනය කරනු ලබන බවට ශපථ කිරීමක් කරනු ලැබේ. අගතියෙන් තොර ව ද,පුද්ගලික වෛරයන් පිරිමැසීමට නීතිය උපයෝගි කර ගැනීම ද වැළකීමට රජු පොරොන්දු වේ. එමෙන්ම සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමටද රජු පොරොන්දු වේ. “මහනුවර රාජධානියේ නීති කවුරුත් දනී. ඒවා නිර්මාණය කළේත් මා ද?” රජුට දෝෂාරෝපණය කරනු ලැබූවනට රජු දුන් පිළිතුර එයයි.”
රාජසිංහ රජු ඇහැලේපොළ අදිකාරමගේ අඹු දරුවන්ට දුන් දඬුවමින් වඩාත් ප්රයෝජන ලබා ගත්තේ ඉංග්රීසින්ය. ශ්රී ලංකාවේ බලය තහවුරු කර ගැනීම පිණිස සහ රජු කෙරෙහි රටවැසියා බිඳුවීම සඳහා ඉතා තදින් මේ සිදුවීම පිළිබඳ හුවා දැක්වීමට ඉංග්රීසින් කටයුතු කර ඇති බව ද පෙනෙන්නට ඇති කාරණාවකි. කෙසේ නමුත් ඇහැලේපොළ ඛේදවාචකය සම්බන්ධයෙන් දක්නට ඇති විවිධ මූලාශ්ර පරිශීලනයේදී පෙනී යන කාරණාව වන්නේ හුදෙක් මෙය රජුගේ අත්තනෝමතික අණ කිරීමක් ඔස්සේ සිදුවූ දෙයක් නොවන බවයි. රාජසිංහ රජු ඉංග්රීසින්ගේ අත්අඩංගුවට පත් වූ පසු ඔහු ගේ හැඟීම් වන්නට ඇතැයි යන අනුමානයෙන් අඥාත ජන කවියකු විසින් රචනා කර ඇති කවි පන්තියක එන පහත කවිය, ඉතා ප්රකට වූවකි.
විකුම් සිහල පරපුර දිවි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු