බෝසතුන්ට කිරිපිඬු පිළිගැන්වූ සුජාතාව ජීවත් වූ ස්ථානය: පුරාවිද්යාත්මක සොයාගැනීම්
ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේට කිරිපිඬු පූජා කළ සුජාතාව ගේ කථාව බෞද්ධ සාහිත්යයේ බොහොම ප්රචලිත එකක්. සුජාතා කියන්නෙ සේනානිග්රාමයේ ධනවතකු ගෙ දියණියක්. බෝසතාණන් වහන්සේ සේනානි නියම්ගමට වැඩම කරපු අවස්ථාවෙදි සුජාතාව විසින් පුද පූජා කරන නුග ගසක් යට වැඩ හිටියා. ඒ අවස්ථාවෙ දි යි සුජාතාව බෝසතාණන් වහන්සේට කිරිපිඬු පූජා කරන්න කටයුතු කරන්නෙ. මේ කථාන්දරය බොහොම දිග එකක්. බොහෝ දෙනෙක් ඒ ගැන දන්න නිසා කතාව විස්තර කරන්න කාලය ගන්නෙ නැහැ.
සුජාතා සිටු දේවිය ජීවත් වුණු ස්ථානය ගැන කාලාන්තරයක් තිස්සෙ විවිධ ලේඛකයො සටහන් කරලා තිබුණා. ඒ අතරින් චීන ලේඛකයො මේ ගැන කරපු විස්තර බොහොම වැදැගත්. බෝසතාණන් වහන්සේට කිරිපිඬු පූජා කළ ස්ථානය ගැන ෆාහියන් හිමියන් සඳහන් කළා. බෝසතාණන් වහන්සේට කිරිපිඬු පූජා කළ ස්ත්රීන් ගේ ගෙය තිබුණු ස්ථානයේ කරවූ ස්ථූපයක් ගැනත්, කිරිබත් පිසූ තැන කරවූ තවත් ස්ථූපයක් ගැනත් හියුත් සාං හිමියන් වාර්තා කරලා තිබුණා. කොහොම නමුත් චීන වාර්තාවල සඳහන් වෙන මේ ස්ථූප ගැන හොයලා බලන්න පුරාවිද්යාඥයො පෙළැඹෙන්නෙ බොහොම පස්සෙ කාලෙක.
මේ සොයාබැලීම්වල දි පුරාවිද්යාඥයන් ගෙ අවධානය යොමු වුණු එක් ස්ථානයක් තිබුණා. ඒ බුද්ධගයාවෙ මහාබෝධි විහාරයෙන් කිලෝමීටරයක් විතර ඊසාන දිශාවෙන් තිබුණු ස්ථානයක්. මේ ස්ථානයේ ශේෂ වෙලා තිබුණු ස්ථූප ගොඩැල්ලක අවශේෂ පුරාවිද්යාඥයින් ගෙ කුතුහලය අවුස්සන්න සමත් වුණා. මේ ස්ථානය තිබුණෙ බක්රෝර් කියන ගමේ. බක්රෝර් ග්රාමයේ තිබුණු මේ පුරාවිද්යාත්මක අවශේෂ ගැන ඇලෙක්සැන්ඩර් කනිංහැම් වගේ ගවේෂකයන් ගෙ වාර්තාවල පවා සටහන් වුණා. නිවාස සඳහා ගඩොල් එකතු කරන පිරිස් නිසා නිතර නිතර මේ ගොඩැල්ලට හානි සිදු වුණු බව කනිංහැම් වාර්තා කළා. ඒ විතරක් නෙවෙයි. නිධන් හෑරීමේ කටයුතුවල නිරත වුණු පිරිස් නිසාත් මේ ස්ථූප ගොඩැල්ලට විශාල වශයෙන් හානි සිදු වුණා.
බක්රෝර් පුරාවිද්යා භූමියේ සිදු වුණු වැදැගත් ම පුරාවිද්යාත්මක කටයුතු සිද්ධ වෙන්නෙ 1973-74 වගේ කාලෙ. ඒ ශ්රී වාස්තව කියන පුරාවිද්යාඥයා ගෙ මූලිකත්වයෙන්. ශ්රී වාස්තව කියන්නෙ ඉන්දියාවෙ බෞද්ධ ස්ථාන කීපයක ම අනන්යතාව තහවුරු කරගන්න සුවිශාල මෙහෙයක් කරපු පුරාවිද්යාඥයෙක්. උදාහරණයක් විදියට කපිලවස්තුව සම්බන්ධයෙන් ශ්රී වාස්තව කරපු සොයාගැනීම් විශේෂ වැදැගත්කමකින් යුක්ත යි. බක්රෝර් ස්ථූප ගොඩැල්ලෙ පුරාවිද්යා කටයුතුවලදිත් ඔහු කළ මැදිහත් වීම සුවිශේෂී එකක්.
බක්රෝර් ස්ථූපයේ කරපු කැණීමෙන් ශ්රී වාස්තව අවබෝධ කරගන්නවා මේ ස්ථූපය අදියර තුනක් යටතේ සංවර්ධනය වෙලා තියෙන බව. එහි මුල් ම ස්වරූපයේ ප්රදක්ෂිණා පථය ඉතා පටු එකක්. එය නිර්මාණය කරලා තිබුණෙ පුළුස්සපු ගඩොලෙන්. ප්රදක්ෂිණා පථයෙ පළල මීටර් දෙකක විතර ප්රමාණයකින් යුක්ත වුණා. එහි දෙවෙනි අදියරේ දි මේ ස්ථූපය තවත් විශාල ව ගොඩනංවා තිබූ බවට සාධක හමු වුණා. ස්ථූපය විශාල කිරීමත් එක්ක ම මුල් අවස්ථාවෙ කරවපු ප්රදක්ෂිණා පථය වැසී ගොස් තිබූ නිසා ස්ථූපයට නව ප්රදක්ෂිණා පථයක් ඉදි කරල තිබුණා. ඒ මීටර් පහක් විතර පළලින් යුක්ත ව.
නමුත් මේ ස්ථූපය සම්බන්ධ ක්රියාකාරකම් සිදු වුණු අදියර තුන අයත් කාල වකවානු සම්බන්ධයෙන් නිශ්චිත ව ම යමක් සඳහන් කරන්න පුළුවන් විදියෙ තත්ත්වක් ස්ථූපය ආශ්රිත ව පැවැතුනෙ නැහැ. ඒ නිසා ස්ථූපය මුදුනෙ තිබුණු ලේඛනවල අක්ෂර සහ කැණීමෙන් සොයාගත් මූර්ති කීපයක් ආශ්රය කරගෙන ස්තූපයේ අවසන් අදියරයෙ ක්රියාකාරකම් ක්රි. ව. 8-10 සියවස් අතර කාලයක සිදු වුණු බව යි පුරාවිද්යාඥයන් අනුමාන කළේ.
බක්රෝර් ස්ථූපය ආශ්රිත ව කරපු කැණීම්වලින් හමු වුණු බොහොම වැදැගත් ලේඛනයක් තියෙනවා. මේ ස්ථානයේ අනන්යතාව තහවුරු කරගන්නත් මේ ලේඛනය ඉතා වැදැගත්. ‘දෙවපාල් රාජස්ය සුජාතාග්රිහ’ කියන වචන කීපය මේ ලේඛනයේ දකින්න ලැබුණා. පාල යුගයෙ අක්ෂරවලින් සටහන් කරලා තිබුණු මේ ලේඛනය නිසා මේ ස්ථානය ‘සුජාතාග්රිහ’ කියන නමින් හඳුන්වපු බව සනාථ කරගත්තා. ඒ විතරක් නෙවෙයි. භූමි ස්පර්ශ මුද්රාවෙන් සිටින බුදුන් වහන්සේ දැක්වෙන ඵලක, කැබැලි වුණු රන් කර්ණාභරණයක්, පබළු, බුද්ධ ප්රතිමාවක හිස කොටසක් ආදි වශයෙන් පුරාවස්තු ගණනාවක් ම මේ ස්ථානයෙන් හමු වී තිබෙනවා.