කාලෙන් කාලෙට මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන, යම් දවසක පහළ වේ යැ යි සමහරු බලාපොරොත්තු වෙන විවිධ චරිත ඉන්නවා. ඉතිහාසය පුරාවට විවිධ සාකච්ඡාවලට පාත්ර වුණු ඒ වගේ චරිතයත් තම යි ‘දියසේන කුමාරයා’ කියලා අපි හඳුන්වන්නෙ. මේ චරිතය කොයි තරම් මිනිස්සු අතර මුල් බැහැගෙන තිබුණ ද කියලා කියනවා නම් ලංකාවෙ සමහර දේශපාලන චරිතවලට පවා දියසේන කුමාරයා ගෙ චරිතය අමුණන්න ඇතමුන් කටයුතු කළා. දියසේන පුරාවෘත්තය ඇත්තක් ද? මේ කාරණාවට පිළිතුරු ලැබෙන්නෙ මේ කතාවෙ ආගිය මුලගිය තැන් හොයාගෙන යද්දි.
දියසේන චරිතය ගැන මුලින් ම ලේඛනයක අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නෙ කෝට්ටේ සාහිත්ය යුගයෙ දි. කෝට්ටේ යුගයෙ ලියැවුණු පැරැකුම්බා සිරිත කියන පොත තම යි දියසේන චරිතයේ මූල බීජය වපුරන්න හේතු වෙන්නෙ. පැරැකුම්බා සිරිතෙ කතුවරයා ගැනත් විවිධ මතවාද තියෙනවා. කොහොම නමුත් මේ පොතේ තියෙන එක කවියක් මේ ගැන අවධානය යොමු කරද්දි වැදැගත්. දෙබසක් විදියට රචනා කරලා තියෙන ඒ කවිය මෙහෙම යි (116 කවිය).
කියග මැගිය! එනු කොයි සිටැ? දද! සමනොළ ගොසි නා
නොය කියමුතු එදිගැ, බමණ! සුමන සුරිඳු විසි නා
ගිය කලැ දෙදහස් පන්සිය රජෙක් එතැයි දිය නා
කිය වීය තන්වැසිය! එනම්? පැරැකුම් රජ මෙදි නා
කවියෙ සරල තේරුම මේ විදියට යි තියෙන්නෙ.
‘මගිය කියව! කොහේ සිට ද එන්නෙ?’
‘බමුණ, සමනොළ (සමන් කුළට) ගොසින් එන්නෙමි’
‘නො යා ඒ පැත්තෙ තොරතුරු කියනු මැනැවි’
‘බමුණ, දෙදහස් පන්සියයක් ගිය පසු දියනා (නමැති) රජෙක් පැමිණෙන බව සමන් සුරිඳු විසින් කියන ලදි’
‘ස්ථානයට සුදුසු තැනැත්ත! ඒ රජු ගේ නම? මෙ කල්හි පැරැකුම් රජු ය’
මේ කවිය කියවද්දි පැහැදිලි ව ම පේන කාරණාව තමා පැරැකුම්බා සිරිතෙ දියසේන (දියනා) කියලා අමුතු රජ කෙනෙක් ගැන කියලා නැහැ යි කියන එක. කවියෙ ‘දියනා’ කියලා හඳුන්වලා තියෙන්නෙ පරාක්රමබාහු රජතුමා ව මිසෙක වෙන කෙනෙක් ව නෙවෙ යි. ඒ නිසා අනාගතයේ පහළ වෙන රජ කෙනෙක් ගැන පැරැකුම්බා සිරිතෙන් අනාවැකියක් කීවා කියන විශ්වාසය පැරැකුම්බා සිරිතෙන් ම බිඳලා තියෙනවා.
නමුත් කාලයක් යද්දි මේ කවිය හරිහැටි අවබෝධ කර නො ගත් නිසාදෝ දියසේන කියලා අමුතු රජෙක් ගැන සමාජයේ කියැවෙන්න පටන් ගත්තා. අද ඊයෙ නෙවෙයි. මේ කතාව මහනුවර රජධානි සමයේ දී පවා තිබුණු විශ්වාසයක් බව පේනවා. උදාහරණයක් විදියට මහනුවර කාලෙ ලියැවෙනවා සූත්රයක්. මේ සූත්රයේ නම ‘සුමණ සූත්රය’. සුමණ සූත්රය කියන්නෙ ත්රිපිටකයට අයිති සූත්රයක් නෙවෙයි. පසු කාලයෙ රචනා කරපු ප්රබන්ධයක්. නමුත් සූත්ර පිටකයෙ දකින්න තියෙන සාමාන්ය සූත්රයක ලක්ෂණ ඇතුළත් කරලා සුමණ සූත්රයත් රචනා කරන්න උත්සාහ කරපු බව පේනවා. ‘එවං මෙ සුතං …’ ආදි වශයෙන් සූත්රය ආරම්භ වෙන එක නිදසුන්. මේ සූත්රයෙ තියෙන්නෙත් හරි අපූරු කතාවක්.
බුදු රජාණන් වහන්සේ සමන්තකූටයට වැඩම කරපු අවස්ථාවෙ දිවාගුහාවෙ වැඩ වසමින් සුමන සමන් දිව්ය රාජයාට මේ සූත්රය දේශනා කරපු බව යි සුමන සූත්රයෙ සඳහන් වෙන්නෙ. විජය, දේවානම්පියතිස්ස, කාවණ්තිස්ස, දුටුගැමුණු වගේ රජවරු ගැන විතරක් නෙවෙයි. ඕලන්ද ආක්රමණ ගැනත් මේ සූත්රයෙ සඳහන්. සුමන සූත්රය කියන විදියට නම් මේ කාරණා බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ඒවා. සුමන සූත්රයෙ සමහර පිටපත් අවසන් වෙන්නෙ ‘මේ සූත්රය වෛතුල්ය දේශනාවට ඇතුළත් නැත’ කියන සටහනින්. සමහර විට රචකයාට ම සැකයක් ඇති වුණා ද දන්නෙ නෑ මේ සූත්රය සමාජයෙන් සහ ශාසනයෙන් ප්රතික්ෂේප වෙයි කියලා.
මට කියවන්න ලැබුණු එක් සුමන සූත්රය පුස්කොළ ලේඛනයක ‘බ්රජිත’ කියලා කුමාරයෙක් ගැනත් සඳහන් වුණා. මේ බ්රජිත කුමාරයා ගැන ලියැවුණු වෙන ම පුස්කොළ ලේඛන ලංකාවෙ තියෙනවා. ගොඩක් වෙලාවට ‘බ්රජිත කුමාර චරිතය’ හෝ ‘බ්රජිත කුමාර වග්ගය’ කියන නමින් මේ පුස්කොළ ලේඛන හඳුන්වලා තියෙනවා. දියසේන කියන චරිතය ලංකාවෙ ප්රචලිත චරිතයක් වුණාට, බ්රජිත කුමාරයා ගෙ නම නම් වැඩි දෙනෙක් දන්න බවක් පේන්නෙ නෑ. බ්රජිත කුමාරයා ගැන තියෙන්නෙත් හරි අපූරු කතාවක්.
බ්රජිත කුමාර චරිතය පුස්කොළ ලේඛනය පටන් ගන්නෙ රත්නත්රයට, මහා බ්රහ්මයාට, විෂ්ණුට සහ ශක්ර දේවේන්ද්රයාට වන්දනා කරලා. බ්රජිත කුමාරයා ගෙ කතාව මෙහෙම යි.
මේ ලෝකෙ අධර්මය බලවත් වුණා ම මහා බ්රහ්මයාත්, විෂ්ණු දෙවියනුත්, ශක්රයාත්, ඊශ්වර දෙවියනුත් දේව සභාවට එකතු වෙලා අධර්මය මර්ධනය කරන්න ක්රමයක් සාකච්ඡා කළා. ඒ වෙලාවෙ බලවත් දෙවි කෙනෙක් මනුෂ්ය ලෝකෙ උපදින්න අවශ්ය යි කියන යෝජනාව ඉදිරිපත් වුණා. අනෙක් දෙවිවරුත් මේ යෝජනාවට කැමැති වුණාට පස්සෙ විෂ්ණු දෙවියො මනුෂ්ය ලෝකෙ මිනිස් වේශයෙන් උපදින්න කැමැත්ත පළ කළා. මේ විදියට කැමැත්ත පළ කළාට පස්සෙ විෂ්ණු දෙවියො මිනිස් වේශයෙන් ඇවිත් පිළිසිඳ ගන්නෙ කාසි දේශයෙ ධාර්මික ව රජකම් කරපු ශ්රී සිංහ කියන රජතුමා ගෙ බිසව ගෙ කුසේ. කාලය ගත වෙද්දි ශ්රී සිංහ රජතුමා ගෙ බිසව තමන් ගෙ කුසේ පිළිසිඳ ගත් කුමාරයා ව මේ ලෝකෙට බිහි කරනවා. මේ කුමාරයා වෙන කවුරුත් නෙවෙයි, මිනිස් වේශයෙන් ආපු විෂ්ණු දෙවියො. බිහිවුණු කුමාරයාට නම තියන සෘෂිවරයා ‘වීරභොග බ්රාජිත උසන්ද මහා රාජ’ කියලා නමක් යොදනවා.
මේ විදියට තම යි බ්රාජිත කුමාරයා ගෙ උපත සිද්ධ වෙන්නෙ. මේ විස්තරය කවියෙන් ලියලා තියන පුස්කොළ පොතුත් ලංකාවෙන් හමු වෙනවා.
දඹදිව රට මෙ න්දා
ලක තුළ උතුං වංසයෙ න්දා
ශ්රීයා දේවි කුසයෙ න්දා
බිහිවිය බ්රාජිත කුමරි න්දා
කොහොම හරි මේ කුමාරයා කාසි දේශයේ ඉඳං ශිල්ප ශාස්ත්ර හදාරලා ලංකාවට එනවා. මෙයා ලංකාවට එන විදිය ගැන නං මම කියවපු පුස්කොළ පොතක කිසි ම තොරතුරක් හමු වුණේ නැහැ. ලංකාවට එන බ්රාජිත කුමාරයා ලංකාවෙ අධර්මය, පාපය, මිථ්යා දෘෂ්ටිය දුරු කරනවා කියලා සටහන් වෙලා තියෙනවා.
බ්රාජිත කුමාරයා ගැන සටහන් වෙලා තියෙන මේ පුස්කොළ පොත ගැනත් සමහර පිටපත්වල අවසානෙට විස්තර සටහන් කරන්න ඇතැම් ලේඛකයො කටයුතු කරපු බවක් දකින්න පුළුවන්. කොයි තරම් මේ කථාව සමාජගත කරන්න හෝ මේ කථාව විවේචනය කරන එක වළක්වගන්න ලේඛකයො කටයුතු කළා ද කියනව නම්, ‘මේ පොත බොරු යි කියන අය ව දෙවියන් විසින් මරා දමනවා’ කියන සටහන පවා යොදන්න සමහර ලේඛකයො කටයුතු කරල තියෙනවා.
සමහර පුස්කොළ පිටපත්වල තියෙන විදියට මේ බ්රාජිත කථාව ප්රකාශ කළේ රුසිවරයො ලු. එක්තරා රජ කෙනෙක් ගෙ (පුස්කොළ පොතේ රජතුමා ගෙ නම තිබුණු කොටස අපැහැදිලි යි) අග්රමාත්ය කෙනෙක් මේ ලෝකයේ පින්වත් අයට තේරුම් ගන්න මේ කථාව ලේඛනගත කරලා ප්රසිද්ධ කළා කියලා සමහර පිටපත්වල සඳහන් වෙනවා. ඒ පිටපත්වල ම සඳහන් වෙන විදියට අක්ෂුරත්න, ආනන්ද වගේ කුමාරවරු කීප දෙනෙක්ට මේ පොත හමු වෙනවා. පොත ග්රන්ථ අක්ෂරවලින් ලියලා තිබුණු නිසා ආනන්ද කුමාරයෝත්, බ්රාහ්මණ පණ්ඩිතයෝත් මේ පොත දෙමළ අකුරෙන් ලියන්න කටයුතු කළා.
කොහොමහරි මේ පොත ගැන ඉංග්රිසින්ට ආරංචි වෙනවා. මේ වගේ දෙයක් ලියලා ප්රසිද්ධ කළේ ඇයි කියලා ඔවුන් ප්රශ්න කළාලු. ඒ වෙලාවෙදි ඉංග්රීසින්ට ලැබුණු පිළිතුර තම යි, ‘මේ පොත ලිව්වෙ අපි නෙවෙ යි. ඊශ්වරයො තාපස වේශයකින් ඇවිත් මේ පොත ප්රසිද්ධ කළා’ කියන එක. පුස්කොළ ලේඛනයෙ සඳහන් වෙන විදියට මේ පිළිතුර නිසා ඉංග්රීසින් නිහඬ වෙලා තියෙනවා.
ඔන්න ඔය විදියට තම යි බ්රජිත කුමාරයා ගේ කථාව ගැන පුස්කොළ ලේඛනවල සඳහන් වෙන්නෙ. දියසේන කියන නම ලංකාවෙ ප්රචලිත වුණාට, බ්රාජිත කුමාරය ගෙ නම ඇයි ප්රසිද්ධ නොවුණෙ කියන එක කල්පනා කරන්න ඕනෙ කාරණාවක්.
ඔන්න ඔය විදියට තම යි කාලෙන් කාලෙට ලංකාවෙ මිනිස්සු වීරයො තැනුවෙ. හෝ කවදාම හරි පහළ වෙන වීරයෙක් ගැන බලාපොරොත්තු තියං හිටියෙ.