මේ දවස්වල සමාජ මාධ්යය ඇවිලිලා තියෙන කාරණාවක් ගැන කෙටි සටහනක් ලියන්න හිතුනා. අදාල කාරණාවට හේතුවෙලා තියෙන්නෙ ජාතක පොතේ එන ‘චේතිය ජාතකය’ නිසා, ජාතක පොත පිළිබඳ කාරණා කීපයකට යි මේ සටහනින් අවධානය යොමු කරන්නෙ. ලිපිය කවුරු, කොහොම ගනිවී ද දන්නෙ නැහැ. නමුත් මේ වෙනතුරු ලියැවිලා තියෙන කාරණා සහ සිදුවෙලා තියෙන අධ්යයන කීපයක් ආශ්රයෙන් මම මේ සටහන පෝෂණය කරනවා.
“ජාතක පොතේ තියෙන මේ කාරණා බුද්ධ දේශනාවන් ද? ජාතක පොතේ ස්වභාවය මොන වගේ ද? ජාතක පොත නිර්මාණය වෙලා තියෙන්නෙ කොහොම ද” මේ කාලයක් තිස්සෙ දෙස් විදෙස් විද්වතුන් ගෙ අවධානයට පාත්ර වුණු කාරණා.
ජාතක පොතේ පැරැණි ම ස්වරූපයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා ජාතක පාලියෙන්. හැබැයි ජාතක පාලියෙ තියෙන්නෙ අපි අද දකින පන්සිය පනස් ජාතක පොතේ වගේ දීර්ඝ විස්තරයක් නෙවෙ යි. බොහොම කෙටියෙන්, ගාථා කීපයකින් ජාතක පාලිය ජාතක කථාවක් අවසන් කරනවා. මේ ජාතක කථා තව ටිකක් විස්තරාත්මක ව ජාතකට්ඨකථාවෙ සංග්රහ වෙලා තියෙනවා. ජාතකට්ඨකථාව කියන්නෙ අනුරාධපුර සාහිත්‍ය යුගයෙ රචනා වුණු පොතක් කියන එක බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. නමුත් මේ කෘතියේ කතුවරයා ගැන විද්වතුන් අතර තියෙන්නෙ මතභේදයක්. මහාචාර්ය විල්ඩර්ස් වගේ උගත්තු අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ට මේ කෘතිය අයත් බව කියනවා. තව පිරිසක් බුද්ධඝෝෂ නම තිබුණු වෙනත් කෙනෙකු ගෙ කෘතියක් විදියට මේ කෘතිය හඳුන්වන්න උත්සාහ කරනවා. ජාතකට්ඨකථාව මහිංසාසක නිකායට අයත් කෘතියක් බවට තවත් පිරිසක් අදහස් මතු කරලා තියෙනවා. සමහරවිට ජාතකට්ඨකථාවෙ නම් වශයෙන් සඳහන් වෙන අත්ථදස්සි, බුද්ධදේව සහ බුද්ධමිත්ත කියන තෙරවරුන් ගෙන් එක් තෙර කෙනෙක් මහිංසාසක නිකායට අයිති බව සඳහන් වීම මේ කාරණාවට හේතුවක් විය හැකි යි.
පොළොන්නරු කාලය වෙද්දි ජාතකට්ඨකථාවට ගැටපදයක් ලියැවෙනවා. ‘ජාතකට්ඨකථා ගණ්ඨිපද වණ්ණනා’ කියන නමින් හඳුන්වන්නෙ ඒ පොත. නමුත් වෙස්සන්තර ජාතකය සහ උම්මග්ග ජාතකය මේ කෘතියෙන් අතහැරිලා තියෙනවා.
පොළොන්නරු කාලයේ දී ම ජාතක පාලියේ ගාථාවලට කරපු පදාර්ථකථනයක් විදියට ‘ජාතක ගාථා සන්නය’ නමින් පොතක් ලියැවෙනවා. පොත රචනා කරන්නෙ ‘රාජමුරාරි’ කියලා පඬිවරයෙක්.
ඔය විදියට ජාතක පොත වර්ධනය වෙවී ඇවිත් කුරුණෑගල කාලය වෙද්දි තරමක් විශාල සිංහල පොතක් විදියට සංවර්ධනය වෙනවා. සොලී දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේ නමක ගෙ මූලිකත්වයෙන් යුත් කතුවරු මණ්ඩලයක් විසින් මේ ජාතක පොත සිංහලට සංග්රහ කළ බව යි පැවැසෙන්නෙ. ජාතක පොත පරිවර්තනය කරන්න ආරාධනා කළේ ‘වීරසිංහ ප්රතිරාජ’ ඇමැතිවරයා බවත් කියැවෙනවා. සමහරු විශ්වාස කරන විදියට උම්මග්ග ජාතකය සිංහලෙන් රචනා කරන්නෙත් සිව්වැනි පැරකුම්බා රජු ගෙ ඇමැතිවරයෙන් වුණු මේ ‘වීරසිංහ ප්රතිරාජ’ ඇමැතියා විසින් ම තමයි.
උම්මග්ග ජාතකය කියද්දි තවත් කාරණාවක් ගැන සටහන් කරන්න ඕනෙ. වීරසිංහ ප්රතිරාජ සකස් කළා යැ යි සැලැකෙන උම්මග්ග ජාතකයට අමතර ව ‘විද්යාචක්රවර්ති’ නමැති ලේඛකයෙක් රචනා කරපු ‘එළු උමංදාව’ නමින් යුත් කෘතියකුත් අපි අතර තියෙනවා. සාමාන්යයෙන් පන්සිය පනස් ජාතක පොත ලංකාවෙ බොහෝ විහාරවල පුස්කොළ පොත් එකතූවල දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට කාණ්ඩ දෙකක් විදියට යි ජාතක පොත පුස්කොළවල ලියලා තියෙන්නෙ. ඒ වගේ ම තමා එළු උමංදාවත් බොහො ම සුලබ ව දකින්න ලැබෙනවා ඒ වගේ පොත්ගුල්වල. නිරීක්ෂණය වෙන කාරණාවක් තම යි එළු උමංදාවෙ පුස්කොළ පොත් දෙකක් හෝ ඊට වැඩි ගණනක් බොහෝ පුස්කොළ පොත් එකතූන්වල දකින්න ලැබෙන බව. මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා එළු උමංදාවත් ලංකාවෙ කාලාන්තරයක් තිස්සෙ ප්රචලිත ව පැවැති කෘතියක් බව. මීට අමතර ව ප්රචලති ව පැවැතුණු සමහර ජාතක කථා අට ජාතක, දස ජාතක ආදි නම්වලින් සංග්රහ කරන්නත් කටයුතු කරලා තියෙනවා.
මීට අමතර ව වෙස්සන්තර ජාතකය වගේ ජාතක කථාවලටත් වෙන ම සන්න ලියැවිලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්.
ජාතක කථා මිනිස්සු බොහොම අභිරුචියෙන් වැළැඳ ගත්තා. සමහර ධර්ම කාණ්ඩවල මේ විදියට මිනිස්සු අතර ප්රචලිත වුණු සමහර ජාතක කථාත් සංග්රහ කරලා තියෙනවා දැකගන්න පුළුවන්. මේ විදියට හමුවෙන මහනුවර කාලයට පමණ අයත් සමහර පුස්කොළ ලේඛනවල සාම ජාතකය, වෙස්සන්තර ජාතකය, නිමි ජාතකය, කුස ජාතකය වගේ ජාතක කථා බහුල ව හමු වෙනවා. ජාතක කථාත් එක්ක බැඳුණු සංස්කෘතියක් වෙන ම තියෙනවා. ඒ වෙන ම කතා කරන්න ඕනෙ කාරණාවක්.
සමහර ජාතක කථා ජාතක කථා ධර්මානුශාසනය සඳහා ශාස්තෲන් වහන්සේ විසින් පිළිගැණුනු ආකාරය ජාතක පාලියෙන් පිටත සූත්ර හා විනය කොටස්වල යම් යම් ආකාරයෙන් දකින්න පුළුවන්. මේ විදියට ත්රිපිටකයෙ යෙදුණු කීපයක් ගැන මහාචාර්ය ගුණපාල මලලසේකරත් සටහන් කරලා තියෙනවා. මහාචාර්ය රීස් ඩේවිඩ්ස් කරපු හඳුනාගැනීම් කීපයක් උදාහරණ විදියට මම සටහන් කරන්නම්.
ජාතක අංක 1, අපණ්ණක ජාතකය, දීඝ නිකාය
ජාතක අංක 9, මඛාදේව ජාතකය, මජ්ඣිම නිකාය
ජාතක අංක 10, සුඛවිහාරි ජාතකය, විනය පිටකය
ජාතක අංක 37, තිත්තිර ජාතකය, විනය පිටකය
ජාතක අංක 91, ලිත්ත ජාතකය, දීඝ නිකාය
ජාතක අංක 95, මහා සුදස්සන ජාතකය, දීඝ නිකාය
ජාතක අංක 203, බන්ධවත්ත ජාතකය, විනය පිටකය
ජාතක අංක 253, මණිකණ්ඨ ජාතකය, විනය පිටකය
ජාතක අංක 405, බක බ්රහ්ම ජාතකය, මජ්ඣිම නිකාය සහ සංයුක්ත නිකාය
මේ ජාතක කථාවල මුල් ස්වරූපය ගැනත් සමහරු අදහස් මතු කරලා තියෙනවා. මේ ගැන අදහස් පළ කරපු එක් පිරිසක් මතු කරපු කාරණාවක් තම යි අපිට දකින්න ලැබෙන සමහර ජාතක කථා ඒ වෙද්දි භාරතයේ පැවැතුණු ජන කථා කියන එක (ප්රාග් බෞද්ධ ජන කථා). මේ සමහර කථා බෞද්ධ ස්වරූපයට ගැලැපෙන විදියට වෙනස් කරගෙන තියෙන බව යි ඔවුන් සඳහන් කරන්නෙ. උදාහරණයක් විදියට මහාචාර්ය රීස් ඩේවිඩ්ස් පෙන්වා දෙන කාරණාවක් තම යි, ‘ජාතක පොතේ තියෙන මහා සුදස්සන ජාතකය සූර්ය නමස්කාරය පිළිබඳ වූ පුරාණ භාරතීය කථාන්දරයක්’ කියන එක. මේ ජාතක කථාවලින් ඉගැන්වෙන සමහර ධර්ම පවා භාරතීය ඒවා බව රීස් ඩේවිඩ්ස් පෙන්වා දෙනවා.
ඒ වගේ ම තමා සමහර ජාතක කථා විවිධ ස්වරූපයේ ජන කථා විදියටත් සමහර අවස්ථාවල දකින්න ලැබෙනවා. මීට අමතර ව ලංකාව වගේ රටවල්වල පවතින ඓතිහාසික මූලාශ්රයවල සමහර ඓතිහාසික සිද්ධි පෝෂණය වෙද්දිත් ජාතක කථාවල බලපෑම තදින් දකින්න පුළුවන් බව ඉතිහාසඥයො පෙන්වා දී තිබෙනවා.
රාමායණය වගේ සංස්කෘත වීර කාව්යයක් ගත්ත ම ඒ කථාව ඇතුලෙත් බොහොම තදබල විදියට ජාතක පොතේ ‘දශරථ ජාතකයෙ’ ආභාසය තියෙනවා. ඉන්දියාවෙ විවිධ ප්රදේශවල තැනින් තැන ඇවිදිමින් මිනිස්සු සතුටු කරන්න ගැයුම් වැයුම් කරපු මිනිස්සු අතර ප්රචලිත වෙලා තිබුණු කථාවක් තම යි රාම කුමාරයා ගෙ කථාව. මේ වගේ රාම කුමාරය ගෙ කථාව ගායනා කරපු කණ්ඩායම් කීපයකින් ම අවශ්ය තොරතුරු අරගෙන වාල්මිකී රාමායණය රචනා කරපු බවටත් අදහසක් තියෙනවා. මේකෙදි අපිට ගන්න තියෙන කාරණාව තමා රාම-සීතා පුරාවෘත්තය බොහෝ කාලයකට කලින් ඉඳං ම භාරතීයයන් අතර පැවැතුණු බව. ඒ කථාව ම යම් යම් වෙනස්වීම් සහිත ව ජාතක පොතටත් ඇවිත් තියෙනවා.
මේ ගැන කතා කරද්දි තවත් වැදැගත් කාරණා කීපයකට අවධානය යොමු කරන්න පුළුවන්. මේ විදියෙ ජාතක කථා අන්තර්ගත වෙලා සංග්රහ වුණු එක ම මූලාශ්රය පන්සිය පනස් ජාතක පොත විතර ද? පිළිතුර තමා ‘නැත’.
සියමෙ තියෙනවා ‘පඤ්ඤාස ජාතක’ කියලා පොතක්. ඒ පොතේ තියෙනවා ජාතක කථා 50 ක්. මේ එක ජාතක කථාවක් වත් අපේ පන්සිය පනස් ජාතක පොතේ නැහැ. බෞද්ධ සංස්කෘත සාහිත්යයෙ තියෙන ‘ජාතක මාලාවේ’ දකින්න ලැබෙන ජාතක කථා 34න් 11ක් ම අපේ ජාතක පොතත් එක්ක සම්බන්ධ නැහැ. මේ වගේ ජාතක කථා අශ්වඝෝෂ ගේ සූත්රාලංකාරයේත්, ක්ෂේමේන්ද්ර ගේ අවදානකල්පලතාවෙත් තියෙනවා. මේ කාරණා ගැන මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල වගේ උගත්තු පැහැදිලි කරලා තියෙන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින්.
ඒ වගේ ම තමා මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තමන් ගෙ ‘Buddhist India’ කෘතිය රචනා කරන කාලය වෙද්දි පැවැතුණු තත්ත්වයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාවත් මේ සාකච්ඡාවෙදි වැදැගත්. සාංචි සහ භාරුත් ස්තූපවල ගල් වැටේ තියෙන ජාතක කථා කැටයම් බොහොමයක් සමඟ අදාල ජාතක කථාව ක්රි. පූ. 3 වැනි සියවසේ බ්රාහ්මී අක්ෂරවලින් සටහන් කරලා තියෙනවා. ඡදන්තිය, ඉසිමිගො, ඉසිසිංගකය ආදි නම් උදාහරණ. නමුත් මේ විදියට සටහන් නො කරපු ජාතක කථාත් මේ අතර තියෙනවා. මුලින් සඳහන් කරපු පොත ලියැවෙන කාලය වෙද්දි මේ නම නො සඳහන් කැටයම්වලින් 27ක් හඳුනගන්න විෂය ප්රවීණයින්ට හැකි වුණත්, කැටයම් 23ක් කවර ජාතක කථාවකට අයත් දැ යි හඳුනගන්න හැකියාවක් ලැබුණෙ නැහැ (වර්තමානය වෙද්දි මේ තත්ත්වය වෙනස් වෙලා ද කියන කාරණාව මම සොයා නො බැලූ නිසා ඒ පිළිබඳ දැනුමැත්තෙක් අපි වත් දැනුවත් කරන්න). මේ අතරින් සමහර ජාතක කථා භික්ෂුන් වහන්සේලා අතර ප්රසිද්ධ ව පැවැතුණු, නමුත් පොත්වලට ඇතුළත් නො වුණු ජාතක කථාවලට නිදර්ශන විදියට යි සැලැකුනේ.
මේ කරුණු එක්ක කල්පනා කරද්දි ජාතක කථාවලින් බුදුන් වහන්සේ ගේ දේශනාව මනිනවට හෝ ජාතක කථාවල තියෙන කාරණා බුදුන් වහන්සේ ගෙ දේශනා කියලා මතු කරනවට පෞද්ගලිකව මගෙත් එකඟතාවයක් නැහැ. චේතිය ජාතකයෙ තවුසා ගෙ ප්රකාශය මතු කරන අය, එහෙම නො කර කෝසල සංයුක්තයෙ ධීතු සූත්රය මතු කළා නං සමහර විට සමාජ මාධ්යවල මේ දවස්වල තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා.