පූජාවලිය ගැන ප්රධාන ධාරාවෙන් පිටත කථා කීපයක් ම තියෙනවා. පූජාවලිය ලියැවුණු සාහිත්ය යුගයෙ දි ම තම යි සද්ධර්ම රත්නාවලියත් ලියැවෙන්නෙ. නමුත් පූජාවලියට තරම් ප්රභූ පැලැන්තියෙ ආකර්ශනයක් සද්ධර්මරත්නාවලියට ලැබුණෙ නෑ. මම පෞද්ගලික ව විශ්වාස කරන කාරණාවක් තමා සද්ධර්මරත්නාවලිය පූජාවලියට වඩා විශිෂ්ට කෘතියක් කියන එක. මේ පොත් දෙක ගැන පොඩි ජනප්රවාදයක් තියෙනවා මුඛ පරම්පරාවෙන් එන.
පූජාවලිය රචනා කරපු බුද්ධපුත්ර හාමුදුරුවෝත්, සද්ධර්මරත්නාවලිය රචනා කරපු ධර්මසේන හාමුදුරුවෝත් අතර පොඩි විරසකයක් තිබුනලු. ඒ වගේ ම තමා පූජාවලිය රචනා කරපු බුද්ධපුත්ර හාමුදුරුවන් ගෙ එක ඇහැක් අන්ධ බවත් ජනප්රවාදයෙ තියෙනවා. ඇහැ අන්ධ වුණේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙනුත් ජනප්රවාදයක් තියෙනවා. ඒ ගැන මීට කලිනුත් මට මතක හැටියට සටහන් කරලා තියෙනවා. කොහොම නමුත් පූජාවලිය ලියවෙන කාලයෙදි ම සද්ධර්මරත්නාවලියත් ලියැවුණා කියලා තමයි ජනප්රවාදය සඳහන් කරන්නෙ. මම කලින් කීවා වගේ පූජාවලියෙ කතුවරයාත්, සද්ධර්මරත්නාවලියෙ කතුවරයාත් අතර පොඩි විරසකයක් තිබුණා. මේ නිසා ම පූජාවලිය රචනා කරලා අවසන් වුණා ම සද්ධර්මරත්නාවලියෙ කතුවර ධර්මසේන හාමුදුරුවො තල්පතක් යවනවා. ඒ පූජාවලියෙ කතුවර බුද්ධපුත්ර හාමුදුරුවන්ට. තල්පතේ තිබුණෙ මෙහෙමලු.
“මයුරපාද කණා
බත් ගෙඩියක් තනා”
පූජාවලිය රචනා කරපු බුද්ධපුත්ර හාමුදුරුවො තම යි එ වකට මයුරපාද පිරුවනේ පරිවෙණාධිපති විදියට හිටියෙ. ඒ වගේ ම උන් වහන්සේ ගෙ ඇහැක් අන්ධ බවටත් ජනප්රවාදයක් තියෙන බව මම කලින් සඳහන් කළා. ධර්මසේන හාමුදුරුවො බුද්ධපුත්ර හාමුදුරුවන් ගැන උපහාසයෙන් තල්පත යවන්නෙ ‘මයුරපාදයෙ අන්ධයා තනාගෙන තියෙන්නෙ බත් ගෙඩියක් කියන එක.’ ඒකට හේතුවක් තිබුණා. බුද්ධපුත්ර හාමුදුරුවො පූජාවලිය රචනා කළේ දෙවැනි පරාක්රමබාහු රජතුමා ව අරමුණු කර ගනිමින්. පොත රචනා කරන්න ආරාධනා කරන්නෙ දේවප්රතිරාජ අමාත්යවරයා. ඒ නිසා පූජාවලිය සෘජු ව ම ප්රභූ පැලැන්තියෙ අනුග්රහය සහ ඔවුන් ම ප්රධාන අරමුණක් කර ගනිමින් රචනා වුණු එකක්. ධර්මසේන හාමුදුරුවො බුද්ධපුත්ර හාමුදුරුවන්ට චෝදනා කරන්නෙ මේ කාරණාව අනුව කල්පනා කරමින්. ප්රභූ පැලැන්තියෙ තාන්න මාන්න ලබාගන්න කරපු පොතක් විදියට පූජාවලිය ගැන ධර්මසේන හාමුදුරුවො කල්පනා කරන්න ඇති.
කොහොම නමුත් මේ තල්පත හමු වුණාට පස්සෙ බුද්ධපුත්ර හාමුදුරුවො පිළිතුරක් එවනවා ධර්මසේන හාමුදුරුවන්ට ඒ විදියට ම කවි දෙ පාදයකින්.
“අප කියනා බණා
ඇතුන් පිටින් යනා
තොපි කියනා බණා
පිළිකන්නේ වනා”
‘අපි කියන බණ (අපි ලියපු බණ පොත) ඇතුන් පිටින් යන්නෙ. හැබැයි ඔබ වහන්සේලා කියපු බණ (ලියපු බණ පොත) පිළිකන්නට යි වීසි වෙන්නෙ’
කොහොම නමුත් පූජාවලියට රාජ්ය ගෞරව පවා හිමි වුණත්, සද්ධර්මරත්නාවලියට එ වැන්නක් ලැබුණු බවට ඇති සඳහනක් ගැන මට මතකයක් නැහැ. මේ ජනප්රවාද නම් සමහර විට පසු කාලයක නිර්මාණය වූ ඒවා විය හැකි යි. සාමාන්ය මිනිස්සු අතර මේ පොත් ගැන තිබුණු ආකල්පය මොන වගේ ද කියලා කියන්න යි මම ජනප්රවාදයත් සටහන් කළේ.
වර්ෂ 1819 දි සම්පාදනය වුණු ඉංග්රීසි වාර්තාවක සමකාලීන හාමුදුරුවරු පූජාවලිය හඳුන්වන්න භාවිත කරපු නමක් ගැන මහාචාර්ය ඒ. වී. සුරවීර සඳහන් කරලා තියෙනවා. වාර්තාවෙ තියෙන විදියට ඒ කාලෙ සමහර හාමුදුරුවරු පූජාවලිය හඳුන්වලා තියෙන්නෙ “මෝඩ ගෑනි පොත” කියලා. එහෙම කියන්න හේතු වුණු කාරණා මොන වගේ වෙන්න ඇති ද කියලා දළ අදහසක් මට කල්පනා වෙනවා. හැබැයි මම ඒක සටහන් කරන්නෑ.
ඒ විතරක් නෙවෙයි. මහනුවර යුගයෙ හෝ ඊට පසු කාලවල ලියැවුණු විවිධාකාර ධර්ම කාණ්ඩවල පූජාවලියෙ පරිච්ඡේදයක් හෝ කොටසක් වෙන ම රචනා කරපු ආකාරයක් දැක ගන්න පුළුවන්. මේ අතරින් පෞද්ගලික ව මටත් වැඩිපුර දැකගන්න ලැබිලා තියෙන කොටසක් තමා පූර්වාරාම පූජා කථාව. පූර්වාරාමය පූජා කරන්නෙ විශාඛා මහ උපාසිකාව බව බොහෝ දෙනෙක් දන්න කාරණාවක්.
කොහොම නමුත් කාලයක් යනකං ම පූජාවලිය බොහොම වැදැගත් පොතක් විදියට සැලැකුණා. නිරීක්ෂණය වෙන පොත්ගුල්වලින් බොහෝ පොත්ගුල්වල පූජාවලිය එක් පිටපතක් හෝ ඊට වැඩි ගණනක් පවතින බවත් පෙනී යනවා. පූජාවලිය කියන්නෙ අවුරුදු සිය ගාණක් පැරැණි පොතක්. හැබැයි එදා වගේ ම අදටත් ලංකාවෙ විධිමත් අධ්යාපනයක් ඇති මෙන් ම නැති බොහෝ දෙනෙක්ට හුරුපුරුදු පොතක්. අව ම වශයෙන් නාමමාත්රිකව වත් බොහෝ දෙනෙක් පූජාවලිය ගැන දන්නවා. පූජාවලිය රචනා කිරීමේ මූලික අරමුණ වෙනස් ම එකක් වුණත්, සාමාන්ය මිනිසුන්ට පවා මේ පොත සමීප වෙලා තියෙනවා. සෙසු කෘතීන්වලට වඩා සාහිත්ය අගය ගැන කවර විචාර තිබුණත් ලංකා ඉතිහාසයෙ ලියැවුණු හැම පොතක් ම සාමාන්ය මිනිස්සුන්ට මේ තරම් සමීප නෑ. ඒ නිසා පූජාවලිය කියන්නෙ මේ අංශයෙන් බැලුව ම සුවිශේෂී පොතක්.