ලංකාවෙ විධිමත් පර්යේෂණයක් තවමත් හරිහැටි සිදු නොවුණු ප්රදේශයක් තම යි වන්නිය. විශේෂයෙන් දැදුරු ඔය බඩ වන්නි ප්රදේශ සම්බන්ධයෙන් සිදු කෙරිලා තියෙන පර්යේෂණ සීමා සහිත යි. සිංහල රජවරුන්ට සේවය කළ, වන්නි ප්රදේශ භාර ව හිටපු විවිධ වන්නි ප්රධානින් සම්බන්ධ ජනප්රවාද මේ ප්රදේශවල පැතිරිලා තියෙනවා. ඒ වගේ ම උඩරට රදළ පැලැන්තියට ඥාති සම්බන්ධතා සහිත බොහෝ වන්නි පෙළපත් අදටත් මේ ප්රදේශයේ ජීවත් වෙනවා.
මේ විදියට වන්නි ප්රදේශවල එ වකට ජීවත් වූ යම් යම් වන්නි ප්රධානින් සම්බන්ධ ජනප්රවාදත් විවිධ තැන්වලින් අහන්න, කියවන්න ලැබෙනවා. මේ ඒ විදියට මට කියවන්න ලැබුණු ජනප්රවාදයක්. ජනප්රවාදය සම්බන්ධ වෙන්නෙ ‘නිකවැරටියේ තෙන්නකෝන් මුදියන්සේ’ නමැති වන්නි ප්රභූවරයාට.
කථාන්දරය ශ්රී වික්රම රාජසිංහ රජතුමා නුවර වැව ඉදිකරවපු සිද්ධිය එක්ක බැඳිලා තියෙනවා. නුවර වැව සකස් කිරීමේ දී රජතුමා වැවේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධ වැඩ විවිධ පිරිස්වලට බෙදා පවරා දුන්නා. මේ විදියට ඉදිකිරීම් කටයුතු බාර වුණු එක් අයෙක් තම යි නිකවැරටියේ තෙන්නකෝන් මුදියන්සේ. නිකවැරටියේ මාගල්ල වැව අසබඩ තිඹිරියාව ග්රාමයේ ජීවත් වුණු නිසා මොහු ‘තිඹිරියාවේ තෙන්නකෝන් මුදියන්සේ’ කියන නමින් හඳුන්වනු ලැබුවා.
තමන්ට භාර වුණු රාජකාරිය ප්රකාර ව තෙන්නකෝන් මුදියන්සේ පිරිසත් සමඟ මහනුවරට එන්න පිටත් වුණා. නමුත් ඔහු මහනුවර බලා පිටත් වූ කාලය අධික වැසි සහිත කාලයක් වූ නිසාත්, ඇතැම් මාර්ග ජලයෙන් යට වී පැවැති නිසාත් රජතුමා නියෝග කළ දිනය වනවිට ඔහුට මහනුවරට ළඟා වෙන්න හැකියවක් ලැබුණෙ නැහැ. තෙන්නකෝන් මුදියන්සේ ගෙ ප්රමාදය පිළිබඳ ව ශ්රී වික්රම රාජසිංහ රජතුමා කෝපයට පත් වූ බව සඳහන්.
වන්නි ප්රදේශවල ජීවත් වුණු බොහෝ ප්රභූන්ට උඩරට රාජකීයයන් පිළිබඳ යහපත් ආකල්පයක් පැවැතුනේ නැහැ. විශේෂයෙන් සිංහල රදළ ප්රධානින් සම්බන්ධයෙන් උඩරට පාලකයන් ක්රියාත්මක කළ ඇතැම් ප්රතිපත්ති මේ තත්ත්වයට තදින් බලපෑවා. බොහෝ වන්නි ප්රධානින් උඩරට සිංහල රදළ පවුල් සමඟ තිබුණු කිට්ටු සම්බන්ධතාවය නිසා ම උඩරට රදළ ප්රධානින්ට එ වකට පාලකයන් ගෙන් සිද්ධවෙන යම් යම් අකටයුතුකම් තමන්ට සිදුවන අකටයුතුකම් විධියට යි ඔවුන් සැලැකුවෙ. උඩරට පාලකයො පවා මේ කාරණාව දැනගෙන හිටියා. ප්රසිද්ධියේ බොහෝ අවස්ථාවල නො කීවත් මේ තත්ත්වය මත ඔවුන් එකිනෙකා අතර යම් යම් විරසක වීම් තිබුණා.
තෙන්නකෝන් මුදියන්සේත් රජ අණ ප්රකාර ව කලට, වේලාවට මහනුවරට නො පැමිණීම සම්බන්ධයෙන් තමන් ගෙ නිර්දෝශිභාවය රජු හමුවේ ගෞරව දක්වා ඉදිරිපත් කළත්, රජතුමා එය රජ අණ කඩ කිරීමක් විදියට යි සැලැකුවෙ. රජ අණ කඩ කිරීමට දඬුවම් ලබා දිය යුතු බව යි ශ්රී වික්රම රාජසිංහ රජු ගේ අදහස වුණේ. මරණ දඬුවමට වඩා බරපතල ලෙස අපහාසයට පත් වන දඬුවමක් ලබා දිය යුතු යැ යි කල්පනා කළ රාජසිංහ රජු, නුවර වැවේ ඉදිකිරීම් කටයුතුවලට පැමිණි එක් මිනිසකුට කතා කොට අණ කිරීමක් කළා.
‘මොහු ගේ පිට මත පස් කූඩයක් තබනු’
සාමාන්යයෙන් රජකුට වුණත් තමන් ගෙ අභිමතය පරිදි දඬුවම් දීමේ හැකියාවක් තිබුණෙ නැහැ. හැකි සෑම අවස්ථාවක දී ම පෙර සිරිත අනුව නියෝග නිකුත් කිරීම යි රජුන් ගෙ ගෙ පිළිවෙල. මේ නියෝගය පෙර සිරිත අනුව කළ නියෝගයක් නෙවෙයි. හුදෙක් රාජසිංහ රජු ගේ ස්වාභිමතය අනුව කළ නියෝගයක්. ප්රාදේශීය ප්රභූ වරයෙක් බරපතල ලෙස අපහාසයට ලක් කෙරෙන නියෝගයක්. නමුත් මේ නියෝගය පිළිගන්න තෙන්නකෝන් මුදියන්සේ ඉදිරිපත් වුණේ නැහැ. ඔහු ඊට විරුද්ධ ව ක්රියාත්මක වුණා. මෙ පමණ වේලාවක් රජු ඉදිරියේ දණ්ඩ නමස්කාරයෙන් සිටි තෙන්නකෝන් මුදියන්සේ එක් වරම රජු ඉදිරියේ නැගී සිටියා.
‘සමා අවසර යි දේවයන්වහන්ස, සිංහලේ රාජ දණ්ඩණය පෙර සිරිත් අනුව යි. සිරිත් මිස නො සිරිත් බෑ රජතුමනි’
සුලු දෙයින් පවා කෝපයට පත් වන අයකු වශයෙන් ප්රකට ශ්රී වික්රම රාජසිංහ රජු ඉදිරියේ මෙ වැනි වාග් ප්රහාරයක් දුන් තෙන්නකෝන් මුදියන්සේ දෙස රැස් ව හුන් පිරිස බලා සිටියේ භීතියෙන්. රජු ගේ කෝපයත් දෙගුණ තෙගුණ වුණා. කෝපයෙන් ස්වකීය කගපතට අත යොමු කළ රජු තෙන්නකෝන් මුදියන්සේ දෙස මොහොතක් බලා සිටියා. එහෙත් කිසිදු භීතියක හෝ පැකිලීමක ලකුණක් නො පෙන්වා ම තමා ඉදිරියේ නො සෙල් වී නැගී සිටින තෙන්නකෝන් මුදියන්සේ ගේ පෞරුෂය හමුවේ රජු මඳක් පසු බෑවා. මුහුණට නඟාගත් සිනහවක් සමඟ කගපතින් අත ඉවතට ගත් රාජසිංහ රජු එ තැනින් පිට ව ගියා.
ඒ වන විටත් රාජසිංහ රජු සම්බන්ධයෙන් නො මනාපයෙන් සිටි සිංහල රදළ ප්රධානින් සැලැකිය යුතු පිරිසක් සිටි නිසාත්, තෙන්නකෝන් මුදියන්සේ වැනි සැලැකිය යුතු පිරිස් බලයක් සහිත අයකු සමඟ ගැටීමෙන් තව තවත් ප්රශ්න ඇති වේ දෝ යි වූ සැකය නිසාත් ඒ මොහොතේ දී රජු කල්පනාකාරී වූ බව පේනවා. රාජසිංහ රජු අත් අඩංගුවට පත් ව රැගෙන යන අවස්ථාවේ දී කළ ප්රකාශයක් අනුව පේන විදියට කවුඩුමුන්නෙ මොහොට්ටාල, කන්දෙගෙදර මොහොට්ටාල, හුරුග්ගමුවෙ, යක්කාවිට, උඩුමුල්ලෙ, හංවැල්ලෙ, මූණමලයෙ, මිරිහාන්පිටියෙ, කිරිමැටියෙ, පතඟිවත්තෙ, කලුන්දෑවෙ ආදි විවිධ පිරිස් රජුට විරුද්ධවාදී ව ක්රියා කරපු බව ඓතිහාසික ලේඛනවල ලියැවිලා තියෙනවා. බොහෝ විට රජු හා විරුද්ධ ව සිටි රදළ ප්රධානින් ගෙ ශේෂ මේ වචන කීපය ඇතුළෙ තියෙන්න පුළුවන්.
ඉතිහාසයෙ ලියැවුණු දේට වඩා නො ලියැවුණු දේ වැඩියි. ලංකා ඉතිහාසයේ නො ලියැවුණු කාරණා පිළිබඳ අධ්යයනය කරද්දි මේ වගේ ජනප්රවාද අපිට දෙන්නෙ සුලුපටු ආලෝකයක් නෙවෙයි.