ඒ කේශර සිංහයා ය…
“මහණෙනි, මෘග රාජ වූ සිංහයා, සවස් වේලෙහි ලැගුම් ගත් තැනින් නික්මෙයි. ලැගුම් ගත් තැනින් නික්මී වැජැඹෙන්නේ ය. වැජැඹී, වටේ සතර දිශාවන් බලයි. වටේ සිව් දිග බලා තෙවරක් සිංහ නාද කරයි. තෙවරක් සිංහ නාද කොට ගොදුරට නික් ම යයි. ඒ කුමක් හෙයින් ද යත්? විෂම ස්ථානයක සිටි කුඩා ප්රාණීන් බලා වධයට පැමිණැවීමේ අරමුණිනි”
– අංගුත්තර නිකාය, මහාවග්ගය, සීහනාද සූත්රය
“බොහෝ සෙයින් මහණෙනි, සිංහ මෘගරාජයා, ‘අතුරු කලවයේ තබා දකුණු ඇලයෙන් සිටින්නේ ය’, යන මේ සිංහ සෙය්යාව යි.
ඒ එසේ ම ය. තේජසින් උණුසුම් බැවින් සිංහ මෘගරාජයා, පෙර දෙපය එක් තැනෙක තබා, නඟුට කලවා අතර තබා, පෙර පාද, පසු පාද, නඟුට යන මේවා තැබිය යුතු පරිදි තබා, පෙර පෙඳය මත හිස තබා සිටියි. දවසක් පමණකුත් එ ලෙස සිට අවදි වන්නේ, තැති ගැනීමක් නො මැති ව ම අවදි වෙයි. යළි හිස ඔසවා, ඉදිරිපස පාද පිහිටි ආකාරය බල යි. එය (නිදා ගැනීමට පෙර පාද තබා ගත් ආකාරය) සුළුවෙන් හෝ වෙනස් වී ඇත් නම්, ‘මෙය නුඹ ගේ ජාතියට සුදුසු වූවක් නො වෙයි. නුඹ ගේ ශූර භාවයට ද නුසුදුසු ය’ යනුවෙන් නො සතුටු ව, සිටි ආකාරයෙන් ම සිටියි. ගොදුරු පිණිස නො යයි. (නිදා ගැනීමට පෙර සිටි ආකාරයෙන් ම, නැවැත අවදි වන විටත්) නො වෙනස් ව සිටි බව පෙනුණු විට, ‘නුඹ ගේ ජාතියටත්, ශූර භාවයටත් මෙය සුදුසු ය’ යි සතුටු ව නැඟී සිට, සිංහ විජෘම්භණය කොට කේශර සලා, තුන් වාරයක් සිංහ නාද කොට ගොදුරට නික්මෙයි”
– පපඤ්චසූදනී මජ්ඣිම නිකාය අටුවාව, මහා අස්සපුර සූත්ර වණ්ණනාව