හෙලුවෙන් නටන බලි (නිරුවත් බලි පූජාව)-ශකිල රාජකරුණා

හෙලුවෙන් නටන බලි (නිරුවත් බලි පූජාව)
බල්ලො, ඌරො වගේ දෙයියන් වත් මඩේ ඔබපු බලි සංස්කෘතියක් ලංකාවට තියෙනවා. මේ ඒ ගැන කතාවක්.
නුවර කලාවියේත්, වන්නි හත් පත්තුවෙත් අතීතයේ පැවැත්වුණු අපූරු බලියක් තම යි නිරුවත් බලිය කියලා කියන්නෙ. මේ බලි පූජාවෙ විශේෂ ලක්ෂණ කීපයක් තිබුණා. කුඩා දරුවන්ට බලිය තහනම්. කාන්තාවන්ටත් බලිය තහනම්. එහෙම වෙන්න හේතු ඉදිරියට පැහැදිලි වෙයි.
මේ බලිය පවත්වන්නෙ වර්ෂාව බලාපොරොත්තුවෙන්. අද උදේ රන්දුල අයියා එක්ක අපේ සමහර සංස්කෘතිකාංග ගැන කතා කර කර ඉද්දි මේ බලිය ගැනත් මට කල්පනා වුණා. මේ ගැන කාලෙකට කලින් රජරසේවයේ ස්වර්ණ ශ්රී බණ්ඩාර මහත්තයා තොරතුරු සොයා බැලූ බවත්, බලියේ ඇතැම් කවි පටිගත කළ බවත් මාමිනියාවේ ඉලංගසිංහ මහත්තය ගෙන් දැනගන්න ලැබුණා (මාමිනියාවේ ඉලංගසිංහ කියන්නෙ විශිෂ්ට ගණයේ ජනශ්රැති පර්යේෂකයෙක්). බලිය ගැන මාමිනියාවේ ඉලංගසිංහ මහත්තයා එක්කත් විනාඩි හතළිහකට ආසන්න කාලයක් මම කතා කළා. එතුමා පුවත්පත්වලටත් මේ ගැන ලියලා තියෙනවා. ඉලංගසිංහ මහත්තයා එක්ක කළ සාකච්ඡාවෙ දි දැනගත් කාරණාවලිනුත් මේ ලිපිය පෝෂණය වේවි.
බලිය හඳුන්වන නමේ තියෙන විදියට ම මේ බලිය කරද්දි ඇඳුම් අඳින්නෙ නෑ. නිරුවතින් තම යි බලියෙ කටයුතු සිදු කෙරෙන්නෙ. කාලයට වර්ෂාව නො ලැබුණහොත් නැවැත වර්ෂාව ලබා ගැනීම බලියෙ අරමුණ. හැබැයි මේ බලියෙ කවි වැඩිය ප්රසිද්ධ කරන්නෑ. හේතුව කවිවල තියෙන්නෙ අමු තිත්ත කුණුහරුප.
බලි පූජාවට අමුතුවෙන් කියලා බලි අඹන්නෙ නෑ. ඒකට ගන්නෙ ගමේ දේවාලෙ හෝ සංහිඳේ තියෙන කුඩා දේවරූපයක්. ඒක අයියනායක ගෙ, ගණ දෙවියන් ගෙ, කම්බිලි ගෙ හෝ කඩවර ගෙ වුණත් වෙන්න පුළුවන්. ඒ වගේ ම තම යි මේ බලිය කරද්දි කාන්තාවන්ට හෝ දරුවන්ට ‘අසවල් දවසෙ බලිය කරනවා’ යන ආරංචි මාත්රයක් වත් දැනගන්න සලස්වන්නෙ නෑ.
සාමාන්ය බලි ශාන්ති කර්මයක භාවිත කරන වාද්ය භාණ්ඩ මේකෙ දි භාවිත වෙන්නෙ නෑ. ඒ වෙනුවට අමුතිත්ත කුණුහරුපෙන් තියෙන කවිත්, නින්දා, අපහාස ආදියෙනුත් විවිධ කියමන් භාවිත කරමින් ටකරං කෑලි, වලං කෑලි වගේ දේවල්වලින් සද්ද දදා මේ බලිය පැවැත්වෙනවා. ඒ වගේ ම නුවර කලාවියෙ විවිධ ප්රදේශවල මේ බලි පූජාව විවිධ වෙනස්කම් සහිත ව පැවැති බවත් දැනගන්න ලැබුණා.
බලිය කෙරෙන්නෙ මෙහෙ ම යි.
බලියට කලින් කෙම්මුර දවසක මහ ගමරාළ සහ කපුරාළ දේවාලයට ගිහින් දෙවියන්ට යාතිකා කරනවා. විධි පරිද්දෙන් දෙවියන් පුදා යහන් කැප කරනවා. පඬුරු ගැට ගහනවා. නිසි කාලයට වැස්ස නැති වීම නිසා ගමට ඇති වෙලා තියෙන තත්ත්වය ගැන යාතිකාවෙන් කියනවා. වැව හිඳී ඇති වග, ගහ කොළ වියැලී ඇති වග ආදිය කියමින් දෙවියන් ගමේ වැඩ ඉද්දි ගමට මේ වගේ විපතක් වෙන්න සලස්වන එකට ලැජ්ජා නැද්දැ යි යාතිකාවෙන් දෙවියන් ගෙන් අහනවා. තමන් ගෙන් ගමෙන් වරදක් වුණානං දෙවියන් ගෙන් ඊට සමාව ඉල්ලනවා. මෙ තැන් සිට තිස් පැයක් ඇතුළත වැස්ස ලබා දෙන්නැ යි ඉල්ලීම් කරනවා. එසේ නො වුනහොත් හෙලුවැලි බලි නටා දෙවියන්ට ලැජ්ජා කරාවි යැ යි යාතිකාවෙන් දන්වනවා. ඉල්ලීමට ඇහුම්කන් දී වැස්ස ලබා දුනහොත් ඊගාව කන්නයේ අස්වැන්නෙන් වෙන දා වාගේ ම දේව දානය සූදානම් කරන බවට බාරයකුත් වෙනවා.
මේ විදියට යාතිකා කරලාත් වැස්ස නො ලැබුණොත් ඊගාව විකල්පය තම යි නිරුවත් බලිය.
බාරයට පසු එන පළමු කෙම්මුර දිනයේ ම නිරුවත් බලිය පවත්වනවා. මුලින් කීවා වගේ ම මේ බලිය ගැන කාන්තාවන්ට, දරුවන්ට කිසි ම ආකාරයෙකින් දැනගන්න ඉඩ තියන්නෑ. ගමේ සියලු පවුල් නියෝජනය වන පරිදි පිරිමි මහ රෑ 12ට විතර හොර රහසේ ම දේවාලයට හෝ සංහිඳට ඇවිත් නිරුවත් වෙනවා. තාල වාද්ය භාණ්ඩ ලෙස භාවිත කරන්න අවශ්ය දේවල් ගෙනාපු අය අතුරු සිදුරු නැති ව ඒවයෙන් සද්ද කරන්න පටන් ගන්නවා. අසභ්ය වචන සහිත කවි කියමින්, දෙවියන්ට නිගරු කරමින් සංහිඳේ හෝ දේවාලයේ තියෙන දේව රූපයක් අතින්, බෙල්ලෙන් ඇදගෙන ගිහින් වැවේ මඩේ දමමින් පාග පාග දෙවියන්ට විහිළු කරනවා. නිග්රහ කරමින් කවි කියනවා.
සල්ලන් ගෑනුන් බඩ බැන්දා වැනි ගණදෙවි පුල්ල ගෙ බඩ පැලියන්
කෙල්ලන් බය කළ කුමාර කලුව ගෙ පිරිමි ඇඟේ වන පිළි හැදියන්
සෙල්ලන් කම්බිලි ආවත් කම් නැත අයියන කඩවර වත් නො බලන්
බල්ලන් සූකර වේසේ පාගෙන දෙයියෝ මඩ පතුලේ නාගන්
බලියට සම්බන්ධ කවියක් ඒ. ‘කෙල්ලන් බය කළ කුමාර කලුවා’ කියන්නෙ ‘කලු කුමාර යක්ෂයාට’. වන්නි හත් පත්තුව, නුවර කලාවිය වගේ ප්රදේශවල ‘පිරිමි ඇඟ’ කියන ව්යවහාරයෙන් හඳුන්වන්නෙ (මේ ව්යවහාරය ඇතැම් විට ලංකාවෙ වෙනත් ප්රදේශවලත් ඇති) ‘පුරුෂ ලිංගය’. ඔය විදියට තරමක වෙලාවක් නිරුවත් බලිය කරනවා. මේ විදියට වැවේ පතුළෙ මඩේ ඔබපු දේව රූප බලිය අවසානෙ දේවාලයට හෝ සංහිඳට ගෙනැවිත් තැන් තැන්වල දාලා බලියට සම්බන්ධ වූ පිරිමින් ගෙවල්වලට යනවා.
මේ සිදුවීම්වලින් පස්සෙ ආයෙත් ගමේ මහ ගමරාළ යි කපු රාළ යි දේවාලයට හෝ සංහිඳට ඇවිත් දෙවියන්ට යාතිකා කරනවා. “පෙර දා අපි ඉල්ලා හිටියේ මේ ලැජ්ජාවෙන් බේරෙන්ට. දැන් අපි ඔබ වහන්සේලා ව හඳුන් කිරි පැණියෙන් නාවා තැන්පත් කළහොත් ගම්මු අපි ව ද පන්නා දමාවි. ඒ නිසා වැසි වරුසා ඇති කොට පිරිසිදු වී වදාළ මැනැවි.” ආදි වසයෙන් යාතිකාව පැවැත්වෙනවා. යළි කෙදිනක හෝ වැසි ඇති වී දේව රූපවල මඩ වැස්සෙන් සේදී යන තෙක් ගමේ කිසිවෙකුත් දේවාලයේ හෝ සංහිඳේ පස් නො පාගන්න වග බලා ගන්නවා. බලියෙන් පස්සෙත් මේ වගේ දෙයක් ගමේ සිදු නො වුණු ගානට කටයුතු කරන්නත් ඔවුන් ප්රවේශම් වෙනවා.
වැස්ස ලැබුණට පස්සෙ කරන පළමු ම කාර්යය අලුතින් එකතු වූ වතුරින් දිය කපා දේව රූප නාවන එක. ඒ අවස්ථාවට දේව රූප වඩම්මන්නෙත් පංචතූර්ය නාද පවත්වමින්. මේ ක්රියාවට පස්සෙ සුපුරුදු පරිදි ම අදාල ස්ථානවල දේව රූප යළිත් තැන්පත් කොට සුපුරුදු වත් පිළිවෙත් කරමින් දේවාලයට, සංහිඳට පුද පූජා පවත්වන්න ගම්මු කටයුතු කරනවා. බලි බිලි, පිදේනි, ගොටු, තටු දෙමින් දෙවියන් සතුටු කරවමින් නිරුවත් බලියෙ දෝෂ පහ කර ගන්නවා. ඔන්න ඔය විදියට යි නිරුවත් බලිය සිදුවෙන්නෙ.
මේ වගේ දේවලුත් අපෙ රටේ සමහර ප්රදේශවල තිබිලා තියෙනවා. මම දන්න තරමින් දැන් නං මේවා අභාවයට ගිහිං. මේ බලිය පිළිබඳ තොරතුරු මම වැඩි දුරටත් දැනගත්තෙ ජනශ්රැති පර්යේෂක මාමිනියාවේ ඉලංගසිංහ මහත්තයා ගෙන්. මේත් අපෙ රටේ තිබුණු එක්තරා සංස්කෘතිකාංගයක්.